සාපරාධී අපහාස නීතිය අවලංගු කිරිමෙන් පමණක් යහපත් රාජ්‍ය පාලනයක් ඇති නොවේ

June 23, 2002
Publication:
Repealing the criminal defamation law, used by the executive against journalists, is an important step, but good governance also needs an independent judiciary, public service, audit commission and elections commission. Despite the 17th Amendment and the Constitutional Council, the impeached Chief Justice remains, local polls showed free elections are not yet assured, and the Bribery, Human Rights, Finance and Public Service commissions still run with their old members. The Council must move faster.

විධායකය විසින් තමන්ගේ අත්තනෝමතික හා දූෂිත ක්‍රියාකාරකම් හෙළිදරව් කරන මාධ්‍යවේදින් මට්ටු කිරීම සඳහා යොදා ගනිමින් තිබූ සාපරාධී අපහාස නීතිය ඉවත් කිරීම යහපත් රාජ්‍ය පාලනයක් සඳහා තබන ලද වැදගත් ඉදිරි පියවරකි. ජනමාධ්‍ය නිදහසෙන් තොර ප්‍රජාතන්ත්‍රවාදයක් තිබිය නොහැකි ය. මහජනයා රටේ සිදුවන එදිනෙදා සිදුවීම් පිළිබඳ චිත්‍රයක් ලබාගන්නේ ජනමාධ්‍යවලිනි. රටේ සිදුවන හොඳ දේවල් පමණක් නොව, නරක දේවල් සත්‍ය ආකාරයකින් මහජනයාට දැනුම් දිම ජනමාධ්‍ය වෙත පැවරෙන වගකීමකි.

එහෙත් මේ පියවරෙන් පමණක් යහපත් රාජ්‍ය පාලනයක් ඇති කළ නොහැකි ය. ඒ සඳහා සම්පූර්ණ විය යුතු තවත් වැදගත් කොන්දේසි ගණනාවක් පවතී. විධායකයේ දේශපාලන ඇගිලි ගැසීම්වලින් තොරව ස්වාධීනව ක්‍රියා කරන අධිකරණයක්, ස්වාධීන රාජ්‍ය සේවාවක්, රාජ්‍ය ගිණුම් කාර්යක්ෂම ලෙස විගණනය කරන ස්වාධීන විගණන කොමිසමක් හා නිදහස් හා සාධාරණ මැතිවරණ ක්‍රමයක් ඇති කිරීමට හේතුවන ස්වාධීන මැතිවරණ කොමිසමක් යන කාරණා සම්පූර්ණ කිරීම යහපත් රාජ්‍ය පාලනයක් සඳහා අත්‍යවශ්‍ය මූලික කොන්දේසි වේ.

මේ මූලික කාරණා සංවාදයකට ලක්වෙමින් තිබෙන්නේ දැන් කලක සිට ය. ඒ මූලික අරමුණු සපුරා ගැනීම පිණිස ව්‍යවස්ථා සංශෝධනයක් ද ඇති කර ගත්තේ ය. ඒ යටතේ ව්‍යවස්ථා සභාවක් ද පත් කරනු ලැබී ය. එහෙත් තවමත් එම අංශවල කිසිම වැදගත් වෙනසක් සිදුවී නැත.

එජාප විසින් ම දෝෂාභියෝගයට ලක් කරනු ලැබූ පුද්ගලයා තවමත් අගවිනිසුරු ධුරය හොබවයි. පළාත් පාලන මැතිවරණයේදි සමහර ප්‍රදේශවල ඇතිවූ සිදුවීම්වලින් පෙනී යන්නේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් සහතික කිරීම සඳහා අවශ්‍ය පරිසරයක් තවමත් නිර්මාණය වී නැති බව ය. කොමිෂන් සභාවල ද කිසිම වෙනසක් වී නැත.

17 වැනි ආණ්ඩු ක්‍රම සංශෝධනය නීතිගතවීමත් සමග අල්ලස් කොමිසමට, මානව හිමිකම් කොමිසමට, මුදල් කොමිසමට හා රාජ්‍ය සේවා කොමිසමට අලුතෙන් පුද්ගලයන් පත් කිරීමට පොදු එකගතාවක් ඇති කරගෙන තිබුණත්, තවමත් ඒ ආයතන පැරණි ආකාරයෙන් හා පැරණි පුද්ගලයන් විසින් ම පවත්වාගෙන යනු දැකිය හැකි ය.

ව්‍යවස්ථා සභාවේ ක්‍රියාකාරිත්වය මීට වඩා වේගවත් කිරීම අත්‍යවශ්‍ය ය. කොමිෂන් සභාවලට නව සභාපතිවරුන් හා කොමසාරිස්වරුන් පත් කිරිමේ ක්‍රියාවලිය ව්‍යවස්ථා සභාවේ අවංකභාවය උරගා බැලෙන අවස්ථාවක් ලෙස සැලකිය හැකි ය. යහපත් රාජ්‍ය පාලනයක් සඳහා ව්‍යවස්ථා සභාව වෙත පැවරි තිබෙන වගකීම විධිමත් ලෙසත්, කාර්යක්ෂම ලෙසත්, ජනතාවගේ ගෞරවයට හේතුවන ලෙසත් ඉටු කිරීමට හැකිවේවා කියා අපි ප්‍රාර්ථනා කරමු.