දූෂණයට වඩා වගකිව යුත්තේ දේශපාලකයා ද රාජ්‍ය නිලධාරියා ද

September 15, 2002
Publication:
Using the purchase of armoured vehicles for the President, where Rs 2,400 million was spent against a parliamentary allocation of Rs 63 million on used BMWs bought through an intermediary, Ivan argues that senior officials bear greater blame than politicians because their posts are permanent and they are bound to uphold the law. He criticises the Treasury Secretary and the Auditor General, including over the President's Fund, privatisation and Mangala Samaraweera's credit-card spending, and calls for top officials and politicians to be prosecuted and jailed.

යුද්ධය ශ්‍රී ලංකාව මුහුණ දි තිබෙන ප්‍රධානම අභියෝගය වුව ද යුද්ධය ජයගැනීමෙන් පමණක් රටට ගැලවීම උදා කරගත හැකිවේ යැයි සිතිය නොහැකිය. දූෂණය හා නාස්තිය ද, දේශපාලන ක්‍රමය පුරා ඔඩු දුවා තිබෙන දරුණු පිළිකාවකි. ඒ නිසා පමණක් වුවත්, රට විනාශයට පත්විය හැකිය. ප්‍රභාකරන් යුද්ධ කර ඇත්තේ ශක්තිමත් හා නිරෝගී රටක් සමග නොව අභ්‍යන්තරික වශයෙන් කුණුවෙමින් තිබූ රටක් සමගය. යුද්ධය නිසා රටේ විනාශය වේගවත් වූවා විය හැකිය. එහෙත් යුද්ධයක් නැතිව වුවත් රට විනාශ වීමට තරම් රට අභ්‍යන්තරික වශයෙන් කුණුවී තිබුණු බව අප අමතක නොකළ යුතුය.

දූෂණය හා නාස්තිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික දෙයක් ලෙස සැලකිය නොහැකිය. එය අඩු වැඩි වශයෙන් හැම රටකට ම ආවේණිකය. එහෙත් වෙනත් රටවල ද දූෂණය හා නාස්තිය තිබුණත්, දූෂණයට හා නාස්තියට එරෙහිව ඉතා බලවත් ලෙස නීතිය ක්‍රියාත්මක වන තත්ත්වයක් ඒ බොහෝ රටවල පවතී. එහෙත් රටේ අවාසනාවකට මෙන් ශ්‍රී ලංකාවේ දූෂණයට හා නාස්තියට අතිරේකව ඒ බිහිසුණු පිළිකාවට එරෙහිව බලවත් ලෙස නීතිය ක්‍රියාත්මක වන තත්ත්වයක් රටේ නොපවතී. ඒ නිසා බාධාවකින් තොරව ඉදිරියට ගලායෑමේ හැකියාවක් එම ප්‍රවාහයට ලැබී තිබේ.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය මට්ටමින් සිදුවන දූෂණයේ හා නාස්තියේ අනුපාතිකය 50%කටත් වැඩිවිය හැකිය. එහි ඊළග ලක්ෂණය වනුයේ රාජ්‍ය මට්ටමෙන් මහා පරිමාණයෙන් සිදුවන දූෂණවලදි ඉහළම පෙළේ දේශපාලකයන් හා රාජ්‍ය නිලධාරීන් අන්‍යොන්‍ය අවබෝධයකින් යුතුව එකට කල්ලි ගැසී ක්‍රියාකිරීමය.

රාජ්‍ය මට්ටමෙන් සිදුවන මහා පරිමාණයේ දූෂණ පිළිබඳව දැක්විය හැකි කොතෙකුත් නිදර්ශන ඇතත් ජනාධිපතිනිය සඳහා අධි ආරක්ෂිත වාහන මිලදි ගැනීමේ සිද්ධිය රාජ්‍ය මට්ටමෙන් සිදුවන මහා පරිමාණයේ දූෂණවලට ආවේණික හැඩතල විග්‍රහ කිරීම සඳහා යොදාගත හැකි හොඳම නිදර්ශනය ලෙස සැලකිය හැකිය.

