සිද්ධි අංක 01
ෂේප් කරලා දෙන්න
දිනය මතක නැත. සති හයකට පමණ ඉහත. මා හොඳින් දන්නා හඳුනන මිත්රයෙක් විදේශ රටක සිට දුරකතනයෙන් මා අමතා කතා කළේය.
“………..මම පෙරේදා………….(ට) (ඔහු ඒ අවස්ථාවේ සිටි රටේ නම සඳහන් කළේය.) ආවා. මම එයාර්පෝට් එන දවසේ……….(ඔහු අපි දෙදෙනාම හොඳින් දන්නා හඳුනන පොදු පෙරමුණු ආණ්ඩුවේ හිටපු ඇමතිවරයෙකුගේ නම සඳහන් කළේය.) අපේ ගෙදර ආවා. එයා මාත් එක්ක සී.ජේ.ගෙ ප්රශ්නෙ කතා කළා. පොඩි පොඩි අඩුපාඩුකම් තිබුණත්, ඕන දෙයක් කරගන්න පුලූවන් වර්ගයේ හොඳ මිනිහෙක් කියලත් කිව්වා. කොහොම හරි ඒ ප්රශ්නෙදි ඔයාව ෂේප් කරලා දෙන්න කියලා කිව්වා….”
“ඉතින් ඔයා හා කිව්වද?”
“නෑ…..නෑ… මට සී.ජේ.ගේ ප්රශ්නෙ ගැන කිසිම ඉන්ටරස්ට් එකක් තිබුණේ නැහැ නේ. ඒකෙදි මම ඔයාට උදව් කළෙත් නැහැ. එයාට උදව් කළෙත් නැහැ. නමුත් ඔයා සී.ජේ.ගෙ ප්රශ්නෙදි ෆයිට් කළේ ප්රින්සිපල් එකක් මත බවත් මම එයාට කිව්වා. එච්චර ලොකු රිස්ක් එකක් අරගෙන ෆයිට් කරපු මිනිහෙක් මම හරි ඔයා හරි කිව්වයි කියලා වැඩේ අත්හරියි කියලා ඔයා හිතනවාද කියලත් මම ඇහැව්වා. නමුත් එයා දිගින් දිගටම කියන්න පටන් ගත්තා ඔයාට පුලූවන් එයාව ෂේප් කරලා දෙන්න. ඒක කරලා දෙන්න කියලා. මාව සී.ජේ. ගාවට එක්කරගෙන යන්නත් එයා පොරොන්දු වුණා. මම කිව්වා මට සී.ජේ. කෙනෙකුගෙන් වැඩක් නැහැ. මම නඩු කියන මිනිහෙක් නෙමෙයි. මට බැහැ මේක වික්ටර්ට කතා කරන්න. එයාත් ඔයාගෙ යාලුවා. මාව පැත්තක තියලා ඔයාට ඕනනම් කතා කරන්න කියලා.”
ඉන් සති දෙකකට පමණ පසුව ඔහු නැවත මට කතා කළේය.
දීමෑන් ආපහු කතා කළා”
“මොකක් ගැනද?”
“ආපහු සී.ජේ.ගෙ ඉෂූ එක ගැන.”
“දැන් මොනවද කියන්නේ…….”
“ප්රශ්නෙකට තියෙන්නේ ඔයා විතරයිලු. කොහොම හරී ෂේප් කරලා දෙන්නලූ. චන්ද්රිකා එලවන ගේම් එකටත් එයා උදව් කරයිලු.”
“ඉතින්”
”මම ආයිපාරක් එයාට හොඳටම දොස් කිව්වා. මේ ගැන ඔයාට කියන බවත් කිව්වා. ඕන නම් එයාට ෆෝන් කරලා අහන්න.”
සිද්ධි අංක 02
හොඳම යාලුවෙක්
මෙහි විස්තර කරන කථාව අසන්නට ලැබුණේ මාස හයකට පමණ ඉහතදි නීතිඥ මහතෙකුගේ නිවසේදිය. මා එම නිවසට යන අවස්ථාවේදි මහත් ආන්දෝලනයකට තුඩු දුන් සිද්ධියකට සම්බන්ධ විනිශ්චයකාරවරයෙකු ද එහි සිටියේය.
