කෙළවර කුමක් ද?

July 28, 2002
Publication:
Ivan explains that the 1978 Constitution assumed one party would hold both presidency and Parliament, and recalls how France and D.B. Wijetunga avoided conflict under cohabitation. Chandrika Kumaratunga could have conceded power or resigned after 2001 but chose confrontation, while the Prime Minister's investigations of her corruption and crimes now give him the advantage. He sets out the likeliest course of the conflict, ending in impeachment, an election or her loss of office.

ව්‍යවස්ථාව නිර්මාණය කොට ඇත්තේ ඇමරිකාවේ හෝ ප්‍රංශයේ මෙන් විධායක ජනාධිපති බලය එක් පක්ෂයකටත්, පාර්ලිමේන්තු බලය තවත් පක්ෂයකටත් ලැබී ඒ පක්ෂ දෙකම සංහිඳියාවකින් පාලනය කළ හැකි ක්‍රමයකට නොව, එම බල මණ්ඩල දෙකේම බලය එකම පක්ෂයකට ලැබෙන පාලන ක්‍රමයක් සඳහාය. ඩිගෝල්ගේ ප්‍රංශ ව්‍යවස්ථාව තුළ ද කිසියම් ප්‍රමාණයකට ජේ.ආර්.ගේ ව්‍යවස්ථාව තුළ දක්නට ලැබෙන ලක්ෂණ තිබුණ ද, 1987දි එක් පක්ෂයකට ජනාධිපති බලය තිබියදි, තවත් පක්ෂයකට පාර්ලිමේන්තු බලය ලැබෙන තත්ත්වයක් තුළ මෙම බල මණ්ඩල දෙක නියෝජනය කළ ප්‍රතිපක්ෂ දෙකට සංහිඳියාවකින් ක්‍රියාකළ හැකි ආකාරයට, එනම් පාර්ලිමේන්තු බලය ලැබී තිබූ පක්ෂයේ අගමැතිවරයාට ජනාධිපතිවරයාගෙන් එල්ල වන බාධාවකින් තොරව අභ්‍යන්තර පාලන බලය මුළුමණන් අගමැතිවරයාට ලැබෙන ආකාරයට ව්‍යවස්ථාව වෙනස් කිරීමට ජනාධිපතිවරයා එකගවීම නිසා මෙම බල මණ්ඩල දෙක අතර ගැටුමක් ඇතිවීමට තිබුණු අවකාශය ඇහිරුණේය.

1994 දි ද එක්සත් ජාතික පක්ෂයට ජනාධිපති බලය තිබියදි පොදු පෙරමුණට පාර්ලිමේන්තු බලය හිමිවිය. එහෙත් ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන්වීමට තිබුණේ ඉතා කෙටි කාලයක් පමණය. එහිදි විජේතුංග ජනාධිපතිවරයා කුමාරතුංග අගමැතිනියට පෙනේ පුප්පන්නට නොගොස් අභ්‍යන්තර පාලන බලතල මුළුමණන් භුක්ති විඳීමට ඇයට ඉඩ දෙන මටසිලිටු ප්‍රතිපත්තියකට ගියේය. ඒ නිසා ඒ කෙටි කාලය තුළ මේ බල මණ්ඩල දෙක අතර ගැටුමක් ඇති නොවීය.

එහෙත් 2001දි එජාප පාර්ලිමේන්තු බලය ලබාගත්තේ නිල කාලය සම්පූර්ණ වීමට තවත් දිර්ඝ කාලයක් ඇති පොදු පෙරමුණේ ජනාධිපතිනියක බලයේ සිටියදිය. ජනාධිපතිනිය දෙවැනි වරට ජනාධිපතිවරණයකට ගියේ සිය නිල කාලය සම්පූර්ණ වීමට තවත් අවුරුදු දෙකක් තිබියදිය. නැතිනම් ඊළග ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ ද පොදු පෙරමුණ පරාජයට පත් පාර්ලිමේන්තු මැතිවරණය පැවති 2001 වසරේදිය. නිල කාලය සම්පූර්ණවන්නට පෙර අවුරුදු දෙකක කාලයක් තිබියදි ජනාධිපතිවරණයකට යෑමෙන් ජනාධිපතිනිය අපේක්ෂා කළේ ද හොඳින් හෝ නරකින් ජයග්‍රහණයක් ලබාගත හැකි අවස්ථාවක ඒ ජයග්‍රහණය ලබාගනිමින් සිය බලය කල්තියා තහවුරු කරගැනීමටය.