2000 වසර සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය වෙනුවෙන් වාහන මිලදි ගැනීම වෙනුවෙන් අය වැයෙන් වෙන්කර තිබුණු මුදල රුපියල් මිලියන 63කි. එම වසරේ පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව ජනාධිපති හා ජනාධිපති ලේකම් කාර්යාලය වෙනුවෙන් වාහන මිලදි ගැනීම වෙනුවෙන් වැය කර තිබෙන මුදල රුපියල් මිලියන 2400කි. පාර්ලිමේන්තුව අනුමත කර තිබූ මුදල හා පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව වැය කර තිබෙන මුදල අතර තිබෙන වෙනස 37 ගුණයකි.

ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන ක්‍රමයක් තුළ පොදු මුදල් වෙන් කිරිම් හා අනුමැතිය දිමේ බලය ඇත්තේ ව්‍යවස්ථාදායකයටය. අය වැයෙන් යම් කාර්යයක් සඳහා වෙන් කරන ලද මුදල් ප්‍රමාණවත් නොවන අවස්ථාවකදි පරිපූරක ඇස්තමේන්තුවක් මගින් අවශ්‍ය අතිරේක මුදල් අනුමත කරගැනීමේ හැකියාවක් පවතී. එහෙත් හැම වෙන්කිරීමක් සඳහාම පාර්ලිමේන්තු අනුමැතිය අත්‍යවශ්‍යය. එහෙත් මෙම වාහන මිලදි ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තු අනුමැතිය තිබූ රුපියල් මිලියන 63 වෙනුවට රුපියල් මිලියන 2400ක් වැය කර ඇත්තේ පාර්ලිමේන්තු අනුමැතියකින් තොරවය. එය මහජනතාවට කර තිබෙන වංචාවක් වනවා පමණක් නොව, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මූලික කොන්දේසියක් උල්ලංඝණය කිරීමක් ද වේ.

මහා භාණ්ඩාගාරයේ කටයුතු භාරව සිටින ප්‍රධාන විධායකයා වන්නේ භාණ්ඩාගාර ලේකම්වරයාය. සියලුම රාජ්‍ය නිලධාරින් අතර ප්‍රමුඛ නිලධාරියා ලෙස සැලකෙන්නේ ද භාණ්ඩාගාර ලේකම්වරයාය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියාත්මක වන මෙම ගනුදෙනුවට අනුමැතිය නොදිම භාණ්ඩාගාර ලේකම්වරයාගේ මූලික වගකීමක් වී තිබුණත්, ඔහු මේ ගනුදෙනුවේදි එය නොසලකා රාජ්‍ය නායිකාව සමග නීතියට පටහැනිව කල්ලි ගැසී ක්‍රියාකර තිබෙන බව පැහැදිලිය.

මේ ගනුදෙනුව තුළ මහ වංචාවක් වෙනුවට වංචා වැලක් සිදුවී ඇති බව ද පැහැදිලිය. මුදල් ගෙවා ඇත්තේ වෙඩි නොවදින අලුත්ම අලුත් බීඑම්ඩබ් වාහන මිලදි ගැනීම සඳහාය. එහෙත් මිලදි ගෙන ඇත්තේ අලුත්ම අලුත් වාහන වෙනුවට ඕස්ට්‍රේලියාවේ මියුනිච් නුවර පැවති ඔලිම්පික් උලෙළ සඳහා පාවිච්චි කළ 1998 නිෂ්පාදනය කළ පරණ වාහනය. වාහන ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ද බී.එම්.ඩබ්. නිපදවන ජර්මනියෙන් නොව, ජකාර්තා වලින් හා හොංකොං වලිනි. වාහන ඇණවුම් කොට ඇත්තේ ද සෘජු ලෙස බීඑම්ඩබ්. සමාගමෙන් නොව අතරමැදි සාමගමක් මගිනි.

