පසුගිය මැතිවරණ කාලයේදි 17 වැනි සංශෝධනයට ඇතුළත් නියමයන්ට පටහැනිව ගුවන් විදුලියේ හා රූපවාහිනියේ බලධාරින් පොදු පෙරමුණේ උවමනාවන් වෙනුවෙන් ගුවන් විදුලිය හා රූපවාහිනිය යොදා ගනිමින් පැවති තත්ත්වයට එරෙහිව එජාප නියෝජ්ය නායක කරු ජයසූරිය මහතා විසින් පවරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්රේෂ්ඨාධිකරණය ඉදිරියේ තවමත් විභාග වෙමින් පවතී.
කරු ජයසූරිය මහතාට ඒ අවස්ථාවේදි ශ්රේෂ්ඨාධිකරණය ඉදිරියට යන්නට සිදුවූයේ 17 වැනි සංශෝධනයට ඇතුළත් මැතිවරණයට අදාළ විධි විධාන බලාත්මක කරවා ගැනීම සඳහාය. ඒ වනවිට එජාප අගවිනිසුරුවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කර තිබුණු අතර, කරු ජයසූරිය මහතා එම දෝෂාභියෝග ව්යාපාරයේ ප්රමුඛ නායකයකු විය.
අගවිනිසුරුවරයාට එරෙහිව විපක්ෂය දෝෂාභියෝගයක් ඉදිරිපත් කර තිබෙන නිසා මැතිවරණ කාලයේදි මැතිවරණයට අදාළව ශ්රේෂ්ඨාධිකරණයට එන නඩුවලදි ඒ නඩු ඇසීමෙන් අගවිනිසුරුවරයා වැළකී සිටිය යුතු බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසමේ මහ කොමසාරිස්වරිය වන මාරී රොබින්සන් මහත්මිය ආණ්ඩුව වෙත දැනුම් දිමක් ද කර තිබුණ. එහෙත් පුදුමයකට මෙන් ඒ කිසිවක් නොසලකා කරු ජයසූරිය මහතාගේ පෙත්සම විභාග කිරීම අගවිනිසුරුවරයා තමා ඇතුළත් විනිශ්චය මණ්ඩලයක් ඉදිරියට ගත්තා පමණක් නොව, අතුරු තහනමක් පනවා, සිදුවෙමින් තිබෙන වැරදි නිවැරදි කිරීමට පුලුවන්කම තිබියදි ගුවන් විදුලියට හා රූපවාහිනියට ආණ්ඩුක්රම ව්යවස්ථාව සිත් සේ උල්ලංඝණය කිරීමට ඉඩ ලැබෙන ආකාරයට පෙත්සම විභාගයට ගැනීම ද මැතිවරණයෙන් පසු දිනකට කල් දෑමුවේය.
දැන් වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ නිහාල් ජයමාන්න මහතා ප්රකාශ කර ඇත්තේ මින් ඉදිරියට එවැනි වැරදි සිදු නොවනු ඇති බවය.
දැන් අපේ රටේ නඩු ඇසෙන ක්රමය ද කැකිල්ලෙ රජ්ජුරුවෝ නඩු ඇසූ ක්රමයට වෙනස් නැත.
ජනපතිනියගේ මනුස්සකම
රටේ තිබෙන තත්ත්වය ගැන සාකච්ඡා කොට අවශ්ය උපදෙස් ලබාගැනීම සඳහා ජනාධිපතිනිය පසුගිය 28 වැනිදා සිය මන්දිරයට මහා සංඝරත්නය කැඳවා සාකච්ඡා කර තිබේ.
තමා මනුස්සකම පදනම් කොටගත් ප්රජාතන්ත්රවාදි පාලනයක් පවත්වාගෙන ගියත්, ඒ තත්ත්වය දෑන් වෙනස් වී තමන් ද අවදානම්සහගත තත්ත්වයකට මුහුණ දි සිටින බවත්, තමාගේ ආරක්ෂකයන් බොරු චෝදනා මත අත්අඩංගුවට ගනිමින් තිබෙන බවත්, එහිදි ජනාධිපතිනිය ප්රකාශ කළ බව ජනාධිපති කාර්යාලය නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වේ.
එතුමිය විසින් ඇති කළ මනුස්සකම මුල් කරගත් ආණ්ඩුව මේ රටේ මහජනතාව පරාජය කරන ලද්දේ ඡන්දදායක ජනගහනයෙන් බහුතරයක් අමනුස්සයන් වන නිසා විය යුතුය. එතුමියගේ රාජ්ය පාලනය තුළ තිබුණු මනුස්සකම සදා අමරණීයය. රෝහණ කුමාර, පොන්නම්බලම් වැනි අය වෙඩි තබා මරා දෑමුවේ උල සිටුවා මරා දැමීමට හැකියාව තිබියදි, එතුමියගේ පාලනයට ආවේණික මනුස්සකම හේතු කොටගෙනය. රූකාන්ත-චන්ද්රලේඛා ගායක යුවළ මරා දැමීමට තරම් බරපතල හේතු තිබියදිත් කොණ්ඩා කැපීමෙන් හා ඇගට පෙට්රල් වැක්කිරිමෙන් පමණක් සෑහීමට පත්වූයේ ද මනුස්සකම හේතු කොටගෙනය. සිනමා නිළි අනෝජා වීරසිංහ දස වධ දි මරා නොදමා ඇගේ නොවැදගත් නිවස පමණක් ගිනි බත් කළේ ද මනුස්සකම නිසාය.
