ජනතා විමුක්ති පෙරමුණේ භූමිකාව

August 18, 2002
Publication:
The editorial says the JVP aims to ally with favoured SLFP figures, derail the peace process with the President's help and use the resulting disorder to form a government it can steer, much as Sirimavo Bandaranaike and N.M. Perera did in 1964, with Mangala Samaraweera as go-between. It argues the JVP offers the SLFP little beyond votes, and warns that the power struggle may push Prabhakaran to prepare for war or to claim that only a separate state is left.

ජනතා විමුක්ති පෙරමුණ ද මේ අර්බුදයේ දි කැපී පෙනෙන භූමිකාවක් රගපායි. එම පක්ෂෂයේ උපාය මාර්ගය වී ඇත්තේ ශ්‍රීලනිපය තුළ සිටින තමන් කැමති පිරිස් සමග එකතු වී තමන් අකමැති පිරිස් තනිකොට ශ්‍රීලනිපයට හිතවත් ජනතාව අතර බලය තහවුරු කර ගනිමින් ජනාධිපතිනියගේ ද සහාය ඇතිව ආණ්ඩුවේ සාම වැඩ පිළිවෙළ අර්බුදයකට යවා ඒ ඇතිවන අරාජිකත්වය උපයෝගී කරගනිමින් බලය තහවුරු කර ගැනීම ය. ශ්‍රීලනිප අනියම් ලෙස පාලනය කළහැකි තත්ත්වයක් ඇතිකර ගනිමින් ශ්‍රීලනිප සමග ආණ්ඩුවක් ඇතිකර ගැනීම ජනතා විමුක්ති පෙරමුණේ වර්තමාන දර්ශනය වී තිබේ.

ජනාධිපතිනියට ද මේ මොහොතේ සිය පැවැත්ම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ආධාරය අත්‍යාවශ්‍ය ය. පක්ෂෂ අභ්‍යන්තරයේ ජනාධිපතිනිය නොකැමති පුද්ගලයින් ජනතා විමුක්ති පෙරමුණ ද තමන්ගේ සතුරන් ලෙස ක්‍රියා කරන තත්ත්වයක් ඉදිරියේ මේ දෙපක්ෂෂයේ වුවමනාවන් මනා ලෙස පෑහෙන තත්ත්වයක් පවතී. ජනතා විමුක්ති පෙරමුණෙන් තොරව අනාගත ආණ්ඩුවක් සැලසුම් කළ නොහැකි බව ද ජනාධිපතිනිය දනී. ජනාධිපතිනිය ඉදිරියේ තබාගෙන තමන්ට පාලනය කළ හැකි ආණ්ඩුවක් ඇතිකරගැනීම ජනතා විමුක්ති පෙරමුණේ ද අභිලාෂය වී තිබේ. ජනාධිපතිනිය හා ජනතා විමුක්ති පෙරමුණේ විමල් වීරවංශ වැනි නායකයින් කල්පනා කරමින් තිබෙන ආකාරය 1964 දි සිරිමා බණ්ඩාරනායක හා ඇන්.ඇම්.පෙරේරා හිතූ ආකාරයට බොහෝ දුරට සමාන ය. ටී.බී. ඉලංගරත්න ඉටුකළ කපුවාගේ කාර්ය භාරය මෙදා ඉටුකරමින් සිටින්නේ මංගල ය.

එහෙත් මේ දෙපාර්ශ්වය එකතු වී සකස් කරන සැලසුම් තුළ ශ්‍රීලනිපයේ මංගල සමරවීර, නිමල් සිරිපාල ද සිල්වා, සරත් අමුණුගම වැනි කිහිප දෙනෙකුට හැර මහින්ද රාජපක්ෂෂ, දි.මු. ජයරත්න, ජෙයරාජ් පවුසි, රිචඩ් පතිරණ වැනි අයට තැනක් නැත. සම්ප්‍රදායික වමේ පක්ෂෂවලට ද ඉඩක් නැත. ඒ තත්ත්වය තුළ මේ පෙළගැසීම ශ්‍රීලනිප ශක්තිමත් කරනවා වෙනුවට දුර්වල කරන සාධකයක් ලෙස ක්‍රියා කරනු නොවැළැක්විය හැකි ය. සමසමාජ පක්ෂෂයට නම් ශ්‍රීලනිප සමග ඇතිකරගන්නා සභාග ආණ්ඩුවක් සඳහා ඡන්ද ශක්තියට අතිරේකව දෙන්නට බොහෝ දේවල් තිබුණේ ය. ඔවුන් අතර දැනුමෙන් ද පළපුරුද්දෙන් ද පිරුණු කැපී පෙනෙන පිරිසක් සිටි අතර එවැනි එකතු වීමක් ශ්‍රීලනිපයට ආලෝකයක් ලබාදුන්නා මිස අඳුර ගෙනදෙන දෙයක් නොවී ය. එහෙත් එහි දි ජනතා විමුක්ති පෙරමුණට එක්තරා ප්‍රමාණයක ඡන්ද ශක්තිය හැරුණු විට ශ්‍රීලනිපයට දිමට කිසිවක් ම ඇති බවක් පෙනෙන්නට නැත.