රටේ දේශපාලකයන් අතර සිටින ප්‍රමුඛතමයා ලෙස සැලකිය හැකි ජනාධිපතිනිය, රාජ්‍ය නිලධාරීන් අතර සිටින ප්‍රමුඛයා ලෙස සැලකිය හැකි මහා භාණ්ඩාගාර ලේකම්වරයා ද එකට පැටලී සිටින මේ ගනුදෙනුව රාජ්‍ය මට්ටමෙන් සිදුවන දූෂණ පිළිබඳව කේන්ද්‍රීය වැදගත්කමක් ඇති මූලික ප්‍රශ්නයක් මතු කරනු ලබයි. එනම් රාජ්‍ය මට්ටමෙන් සිදුවන දූෂණවලදි වඩා වගකිවයුත්තේ දේශපාලකයා ද නැතිනම් රාජ්‍ය නිලධාරීයාද? රටේ පවතින ජනප්‍රිය මතය අනුව නම් වඩා වගකිව යුත්තේ දේශපාලකයාය. නිලධාරීයාට කළ හැකි දෙයක් නැත. ඔහු සිය පැවැත්ම සඳහා දේශපාලකයාට අවනත විය යුතුය. එහෙත් ඒ ජනප්‍රිය මතය වැරදිය. එහිදි දේශපාලකයාට වඩා වගකිවයුත්තේ රාජ්‍ය නිලධාරීයාය.

ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන ක්‍රමයක් තුළ දේශපාලකයා යනු මහජනයා විසින් ව්‍යවස්ථාදායකයට තෝරාපත් කර ගනු ලැබූ මන්ත්‍රීවරියකු හෝ මන්ත්‍රීවරයෙකු වීමෙන් පසු නිල තනතුරක් ලැබූවකු අදහස් වේ. එහෙත් ඔහුගේ පැවැත්ම තාවකාලිකය. මහජනයා ඔහු තෝරාපත් කර ඇත්තේ සීමිත කාලයකට පමණය. නැවත පත්කිරීමක් සඳහා නැවත මහජන වරමක් දිනාගැනීම අවශ්‍ය වේ. එහෙත් රාජ්‍ය නිලධාරියාගේ තත්ත්වය ඊට වෙනස්ය. ඔහුගේ පත්වීම ස්ථිරය. ඔහු මහජන වරමකින් තේරි පත්වන්නකු නොව, රාජ්‍ය සේවය සඳහා තෝරාපත් කරගනු ලැබූ පුද්ගලයෙකි. ඔහු ස්ථිර වැටුප් ක්‍රමයක් මත රාජ්‍ය සේවයට බඳවා ගෙන ඇත්තේ නීතියට අනුකූලව රාජ්‍ය යන්ත්‍රය පවත්වාගෙන යෑමට අවශ්‍ය රාජ්‍ය සේවකයකු ලෙස සලකාය.

ඕනෑම දේශපාලන ක්‍රමයක කොඳු නාරටිය ලෙස ක්‍රියා කරනුයේ පරිපාලන සේවයේ නියුතු රාජ්‍ය නිලධාරීන්ය. මහජනයා තෝරාපත් කරන දේශපාලකයන් සමග ඔවුන් සහයෝගයෙන් ක්‍රියා කළයුතු බවට සැකයක් තිබිය නොහැකිය. එහෙත් සහයෝගය යන්නෙන් අදහස් වන්නේ දේශපාලකයන්ට පිස්සු නැටීමට ඉඩ හැරිම නොවේ. ඔවුන් දේශපාලකයන්ට නීති විරෝධී ලෙස ක්‍රියාකිරීමට ඉඩ නොදිය යුතුය.