අපි අධිකරණයේ අභ්යන්තරයේ පවතින තත්ත්වය ගැන සැහැල්ලු කතාබහක යෙදුණෙමු. විනිශ්චයකාරවරයා මගේ ප්රසිද්ධ විවේචනයට හේතුවූ දිසා විනිසුරුවරයෙකු පිළිබඳ තමා දන්නා තොරතුරක් මට හෙළිදරව් කළේය.
“එයා කාලයක් මගෙත් හොඳම යාලුවෙක්. අපි දෙන්නා හිටියේ ළග ළග ගෙවල් දෙකක. දවසක් මම එයාගෙ ගෙදරට යනකොට ගෙදර ලොකු රණ්ඩුවක්. එයාගෙ නෝනා වැඩකාර ගැහැනියගෙන් අහනවා උඹේ බඩේ ඉන්න ළමයගෙ තාත්තා කව්ද කියලා. අර ගෑනි බයෙන් බයෙන් මගේ යාලුවට ඇගිල්ල දික් කරලා කියල කිව්වා අර මහත්තයාගෙ කියලා.
අන්තිමට මේ අවුල බේරුමක් කරලා දෙන්න මට මැදිහත්වෙන්න සිද්ධ වුණා. මම ඒ ගෑනු ළමයයි, මගේ යාලුවයි දෙන්නම මගේ කාරකේ දාගෙන මම දන්න කළුතර දොස්තර මහත්තයෙක් ගාවට එක්කරගෙන ගියා. එයා බලලා කිව්වා කාලෙ පැනලා මට අතගහන්න බැහැ කියලා. කොහොම වුණත් වෙනත් දවසක එයා කොල්ලුපිටියේ තැනකට ගිහින් වැඩේ කරගෙන තිබුණා.”
මෙම විස්තරය කියන ලද පුද්ගලයා විනිසුරුවරයෙකු වීම නිසා, අසන්නට ලැබුණු සිද්ධිය පිළිබඳවත්, එහිදි එම විනිසුරුවරයා රගපා තිබූ භූමිකාව පිළිබඳවත් මා තුළ ඇතිවූ හැගීම් පළකිරිමෙන් වැළකී සිටියෙමි.
සිද්ධි අංක 03
බාරගත්තු ඩියුටියක්
මෙම දුරකතන සංවාදයට ඇහුම්කන් දෙන්නට ලැබුණේ පසුගිය සෙනසුරාදාය. දුරකතනයෙන් කතා කළේ පුවත්පතක සේවය කරන ජේයෂ්ඨ මාධ්යවේදියෙකි.
“අයියා ජී.එල්.ගේ බර්ත් ඩේ පාටි එකට ගියාද?” ඔහු ප්රශ්න කළේය. මම ඊට සහභාගී වූ බව ප්රකාශ කළෙමි.
“අයියා වරදවා තේරුම් ගන්න එපා……(හිස්තැනට සම්මානලාභී මාධ්යවේදියෙකුගේ නම එකතුවිය යුතුය.) අපේ ඔෆීස් එකේ කිය කිය යනවා ජී.එල්.ගේ පාටි එකේදි ප්රයිමිනිස්ටර් අයියාට කිව්වයි කියලා සී.ජේ.ව ඉම්පීච් නොකරන්න ආණ්ඩුව තීන්දු කරලා තියෙනවා කියලා. ප්රයිමිනිස්ටර් අයියාට එහෙම දෙයක් කිව්වද?”
“එදා ප්රයිමිනිස්ටර් හම්බ වුණා කියන එක නම් ඇත්ත. ඒත් එහෙම කතාවක් නම් මාත් එක්ක කිව්වෙ නැහැ.”
“ඇයි එහෙම නම් මේ මිනිහා අයියාගෙ නමත් සම්බන්ධ කරලා මෙහෙම කතාවක් තැන තැන කිය කිය යන්නේ…”
“ඒක එයා බාරගත්ත ඩියුටියක් වෙන්න ඇති”
මේ සම්මානලාභී ජනමාධ්යවේදියා සී.ජේ. සමග පමණක් නොව, ලෙනින් රත්නායක සමගත් කිරි පැණි තරමටම යාලුය. ඒ දෙදෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් පුවත් නිර්මාණය කරන ෆැක්ටරිය ලෙස ක්රියා කළේ මෙම ජනමාධ්යවේදියාය. ඔහුගේම සහෝදර ජනමාධ්යවේදින් කියන ආකාරයට ඔහුගේ විවාහ මංගල්යයට එක් සාක්ෂිකරුවකු ලෙස අත්සන් කළේ ද සී.ජේ. ය.