2001 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පොදු පෙරමුණේ නායිකාව ජනාධිපති ධුරයේ සිටින අවස්ථාවක එජා පෙරමුණට පාර්ලිමේන්තු බලය ලැබීම තුළ ව්‍යවස්ථා අර්බුදයකට පාර කැපුණේය. එවැනි අවස්ථාවක් ඇතිවීමට තිබෙන හැකියාව සේ ම ඒ නිසා ඇතිවන ගැටුමේ අමිහිරි ලක්ෂණ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා විසින් කල්තියා ප්‍රකාශ කර තිබුණු බව ද අමතක නොකළ යුතුයි.

එම තත්ත්වය තුළ එක්කෝ අගමැතිවරයා ජනාධිපතිනියට ද, නැත්නම් ජනාධිපතිනිය අගමැතිට ද යටත් විය යුතුව තිබුණ. නැතිනම් මේ දෙදෙනා අතර එකගත්වයක් ඇති කරගැනීම අවශ්‍ය වී තිබුණි. එකගත්වයක් ඇති කරගන්නවා නම්, එය සිදුවිය යුතුව තිබුණේ 1987දි ප්‍රංශයේ සිදුවූ ආකාරයටය. එනම් අලුත් ජනවරමක් ලැබී තිබුණු අගමැතිවරයාට සම්පූර්ණ අභ්‍යන්තර පාලන බලය ලබාදෙමින් හා එය සහතික කිරීමට හේතුවන ව්‍යවස්ථා සංශෝධනයකට එකගවීම මගිනි. එවැනි ව්‍යවස්ථා සංශෝධනයකට එකග නොවේ නම්, ජනාධිපතිනිය කළ යුතුව තිබුණේ එජා පෙරමුණට ලැබුණු ජනවරම විසින් ජනාධිපතිවරණයේදි තමන්ට ලැබුණු ජනවරම අවලංගු කර ඇති බව පිළිගනිමින් සිය පදවිය අත්හැරිමය.

ජනාධිපතිනිය ඒ දෙවැනි ක්‍රියාමාර්ගයට (ජනාධිපති ධුරය රනිල් වික්‍රමසිංහට බාරදි පදවිය අතහැර ගියේ නම් නැත.) ගියේ නම් රටේ මහජනතාව ජනාධිපතිනිය අතින් සිදුවූ සියලු වැරදි අමතක කොට ඇය කෙරෙහි අනුකම්පාවෙන් බලන තත්ත්වයක් ඇතිවන්නට ඉඩ තිබුණි. අනෙක් අතට එය එසේ වී නම්, අගමැතිවරයාට ඇය අතින් සිදුවී ඇති දූෂණ හා අපරාධ ගැන සොයා බැලීමේ අවශ්‍යතාවක් ද මතු නොවන්නට ඉඩ තිබුණි. එසේම ද්වන්ද්ව බලයක් නැති තත්ත්වයක් ඉදිරියේ නව අගමැති ඇතුළු ආණ්ඩුව මුළුමණින් මහජන විවේචනයට ගොදුරු වන තත්ත්වයක් ඇතිවන්නට ඉඩ තිබුණි. එසේම එවැනි තත්ත්වයක් යටතේ එක්තරා කාලයක් ගතවී මහජනයාට ආණ්ඩුව තිත්ත වෙන අවස්ථාවක මහජනයා ලන්ඩන් සිටින චන්ද්‍රිකා නෝනා වෙත හැරි තමන් ගලවා ගැනීම සඳහා නැවත රටට එන ලෙසට කෑගසන තත්ත්වයක් ඇතිවන්නට ඉඩ තිබුණු අතර, ඒ අනුව ඇයට ද කෙටි කාලීන විරාමයකින් පසුව විහාරමහාදේවි වැනි වීරවරියක ලෙස ජයග්‍රාහී ආකාරයකින් නැවත රටට ආපසු ඒ මේ හැකියාව ද ලැබෙන්නට ඉඩ තිබුණි.

