ව්‍යවස්ථා සභාව කොයිබට ද?

August 25, 2002
Publication:
Long after its appointment, the Constitutional Council has not set up a single independent commission. The editorial criticises its demand for immunity from fundamental rights suits, reminds it that it is publicly funded and exists to make key institutions independent, and says members should give up political roles, including acting as advisers to politicians, and that appointments to it should face public scrutiny.

17 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් ඇති කරගනිමින් ඒ යටතේ මහජන වියදමින් ව්‍යවස්ථා සභාවක් පත් කර දැන් බොහෝ කල් ගතවී ඇතත්, ඒ යටතේ පිහිටුවීමට නියමිත එකදු ස්වාධීන කොමිසන් සභාවක්වත් අද දක්වා පිහිටුවීමට හැකිවී නැත. ඒ ගැන විපක්ෂය ආණ්ඩුවට ද, ආණ්ඩුව ජනාධිපතිනියට ද චෝදනා හා ප්‍රතිචෝදනා එල්ල කරගනිමින් සිටී.

ව්‍යවස්ථා සභාවේ කල්පනාව වී ඇත්තේ ව්‍යවස්ථා සභාවේ කටයුතු ආරම්භ කිරීම සඳහා තමන්ට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු පැවරිමට ඉඩක් නැති පසුබිමක් ඇති කළ යුතු බව ය. එවැනි ඉල්ලීමක් මූලික අයිතිවාසිකම් නිදහස සීමා කිරීමට හේතුවන බව මෙම ව්‍යවස්ථා සභාවට තේරුම් ගත නොහැක්කේ ඇයි? රාජ්‍ය නායකයාට පවා නීතියට ඉහළින් සිටීමට ඉඩදිය යුතු නැතිනම් ව්‍යවස්ථා සභාවට පමණක් ඒ අයිතිය ලැබිය යුත්තේ ඇයි? තීන්දු ගැනීමේ ක්‍රියාවලියේ දි ඔවුන් අතින් හෝ වරදක් සිදුවේ නම් ඊට පිළියම් ලබාගැනීමට ක්‍රමයක් තිබිය යුතු ය. කිසිම ආයතනයක් සර්වතෝභද්‍ර තත්ත්වයක පවතී යයි අපේක්ෂා කළ නොහැක.

අනෙක් අතට මෙම ව්‍යවස්ථා සභාව මහජන මුදලින් නඩත්තු කෙරෙන ආයතනයක් බව අමතක කිරීම ද බලවත් වරදකි. ස්වාධීන තත්ත්වයක තිබිය යුතු ආයතන ස්වාධීන තත්ත්වයකට ගැනීම 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රධාන අරමුණ විය. ව්‍යවස්ථා සභාවක් පත් කරන ලද්දේ ඒ අරමුණ ප්‍රායෝගික කිරීම සඳහා ය. එහෙත් අද දක්වා ඒ අරමුණ සම්පූර්ණ කිරීමට ව්‍යවස්ථා සභාව සමත් වී නැත.

ව්‍යවස්ථා සභාව උත්තරිතර ආයතනයක් වන නිසා ම ඊට සම්බන්ධ වන සාමාජිකයන් ව්‍යවස්ථා සභාවට පත්වීමෙන් පසුව සියලු දේශපාලන කටයුතුවලින් ඉවත් වීමේ වගකීමක් ද පවතී. නාමකරණයෙන් ව්‍යවස්ථා සභාවට පත්වන පුද්ගලයන් ව්‍යවස්ථා සභාවට පත්වීමෙන් පසුව දේශපාලන පක්ෂවල උපදේශකයන් වශයෙන් ක්‍රියාකිරීමත් වැළකිය යුතු ය. එහෙත් ව්‍යවස්ථා සභාවේ සමහර සාමාජිකයන් විවිධ දේශපාලකයන්ගේ උපදේශකයන් ලෙස ක්‍රියාකරමින් සිටින ආකාරයක් ද දැකිය හැකි ය. ඒ තත්ත්වයෙන් අත්මිදිම ඔවුන්ගේ වගකීමකි. අනෙක් අතට ව්‍යවස්ථා සභාවට පුද්ගලයන් පත් කෙරෙන අවස්ථාවලදි පවා පත් කරන පුද්ගලයන් මහජන විමර්ශනයට ලක් කෙරෙන ක්‍රමයක් ද තිබිය යුතු ය. එහෙත් මෙම ව්‍යවස්ථා සභාව සඳහා කෙරුණු පත්කිරිම්වලදි මහජන විමර්ශනයකට ඉඩක් නොතිබීම ද කැපී පෙනෙන අඩුපාඩුවක් විය.