සහජීවනය කොයිබටද?

August 25, 2002
Publication:
Ivan welcomes talk of cohabitation between the President and the Prime Minister but says it must rest on principles. The 1978 Constitution breeds conflict when power is divided, the President has refused to respect the new mandate, and the UNP still covets the presidency. He rejects the idea of forgetting her alleged killings, PSD violence and the vehicle purchases, and points to South Africa's truth commission, which examined abuses by both sides.

පොදු පෙරමුණේ ජනාධිපතිනිය හා එක්සත් ජාතික පෙරමුණේ අගමැතිවරයා අතර සහජීවනයක් ඇති කරගැනීමේ අවශ්‍යතාව පිළිබඳ විවිධ අදහස් පළවෙමින් පවතී. ජාතික වැදගත්කමක් ඇති ප්‍රශ්නවලදි පටු පක්ෂ භේදයෙන් තොරව එක්ව ක්‍රියාකිරිමේ අවශ්‍යතාවක් ඇති බවට සැකයක් තිබිය නොහැකිය. එහෙත් ඒ දේ සිදුවිය යුත්තේ කවර ආකාරයකට ද, ඒ සඳහා පදනම් විය යුතු මූලධර්ම මොනවාද යන්න හඳුනාගැනීම වැදගත්ය.

සහජීවන දේශපාලනයට බාධාවක් වී ඇත්තේ දේශපාලන පක්ෂවලට හුරු පුරුදු පටු බලකාමී දේශපාලන සංස්කෘතිය පමණක් වන්නේ නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද ඊට බාධාවක් ලෙස ක්‍රියා කරයි. ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන ක්‍රමයක් තුළ මහජන කැමැත්ත මත ප්‍රතිපක්ෂ අතර බලය හුවමාරුවීමට ඉඩක් තිබිය යුතු ය. එහෙත් 78 ව්‍යවස්ථාව නිර්මාණය කර ඇත්තේ එවැනි බල හුවමාරුවකට ඉඩ ලැබෙන ආකාරයකට නොවේ. විධායක ජනාධිපති බලය හා පාර්ලිමේන්තු බලය එක පක්ෂයක් අත නොතිබෙන අවස්ථාවලදි ඒ බල මණ්ඩල දෙක අතර ගැටුමක් ඇති කෙරෙන ආකාරයට ය.

ජනාධිපතිනිය ප්‍රජාතන්ත්‍රවාදි වත් පිළිවෙත් අගේ කරන නායිකාවක වී නම්, ප්‍රතිපක්ෂයට රට ආණ්ඩු කිරීම සඳහා මහජන වරමක් ලැබුණු පසු එම පක්ෂයට බාධාවකින් තොරව පාලන කටයුතු කරගෙන යාමට ඉඩ දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුව තිබුණි. එහෙත් ඒ වෙනුවට ඇය කළේ මහජන මතයට ගරු නොකොට බලය පෙන්වන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමයි.

78 ව්‍යවස්ථාව එජාපයේ හිටපු නායකයාගේ නිර්මාණයක් වුවත්, විධායක ජනාධිපති වෙත ලබාදි ඇති ඒකාධිපති බලතල ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන ක්‍රමයට ඇති නොගැලපීම තේරුම් ගනිමින් එහි එන එම නරක ලක්ෂණ ඉවත් කරගැනීම හෝ ඉවත් කරවා ගැනීම සඳහා ක්‍රියාකිරිමේ වගකීමක් එජාපයට තිබුණත්, එක්සත් ජාතික පක්ෂය කෙරෙන් එවැනි ඉදිරි දර්ශනයක් ප්‍රකාශ වූයේ නැත. ඒ වෙනුවට අද දක්වාම එජාප කෙරෙන් ද ප්‍රකාශවෙමින් පවත්නේ ඒකාධිපති විධායක ජනාධිපති ක්‍රමය කෙරෙහි කෑදර ආකල්පයකි.

සහජීවන දේශපාලනයක් ඇති කරගැනීම සඳහා සිදුවී තිබෙන සියලු වැරදි අමතක කළ යුතුයි කියන අදහසක් ද අනියම් ආකාරයකින් ප්‍රකාශවෙමින් පවතී. එහි තේරුම වනුයේ ජනාධිපතිනිය අතින් සිදුවී තිබෙන අපරාධ ගණයේ හා දූෂණ ගණයේ සියලු වැරදිවලට එරෙහිව කෙරෙන සියලු පරීක්ෂණ කටයුතු අත්හළ යුතු බව ය. එවැනි ක්‍රමයක් යහපත් සහජීවන දේශපාලන සදාචාරයක් ඇති කරනවා වෙනුවට ඇති කරනු ඇත්තේ දූෂණ හා අපරාධ වැරදි වසන් කිරීමට හේතුවන සහජීවන දේශපාලනයකි.