අධි ආරක්ෂිත වාහන ගනුදෙනුවේදි එම ගනුදෙනුවට ආවේණික නීති විරෝධී ස්වභාවය සලකා මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා එම මිලදි ගැනීමට අවශ්‍ය මුදල් අනුමත නොකරන තත්ත්වයකින් ක්‍රියා කළේ නම්, දේශපාලකයාට දැවැන්ත දූෂණයක යෙදිමේ අභිලාෂයක් තිබුණත්, එම ක්‍රියා ප්‍රායෝගික නොවන්නට ඉඩ තිබුණ. භාණ්ඩාගාර ලේකම්වරයා මෙම නීති විරෝධී ගනුදෙනුවේදි ඊට ඉඩ නොදෙන දැඩි පිළිවෙතක පිහිටා ක්‍රියා කළේ නම්, සමහරවිට G.E.C. Alsthom ගනුදෙනුවේදි හිටපු භාණ්ඩාගාර ලේකම් බී.සී. පෙරේරා ජනාධිපතිනියගේ උදහසට ලක්වූවා සේ ම, භාණ්ඩාගාර ලේකම්වරයා ද ඇගේ උදහසට ලක්වන්නට ඉඩ තිබුණා විය හැකිය. එය වෙනම කාරණයකි. රටට විශාල අලාභයක් ඇති කරන නීති විරෝධී ගනුදෙනුවකට ඉඩ නොතබා නීතියට අනුකූලව ක්‍රියා කරන තත්ත්වයක් ඉදිරියේ රාජ්‍ය නිලධාරීයා දේශපාලකයාගේ උදහසට ලක්වන අවස්ථාවකදි රාජ්‍ය නිලධාරියට සිය ආරක්ෂාව සඳහා ගතහැකි විකල්ප ක්‍රියා ගණනාවක් පවතී. ඔහුට අවශ්‍ය නම්, සිය ආරක්ෂාව සඳහා අධිකරණය ඉදිරියට යා හැකිය. තිබෙන එම විකල්පය දූෂ්කර විය හැකි වුවත්, එවැනි පිළිවෙතක් අනුගමනය කරනවා හැර රටට බලවත් පාඩුවක් ඇති කරන ගනුදෙනුවකට ඉඩ දෙන පිළිවෙතක් අනුගමනය කිරිමේ අයිතියක් රාජ්‍ය නිලධාරීයාට නැත. දේශපාලකයින් බාධාවකින් තොරව වැරදි කරන්නේ රාජ්‍ය නිලධාරීන් ඊට එරෙහිව තමන්ගේ මට්ටමෙන් ක්‍රියා නොකරන නිසාය. කෙනෙකු එසේ කරන්නේ ජීවිත බිය නිසා විය හැකිය. එහෙත් බොහෝ අය එසේ කරන්නේ ජීවිත බිය නිසා නොව ඒ මගින් ලැබිය හැකි වාසි සලකාය.

මෙය හිටපු භාණ්ඩාගාර ලේකම්වරයාට පමණක් ආවේණික දුර්වලතාවක් නොව, ආණ්ඩුවේ ප්‍රමුඛ තනතුරු දරන ප්‍රධාන පෙළේ සියලු රාජ්‍ය නිලධාරීන්ට ද ආවේණික පොදු දුර්වලතාවකි.

ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන ක්‍රමයක් තුළ රාජ්‍ය අංශවල සිදුවන ගනුදෙනු හා ක්‍රියාකාරකම් සොයා බැලීමේ ප්‍රධාන වගකීම පැවරි ඇත්තේ විගණකාධිපතිවරයාටය. ඔහු රාජ්‍ය නිලධාරීන් අතර සිටින ප්‍රමුඛම නිලධාරීයෙකි.

රාජ්‍ය ආයතනවල එදිනෙදා ක්‍රියාකාරිත්වය පමණක් නොව, රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයට විකුණන ක්‍රියාවලියේදි ඊට අදාළව සිදුවන කටයුතු මහජනයාට පාඩුවක් සිදු නොවන ආකාරයට හා නීතියට අනුකූලව සිදුවේ දැයි සොයා බැලීමේ ප්‍රධාන වගකීම ඇත්තේ විගණකාධි පතිවරයාටය. එහෙත් ඔහු එහිදි පොදු දේපළ ආරක්ෂා කරන ප්‍රධාන මුරබල්ලා ලෙස ක්‍රියා කරනු වෙනුවට දේශපාලකයන්ගේ සතුටට හේතුවනු මට සිළුටු ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින බව දැකිය හැකිය.

