අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින්, හිටපු ප්රබල ඇමතිවරයෙකුට අයත් පෞද්ගලික බැංකුවක පවත්වාගෙන ගිය සේප්පුවක් පරික්ෂා කිරිමේදි භාණ්ඩාගාර බිල්පත් මිලදි ගත් රුපියල් කෝටි 05ක් වටිනා තැන්පතු සහතික සොයා ගැනීමට සමත් විය. එහිදි පරීක්ෂාවට ලක්වූයේ එම දේශපාලකයා පවත්වාගෙන ගිය එක් සේප්පුවක් පමණ ය. තිබෙන තොරතුරු අනුව මේ දේශපාලකයා භාණ්ඩාගාර සුරැකුම් පත්වල පමණක් ආයෝජනය කර ඇති ධනස්කන්ධයේ ප්රමාණය රුපියල් බිලියනයකි.
මීට පෙර ද වැඩි ප්රසිද්ධියකින් තොරව භාණ්ඩාගාර සුරැකුම්පත්වල ආයෝජනය කර තිබී ඇති රුපියල් මිලියන 450ක් පිළිබඳව පරික්ෂණයක් පැවැත්වූයේ ය. තිබෙන තොරතුරු අනුව ඒ පිටුපස සිටි නියම ආයෝජකයා හමුදා අංශයක හිටපු ප්රධානියෙකි.
ශ්රී ලංකාවේ රබර් නිෂ්පාදන හා අපනයන සමාගමේ ව්යාපෘතියක් සඳහා ජනාධිපතිනිය විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයක් මත වෙන් කර ඇති රුපියල් කෝටි 54ක මුදලකට කුමක් සිදුවීද යන ප්රශ්නය ද දෑන් සාකච්ඡාවට ලක්වෙමින් පවතී. ඒ ගැන ජනාධිපතිනියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්රශ්න කරන්නට යන බවට පුවත්පත්වල පළවූ වාර්තා ගැන ජනාධිපතිනියගේ මාධ්ය ප්රකාශකයා නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ රාජ්ය නායිකාවට අදාළව පළකර තිබූ එම අපහාසාත්මක ප්රචාර ගැන පුදුම වන බවය. මීට පෙර අධි ආරක්ෂිත වාහන ආශ්රයෙන් මතුවී තිබුණු ඒ හා සමාන ප්රශ්නයක් පිළිබඳව ද ජනාධිපතිනිය ප්රකාශ කර තිබුණේ තමන් ඒ ප්රශ්නයට පිළිතුරු දි ඇති බැවින් තවදුරටත් ඒ ගැන කිසිදු පරික්ෂණයක් කිරිමේ අයිතියක් කිසිවකුටත් නැති බව ය.
මේ සියල්ලේ තේරුම රාජ්ය බලය ලැබෙන අයට තමන් කැමති කැමති ලෙස රට කොල්ලකෑමේ අයිතියක් තිබෙන බව ද? මුක්තිය යටතේ එවැනි කිසිදු වරදක් පරීක්ෂා කිරිමේ අයිතියක් නැති බව ද?
රබර් ව්යාපෘතියට අදාළ ගනුදෙනුවට සම්බන්ධ සභාපතිවරයා ජනාධිපතිනියගේ සමීප සගයෙකි. 1994 ජනාධිපතිවරණයට නාමයෝජනා දෙන අවස්ථාවට ජනාධිපතිනිය හා ජනාධිපති නීතිඥ එච්.එල්. ද සිල්වා මහතා සමග සහභාගි වූ ඊළග පුද්ගලයා වූයේ එම සභාපතිවරයා ය.
රට පාලනය කළ පුද්ගලයන් කණ්ඩායම රාජ්ය බලයට මුවාවී රට හප කරන පිළිවෙතක් අනුගමනය කර ඇති බව පැහැදිලි ය. එම විනාශකාරි ප්රතිපත්තියට එරෙහිව මේ ආණ්ඩුව දැඩි පිළිවෙතක් අනුගමනය නොකරන්නේ නම් මෙය මහජනයා තේරුම්ගත යුතුව ඇත්තේ සියලු දේවල් තමන්ටද කරන්නට අවස්ථාවක් ලබාගැනීම පිණිස එසේ කරන බව ය. මේ ආකාරයෙන් මේ රටට එක අඩියක්වත් ඉදිරියට යාමේ හැකියාවක් නැත. අන් සියලු දේට ප්රථම රාජ්ය පාලනයට සම්බන්ධ ප්රධාන පෙළේ දේශපාලකයන්ට හා රාජ්ය නිලධාරින්ට රට කොල්ලකෑමට ඉඩක් නැති පරිසරයක් ඇති කළ යුතු ය. එවැනි පරිසරයක් ඇතිවීම ආරම්භ වනු ඇත්තේ මහා පරිමාණයෙන් රට කොල්ලකෑම පිළිබඳව කිහිපදෙනෙකුට එරෙහිව හෝ නීතිය අකුරටම ක්රියාත්මක කරවන පිළිවෙතක් අනුගමනය කිරිමෙන් පමණය.