ඇය ඕනෑම මොහොතක වීදි සටනකට සූදානම් පන්නයේ නායිකාවක් වුවත්, සියුම් දේශපාලන ඉදිරි දැක්මක් ඇති නායිකාවක් නොවීම හේතු කොටගෙන ඇය තෝරාගත්තේ ජයග්‍රාහී මාවත නොව, විනාශයේ මාවතයි. ඒ මෝඩ තීරණය කෙරෙහි ඇගේ අඳ බාල ගෝලබාලයින් ද බලපෑවා විය හැකිය. එම ගෝල බාලයින්ගෙන් සමහරෙක් බරපතල වැරදි හා අපරාධකාරි වැරදි කර තිබූ තත්ත්වයක් ඉදිරියේ ජනාධිපතිනියගෙන් තොර එජා පෙරමුණු පාලනයක් විසින් තමන් හිරගෙවල් වලට තල්ලුකරන තත්ත්වයක් ඇති කරනු ඇතැයි කල්පනා කොට ව්‍යවස්ථාව අනුව ඇය තරම් බලවත් කෙනෙකු නැති බව ප්‍රකාශ කරමින් ඇයට අංතට්ටුවක් පැළඳ ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කළේය. ඒ නිසා මුළුමණන් බලය පවරන ප්‍රතිපත්තියක් වෙනුවට අගමැතිවරයාට එක්තරා ප්‍රමාණයකට පමණක් බලය ලබාදෙන ප්‍රතිපත්තියක් තුළ අවශ්‍ය අවස්ථාවකදි පෙනේ පිප්පිය හැකි තත්ත්වයක් ජනාධිපතිනිය පවත්වාගෙන ගියාය.

විධායක ජනාධිපතිකම ප්‍රතිපක්ෂ නායිකාව අත තිබෙන අවස්ථාවක තමන්ට පාර්ලිමේන්තු බලය ලැබී තිබෙන තත්ත්වයක් තුළ බලය පිළිබඳ ප්‍රශ්නය විසඳ ගන්නේ කෙසේද යන ප්‍රශ්නය පිළිබඳව එක්කෝ අගමැතිවරයාට ආරම්භක අවස්ථාවේදි පැහැදිලි වැටහීමක් නොතිබුණේය. නැතිනම් ඒ ගැන හොඳ වැටහීමක් තිබියදිත්, වැටහීමක් නැති කෙනෙකු ලෙස හැසිරුණේය. සිදුවූයේ ඒ දෙකින් කුමක් වුවත්, දැන් වාසියේ චක්‍රය කැරකෙමින් තිබෙන්නේ අගමැතිගේ දිසාවටය.

පාර්ලිමේන්තු බලය තමන් අතට පත්වූ වහාම සාමය පිළිබඳ ප්‍රශ්නය පසුවට තබා ජනාධිපතිනිය සමග ගනුදෙනු බේරාගන්නා තත්ත්වයකට ගියේ නම්, වඩා මූලික ප්‍රශ්නය නොසලකා ඊට හානියක් ඇති කෙරෙන ආකාරයට ක්‍රියා කිරීම ගැන ජාත්‍යන්තර ප්‍රජාවගේ සේ ම දෙමළ ප්‍රජාවගේ ද විරෝධයට හේතුවන්නට ඉඩ තිබුණි. එහෙත් අගමැතිවරයා ජනාධිපතිනිය සමග සහජීවනයෙන් ක්‍රියා කිරීමට ඉඩක් නැති බව තේරුම් ගෙන හෝ තේරුම් නොගෙන ඇය සමග සහජීවනයෙන් ක්‍රියා කරන්නට යන තත්ත්වයක් හා එම සහජීවනයට එරෙහිව ජනාධිපතිනිය යටින් කපන ප්‍රතිපත්තියක් ඉදිරියේ ජනාධිපතිනිය සමග සහජීවන ප්‍රතිපත්තියක් මගින් සාමය ඇති කරගැනීමට ඉඩක් නැතැයි කියන මතයක් ජාත්‍යන්තර ප්‍රජාව අතර සේ ම දෙමළ ප්‍රජාව අතර ද ගොඩ නැගුණි. දැන් අගමැතිවරයා ඉන්නේ ජනාධිපතිනිය පලවා හරින ප්‍රයත්නයකට ඒ සියලු දෙනාගේ සහාය ලබාගත හැකි තැනකය.

පලවා හැරිමක් යුක්ති සහගත කිරීම සඳහා බලවත් චෝදනා පත්‍රයක් ද අවශ්‍ය වන්නේය. බලය අතහැර බලයේ රැඳී සිටින තත්ත්වයක් ඉදිරියේ ජනාධිපතිනියට එරෙහිව ඉදිරිපත් කෙරෙන බලවත් චෝදනා පත්‍රයක් සඳහා කරුණු සොයා බලන තැනකට අගමැතිවරයා තල්ලුවී ගියේය. ජනාධිපතිනියගේ දූෂිත ගනුදෙනු හා අපරාධ ගැන කරුණු හෙළිදරව් වූයේ ඒ සඳහා කෙරුණු පරික්ෂණවල ප්‍රතිඵලයක් වශයෙනි.

