17 වැනි සංශෝධනය ඔළුවෙන් සිටුවීම

September 15, 2002
Publication:
The idea of a Constitutional Council, advanced by professional bodies and backed by pro-democracy and media groups, was meant to take appointments to key posts out of the head of state's arbitrary hands. The editorial argues that the version of the 17th Amendment drafted with JVP mediation reverses this, leaving the President to nominate and the Council merely to approve, a distortion it attributes to the President, the Chief Justice and Jayampathy Wickramaratne, with the UNP assisting through carelessness.

ප්‍රමුඛ වැදගත්කමක් ඇති බලවත් තනතුරු වලට හා ස්වාධීන තත්ත්වයක තිබිය යුතු ආයතනවල ප්‍රධාන තනතුරු වලට පුද්ගලයන් පත්කිරීම සඳහා රාජ්‍ය නායකයාට ලැබෙන අසීමිත බලය හිතුවක්කාරි ලෙස පාවිච්ච් කිරීමට ඉඩ නොතිබිය යුතු ය යන්න ලෝකය පිළිගත් මතයක් වී තිබේ. එවැනි ප්‍රමුඛ තනතුරු වලට තේරි පත්විය යුත්තේ තනතුරේ ගෞරවයට හේතුවන සුදුසු ම පුද්ගලයන් පමණ ය. ව්‍යවස්ථා සභාවක් අරමුණු කරගත් ව්‍යවස්ථා සංශෝධනයක අවශ්‍යතාව ඉදිරියට ආවේ යහපත් ආණ්ඩු පාලනයක් සඳහා අත්‍යවශ්‍ය එම කොන්දේසිය සපුරා ගැනීම සඳහා ය.

එය ජනාධිපතිනිය සමග හෝ වෙනත් පුද්ගලයකු සමග ඇති කරගත් කෝන්තරයක් මුල් කොටගත් ව්‍යාපාරයක් නොවේ. ඒ කොන්දේසිය මේ ජනාධිපතිනිය කෙරෙහි පමණක් නොව, ඉන්පසු බලයට පත්වන රාජ්‍ය නායකයන් කෙරෙහි ද බලපායි. තනතුරට සුදුසු පුද්ගලයා තීරණය කළ යුත්තේ ව්‍යවස්ථාදායකය යි. රාජ්‍ය නායකයා කළ යුත්තේ ඊට අනුමැතිය දිම පමණ ය.

ව්‍යවස්ථා සභාවක් අරමුණු කරගත් ව්‍යවස්ථා සංශෝධනයක අවශ්‍යතාව පිළිබඳ අදහස කරළියට ආවේ විද්වත් වෘත්තීයවේදින්ගේ සංවිධානය හරහා ය. ඒ අදහස යථාර්ථයක් බවට පත්කිරිමේ අරමුණ වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන සන්ධානය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වැනි වෙනත් සංවිධාන ද දායක විය.

මේ අදහස විරුද්ධ පක්ෂයේ සිටි එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ පිළිගැනීමෙන් පසුව ඒ සඳහා වන කෙටුම්පතක් ද බිහිවූ අතර, ජනතා විමුක්ති පෙරමුණ පොදු පෙරමුණ සමග පරීවාස ආණ්ඩුවක් ඇති කරගන්නා ක්‍රියාවලියේ දි එම සංශෝධනයට පොදු පෙරමුණ එකග කරගන්නා නිල අතරමැදියා ලෙස ක්‍රියා කළේ ය.

