නයි පොළගුන් සමග සෙල්ලමට යාම

July 21, 2002
Publication:
Ivan likens Ranil Wickremesinghe to a snake charmer handling cobras whose fangs he has not drawn: pursuing the President and her associates slowly through inquiries while they still hold key posts. Further sections note that the committee under retired judge Ranjith Dheerasekera on local election malpractice has been starved of resources, mock the President's reported threat to bite the Prime Minister's neck, and warn that the honeymoon is ending, citing Harry Jayawardena's appointment to the Securities and Exchange Commission.

නයි නැටවීම වෘත්තියක් කොටගත් අය සිටිතත් නයා සෙල්ලමට උචිත සතෙකු ලෙස සැලකෙන්නේ නැත. නයි නටවන්නන් උන් නටවන තත්ත්වයකට යන්නේ ද තමන් නටවන්නට අදහස් කරන නයාගේ විෂදළ ඉවත් කිරිමෙන් පසුව ය. ඉන් පසු තවදුරටත් ඒ නයා විෂකුරු සතෙකු ලෙස බාහිර වශයෙන් පෙනුණත් ඌ විෂ දළවලින් පහරදිමේ හැකියාවක් නැති අහිංසක සතෙකු බවට පත්ව ඇත්තේ ය.

අගමැති රනිල් වික්‍රමසිංහ විෂ දළ ඉවත් කිරීමකින් තොරව ම එක් නයෙක් වෙනුවට හැපින්නක් හා නයි රංචුවක් නටවමින් සිටින්නේ ය. අගැමතිගේ නයි නැටවිල්ල බලා සිටින්නන්ගේ විනෝදයට හේතු වී ඇතත් නයි නටවන්නා හා එම නයි නැටවිල්ල බලා සිටින්නන් විෂ දල ඉවත් නොකළ සතුන් රංචුවක් සමග ඒ කරන ක්‍රීඩාව විසින් ඇතිකළ හැකි භයානක ප්‍රතිඵල සැලකිල්ලට ගෙන ඇති බවක් පෙනෙන්නට නැත.

තමන්ට මහජන වරමක් ලැබුණු පසු අගමැති වශයෙන් තමන්ට හිමි දෙවැනි තැන පිළිගනිමින් ජනාධිපතිනිය සමග සංහිඳියාවකින් ක්‍රියා කරනවාද නැති නම් පූර්ණ වශයෙන් රාජ්‍ය බලය සියතට ගැනීම පිණිස ක්‍රියාකරනවාද යන කේන්ද්‍රීය ප්‍රශ්නයට විසඳුමක් සොයාගත යුතුව තිබුණේ බලයට එන්නට පෙර හෝ බලයට පැමිණි වහාම ය. එහෙත් අගමැතිවරයාට ඒ පිළිබඳව පැහැදිලි අදහසක් තිබූ බවක් පෙනෙන්නට නැත. පළමු වටයේ දි අගමැතිවරයා ජනාධිපතිනිය සමග සංහිඳියාවෙන් ක්‍රියාකරන තැනකට ගියේ ය. සංහිඳියාවකට ඉඩක් නැති බව තේරුම් ගත් විට ජනාධිපති බල රහිත කිරීම අත්‍යවශ්‍ය වේ යයි කල්පනා කළත් ඒ සඳහා ජනතාවගේ පිළිගැනීමට හේතුවන වැඩ පිළිවෙළක් ඉදිරියට ගැනීමට අසමත් විය. ඒ වෙනුවට කළේ ජනාධිපතිනිය හා ඇගේ සමීප සගයින් අතින් සිදු වී ඇති බරපතල අපරාධ හා වංචා ගැන හෙමින් හෙමින් සොයා බලන පිළිවෙතකට යොමුවීම ය. ඒ සියලු දෙනා නීතිමය වශයෙන් කොටුකරන තත්ත්වයකට පත් කිරීම එහි අරමුණ වනවා විය හැකි ය.