ජනාධිපති අරමුදල විශාල මහජන මුදල් ප්‍රමාණයකින් ඒකරාශි වී තිබෙන අරමුදලකි. ප්‍රධාන කොට එම අරමුදල ජනාධිපතිනියගේ පාලනය යටතේ පවත්නා අරමුදලක් වීම හේතු කොටගෙන විගණකාධිපතිවරයා එය විගණනය නොකොට ජනාධිපතිනියට කැමති පෞද්ගලික විගණක ආයතනයකට විගණනය කරගැනීමට ඉඩදි බලා සිටින පිළිවෙතක් අනුගමනය කළේය. විගණකාධිපති වරයාට ඔහුගේ කටයුතු මනා ලෙස කරගෙන යෑමට අවශ්‍ය තරම් අරමුදල් හෝ මිනිස් සම්පත් නොතිබෙනවා විය හැකිය. ඒ ඉලක්කය සපුරා ගැනීම සඳහා ක්‍රියා කරන අතර, එය ඉටුවන තෙක් තිබෙන සීමිත සම්පත් උපරිම ලෙස යොදාගනිමින් තමන් යටතට වැටෙන ආයතන අතරින් කේන්ද්‍රීය වැදගත්කමක් ඇති ආයතනවල කටයුතු හොඳින් සොයා බලන ප්‍රතිපත්තියක් පවත්වාගෙන යා යුතුව තිබුණ. පරිමාව අනුව විශාල දූෂණ වැඩියෙන්ම සිදුවන්නේ රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයට විකුණන ක්‍රියාවලියේදිය. එහෙත් ඒ ක්‍රියාවලියට විගණකාධි පතිවරයා මැදිහත්වනවා දකින්නට දේශපාලකයන් තුළ ඇති අකමැත්තට ඉඩ දි ඔහු එම ක්‍රියාවලියෙන් පිටස්තරව පැත්තකට වී බලා සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. ඊටත් අතිරේකව රාජ්‍ය ආයතනයක කිසියම් කොටස් ප්‍රමාණයක් පෞද්ගලික අංශයට විකුණා තවත් කොටස් ප්‍රමාණයක් රාජ්‍ය සතුවන අවස්ථාවලදි මහජනයා වෙනුවෙන් එවැනි ආයතනවල කටයුතු සොයා බැලීමේ වගකීමක් විගණකාධිපතිවරයාට තිබුණ ද, එවැනි ආයතනවල කටයුතු සිදුවන්නේ ද විගණකාධිපතිවරයාගේ අධීක්ෂණයකින් තොරවය. එවැනි ආයතනවලින් විගණකාධිපතිවරයා පිටස්තර කොට තැබීම පිණිස නීතිපතිවරයෙක් (සරත් නන්ද සිල්වා) ඒ සඳහා විශේෂ අර්ථ නිරූපණයක් කර තිබුණි. රාජ්‍ය ආයතනයක කිසියම් කොටස් ප්‍රමාණයක් පෞද්ගලික අංශයට විකුණා රාජ්‍ය සතු කොටස් අයිතිය සමග නව සමාගමක් ඇති කෙරෙන අවස්ථාවක එම සමාගම රාජ්‍ය ආයතනයක් ලෙස සැලකිය නොහැකි බැවින් එවැනි ආයතනවල කටයුතුවලට මැදිහත්වීමේ අයිතියක් විගණකාධිපති සතු නොවන බව එම අර්ථ නිරූපණයෙන් ප්‍රකාශ කොට තිබුණි. නීතිපතිගේ මෙම අර්ථ නිරූපණය වංචාවක් බව විගණකාධිපති දැන සිටියත්, ඔහු ඊට අභියෝග කිරිමෙන් වැළකී සිටීමෙන් නොනැවතී එවැනි ආයතන ගැන කරුණු සොයා බැලීමෙන් වැළකී සිටින ප්‍රතිපත්තියක් ද අනුගමනය කළේය.

හිටපු ඇමති මංගල සමරවීර මහතාගේ කේ‍රඩිට් කාඩ් ගනුදෙනුව පිළිබඳව අල්ලස් හෝ දූෂණ කොමිසම කරන ලැබූ අර්ථ නිරූපණය විගණකාධිපතිවරයා උරගා බැලීමකට ලක් කළ වැදගත් අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. ඇමතිවරයෙකුට විදේශීය සංචාරයකදි මුදල් ලබාගත හැකි විධිමත් ක්‍රමයක් පවතී. ඇමතිවරුන්ගේ විදේශීය සංචාර සඳහා අමාත්‍යාංශ වැය ශීර්ෂ යටතේ මුදල් වෙන් කිරීමක් සිදු කරනු ලබයි. එසේ වෙන් කරන මුදල් ප්‍රමාණවත් නොවන අවස්ථා ඇතොත්, පරිපූරක ඇස්තමේන්තුවක් මගින් තවදුරටත් අතිරේක මුදල් අනුමත කරවාගත හැකිය. ඒ හැරුණු විට එම අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවලින් මුදල් ලබාගැනීම නීති විරෝධීය.