මෙම පක්ෂෂ දෙකම මැතිවරණයක දි නිතරග ගිවිසුමක් වැනි එකතුවක් ඇතිකර ගැනීම ද පහසු නැත. ජනතා විමුක්ති පෙරමුණට ඡන්ද ශක්තියක් ඇතත් මනාප තරගයකට මුහුණ දිමේ හැකියාවක් ඇති ජනප්‍රිය පුද්ගලයන් සිටින්නේ කිහිප දෙනෙකු පමණ ය. ඒ නිසා ශ්‍රීලනිප සමග එකම මැතිවරණ ලැයිස්තුවකින් තරග කිරීමේ හැකියාවක් ජනතා විමුක්ති පෙරමුණට නැත.

එවැනි හවුලක් සඳහා තිබෙන ඊළග විකල්පය වනුයේ තෝරාගත් දිස්ත්‍රික්ක කිහිපයක් ජනතා විමුක්ති පෙරමුණට දි එම දිස්ත්‍රික්කවල දි ශ්‍රීලනිප අපේක්ෂෂකයන් ජනතා විමුක්ති පෙරමුණ නමින් ඉදිරිපත් කිරීමත් හා ශ්‍රීලනිප තරග කරන දිස්ත්‍රික්කවල දි ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂෂකයන්ට ශ්‍රීලනිපයෙන් තරග කිරීමට ඉඩ හැරිමත් ය. එහෙත් මෙවැනි එකගත්වයක් සඳහා පවා තිබෙන ඉඩ සීමිත ය. ජවි පෙරමුණට මන්ත්‍රීවරුන් 16 දෙනෙකු සිටින්නේ ය. එවැනි පක්ෂෂයක් සංතෝෂ කිරීමට නම් දිස්ත්‍රික්ක දෙක තුනක්වත් ජනතා විමුක්ති පෙරමුණට දිය යුතු ය. ජනතා විමුක්ති පෙරමුණට ශ්‍රීලනිපයේ ද සහාය ඇතිව දිස්ත්‍රික්ක දෙක තුනක් තරග කරන්නට ඉඩ දෙන ප්‍රතිපත්තියක් ශ්‍රීලනිපය තුළ අවුල් ඇති කිරීමට හේතුවනු නොවැළැක්විය හැකි ය. මේ තත්ත්වය යටතේ මැතිවරණයක දි කළ හැකිවනු ඇත්තේ අන්‍යෝන්‍ය සහයෝගයෙන් දෙපක්ෂෂයක් වශයෙන් තරග කිරීම පමණ ය. එහෙත් එවැන්නක් දෙපක්ෂෂයට ම වාසි දායක වන්නේ නැත.

ප්‍රහාකරන්ගේ ප්‍රතිචාරය කුමක්විය හැකිද

ජනාධිපතිනිය හා අගමැති අතර මතුවී තිබෙන බල අරගලය වඩාත් විනාශකාරි ලෙස බලපානු ඇත්තේ උතුරේ ගැටලුව කෙරෙහි ය. ජනාධිපතිනිය ශක්තිමත් වන බව පෙනුණොත් ආරක්ෂෂාව සඳහා තමන් පහරදිමකට සූදානම් වන තැනකට යා යුතු යයි ප්‍රභාකරන් කල්පනා කරනු නොවැළැක්විය හැකි ය. මේ දෙදෙනා අතර ගැටුම ඉක්මන් අවසානයක් ඇති නොවන බව ප්‍රභාකරන්ට පෙනුණොත් දෙමළ ජනතාවට ලබාදෙන කිසිම විසඳුමකට සිරිතක් වශයෙන් විරුද්ධ පක්ෂෂය ඉඩ නොදෙන බව ප්‍රකාශ කරමින් ඒ නිසා වෙනම රාජ්‍යයක් ඇතිකර ගැනීමෙන් මෙපිට තමන්ට විසඳුමක් නැතැයි කියන තැනකට ප්‍රභාකරන් තල්ලුවී යා හැකි ය. ප්‍රභාකරන්ගේ ඒ මතය අකමැත්තෙන් හෝ පිළිගන්නා තත්ත්වයකට ජාත්‍යන්තර ප්‍රජාව ද තල්ලු වීමේ අවදානමක් ද පවතී.

මේ අර්ථයෙන් බලන විට ජනාධිපතිනියගේ යකා නැටිල්ලෙන් රටට ඇති කරන්නට නියමිතව තිබෙන ප්‍රතිඵල ඉතාමත් බිහිසුණු ය. ඇය සිය පැවැත්ම සඳහා රටේ පැවැත්ම පරදුවට තබා ක්‍රියා කරන තත්ත්වයකට පත්ව සිටී. එයින් අවසාන වශයෙන් රටට ලැබෙන්නට යන ප්‍රතිඵලය දැවැන්ත විනාශයක් විය හැකි ය.