අල්ලස් කොමිසම ඉදිරියේ දහසක් මල් පිපීම

July 28, 2002
Publication:
Government and opposition are now filing rival corruption complaints with the Bribery Commission, which the editorial sees as a chance to force it to look at the top of the power pyramid. It urges commissioners to publish their own asset declarations, to treat the editorial itself as a complaint and call for the declarations of everyone from the President down, to act on the Auditor General's findings, and to start with the President's Rs 2,400 million vehicle purchases against a Rs 63 million allocation.

ආණ්ඩු පක්ෂෂය හා විපක්ෂෂය එකිනෙකාට එරෙහිව දූෂණ චෝදනා එල්ල කර ගැනීමෙන් නො නැවතී එකිනෙකාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත තරගකාරි ස්වරූපයකින් පැමිණිලි කරන තත්ත්වයකට ද යොමු වී සිටී. මේ විවාදය සිදුවෙමින් පවතින ආකාරයේ ගොරහැඬි බවක් ඇතත් එය විවෘත රාජ්‍ය පාලනයක් සඳහා යන්නට නියමිතව තිබෙන ගමනක වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකි ය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමක් තිබුණත් එහි අවධානය යොමු වී තිබුණේ රාජ්‍ය පිරමීඩයේ මුදුනත කෙරෙහි නොව, නො වැදගත් පහළ අංශය කෙරෙහි ය. එහෙත් රාජ්‍ය පාලනය තුළ ද්වන්ද්ව බලයක් ඇති වී තිබෙන තත්ත්වයක් තුළ දෙපාර්ශ්වයම එකිනෙකාට එරෙහිව බරපතල දූෂණ චෝදනා එල්ල කරගන්නා හා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත තරගකාරි ආකාරයකින් පැමිණිලි ඉදිරිපත් කරන තත්ත්වයකට තල්ලුවී සිටින පරිසරයක් ඉදිරියේ දැන් කොමිසමට පිරමීඩයේ ඉහළ මුදුනත ගැන සොයා බැලීමට බල කෙරෙන තත්ත්වයක් ඇති වී තිබේ.

මේ විවාදයේ දි කොමිසම හමුවට ඉදිරිපත් වන පැමිණිලි ගැන දේශපාලන භේදයකින් තොරව අපක්ෂෂපාතව කරුණු සොයා බලන තත්ත්වයකට යොමුවීමෙන් බරපතල වැරදි කර ඇති දේශපාලන තෝරුන් හා මෝරුන් කිහිපදෙනකුට හෝ එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරවන තත්ත්වයක් ඇති කිරිමෙන් දෑනට පිළිකාවක් මෙන් ව්‍යාප්තව පවත්නා දූෂණය ශක්තිමත් ලෙස පාලනය කළ හැකි පරිසරයක් ඇති කළ හැකි ය.

1988 අංක 74 දරන පනතින් සංශෝධිත 1975 අංක 01 දරන වත්කම් හා බැරකම් නීතිය යටතට වැටෙන වැරදිවලට එරෙහිව ක්‍රියාකිරීම කොමිසම වෙත පැවරි තිබෙන එක් ප්‍රධාන වගකීමකි. රාජ්‍ය ආයතනවල සිදුවන දූෂණ ගණයෙහි ලා සැලකිය හැකි වැරදි සොයා බැලීම ඒ වෙත පැවරි තිබෙන ඊළග ප්‍රධාන වගකීමක් ලෙස සැලකිය හැකි ය.

වත්කම් හා බැරකම් නීතිය බලාත්මක තත්ත්වයකට ගැනීම කොමිසමේ ප්‍රධාන වගකීමකි. අන් අයගේ වත්කම් බැරකම් සොයා බලන ආයතනයක් පළමු කොට තමන් විවෘත විය යුතු ය. කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනා, අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය වත්කම් හා බැරකම් මහජනතාවට දැනගත හැකි පරිදි ප්‍රසිද්ධ කිරීම මගින් සිය විවෘතභාවය තහවුරු කළ හැකි ය.

