කොටි සංවිධානයට එරෙහි ව පනවා තිබෙන තහනම ඉවත් කරනවාට ඇතැම් සංවිධානවලින් විරෝධය පැන නැගී ඇතත් ආරම්භ කර තිබෙන සාම ක්රියාදාමය තවදුරටත් ඉදිරියට ගෙන යාමට අත්යවශ්ය කොන්දේසියක් ලෙස සලකා ආණ්ඩුව එම තහනම ඉවත් කිරීමට තීරණය කිරීම යහපත් ඉදිරි පියවරක් ලෙස සැලකිය හැකි ය.
කොටි සංවිධානය තහනම් කරන ලද්දේ ඔවුන් ගෙන් එල්ල වෙමින් තිබූ තර්ජන සලකා නොව දළදා මාළිගාවට එල්ල කෙරුණු ප්රහාරය සලකා ජනතාව සංතෝෂ කරන මාර්ගයක් වශයෙනි. තහනමක් නොතිබිය දි ඔවුන් ඉතාමත් බරපතල දේවල් සිදුකළා සේ ම තහනමක් පැනවීමෙන් පසුත් බරපතල දේවල් සිදු කළේ ය. ඔවුන් මේ රටේ සිදුකළ කිසිම බරපතල ක්රියාවක් සඳහා තහනමක් නැතිකම හෝ තහනමක් තිබීම බලපෑවේ නැත.
නොයෙකුත් වාද විවාද තිබියදිත් මෙවර ඇතිකරගෙන තිබෙන එකගතා ගිවිසුම මට සිලූටු ආකාරයකින් ඉදිරියට යමින් තිබෙන බව ද දැකිය හැකි ය. වාද විවාද හැර තවමත් කිසි ම බරපතල ක්රියාවක් සිදු වී නැත. සාම වැඩපිළිවෙළට විරුද්ධව උද්ඝෝෂණ ව්යාපාර ඇතත් ඒවා ද සාම වැඩපිළිවෙළ ආපස්සට හැරවීමට හේතුවන තරම් බලවත් තත්ත්වයක නොපවතී. ඉන් පෙන්නුම් කෙරෙන්නේ සාමකාමී විසඳුමක් ඇති කරගන්නවාට පොදු මහජනතාව අතර ද බලවත් කැමැත්තක් තිබෙන බව ය.
අතීතයේ දි දෙපාර්ශ්වය අතින් ම බරපතල වැරදි සිදු වී තිබේ. එකිනෙකාට එරෙහිව එල්ල කළ හැකි චෝදනා අපමණ ය. පොදු එකගතාවක් ඇතිකරගැනීම රටේ පොදු යහපත පිණිස වේ නම් අතීතයට ආවේණික අමිහිරී අත්දැකීම් නොසලකා නිර්භීත ව ඉදිරියට යාමේ ධෛර්යය දෙපාර්ශ්වයටම තිබිය යුතු ය. ඉදිරියේ තිබෙන ගැටලු අති සරල නැත. ඒවා ඉතාමත් සංකීර්ණ ය. ඒ නිසා ම එම සංකීර්ණ ගැටලු විසඳ ගැනීම සඳහා දෙපාර්ශ්වයේ ම ගෞරවයට හේතුවන ඉදිරි දර්ශනයක් ද, එම ඉදිරි දර්ශනය වෙනුවෙන් ඇප කැප වීමක් ද අත්යවශ්ය දෙයකි.