සිද්ධි අංක 04
දෙන්නගෙ වෙනස
දිනය මතක නැත. සති හත අටකට පෙර විය හැකිය. අපි මිතුරන් පිරිසක් එකට එකතු වී රටේ තොරතුරු කතාකරමින් රාත්රී ආහාර ගනිමින් සිටියෙමු. ප්රමාද වී පැමිණ තවත් මිතුරෙකු නීතිපති දෙපාර්තමේන්තුවේ සගයකු සමග අපට එකතු විය.
එහිදි කෙරෙන කතාබහ අධිකරණය දක්වාම ඇදි ගියේය. නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කළ උගත් මිත්රයා මා දෙස බලා මෙසේ කීවේය.
“ඔයාට නම් අපේ ලොක්කත් එක්ක පෞද්ගලික තරහක් තියෙනවානේ.”
“පෞද්ගලික තරහක් නැහැ. ඒත් අපි දෙන්නා අතර වෙනසක් තියෙනවා.” මම ඊට පිළිතුරු දුන්නෙමි..
ඉන්පසු මම ඒ වෙනස පැහැදිලි කරන්නට උත්සාහ කළෙමි.
“පූජාසනයක් මත අසූචි ගොඩක් තියෙනවා. බොහෝ අය එය අසූචි ගොඩක් බව දැන දැන ඉන් හමන ගඳ නොසලකා ඊට පූජෝපහාර දක්වනවා. ඒත් එය අසූචි ගොඩක් බව මට පෙනෙනවා. මගේ නහයට ඉන් හමන ගඳ දැනෙනවා. ඔයාටත් ඒක අසූචි ගොඩක් බව පෙනෙනවා. ඔයාගේ නහයටත් ඒකෙ ගඳ දැනෙනවා. මම අසූචි ගොඩකට පූජෝපහාර දක්වන්නෙ නැහැ. මම අනිත් අයට පේන්න නහය වහගන්නවා. ඒත් ඔයා අසූචි ගොඩක් බව දැන දැනම ඊට පූජෝපහාර දක්වනවා. ඒකෙන් හමන අප්රසන්න ගඳ ඔයාගෙ නහයට දැනි දැනිත් ඒක අතිවිශේෂ සුවඳක් විදියට ඔයා ඒක ආඝ්රාණය කරනවා.” ඒකයි අපි දෙන්නා අතර තියෙන වෙනස…”
සිද්ධි අංක 05
ස්ථාවරය වෙනස් වෙලා
සමාජ උත්සවයකදි මට විනිසුරුවරයෙකු හමුවිය. එහිදි මා සමග කෙරුණ කතාබහකදි ඔහු විනිසුරුවරු කණ්ඩායමක් සමග අධිකරණ ඇමති විජමු ලොකු බණ්ඩාර මහතා හමුවන්නට ගිය ගමනක් ගැන මට කීවේය.
“අපි ගියේ අපේ ප්රශ්න කතා කරන්න. ඒ කාලෙ වුණ අප්රසන්න දේවල් දිහා අපි නිශ්ශබ්දව බලාගෙන හිටපු වෙලාවක අපිට කතා කරලා ලොක්කා ගැන අපි දන්නා දේවල් ගැන දිවුරුම් පෙත්සමක් ගෙන්න ගත්තේ එයා. එයා ඉල්ලපු නිසා අපි දිවුරුම් පෙත්සම් දුන්නා. ඒ නිසා අපි කෙළවරක් නැතිතරම් පළිගැනීම්වලට මුහුණ දුන්නා. දැන් මොනවද වෙන්න යන්නෙ කියලා අපි විජයමුගෙන් ඇහැව්වා.
“දැන් ජේ.වී.පී. එක වැඩෙන් කර අරිනවා. ඒ නිසා සී.ජේ. ඉම්පීච් කරන්න අපට බැහැ. දැන් අපිත් චන්ද්රිකා නෝනා කළා වගේ එයාගෙන් උපරිම ලෙස වැඩ ගන්නයි අදහස් කරන්නේ කියලා” එයා අපට කිව්වා.
“ඒ කතාවට පස්සෙ දවසක මට මගුල් ගෙදරකදි ජේවීපී නායකයෙක් හමුවුණා. (ඔහු ඒ පුද්ගලයාගේ නම සඳහන් කළේය.) විජමු කියපු කතාව මම එයාට කියල ඇහැව්වා සී.ජේ. පිළිබඳ තමුන්නාන්සේලාගේ ස්ථාවරය වෙනස් වෙලා ද කියලා.