ජනාධිපතිනිය හා ඇගේ සමීප සගයින් කර තිබෙන අපරාධ ගනයේ වැරදි හා දූෂණ ගණයේ වැරදිවල තරම දෙස බලන විට ඒ ගැන ක්‍රමානුකූලව කරුණු සොයා බලන පිළිවෙතක් මගින් ඔවුන් නීතිමය වශයෙන් කොටු කරන තැනකට යා හැකි බවට සැකයක් නැත. එහෙත් ඒ සියල්ල කරන්නට යන්නේ කේන්ද්‍රීය වැදගත්කමක් ඇති මර්මස්ථාන ගණනාවක බලය ප්‍රතිපක්ෂෂය අත තිබෙන තත්ත්වයක් යටතේ ය. තමන් නීතිය ඉදිරියට පමුණුවාලීම අගමැතිගේ අරමුණ වන බව ද ඒ සියලු දෙනා දන්නේ ය. ඒ තත්ත්වය ඉදිරියේ තමන් විනාශ කරන්නට යන පිළිවෙතකට ඉඩහැර ඔවුන් හැමදාමත් නිශ්ශබ්දව බලා සිටිනු ඇතැයි සිතිය නොහැකි ය. දැන් අගමැතිවරයා නයි නටවමින් තිබෙන ක්‍රමයට නටවන නයින් විනාශවීමේ හැකියාවක් තිබෙනවා සේ ම ඒ නයින් අතින් අගමැතිවරයා විනාශ වීමේ හැකියාවක් ද පවතී.

කථාව දෝලාවෙන් ගමන පයින්

පසුගිය පළාත් පාලන මැතිවරණයේ දි ප්‍රදේශ කිහිපයකට අදාළව ආණ්ඩු පක්ෂෂයට එල්ල වී තිබුණු මැතිවරණ දූෂණ චෝදනා පිළිබඳව කරුණු සොයා බැලීම පිණිස ආණ්ඩුව විශ්‍රාම ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රංජිත් ධීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂෂණ කමිටුවක් පත් කළේ ය. ආණ්ඩුව මහජනයා සතුටු කිරීම පිණිස පරීක්ෂණ කමිටුවක් පත් කළත් එම පරීක්ෂෂණ කමිටුවට සිය පරීක්ෂෂණ කටයුතු ආරම්භ කොට පවත්වාගෙන යා හැකි තත්ත්වයක් ලබාදුන්නේ නැත. පරීක්ෂෂණ කමිටුවට ලේකම්වරයෙක්, රැස්වීමට ස්ථානයක් හෝ අවශ්‍ය මූලික අරමුදල් ලබා නොදෙන තත්ත්වයක් ඉදිරියේ එම පරීක්ෂෂණ කමිටුව මළ කමිටුවක් බවට පත්ව තිබේ.

1994 දි පොදු පෙරමුණ බලයට ආවේ බලයේ සිටි එක්සත් ජාතික පක්ෂෂයට එරෙහිව මැතිවරණ දූෂණ පිළිබඳ බරපතල චෝදනා පත්‍රයක් රටට ඉදිරිපත් කරමින් ඒ තත්ත්වය අහෝසි කොට පිරිසිදු හා ආදර්ශමත් මැතිවරණ සංස්කෘතියක් ඇති කරන බවට රටට සහතික වෙමිනි. එහෙත් බලයට පත්වීමෙන් පසුව ඒ විෂයෙහි ලා පොදු පෙරමුණු ආණ්ඩුවේ හැසිරිම නින්දා සහගත වූයේ ය. මේ නැඹුරුවේ වේගවත් ආරම්භයක් ප්‍රකාශ වූයේ ද 1997 පළාත් පාලන මැතිවරණයෙනි.

