සැම දෙයක්මත් පිම්මේ ඉහළ යමින් පවතී. දුප්පත්ම මිනිසුන්ට තබා, මැද තත්ත්වයේ ආදායම් උපයන්නන්ට පවා එදිනෙදා ජීවත්වීම අමාරු දෙයක් බවට පත්වෙමින් පවතී.
සාමය උදාකර ගැනීම ඉතා වැදගත් වුවත්, සාමය දෙස බලාගෙන මිනිසුන් බඩගින්න ඉවසාගෙන සිටිනු ඇතැයි සිතිය නොහැකිය. රටේ ඇතිවී තිබෙන බංකොලොත්භාවයට වගකිව යුත්තේ කව්ද යන්න වෙනම ප්රශ්නයකි. ආර්ථික ක්රියාකාරිත්වය ද සෘණ තත්ත්වයකට ඇද වැටී තිබෙනවා ද විය හැකිය.
එහෙත් රටේ පවත්නා මිල උද්ධමනය මහජනයාට ඉවසා සිටීමේ හැකියාවක් නැත. මහජනයා යම් ආකාරයක කළමනාකරණයක් බලාපොරොත්තු වේ. මහජනයාට ජීවත්වීමට අවශ්යම ද්රව්ය ගණන දහයකට පහළොවකට වැඩි නැත. අන් සියලු දේ නැතත්, ඒ ද්රව්ය 10 හෝ 15 කුමක්දැයි හඳුනාගනිමින් ඒ සඳහාවත් සහන මිලක් පවත්වාගෙන යෑමේ වගකීමක් ආණ්ඩුවට ඇත්තේය.
මහජනයාගේ බඩවැල් හැකිළෙන විට එය මොළය කෙරෙහි ද බලපාන බව රටේ පාලකයන් තේරුම් ගත යුතුය. සාමය සැබෑවක් කරගත හැකිවනු ඇත්තේ මොළයෙන් තීන්දු ගත හැකි තත්ත්වයක මහජනතාව තබාගත හැකි වේ නම් පමණය.