ඔස්ලෝ ආධාර සමුළුවට කොටි සංවිධානයේ නියෝජිත පිරිසක් සම්බන්ධ කරගැනීමට එරෙහිව එල්ල වී තිබෙන විවේචන සාධාරණ වන බවක් පෙනෙන්නට නැත. කොටි සංවිධානය අතින් ඉතාමත් බරපතළ වැරදි සිදුවී තිබෙන බවට සැකයක් නැත. එහෙත් සාමය සඳහා එකගත්වයක් ඇති කරගන්නට සිදුවී ඇත්තේ ද කොටි සංවිධානය සමග ය. අනෙක් අතට අපේ පැත්තෙන් ද බරපතල වැරදි සිදුවී ඇති බව අමතක නොකළ යුතු ය. ආර්ථික තලයේ රට තිබෙන්නේ ඇද වැටුණු තැනක ය. ආර්ථික පුනර්ජීවනයක් සඳහා සේ ම, සාම ක්රියාවලිය සාර්ථක ලෙස ඉදිරියට ගෙන යාමට අවශ්ය නැවත පදිංචි කිරිම් හා පුනරුත්ථාපන කටයුතු සඳහා රටට විශාල ආයෝජනයක් අවශ්ය අවස්ථාවක හා ඒ ආයෝජන ලබාගත හැකි ප්රධාන මාර්ගය විදේශ ආධාර වී තිබෙන අවස්ථාවක සාම කතාවල සිටින ප්රධාන පාර්ශ්ව දෙක එකට එකතු වී ජාත්යන්තර ප්රජාවගෙන් ආධාර ඉල්ලා සිටීම කවර මට්ටමකින්වත්, හොඳ දෙයක් ලෙස මිස, නරක දෙයක් ලෙස සැලකිය නො හැකි ය.
වෙනම රාජ්යයක් සඳහා කරන සන්නද්ධ අරගලය අත්හරින බවට ප්රතිඥාවක් දෙන ලෙසට සමුළුව අමතා කතා කළ ඇමරිකානු නියෝජ්ය රාජ්ය ලේකම්වරයා කොටි සංවිධානයෙන් ඉල්ලා සිටියේය. ඊට ඇන්ටන් බාලසිංහම් දක්වන ලද ප්රතික්රියාව අයහපත් එකක් නොවීය. ඔහු විරුද්ධ වූයේ ඔවුන්ගේ සන්නද්ධ අරගලය තනිකරම ප්රචණ්ඩකාරි හා ත්රස්තවාදි ක්රියාදාමයක් හැටියට පිළිගැනීම පමණ ය.
දෙපාර්ශ්වය අතර පැවති යුද්ධය නතරවීම සාම ක්රියාවලිය දැනට ලබාගෙන තිබෙන ලොකුම ජයග්රහණය ලෙස සැලකිය හැකි ය. එසේම කොටි සංවිධානය වෙනම රාජ්යයක් සඳහා මෙතෙක් ඉදිරියට ගෙනා ඉල්ලීම අතහැර අභ්යන්තර ස්වයං පාලනයක් ඉල්ලා සිටින තැනකට පැමිණීම ඒ ක්රියාවලිය විසින් ලබාදි තිබෙන තවත් වැදගත් යහපත් පියවරකි. වීර දිනයේදි ප්රභාකරන් විසින් කරන ලද කතාවෙන් කියවෙන පණිවුඩය ද යහපත් හා මටසිලුටු තත්ත්වයක පවතී.
ආණ්ඩුවේ පාලනය යටතේ තිබෙන ප්රදේශයක අලුතෙන් ඔවුන්ගේ පොලිස් ස්ථානයක් විවෘත කිරීම හා ඔවුන්ගේම වන උසාවි ක්රමයක් පවත්වාගෙන යාම වැනි ප්රශ්න ඇතත්, ඒ ප්රශ්න විසඳගත යුතුව ඇත්තේ ද සාම ක්රියාවලියේ බිඳ වැටීමක් ඇති නොවන ආකාරයට ය. ප්රාදේශීය පොලිසි පිහිටුවීම, බලය බෙදාහරින වැඩපිළිවෙළට ඇතුළත් සාමාන්ය කොන්දේසියකි. එය 13 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයට ද ඇතුළත්ය. කොටි සංවිධානය තම අණසක යටතේ තිබෙන ප්රදේශවල පොලිස් හා උසාවි පිහිටුවූයේ අවබෝධතා ගිවිසුමක් ඇතිකර ගැනීමෙන් පසුව නොව, ඊට බොහෝ පෙර ය. 1994 වනවිටත් එහි ඔවුන්ගේ උසාවි ක්රමයක් සේ ම, පොලිසි ක්රමයක් ද තිබුණි. පෙඩරල් ක්රමයක් ක්රියාත්මක වන ඇමරිකාව, ඉන්දියාව වැනි රටවල ද පහළ උසාවි විමධ්යගත පාලනයට අදාළ විෂයයකි. මුළු ඇමරිකාවට ම ඇත්තේ එක ශ්රේෂ්ඨාධිකරණයක් වුවත්, ඊට පහළින් තිබෙන උසාවි පවත්වාගෙන යන්නේ ජනපද ආණ්ඩුය. ඒවා අනුගමනය කරන වත් පිළිවෙත්වල ද විවිධ වෙනස්කම් පවතී.
අනෙක් අතට දෙමළ ජනතාව තමන්ගේ පොලිසි ක්රමයක් හා උසාවි ක්රමයක් කරා යන තැනකට තල්ලු කිරිමේ වරදට හැම ආණ්ඩුවක් ම වගකිව යුතු ය. පොලිසිය සිවිල් පාලන ක්රමයක අත්යවශ්ය අංගයකි. උසාවිවලට බාරවන්නේ යුක්තිය පසිඳලීමේ ක්රියාවලියයි. දෙමළ ප්රදේශවල ජනතාවට දෙමළ භාෂාවෙන් කටයුතු කරන පොලිසි ක්රමයක් හා උසාවි ක්රමයක් ලබාදිමට අප සමත් වී නම් සමහරවිට මෙවැනි ගැටලු ඇති නොවන්නට ඉඩ තිබුණි. වර්තමානයේ පවා තමන්ගේ ගැටලු විසඳගැනීම සඳහා ඔවුන් ගනු ලබන එවැනි ක්රියාමාර්ගවලට එල්ල කෙරෙන විරෝධයන් යුක්තිසහගත වනු ඇත්තේ ද ඒ වැරදි හා අඩුපාඩුකම් දැන්වත් නො පමාව සපුරා දෙන තත්ත්වයකට අප යන්නේ නම් පමණ ය.