එජා පෙරමුණ ද බලයට පත්වූයේ මැතිවරණ දූෂණ පිළිබඳව පොදු පෙරමුණු ආණ්ඩුවට එරෙහිව ද දැවැන්ත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරන අතර දූෂණවලින් තොර යහපත් මැතිවරණ සංස්කෘතියක් ඇති කරන බවට සහතික වෙමින් ඒ සඳහා අගනා පොරොන්දු පත්‍රයක් ද ඉදිරිපත් කරමිනි. එහෙත් බලයට පැමිණීමෙන් පසුව පවත්වන ලද පළමු පළාත් පාලන මැතිවරණය මැතිවරණ දූෂණවලින් තොර ආදර්ශමත් මැතිවරණයක තත්ත්වයක තබාගැනීමට ආණ්ඩුව අසමත් විය. හැම තැනකම වැරදි සිදුවූයේ නැතත් තැන් කිහිපයක හෝ බරපතල වැරදි සිදුවූයේ ය. ඒවා ආණ්ඩුවේ අනුදැනුමෙන් තොරව ප්‍රාදේශීය මට්ටමේ නායකයින් අතින් සිදු වූ වැරදි විය හැකි වුවත් ඒ වැරදි තවදුරටත් සිදුවන්නට ඉඩක් නොලැබෙන පරිදි වැරදිවලට වගකිවයුතු අය සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කිරිමේ යුතුකමක් ආණ්ඩුවට තිබුණි. සිදු වී තිබෙන වැරදි පිළිබඳව සාධාරණ පරීක්ෂෂණයක් පවත්වන බවට ආණ්ඩුව ඒ අවස්ථාවේ දි සහතික වුවත් ඒ පොරොන්දුව ඉටු නොවූ තත්ත්වයක් තුළ ඒ ගැන හඬ නැගීමට එම විෂය ගැන උනන්දුවක් දක්වන සිවිල් සංවිධාන වලට සිදුවිය. ඒ කෑ ගැසීම් ඉදිරියේ අවසානයේ දි ආණ්ඩුව පරීක්ක්ෂෂණ කමිටුවක් පත් කළත් පරීක්ෂෂණ කමිටුවේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ඉන්ධන ලබා නොදෙන තත්ත්වයක් තුළ දැන් එය මළ පරීක්ෂෂණ කමිටුවක් බවට පත් වී තිබේ.

මෙය යහපත් තත්ත්වයක් ලෙස සැලකිය නොහැකි ය. මහා වැරදි බවට පත්වන්නේ කුඩාවට ආරම්භ වන දේවල් ය. වැරදි වර්ධනය වන්නට පෙර ආරම්භක අවස්ථවේ දි ම ඒවාට පිළියම් යෙදිම ආණ්ඩුවේ වගකීමකි. ආණ්ඩුවක අවංකභාවය තීරණය කරන්නේ ද මෙවැනි දේවලිනි.

රිරී මාංශය උරා බීමට ඇති ආශාව

ජන වහරේ එන විශ්වාසයන්ට අනුව රිරී මාංශය උරා බොන්නේ යක්ෂෂයන් හා පෙරේතයන් ය. එහෙත් පුදුමයකට මෙන් අපේ රටේ රාජ්‍ය නායිකාවට ද සිය ප්‍රතිවාදියාගේ (රනිල් වික්‍රමසිංහ) බෙල්ල හපා කා ලේ උරාබීමේ ආශාවක් ඇති වී තිබෙන බව පෙනේ.

පසුගිය ඉරිදා “සන්ඩේ ලීඩර්” පුවත් පත වාර්තාකර තිබුණු ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂෂයේ ආසන සංවිධායකයන් සඳහා පක්ෂෂයේ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළ ගැන දැනුවත් කිරීම සඳහා අනුරාධපුරයේ පැවති සාකච්ඡාවක දි ඔවුන් අමතා කථා කර ඇති ජනාධිපතිනිය තමන් මරා දැමීමේ වුවමනාවක් ආණ්ඩුවට තිබෙන බවත් කැබිනට් රැස්වීමක දි පවා එවැනි ප්‍රයත්නයක් ක්‍රියාත්මක විය හැකි බවත් එවැනි තත්ත්වයකට මුහුණ දෙන්නට සිදුවුවහොත් තමා අගමැතිගේ බෙල්ල හපා කන බවත් ජනාධිපතිනිය ප්‍රකාශ කළ බව එම පුවත් පත වාර්තා කර තිබුණි.

රටේ නායිකාව පිස්සු වැටී සිටිනවා හෝ පිස්සු වැටෙන්නට ආසන්න තත්ත්වයකට පත්ව තිබෙනවා විය හැකි ය. රටේ ගෞරවය සලකා මහජන මුදලින් හෝ ඇයට ප්‍රතිකාර ලබාදිම ආණ්ඩුවේ වගකීමකි.