මේ සිද්ධියේදි ඇමතිවරයා අමාත්‍යාංශය සඳහා වෙන් කළ ප්‍රතිපාදනවලින් මුදල් ලබාගන්නවාට අමතරව රජයට වැඩි කොටස් අයිතියක් තිබූ ටෙලිකොම් සමාගමෙන් ද මුදල් ලබාගත්තේය. ලබාගත් කේ‍රඩිට් කාඩ් පතෙන් ඔහු ඔඩෙල් සමාගමෙන් ඇර්ම් පමණක් නොව තවත් ආයතනයකින් විස්කි ද මිලදි ගත්තේය. එහෙත් අල්ලස් හෝ දූෂණ කොමිසම කියන්නේ ඒ ගනුදෙනු කිසිවක් නීති විරෝධී නොවන බවත්, දූෂණ ගණයට නොවැටෙන බවත්ය. මෙය පිළිගත් රාජ්‍ය ප්‍රතිපත්ති කණපිට හරවන අර්ථ නිරූපණයකි. මේ විෂය භාර ප්‍රධාන පුද්ගලයා වශයෙන් මෙම අර්ථ නිරූපණයට අභියෝගය කළයුතු ප්‍රධාන පුද්ගලයා වන්නේ විගණකාධිපතිවරයාය. එම අර්ථ නිරූපණය ඔහුගේ කටයුතු සඳහා ද බලපාන නිසාය. එහෙත් විගණකාධිපතිවරයා මෙම අර්ථ නිරූපණයට අභියෝග කරන තැනකට ගියේ නැත.

මේ මූලික වැරැද්ද දැකිය හැක්කේ මහා භාණ්ඩාගාර ලේකම්, විගණකාධිපති වැනි තනතුරුවල පමණක් නොවේ. නීතිපති, මැතිවරණ කොමසාරිස්, මහ බැංකු අධිපති, විශ්ව විද්‍යාල උපකුලපති, පොලිස්පති, හමුදාපති, අමාත්‍යාංශ ලේකම්වරුන් වැනි බලවත් තනතුරු තුළ ද දැකිය හැකිය. මේ තනතුරු දරන්නෝ දේශපාලකයන්ට කැමති ලෙස මිස, ස්වාධීනව නීතිය අකුරටම ක්‍රියාත්මක කරන තත්ත්වයකින් ක්‍රියා නොකරති. රට අභ්‍යන්තරයේ ඇතිවී තිබෙන කුණුවීම කෙරෙහි බලපා තිබෙන ප්‍රධාන සාධකය වී ඇත්තේ ද එයයි.

එම ධර්මතාව වෙනස් කළ හැකිවනු ඇත්තේ නීතියට පටහැනිව දේශපාලනඥයන් සමග කල්ලි ගැසී ක්‍රියාකරන ප්‍රධාන පෙළේ නිලධාරීන් කිහිපදෙනෙකු සමග ප්‍රධාන පෙළේ දේශපාලකයන් කිහිපදෙනෙකු නඩු අසා දඬුවම් කොට හිරේ යවන තත්ත්වයක් ඇති කිරිමෙන් පමණය. දූෂණයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන තත්ත්වයක් මේ රටේ ද ඇතිවීම ආරම්භ වනු ඇත්තේ එදාටය. දේශපාලකයින්ට යටහත් පහත් ලෙස ක්‍රියා නොකරන, පිටකොන්ද ඇති නිලධර තන්ත්‍රයක් ඇතිවීමේ ක්‍රියාවලිය ආරම්භ වනු ඇත්තේ ද එතැනිනි.