මූලධර්ම කණපිට හැරවීම
බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ සංවිධායකට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්රීවරුන් විසින් භාර දෙන ලද විශ්වාසභංග යෝජනාවක් පළාත් සභා ලේකම්වරයා පළාත් සභා න්යාය පත්රයට ඇතුළත් කර තිබෙන බව වාර්තා වේ.
ආණ්ඩු පක්ෂය යන්නෙන් බහුතර බලය ඇති ආණ්ඩු කරවන පක්ෂය අදහස් වන අතර, විපක්ෂය යන්නෙන් අදහස් වන්නේ ආණ්ඩු පක්ෂයෙන් බැහැර විපක්ෂයේ සිටින සුළුතර කණ්ඩායමකි. ඒ සුළුතර කණ්ඩායම සමහරවිට ඉතාමත් පුංචි පාර්ශ්වයක් ද විය හැකිය. සාමාන්යයෙන් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන්නේ ද ආණ්ඩු පක්ෂයට හෝ ආණ්ඩු පක්ෂයේ තනතුරක් දරන පුද්ගලයෙකුට එරෙහිවය.
පාර්ලිමේන්තුවේ විපක්ෂයට, අගමැතිට හෝ යම් ආණ්ඩු පක්ෂයේ ධුර දරන්නෙකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරිමේ හැකියාවක් ඇතත්, ආණ්ඩු පක්ෂයට විරුද්ධව පක්ෂ නායකයාට හෝ විරුද්ධ පක්ෂ සංවිධායකට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරිමේ හැකියාවක් නැත. එහෙත් විරුද්ධ පක්ෂ කණ්ඩායමට, විරුද්ධ පක්ෂ නායකයාට හෝ සංවිධාකයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරිමේ හැකියාවක් පවතී. එහෙත් එවැනි විශ්වාසභංග යෝජනාවකදි විරුද්ධ පක්ෂයේ සාමාජිකයන්ට මිස, ආණ්ඩු පක්ෂයේ සාමාජිකයන්ට ඡන්දය පාවිච්චි කිරිමේ අයිතියක් ලැබෙන්නේ නැත.
එහෙත් ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධ පක්ෂ කණ්ඩායම් රැස්වීමකදි විරුද්ධ පක්ෂ සංවිධානයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් නොකොට ඒ වෙනුවට එම යෝජනාව පොදු සභාවට ඉදිරිපත් කිරිමෙන් හා පළාත් සභා ලේකම්වරයා එම යෝජනාව න්යාය පත්රයට ඇතුළත් කිරිමෙන් පෙනෙන්නේ ජවිපෙටවත්, පළාත් සභා ලේකම්වරයාටවත් ප්රජාතන්ත්රවාදි මූලධර්ම පිළිබඳව මළපොතේ දැනුමක්වත් නැති බව නොවේද?
තද ප්රතිපත්තිය ගුවන් හමුදාපති සම්බන්ධයෙන් පමණක් ද?
ගුවන් හමුදාපතිවරයාට එල්ල වී තිබෙන චෝදනාව පිළිබඳ පරීක්ෂණයකට මුහුණ දෙන ලෙසත්, එසේ නොවේ නම් තනතුරෙන් ඉවත් වන ලෙසටත් ආණ්ඩුව කර තිබෙන දැනුම් දිම මේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව වැරදි කළ ප්රමුඛ තනතුරක් දරන්නෙකු සම්බන්ධයෙන් දැඩි ප්රතිපත්තියක් ප්රකාශ වූ පළමු අවස්ථාව ලෙස සැලකිය හැකිය.
එය ඉතා හොඳ ප්රතිපත්තියක් වුවත්, ඊටත් වඩා බරපතල වැරදි කර තිබෙන බවට චෝදනා එල්ල වී තිබෙන වෙනත් අය සම්බන්ධයෙන් ආණ්ඩුව එවැනි දැඩි පිළිවෙතක් අනුගමනය නොකරන්නේ ඇයි?
ආණ්ඩු පක්ෂය විපක්ෂයේ සිටියදි අගවිනිසුරුවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කළේය. ඒ දෝෂාභියෝගය යටපත් කිරීමට අගවිනිසුරුවරයා නැටූ නැටිල්ලේ තරම මහජනයාට අමතක නැත. සාධාරණත්වය ඉටුකර ගැනීම සඳහා සාමාන්ය මිනිසුන් පමණක් නොව, පක්ෂයක් වශයෙන් එජාපය අධිකරණය ඉදිරියට ගිය අවස්ථාවල පවා අගවිනිසුරුවරයා ක්රියා කළේ විනිසුරුවරයෙකු ලෙස නොව, පීඑස්ඩීකාරයෙකු ලෙසය.