“එයා විජමුට කෝපයෙන් බැණ වැදුණා. විජමුගෙ ස්ථාවරය නම් වෙනස් වෙලා ඇති. නමුත් අපේ ස්ථාවරය නම් වෙනස් වෙලා නෑ කියල.”
සිද්ධි අංක 06
පැමිණිලි කරන්න බැහැ
මාගේ කාර්යාලයට පැමිණි අමුත්තෙක් තමා කව්දැයි මට හඳුන්වාදි ලොකු කතාවකට මුල පිරුවේය. ඔහු අධිකරණයට සම්බන්ධ ආයතනයක ලොකු නිලධාරියෙකි. විනිශ්චයකාරවරයෙකු නොවේ.
ඔහු කතා කළේ ව්යවස්ථා සභාවට පත්වී සිටින විශ්රාම ගිය ශ්රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයෙකු ගැනය.
“තමන් ලියන නඩු තීන්දුවල රහස්යභාවය ආරක්ෂා කරගත යුතුයි කියන තර්කය මත එයා තමන්ගේ දුව පෞද්ගලික ලේකම් කරගත්තා. නමුත් දූ කවදාවත් වැඩට ආවේ නැහැ. එයා හැමදාමත් දකුණු අතින් අත්සන් කරලා තමන්ගෙ පඩිය ගන්න කොට, වම් අතින් දූගේ අත්සන ගහලා දූගේ පඩිය ගත්තා. සරල පරික්ෂණයකින් වුවත්, ඒ ඉතා පහත් විදියේ වංචාවක නිරත වුණා කියලා හොයාගන්න පුලුවන්.
“දැන් ඒ පුද්ගලයා ව්යවස්ථා සභාවට පත් කළා. රාජ්ය ආයතනවල ලොකු තනතුරුවලට පත් කරන අය හයි පෝස්ට් කොමිටියට ගෙන්වනවා. ව්යවස්ථා සභාවට පත් කරන අයත් එතැනට ගෙන්වනවාද?” ඔහු මගෙන් ප්රශ්න කළේය.
“මම හිතන්නෙ නැහැ. ඒ කොන්දේසිය ඒ ගොල්ලන්ට අදාළයි කියලා”.
මම එසේ කියමින් ඔවුන් හයි පෝස්ට් කොමිටියට ගෙන්වන්නේ නම් එම පුද්ගලයාට එරෙහිව ඔහු පැමිණිලි කරන්නේදැයි පෙරළා ප්රශ්න කළෙමි.
“නෑ. මට පැමිණිලි කරන්න බැහැ. මම සියලු විස්තර දෙන්නම්. ඔබතුමා ඒ පැමිණිල්ල කරන්න.”
සිද්ධි අංක 07
වැඩේ අකුරට ම
මම පෙර අසා තිබුණු අධිකරණයට සම්බන්ධ අපූරු සිද්ධියක් ඒ සිද්ධිය පිළිබඳව වඩා හොඳින් තොරතුරු දන්නා පුද්ගලයෙකු මට රසකර කර විස්තර කළේය. එම සිද්ධියම ඊට පෙර ම, ජනාධිපති ධුරයට එන්නට පෙර චන්ද්රිකා කුමාරතුංග මහත්මියගෙන් ද අසා තිබුණේය.
ජේ.ආර්. ජයවර්ධනගේ පාලන කාලයේ බණ්ඩාරනායක මැතිනිය ශ්රීලනිපයේ නම හා පක්ෂ මූලස්ථානයට සම්බන්ධ නඩුවකට පැටලී සිටියේය.