මධු සමය අවසන්

ආණ්ඩුවේ මධුසම කාලය අවසන් වෙමින් තිබෙන බව ආණ්ඩුව තේරුම් ගත යුතු ය. මහජන අපේක්ෂෂා හා ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය අතර විශාල පරතරයක් පවතී. සාමය පිළිබඳ බලාපොරොත්තු තවමත් මහජනතාව අත්හැර නැත. ආණ්ඩුවට තිබෙන එකම හයිය එය පමණ ය. ඒ ඇරුණු විට ආර්ථිකයේ ද ඉතාමත් හෙමින් හෙමින් වුවත් ක්‍රමානුකූල වර්ධනයක් පවතී. තවමත් කොටස් වෙළෙඳ පොළ දර්ශකයේ වර්ධනයක් මිස පසුබැස්මක් ඇති වී නැත. එම තත්ත්වය පුද්ගලික අංශය තුළ විශ්වාසයක් ඇති කිරීමට හේතු වී තිබෙන අතර එම තත්ත්වය පෙරළා ආර්ථිකය කෙරෙහි ඵලදායී ලෙස බලපායි.

ඒ කරුණු දෙකේ දි හැරෙන්නට අන් කිසිම ක්ෂෙෂ්ත්‍රයකට විශේෂ හොඳක් පෙනෙන්නට නැත. සංකේතාත්මක වැදගත්කමක් ඇති අංශ තවමත් එක තැන පල්වන තත්ත්වයේ පවතී. ස්වාධීන කොමිෂන් සභා ක්‍රමයක් ඇතිකර ගැනීම සඳහා ඉතාමත් ප්‍රමාද වී හෝ ව්‍යවස්ථා සභාවක් ඇතිකරගත්තත් තවමත් ස්වාධීන කොමිෂන් සභා ක්‍රමය ඇති වී නැත.

අධිකරණය විවාදයට හේතු වී තිබුණු ප්‍රධාන මාතෘකාවකි. පොදු පෙරමුණේ දේශපාලන වුවමනාව මත සිදු වූ තක්කඩිකම් හා අපරාධවල දි ඒවාට වගකිවයුත්තන්ට රැකවරණය ලබාදෙන ආයතනයක් ලෙස අධිකරණය ක්‍රියා කළේ ය. මේ තත්ත්වයට එරෙහි එක්සත් ජාතික පක්ෂෂය ජනතා විමුක්ති පෙරමුණේ ද සහාය ඇතිව රටේ අධිකරණ නායකයාට එරෙහිව දෝෂාභියෝගයක් ද ඉදිරිපත් කළේ ය. එහෙත් නව ආණ්ඩුවක් බලයට පත් වීමෙන් පසුත් අධිකරණයේ මුල් පුටුව හොබවමින් සිටින්නේ තමන් විසින් ම දූෂිත පුද්ගලයකු ලෙස සලකා දෝෂාභියෝගයකට ලක් කළ පුද්ගලයා ය.

පොදු පෙරමුණ ආණ්ඩු බලයේ සිටිය දි විනිමය වංචා වැරදි ගණනාවකට අධිකරණය ඉදිරියේ චෝදනා එල්ල වී තිබූ පුද්ගලයකු විනිමය සුරැකුම් කොමිසමට පත් කළේ ය. ඉදිරිපත් වී තිබුණු බරපතල චෝදනා නොසලකා පොදු පෙරමුණු ආණ්ඩුවට එම පුද්ගලයා ආරක්ෂෂා කරන්නට සිදුවූයේ ඔහු බණ්ඩාරනායක පවුලට සමීප එම පවුලේ දේශපාලන කටයුතු වෙනුවෙන් බරපැන ඉසිලු ප්‍රධාන පුද්ගලයා වීම නිසා ය. දැන් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව ද ඔහුට එරෙහිව පොදු පෙරමුණු ආණ්ඩුව විසින් යටපත් කරගෙන සිටි පරික්ෂෂණ එළියට ගන්නවා වෙනුවට ඔවුන් ද විනිමය නඩු ගණනාවකට පැටලී සිටින එම පුද්ගලයා විනිමය සුරැකුම් කොමිසමට පත් කළේ ය. එහි තේරුම බණ්ඩාරනායක පවුලට පමණක් සීමා නොවී දැන් හැරි ජයවර්ධනට පක්ෂෂ භේදයකින් තොරව ම බල තරගයේ සිටින අන් සියලු පවුල්වල බරපැන උසුලන පුද්ගලයා බවට පත් වී සිටින බව ද?