ඕනෑවට වඩා ප්රමාදවීමෙන් විය හැක්කේ සමස්ත අධිකරණ පද්ධතියම කුණුවන තැනකට පත්වීමය. අසාධාරණ ලෙස අධිකරණ සේවයෙන් පළවා හරින ලද පිරිස් වලට ද අද දක්වා යුක්තිය ඉටුකිරීමක් සිදුවී නැත.
කොටකදෙණිය පොලිසිය ගැන කියන රස කතා
පොලිසියේ සමහර නිලධාරීන් පැළඳ ගෙන සිටින බ්රේස්ලට්, රන් ආභරණ, සමහරුන්ට හිමි සැප වාහන හා සුඛෝපභෝගී නිවාස තමන්ට ලැබෙන වැටුපෙන් නොකා නොබී එකතු කළත් ලබාගත නොහැකි බව ද, මාස හයෙන් ලක්ෂපතියන් වූ පොලිස් නිලධාරින් පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින බවද, රටේ සිදුවන ඝාතන, මංකොල්ලකෑම්, මත්ද්රව්ය ජාවාරම් වැනි අපරාධවලට පොලිසියේ ඇතැම් අය ද සම්බන්ධ බවද, මේ හේතු නිසා පොලිස් දෙපාර්තමේන්තුව අද මහජනතාව අතර අපකීර්තියට ලක්ව ඇති බවද, ජේයෂ්ඨ නියෝජ්ය පොලිස්පති එච්.එම්.ජී.බී. කොටකදෙණිය මහතා ප්රකාශ කර තිබේ.
මෙය පොලිසියට පමණක් නොව, රටේ දේශපාලනඥයන්ට හා ඇතැම් උසස් රාජ්ය නිලධාරින්ට ද ආවේණික ලක්ෂණයකි.
දේශපාලනඥයන් ඇතුළු රජයේ උසස් නිලධාරින් සඳහා වත්කම් හා බැරකම් නීතියක් නීතිගත කර ඇත්තේ, ඉහළ අංශවල සිදුවන දූෂණය පාලනය කිරීම සඳහාය. එහෙත් වත්කම් බැරකම් නීතිය හරියාකාරව ක්රියාත්මක වන තත්ත්වයක් රටේ නොපවතී. සමහර නිලධාරින් පමණක් නොව, විධායකයේ සිටින ඉහළම පුද්ගලයා වන ජනාධිපතිනිය පවා විධිමත් ලෙස තමන්ගේ වත්කම් හා බැරකම් ප්රකාශ කර ඇත්තේ ද යන ප්රශ්නයක් පවතී. වත්කම් හා බැරකම් නීතියක් ඇති කොට ඇත්තේ වත්කම් හා බැරකම් ප්රකාශ කිරීමට බැඳී සිටින පුද්ගලයන්ගේ වත්කම් හා බැරකම් ප්රකාශන අල්මාරිවල සගවා තැබීම පිණිස නොව, ඒ ගැන උනන්දුවක් දක්වන මහජනතාවට ඒවා පරික්ෂා කිරීමට අවස්ථාවක් ලබාදිම සඳහාය.
වත්කම් හා බැරකම් ප්රකාශ කරන පුද්ගලයන්ගේ ප්රකාශන මහජනතාවට ඉතාමත් පහසු මිලට (රුපියල් 50ක් වැනි) ලබාදෙන ක්රමයක් හා ඒ නීතිය යටතට වැටෙන පුද්ගලයන්ගේ වත්කම් බැරකම් ප්රකාශන සමාලෝචනයකට ලක් කරන ආයතන ක්රමයක් ඇති කිරිමෙන් පමණක් වුවත්, අයථා ලෙස ධනය උපයාගෙන ඇති පිරිස නීතියේ රැහැනට යොමු කරගත හැකිය. ඒ සඳහා නීතිය ක්රියාත්මක වන තත්ත්වයක් පවතී නම් වංචාවට ඇති නැඹුරුව ද පාලනය කළ හැකිය.
පොලිසියේ උසස් නිලධාරීන් පමණක් නොව, ජනප්රිය පාසල්වල සමහර විදුහල්පතිවරුන් ද තමන්ගේ පාසල් වලට තිබෙන අධික තරගය හේතුවක් කරගනිමින් විශාල ලෙස මුදල් උපයන අවස්ථා රටේ පවතී. ජනප්රිය පාසල්වල විදුහල්පතිවරුන්ගේ ද, මහජන වැදගත්කමක් ඇති ආයතනවලට සම්බන්ධ පුද්ගලයන්ගේ ද වත්කම් බැරකම් ප්රකාශ ගැන උනන්දුවකින් සොයා බලන තත්ත්වයක් මහජනතාව තුළ ඇති කිරිමෙන් පමණක් වුවත්, එම අංශවල පවත්නා දූෂණ කිසියම් විශාල ප්රමාණයකට පාලනය කළ හැකිය.