එහෙත් පුදුමයට මෙන් ජනතා විමුක්ති පෙරමුණ මැදිහත් වී පොදු පෙරමුණ ලවා සකස් කරවා ගත් ව්‍යවස්ථා සංශෝධනය මුල් හොඳ අදහස ඉතාමත් නරක ලෙස විකෘති කිරීමකට ලක් කළේ ය. ඒ අනුව ප්‍රමුඛ තනතුරු සඳහා පුද්ගලයන් නිර්දේශ කරන්නේ ව්‍යවස්ථා සභාව නොව ජනාධිපතිවරයා ය. ව්‍යවස්ථා සභාවට කළහැක්කේ ජනාධිපතිවරයා නිර්දේශ කරන නම් පිළිගැනීම හෝ නොපිළිගැනීම පමණ ය. යහපත් ආණ්ඩු පාලනයක් සඳහා ඇති කරගන්නට ගිය මෙම මූලික කොන්දේසිය විකෘති කිරිමේ ක්‍රියාවලිය පිටුපස සිටි ප්‍රධාන පුද්ගලයන් වූයේ ජනාධිපතිනිය, අගවිනිසුරු හා ඒ දෙදෙනාගේ සමීපතමයකු වූ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න යන අයවලුන් ය. ඇති කරන ලද අතිවිශාල විකෘතිය තේරුම් ගැනීමට තරම් බුද්ධිමය හැකියාවක් ජවිපෙට නොතිබුණ. එජාපය ද නව කෙටුම්පත පිළිබඳව හොඳින් කරුණු හැදෑරිමකට නොගොස් එය තමන්ගේ මුල් කෙටුම්පතට ඇතුළත් කරුණුවලින් පිටස්තර නොවේ යැයි සලකා එයට ආධාර කළේ ය.

දැන් එහි අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ සමස්ත 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය ම හාස්‍යජනක විගඩමක තත්ත්වයකට පත්ව තිබීම ය. දැන් ව්‍යවස්ථා සභාවට ප්‍රමුඛ වැදගත්කමක් ඇති ආයතන හා තනතුරු සඳහා සුදුසු පුද්ගලයන් තෝරාපත් කිරිමේ බලයක් නැත. එයට කළ හැක්කේ ජනාධිපතිවරයා එවන නම් අනුමත කිරීම හෝ නොකිරීම පමණ ය. ඒ මගින් තමන් අත තිබී ඉවත් කරන්නට ගිය බලයක් ඉතාමත් සටකපට ආකාරයකින් තවදුරටත් තමන් අත රඳවා තබාගැනීමට ජනාධිපතිවරිය සමත් වී තිබේ. පොදු මහජනතාවගේ ඇස්වලට වැලි ගසා ආණ්ඩු පාලන ක්‍රියාවලිය තුළ රාජ්‍ය නායකයාට හිමි අත්තනෝමතික බලතල තවදුරටත් තබාගන්නා මේ වැඩපිළිවෙළ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදි අපේක්ෂාවන් පාවා දුන් දුෂ්ට කුමන්ත්‍රණයක් ලෙස සැලකිය හැකි ය. මේ කුමන්ත්‍රණය ජනාධිපතිනියගේ නිර්මාණයකි. ජනතා විමුක්ති පෙරමුණ එම කුමන්ත්‍රණයේ කොටස්කරුවකු ලෙස ක්‍රියා කරවීම එක්සත් ජාතික පක්ෂය හරී හැදෑරිමකින් තොරව ඊට සහාය දිම මගින් එම වැඩපිළිවෙළේ අනියම් කොටස්කරුවකු ලෙස ක්‍රියා කළේ ය.

මේ නිසා දැන් රට වැටී ඇත්තේ අවුල් ජාලයකට ය. ස්වාධීන කොමිෂන් සභා ඇති කිරීම පිළිබඳ අදහස ප්‍රායෝගික නොවන දෙයක් බවට පත්වී තිබේ. මෙම ප්‍රතිසංස්කරණයේ අවශ්‍යතාව වෙනුවෙන් පෙනී සිටි අය පවා මේ තත්ත්වය ඉදිරියේ ගොලුවත රකිති.

එය සමාජයේ යහපත් ඉදිරි ගමන සීමා කරන දුෂ්ට වැඩපිළිවෙළක් වන අතර, එය නිවැරදි කිරීම ආණ්ඩු පක්ෂයේ සේ ම විරුද්ධ පක්ෂවල ද වගකීමයි. මෙම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති කර තිබෙන විකෘතිය වහා නිවැරදි නො කරන්නේ නම්, ඒ වෙනුවෙන් රටට අතිවිශාල වන්දියක් ගෙවන්නට සිදුවනු නො අනුමාන ය.