ඉන්පසු මුදුනින් අරඹන මේ නීතිය යටතට වැටෙන පහළම අය දක්වා ඔවුන් තමන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ විධිමත් ආකාරයකින් කර තිබේද යන්න සොයා බැලීමක යෙදිය හැකි ය. එවැනි දෙයක් පැමිණිල්ලකින් තොරව කළ නොහැකි නම් කොමිසමට මෙම කතුවැකිය පැමිණිල්ලක් ලෙස ගෙන ජනාධිපතිනියගේ, අගමැතිගේ සිට මේ නීතිය යටතට වැටෙන පහළම නිලධාරියා දක්වා වන සියලු දෙනාගේ වත්කම් බැරකම් ප්‍රකාශ කොමිසම වෙත ගෙන්වා ගනිමින් ඒවා පරික්ෂා කිරීමට මහජනතාවට අවස්ථාවක් ලබාදෙමින් ඒවා ගැන පුනරික්ෂණයක යෙදිය හැකි ය.

රාජ්‍ය ආයතනවල සිදුවන දූෂණ පිළිබඳ ප්‍රශ්නයේදි කොමිසම වෙත පැමිණිලි ඉදිරිපත් කරන ප්‍රධාන පැමිණිලිකරුවා බවට පත්විය යුත්තේ විගණකාධිපතිවරයා ය. රාජ්‍ය ආයතනවල සිදුවන දූෂණ ගැන නිරන්තරයෙන් සොයා බලන ආයතන ක්‍රමයේ ප්‍රධානියා වන්නේ ඔහු ය. පසුගිය අවුරුදු 15ක් තරම් කාලයක් තුළ විගණකාධිපතිවරයා රාජ්‍ය ආයතන මට්ටමෙන් සිදුවී ඇති බරපතල දූෂණ පිළිබඳව කරන ලද හෙළිදරව් වලට අදාළ වගකිවයුතු එකම පුද්ගලයෙකුට එරෙහිවත් නීතිය ක්‍රියාත්මකවීමක් සිදුවී නැත. කාගෙත් විරෝධය එල්ල වී ඇත්තේ දේශපාලනඥයන්ට ය. එහෙත් දේශපාලනඥයන්ට පිස්සු නටන්නට ඉඩ ලැබී ඇත්තේ නිලධර තන්ත්‍රයේ වැරදි නිසාය. කිසියම් අමාත්‍යංශයක හෝ ඊට අදාළ ආයතනයක සිදුවී ඇති වරදක් විගණකාධිපතිවරයා පෙන්වා දුන් විට එම වැරදිවලට වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවීමේ වගකීම පැවරෙන්නේ අමාත්‍යංශ ලේකම්වරුන්ට ය. එහෙත් අපට ඇත්තේ එවැනි වැරදි කරන අයට එරෙහිව අකුරට ම නීතිය ක්‍රියාත්මක කරවන ලේකම්වරුන් වෙනුවට නිහඬව බලා සිටින ලේකම්වරුන් ය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වත්කම් හා බැරකම් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තියකට යන අතර විගණකාධිපතිවරයා සොයා ගනු ලබන බරපතල දූෂණ වැරදි, කොමිසමට පැමිණිලි කොට කොමිසම ඒ වැරදිවලට එරෙහිව අකුරටම නීතිය ක්‍රියාත්මක කරවන තත්ත්වයකින් ක්‍රියා කරයි නම්, සිදුවන අල්ලස් හා දූෂණ වැරදි විශාල ප්‍රමාණයකට පාලනය කළ හැකි ය. තෝරුන්, මෝරුන් අතහැර හාල්මැස්සන් පසුපස එළවන ප්‍රතිපත්තියකට යනවා වෙනුවට අධි ආරක්ෂිත වාහන මිලදි ගැනීමේදි ජනාධිපතිනිය අතින් බරපතල දූෂණ සිදුවී ඇති බවට එල්ල වී තිබෙන චෝදනා පළමුවෙන් ම කොමිසමට පරික්ෂා කළ හැකි ය. වාහන මිලදි ගැනීමට රුපියල් දශ ලක්ෂ 63ක් වෙන් කර තිබියදි පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව රුපියල් දශ ලක්ෂ 2400ක් වැය කර ඇත්නම් එය දූෂණ ගණයට වැටෙන ඉතාමත් බරපතල වරදක් ලෙස සැලකිය හැකිය. මුක්තිය නිසා නඩු පැවරිමකට ඉඩක් නැතත්, මුක්තිය පරික්ෂණයකින් ආරම්භ කිරීමට බාධාවක් වන්නේ නැත. ඒ සඳහා කෙරෙන පරික්ෂණයක් බරපතල වරදක් සිදුවී ඇති බව සනාථ වුවහොත් ඊට සම්බන්ධ සියලු නිලධාරීන්ට එරෙහිව නඩු පැවරිය හැකි ය.