විනිශ්චයකාරවරයා පගාවට බර පුද්ගලයෙකු නිසා නඩුවෙන් නියත ජයග්රහණයක් ලබාගැනීම සඳහා නඩුකාරවරයාට පගාවක් දිම අත්යවශ්ය බව උපදේශකයකු විසින් බණ්ඩාරනායක මැතිනියට අවධාරණය කළේය. මේ ආරාවුලේදි චන්ද්රිකා, විජය, ඔසී වැනි අය සිටියේ ද මැතිනිය සමගය. ඔවුන් ද මේ පගා කතාවට සම්බන්ධ වැදගත් චරිත ලෙස ක්රියා කළේය. නඩුකාරයාට රුපියල් පනස්දාහක පගාවක් දිමට (රුපියල් පනස්දාහයක් යනු ඒ කාලේ ලොකු මුදලකි.) බණ්ඩාරනායක මැතිනිය ඇතුළු ඒ සියලුදෙනා හිත හදා ගත්ත ද, නඩුකාරයාට ඒ පගාව දිමට තෝරාගත් අතරමැදියා හරියටම ඒ දේ කරන්නේ ද නැතිනම් ඔහු ඒ මුදල තමාගේ සාක්කුවට දාගනු ඇත්තේදැයි සැක හැර දෑනගැනීමට බණ්ඩාරනායක මැතිනියට අවශ්ය විය. ඒ සඳහා ඇය අතරමැදියා සමග ඒ ගමන යාමට විශේෂ පුද්ගලයන් දෙදෙනෙකු තෝරා ගත්තාය. අතරමැදියා සමග මේ ගමනට සහභාගි වී පගාව දිමේ ක්රියාවලිය හරියටම සිදුවන්නේ දැයි බණ්ඩාරනායක මැතිනියට වාර්තා කිරීම ඔවුන් වෙත පැවරුණු වගකීම විය. වැඩේ අකුරටම සිදුවූ බව ඒ අතරමැදියන් දෙදෙනා බණ්ඩාරනායක මැතිනියට ද, ඇගේ දුව හා බෑණාට ද වාර්තා කළහ.
සිද්ධි අංක 08
ඔබ හරී මම වැරදි
නඩුවක පැටලී සිටි තමාගේ බිරිඳ එම නඩුව ඇසූ මහේස්ත්රාත්වරයා (ලෙනින් රත්නායක) විසින් දූෂණය කිරිමේ සිද්ධියක් නිසා එම මහේස්ත්රාත්වරයා මරා දැමීම පිණිස ඔහු පසුපස හඹා යන පුද්ගලයෙකු පිළිබඳව මට දැනගන්නට ලැබී මා ඔහු හමුවීම පිණිස ඔහුගේ ප්රදේශයට ගියේ මීට වසර තුනකට පමණ ඉහතදිය. ඔහුගේ අධිෂ්ඨානය වී තිබුණේ සිය අත්දෙකෙන් මෙම මහේස්ත්රාත්වරයාගේ ගෙල මිරීකා මරා දැමීමය. ඒ සඳහා ඔහු දරා තිබුණු එක් උත්සාහයක් තානායමේ සිටි බල්ලෙකු කඩා පැනීම නිසා අසාර්ථක වී තිබුණ.
මෙම සාහසිකත්වයෙන් ඔහු ඉවත් කොට ඔහුගේ බිරිඳ දූෂණය කළ මහේස්ත්රාත්වරයාට එරෙහිව නීතිය ක්රියාත්මක කරවන තත්ත්වයක් ඇති කරදිමේ වගකීම මා වෙත බාරගැනීමට මට අවශ්ය වී ඒ සඳහා ඔහුට දිර්ඝ ලෙස කරුණු කියා දෙන තැනකට යාමට මට සිදුවිය.
ඔහු මට සාවධානව ඇහුම්කන් දුන්නේය. මාගේ ඉල්ලීම මත මහේස්ත්රාත්වරයාගේ ගෙල මිරිකා මරා දැමීමේ උත්සාහය තාවකාලික ලෙස අත්හැරිමට ද ඔහු කැමති විය. එහෙත් මාගේ උත්සාහය සාර්ථක වනු ඇතැයි ඔහු විශ්වාස නොකළේය.
“මහත්තයා මට කියන නිසා මගේ වැඩේ තාවකාලිකව අත් හරින්නම්. නමුත් මහත්තයාගේ වැඩේ කෙරෙන්නේ නැහැ. නීතියක් කියලා දෙයක් රටේ නැහැ. ඒක බොරුවක්. නමුත් මහත්තයා උත්සාහ කරල බලන්න.”
අවසානයේදි ඒ වෙනුවෙන් ද මෙම මහේස්ත්රාත්වරයාට අදාළව එල්ල කෙරුණු තවත් ස්ත්රී දූෂණ චෝදනාවක් පිළිබඳව ද දිගින් දිගට කරන ලද කෑගැසීමක ප්රතිඵලයක් වශයෙන් මහේස්ත්රාත්වරයාට එරෙහිව අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්රි පුද්ගල පරික්ෂණ කමිටුවක් පත් කිරීමට එවකට තිබූ අධිකරණ සේවා කොමිසමට සිදුවිය. ත්රි පුද්ගල පරික්ෂණ කමිටුවට ඇතුළත් වූයේ හෙක්ටර් යාපා, අශෝකා ද සිල්වා, ටී.බී. වීරසූරීය යන විනිසුරුවරුන් තිදෙනාය. අද ඒ තිදෙනාම ශ්රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ය.