සිදුවී තිබෙන දූෂණ හා අපරාධවල තරම දෙස බලන විට ජනාධිපතිනිය තමන් සදා බලයේ සිටිනු ඇතැයි සලකා ක්‍රියා කොට ඇති බවක් පෙනී යයි. ඇය අපේක්ෂා කළ ආකාරයටම ඇයට සදා බලයේ සිටීමට හැකි වී නම්, සිදුවී තිබෙන එම බරපතල වැරදි, වැරදි ලෙස මතුවීමේ හැකියාවක් ද නොතිබුණි. හැමදාමත් තමන් බලයේ සිටිනු ඇතැයි කල්පනා කරන පුද්ගලයෙකු වැරදි කරන විට සාක්ෂි ගැන තැකීමක් කරන්නේ නැත. රාජ්‍ය බලය හා අධිකරණ බලය තමන් අත තිබෙන තත්ත්වයක් ඉදිරියේ තමන් අතින් සිදුවන කවර තරම් බරපතල අපරාධයකට හෝ දූෂණයකට වුවත්, තමන්ට වගඋත්තර කියන්නට සිදු නොවනු ඇතැයි සිතීම ස්වාභාවිකය.

එහෙත් අනපේක්ෂිත විශාල ප්‍රමාණයකට බලය අහිමිවී තිබෙන තත්ත්වයක් ඉදිරියේ දැන් සිදුවී තිබෙන ඒ සියලු වැරදි වලට වගඋත්තර කිවයුතු තත්ත්වයකට ජනාධිපතිනිය පත්ව සිටින්නී ය.

ජනාධිපතිනිය හිරේ වැටෙන තත්ත්වයකින් පවා අවසන්විය හැකි මෙම අමිහිරි ගැටුම ඉදිරියට ගලා යා හැකි ස්වරූප ගණනාවක් ඇතත්, ඒවා අතුරින් සිදුවීමට වැඩිම ඉඩක් ඇති ආකාරය මෙසේය.

1. ඉදිරි සති කිහිපය තුළ දෙපාර්ශ්වය අතර ගැටුම උච්චතත්ත්වයකට පත්වීම.

2. තායිලන්තයේ සාම සාකච්ඡා ආරම්භ කිරීම.

3. ජනාධිපතිනිය සිය ආරක්ෂාව සඳහා කැබිනට් මණ්ඩලයේ විවිධ පුද්ගලයන්ට චෝදනා ඉදිරිපත් කරන තත්ත්වයක් ද ජනාධිපතිනියට එරෙහිව කෙරෙන පරික්ෂණ වේගවත් වී විධිමත් හා විස්තරාත්මක ආකාරයකින් ජනාධිපතිනියට එරෙහිව දූෂණ හා අපරාධ චෝදනා ඉදිරිපත් වන තත්ත්වයක් ඇතිවීම.

4. ජනාධිපතිනිය මුල් කොටගෙන පොදු පෙරමුණ තුළ තිබෙන බෙදිම් වර්ධනය වීම.

5. ජනාධිපතිනියට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත්වීම හා හෘද සාක්ෂි පනත හා පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට ජනාධිපතිනියට තිබෙන බලතල අහෝසි කිරීම සඳහා වන අණ පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත්වීම.

(අ) එම අණ පනත් සම්මත වේ නම්, පුළුල් ආණ්ඩුවක් ඇතිවීම හා දෝෂාභියෝගය සම්මතවීම මගින් ජනාධිපතිනියට තනතුර අහිමි වන තත්ත්වයක් ඇතිවීම.

(ආ) හෘද සාක්ෂි පනත ඇතුළු අණ පනත් සම්මත නොවේ නම්, ආණ්ඩු පක්ෂය විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයකට යෑම.

6. මැතිවරණයේදි ආණ්ඩු පක්ෂය ජනාධිපතිනිය පලවා හරින ජනවරමක් ජනතාවගෙන් ඉල්ලා සිටීම.

7. මැතිවරණයෙන් ආණ්ඩු පක්ෂයට තුනෙන් දෙකේ බලයක් ලබාගැනීමට නොහැකි වුවත්, තිබෙන ආසන සංඛ්‍යාවට වඩා වැඩි ආසන සංඛ්‍යාවක් ලබාගැනීමට හැකිවෙතොත්, ජනතා විමුක්ති පෙරමුණේ හා පොදුජන එක්සත් පෙරමුණ ලබාගන්නා ආසන සංඛ්‍යාව අඩුවී විපක්ෂය බෙලහීන තත්ත්වයකට ඇද වැටී විපක්ෂයෙන් පිරිසක් සභාග ආණ්ඩුවට එකගතාවක් ඇතිකර ගන්නා තත්ත්වයක් ඇතිවී ජනාධිපතිනියට බලය අත්හැර යායුතු තත්ත්වයක් නිර්මාණය වීම.