ජනාධිපතිනිය විසින් සිදුකර තිබෙන සමහර වැරදි පහසුවෙන් අමතක කළ යුතු සරල වැරදි ගණයේ ලා සැලකිය නොහැකිය. සිදුවී තිබෙන සමහර මනුෂ්‍ය ඝාතන, පී.එස්.ඩී.ය යොදවා විරුද්ධවාදින්ට හිංසා කිරිම් වැනි අපරාධ ගණයෙහි ලා සැලකිය හැකි වැරදි ඇගේ අනුදැනුම ඇතිව සිදුවී ඇති බව බැලු බැල්මට පෙනී යයි. රාජ්‍ය නායිකාවක් තමන්ට ලැබී තිබුණු මුක්තියේ අයිතියට මුවාවී එවැනි සාහසික අපරාධ කර ඇත්නම්, අනාගත නායකයන්ට ද එවැනි අපරාධ කිරීමට ඉඩක් නොලැබෙන පරීදි එම වැරදිවලට දඬුවම් කිරීම ඕනෑම යහපත් ආණ්ඩුවක වගකීමකි. සිදුවී ඇති දූෂණ ගණයේ වැරදි ද අති සරල නැත. අධි ආරක්ෂිත වාහන මිලදි ගැනීමේදි සිදුවී ඇති අක්‍රමිකතා ඉතාමත් බරපතල ගණයෙහි ලා සැලකිය හැකිය. වෙඩි නොවදින අලුත් වාහන ලෙස ගෙන්වා ඇත්තේ පාවිච්චි කළ පරණ වාහනය. වාහන මිලදි ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන හැට ගණනක් වෙන් කර තිබූ අවස්ථාවක පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව ඇය රුපියල් මිලියන 2400ක් තරම් විශාල මුදලක් වැය කර තිබේ. ඒ සියලු දේවල් සිදුකර ඇත්තේ විශාල මුදලක් වංචා කිරිමේ අදහසින් නම් රාජ්‍ය නායිකාවක් විසින් සිදුකර ඇති එවැනි බරපතල වරදක් අමතක කිරීම කවර මට්ටමකින්වත් සාධාරණ විය නොහැකිය.

ජනාධිපතිනිය අතින් සිදුවී ඇති එවැනි සියලු වැරදි අමතක කොට ඉදිරියට යන ධර්මතාවක් දූෂණයට බර තබා ක්‍රියා කරන දේශපාලනයට ශක්තිමත් පදනමක් ලබා දෙයි. මේ ආණ්ඩුව ජනාධිපතිනිය අතින් සිදුවී තිබෙන එවැනි බරපතල වැරදිවලට එරෙහිව දැඩි ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියා කරන පිළිවෙත් මේ ආණ්ඩුවේ නායකයන්ට ද දූෂණයට යොමුවීමට තිබෙන ඉඩකඩ සීමා කරයි. දූෂණ වැරදි සම්බන්ධයෙන් ජනාධිපතිනියට එරෙහිව දැඩි ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියාකරන ආණ්ඩුවකට තමන් අතින් ද එවැනි බරපතල වැරදි සිදුවුවහොත් ප්‍රතිපක්ෂය බලයට පත්වූ අවස්ථාවක තමන්ට එරෙහිව ද ඒ චක්‍රය ඒ හා සමාන ආකාරයකින් කැරකිය හැකි බව තේරුම් ගෙන ක්‍රියාකරන්නට සිදුවන්නේය.

සහජීවන දේශපාලනයක් සඳහා තිබිය යුතු පදනම් මොනවාද යන්න ගැන අපට ආදර්ශයක් ලබාගත හැකි හොඳම රට වනුයේ දකුණු අප්‍රිකාවය. එහිදි ප්‍රතිපක්ෂ දෙක සහජීවන දේශපාලනයට ගියේ දෙපක්ෂය අතින්ම සිදුවී ඇති සියලු වැරදි අමතක කොට නව සහජීවන දේශපාලනයකට යමුයි කියන පටු ආකල්පයක පිහිටා නොවේ. දෙපාර්ශ්වයම අතින් සිදුවී ඇති සහාසිකම් ගැන සොයා බලන පිළිවෙතකට යමිනි. මැන්ඩෙලාගේ ආණ්ඩුව විසින් ඇති කරන ලද සත්‍ය කොමිසම සුදු පාලනය තුළ සුද්දන් අතින් කල්ලන්ට සිදුවූ අමනකම් ගැන පමණක් සොයා බලන ව්‍යාපාරයක් නොවීය. එය කල්ලන් අතින් සුද්දන්ට එරෙහිව සිදුවී තිබුණු අමනකම් සොයා බලන ව්‍යාපාරයක් ද වූයේය.

ශ්‍රී ලංකාව තෝරාගත යුතුව ඇත්තේ ද සියල්ල අමතක කොට ඉදිරියට යන පටු මාවතක් නොව, දඬුවම් කිරිමේ අදහසින් තොරව වුවත්, දෙපාර්ශ්වය අතින්ම සිදුවී ඇති අමනකම් ගැන සාධාරණව සොයා බලන මාවතකය. බලයේ සිටින හෝ අනාගතයේ බලයට එන කොයි කාට හෝ එවැනි අමනකම් කිරීමට ඉඩක් නොතැබීම එහි අරමුණ විය යුතුය.