මහේස්ත්රාත්වරයාගේ ගෙල මිරිකා මරා දැමීමේ උත්සාහයක නිරත වූ පුද්ගලයා ද පරික්ෂණ කමිටුව ඉදිරියේ සාක්ෂි දුන්නේය. තානායමේ සිටියදි වරක් මහේස්ත්රාත්වරයා වෙත කඩා පැන ඔහුගේ බෙල්ල මිරීකා මරා දැමීමට තැත් කළ අවස්ථාවේදි තානායමේ සිටි ඇල්ශේෂන් බල්ලා තමන් වෙත කඩා පැනීම නිසා ඒ උත්සාහය අසාර්ථක වූ ආකාරය ඔහු පරික්ෂණ කමිටුව හමුවේ සාක්ෂි දෙමින් විස්තර කළේය.
මහේස්ත්රාත්වරයා මරා දැමීමේ අදහස දෑන්වත් අත්හැර ඇත්දැයි පරික්ෂණ කමිටුවේ සභාපතිවරයා (හෙක්ටර් යාපා මහතා) ඒ අවස්ථාවේදි සාක්ෂිකරුගෙන් විමසීය.
තමා ඒ අදහස අතහැර නැති බවත්, මේ උසාවි බිමේ හෝ ඔහුගේ ගෙල මිරිකා මරා දැමීමට තමාට අවස්ථාවක් ලැබෙන්නේ නම්, තමා එය සංතෝෂයෙන් ඉටු කරන බවත්, වික්ටර් අයිවන් මහතා කී නිසා පමණක් තමා ඒ අදහස තාවකාලික ලෙස අත්හරින ලද බවත්, එහෙත් වික්ටර් අයිවන් මහතාගේ අත්හදා බැලීම සාර්ථක වනු ඇතැයි තමා විශ්වාස නොකරන බවත් ඔහු එහිදි ප්රකාශ කර සිටියේය.
එවිට සාක්ෂිකරු අමතා හෙක්ටර් යාපා මහතා කියා සිටියේ වික්ටර් අයිවන් මහතා දි තිබෙන අවවාදය පිළිගන්නා ලෙසත්, නීතිය අතට ගන්නා ක්රියාමාර්ගයක් මගින් ජීවිතය කාලකණ්ණ කර නොගන්නා ලෙසත්, තමා ඇතුළු මෙම පරික්ෂණ කමිටුව පත් කර ඇත්තේ යුක්තිය ඉටුකිරීමට බවත්, තමන් යුක්තිය ඉටු කර දෙන බවත්ය.
පරික්ෂණ කමිටුව මෙම අධම මහේස්ත්රාත්වරයා ස්ත්රී දූෂණ චෝදනා දෙකක් ඇතුළුව එල්ල වී තිබුණු චෝදනා හතරටම වරදකරු කළේය. දෑන් ඒ තීන්දුව දි අවුරුදු ගණනාවක්ම ගතවී ඇතත්, සී.ජේ. උන්නාන්සේගෙන් එතුමාට ලැබී තිබෙන කාරුණක රැකවරණය නිසා අද දක්වාම ඔහු අධිකරණ සේවයෙන් පළවා හැර නැත. ඔහු අතින් සිදුවූ අපරාධවලට ගොදුරුවූවන්ට ද අද දක්වා යුක්තියට ඉටු කර නැත.
මින් සති අටකට පමණ ඉහතදි අබේසිංහ (මහේස්ත්රාත්වරයාගේ ගෙල මිරීකා මරා දෑමීමට උත්සාහ කළ පුද්ගලයා) මට දුරකතනයෙන් කතා කළේය. මා අමතා කතා කිරීමට ඉඩක් නොතබනු පිණස මම ඔහුට මෙසේ කීවෙමි.
“අබේසිංහ ඔයා හරි. මම වැරදියි. ඒත් මගේ මෝඩ උගත්කම නිසා මට ඔයාට එකග වෙන්න බැහැ.”