රාජ්‍යය ප්‍රජාතන්ත්‍රවාදි කිරීම

December 15, 2002
Publication:
The LTTE's move from a separate state to a federal system of internal self-rule offers an easier basis for a settlement. Ivan argues that minorities pushed aside by the majority seek to break away, and that the state must be democratised so the majority cannot override their rights, citing Nehru's creation of Tamil Nadu. He links the insurrections of Prabhakaran and Rohana Wijeweera to caste domination as well as ethnic and class grievances, and calls for a new constitution through broad national dialogue.

එල්ටීටි සංවිධානය වෙනම රාජ්‍යයක් සඳහා කරන ඉල්ලීම අත්හැර අභ්‍යන්තර ස්වයං පාලනයක් සහතික කරන පෙඩරල් ක්‍රමයක් ඉල්ලා සිටින තැනකට මාරුවී සිටී. මෙය, ලේ වැගිරෙන මෙම දිග්ගැස්සුණු ආරාවුල බේරුමක් කරගැනීමට වඩා පහසු පදනමක් ලබාදිමක් ලෙස සැලකිය හැකි වුවත් එය සිංහල ජනයා බාරගන්නට යන්නේ කෙසේද යන්න තවමත් පැහැදිලි නැත.

තීරණ ගැනීමේ ක්‍රියාවලියේදි ඒ තීරණවල බලපෑමට හසුවන සියලු ලොකු කුඩා සමාජ කණ්ඩායම්වලට, තීරණ ගැනීමේ ක්‍රියාවලියට සෘජු ලෙස හෝ සිය නියෝජිතයන් මගින් සම්බන්ධ වීමට සාධාරණ අවකාශ සහතික කිරීම ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන ක්‍රමයක තිබිය යුතු මූලික ලක්ෂණයකි. එහෙත් අවසාන වශයෙන් තීරණ බවට පත්වන්නේ බහුතරයේ කැමැත්තය. එහිදි බහුතරය සුළුතර කණ්ඩායම්වල සාධාරණ අයිතිවාසිකම් නොසලකා ක්‍රියාකරන තත්ත්වයක් දිගින් දිගටම ක්‍රියාත්මක වේ නම්, සුළුතර කණ්ඩායම් එම රාජ්‍යයෙන් බැහැර වී තමන්ගේ රාජ්‍යයක් දිනාගැනීම සඳහා සටන් කරන තැනකට තල්ලුවී යා හැකිය. දෙමළ ජනයාගේ වෙන්වීමක් කරා වන නැඹුරුව තේරුම්ගත යුතුව ඇත්තේ ද ඒ ආකාරයටය. එහිදි නැවත එකතු කරගැනීමක් සඳහා බහුතරයට ඔවුන්ගේ සාධාරණ අයිතිවාසිකම් නොසලකා ක්‍රියාකළ නොහැකි තත්ත්වයක් සහතික කරන ආකාරයට රාජ්‍ය ප්‍රතිසංවිධානය කිරීමක් අත්‍යවශ්‍ය වේ. එවැනි ප්‍රතිසංවිධානයක් පුළුල් අර්ථයෙන් රාජ්‍යය ප්‍රජාතන්ත්‍රවාදි කිරීමක් ලෙස අර්ථ දෑක්විය හැකිය. සුළුතර කණ්ඩායම්වල විශ්වාසයට හේතුවන ලෙස රාජ්‍යය ප්‍රජාතන්ත්‍රවාදි කිරිමේ ක්‍රියාවලියකදි එය තිබෙන දේශපාලන රාමුව තුළම කළහැකි අවස්ථා තිබිය හැකිවා සේ ම ඒ සඳහා නව දේශපාලන රාමුවක් ඇති කරගත යුතු අවස්ථා ද තිබිය හැකිය. දෙමළ බෙදුම්වාදි ඉල්ලීම් ඉන්දියාව තුළ ප්‍රබල ලෙස මතුවන තත්ත්වයක් ඇතිවූ අවස්ථාවේදි නේරු කළේ මදුරාසි ප්‍රාන්තයේ දේශ සීමා නැවත බෙදා තමිල්නාඩුව නමින් එක්තරා ප්‍රමාණයක ස්වයං පාලන බලයක් සහිත ප්‍රාන්ත ආණ්ඩුවක් ඇති කිරීමය. විටින් විට මතුවන අර්බුදවලට ගැලපෙන විසර්ම් ලබාදිය හැකි නම්‍යශීලී ආණ්ඩුක්‍රම ආකෘතියක් ඉන්දියාවට ඇතත්, අපේ ආකෘතිය එවැනි නම්‍යශීලී තත්ත්වයක නොපවතී. ඒ නිසා දෙමළ ජාතියේ දුක්ගැනවිලිවලට විසඳුම් ලබාදිම පිණිස නව දේශපාලන ආකෘතියක් හා ඒ සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇතිකර ගන්නා තැනකට යන්නට අපට සිදුවන්නේය.

රාජ්‍ය ව්‍යුහය පිළිබඳව අතෘප්තියක් ඇත්තේ දෙමළ ජාතියට පමණක් නොවන බව ද අපි අමතක නොකළ යුතුය. ප්‍රභාකරන් වෙනම රාජ්‍යයක් සඳහා ආයුධ අතට ගෙන සටන් කරන විට විජේවීර රාජ්‍ය බලය අල්ලා ගැනීමක් සඳහා ආයුධ අතට ගෙන සටන් කළේය. තිබෙන රාජ්‍ය ව්‍යුහය තුළ තීරණ ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ වී යුක්තිය ඉටුකරවා ගැනීමට සාධාරණ ඉඩක් නැතැයි කියන අතෘප්තිය සුළුතර වාර්ගික කණ්ඩායම් අතර පමණක් නොව, සුළුතර කුල කණ්ඩායම් අතර ද පවත්නා බව එයින් පෙන්නුම් කරයි. මහජාතියේ ආධිපත්‍යයක් ඇතැයි කියන හැගීමක් සිංහල නොවන ජන කණ්ඩායම් අතර පවත්නා සේ ම, ගොවිගම හා වෙල්ලාල කුල ආධිපත්‍යයක් ඇතැයි කියන හැගීමක් ගොවිගම හා වෙල්ලාල නොවන සිංහල දෙමළ කුල කණ්ඩායම් අතර පවතී. ප්‍රභාකරන්ගේ අරගලය මහජාතියේ ආධිපත්‍යයට එරෙහිව කරන ලද අරගලයක් පමණක් නොවීය. එය ඒ සමග දෙමළ සමාජයේ පවත්නා වෙල්ලාල ආධිපත්‍යයට එරෙහිව ද කෙරුණු අරගලයක් විය. රෝහණ විජේවීර දියත් කරන ලද අරගලය ද සමාජවාදි ඉලක්කයක් වෙනුවෙන් කරන අරගලයක් වනවාට අතිරේකව සිංහල සමාජයේ පවත්නා ගොවිගම ආධිපත්‍යයට එරෙහිව කරන ලද අරගලයක් ද වූයේය. රටේ පවතින දේශපාලන ආධිපත්‍යයට එරෙහිව සටන් කිරීමට සන්නද්ධ අරගල මාර්ග තෝරාගත් මේ නායක දෙපළම එකම කුල කණ්ඩායමකට (විජේවීර-කරාව, ප්‍රභාකරන්-කරයාර්) අයත් වූවා සේ ම ඒ දෙදෙනා විසින් දියත් කරන ලද සන්නද්ධ අරගලවල කොඳු නාරටිය ලෙස ක්‍රියා කළේ ද සිංහල හා දෙමළ කුල ධුරාවලිය තුළ පීඩිත ගණයෙහිලා සැලකිය හැකි කුලවලට අයත් තරුණ තරුණයන්ය. අනාගත නිදහස් ලංකාවක් තුළ තමන් වෙනස්කම් කිරිම්වලට ලක් කෙරෙණු ඇතැයි කියන හැගීම සුළු වාර්ගික කණ්ඩායම් අතර පමණක් නොව, පීඩිත කුල කණ්ඩායම් අතර ද තිබුණි. ඩොනමෝර් හා සෝල්බරී කොමිෂන් සභා ඉදිරියේ දෙමළ මුස්ලිම් ජනයා, ඇතිවිය හැකි සිංහල ආධිපත්‍යයන් පිළිබඳ බිය පළ කරන විට පීඩිත කුල කණ්ඩායම් ද ඇතිවිය හැකි ගොවිගම හා වෙල්ලාල ආධිපත්‍යයන් ගැන බිය පළ කළහ. බණ්ඩාරනායක වරුන්ගේ ජනසතු වැඩපිළිවෙළ කරාව ප්‍රජාව දෑක්කේ සිය ආර්ථික බලය දුර්වල කිරීම පිණිස ගනු ලැබූ කුලවාදි පියවරක් ලෙසය. එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ මරණයෙන් පසුව ශ්‍රීලනිප නායකත්වය සී.පී. ද සිල්වාට හිමි නොවූයේ ද උගත්කම හා පළපුරුද්ද නොතිබුණු නිසා නොව, ඔහු සලාගම වාංශිකයෙකු වීම නිසාය. ගොවිගම කුලයෙන් පිටස්තරව රාජ්‍ය නායකත්වයට පත්ව ඇත්තේ ආර්. ප්‍රේමදාස පමණය. බිහිසුණු කැරැල්ලක් නොතිබෙන්නට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය වී ඒ අවස්ථාව පවා ප්‍රේමදාසට අහිමිවන්නට ඉඩ තිබුණි.

අද රට ඉදිරියේ ඇති ප්‍රධාන ප්‍රශ්නය වී ඇත්තේ වර්ගය, ආගම, කුලය, පන්තිය යන සාධක මත බැහැර කිරීමකට හේතු නොවන ලෙස ඒ සියලු දෙනාට තීරණ ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධවීමට ප්‍රමාණවත් ලෙස ඉඩ ලබාදෙන හා බහුතර කැමැත්තට පවා යුක්තිය යටපත් කිරීමට ඉක් නොලැබෙන ආකාරයට රාජ්‍ය පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදි කරණයකට ලක්කරන්නේ කෙසේද යන ප්‍රශ්නයයි. ඒ ඉලක්කය සපුරා ගත හැකිවනු ඇත්තේ තිබෙන හා අනාගතයේ ඇතිවිය හැකි ගැටලු සැලකිල්ලට ගනිමින් ඒ ඕනෑම ගැටලුවකට මුහුණ දිය හැකි ආකාරයේ නව ආණ්ඩු ක්‍රමයක් සඳහා වන ව්‍යවස්ථාවක් පුළුල් ජාතික සංවාදයක් ඔස්සේ ඇති කරගැනීමට හැකිවේ නම් පමණය.