තකට තකතකට තක

June 9, 2002
Publication:
Ivan argues that under Sarath N. Silva the judiciary became an object of public disgust. Appointed by Kumaratunga while facing charges, he purged judicial officers who would not bend, as the International Bar Association mission noted, and now seeks to reinstate a magistrate found guilty of rape and fraud. He suppressed cases against the PSD and approved the PA's pre-2000 electoral law, and Ivan warns that disputes under any settlement with the LTTE would go to a Supreme Court headed by such a man.

ශ්‍රී ලක් ජනතාවගේ ගෞරවයට ද, විශ්වාසයට ද හේතුවී තිබුණු අධිකරණය අගවිනිසුරු සරත් නන්ද සිල්වාගේ පාලනය තුළ ජනතාවගේ පිළිකුලට හේතුවූ ආයතනයක් බවට පත් විය. සරත් නන්ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ චෝදනාලාභී තත්ත්වයක සිටියදි, ජනාධිපතිනිය ඇගේ විශ්වාසවන්තම සගයකුගේ තත්ත්වයේ සිටි මේ පුද්ගලයා දේශීය වශයෙන්, ජාත්‍යන්තර වශයෙන් මතුවී තිබුණු විරෝධයන් නොසලකා මේ තනතුරට ගෙනාවේ තමන්ට දේශපාලන වශයෙන් අවනතව ක්‍රියා කරන අධිකරණයක් ඇති කරගැනීම සඳහාය. සරත් නන්ද සිල්වා ඒ කාර්ය උපරිම මට්ටමකින් ඉටු කළේය.

ඔහුගේ කාලය තුළ ඔහු අතින් සිදුවූ එක් වැදගත්ම කාර්යක් වූයේ තමන්ට දේශපාලන වශයෙන් අවනතව ක්‍රියාකිරීමට සූදානම් නැති අධිකරණ නිලධාරින් සියලු දෙනා අධිකරණ සේවයෙන් පළවා හැරිමය. ඕනෑම අධිකරණයක් ඉදිරියට එන නඩුවක් තමන්ට අවශ්‍ය ලෙස පාලනය කළ හැකි තත්ත්වයක තබාගැනීම ඔහුගේ අරමුණ විය.

ඔහු විසින් හිතුවක්කාරි ලෙස පළවා හරින ලද අධිකරණ නිලධාරින් අතර වැරදි කළ කිසියම් පිරිසක් ද සිටියා විය හැකිය. එහෙත් ඔහුගේ පළිගැනීමට ලක්වූ වැඩි පිරිසක් අහිංසකයෝය. ජාත්‍යන්තර නීතිඥ සංගමය ශ්‍රී ලංකාවේ පවත්නා තත්ත්වය සොයා බැලීම පිණිස බේ‍රනත් සාමිවරයාගේ ප්‍රධානත්වයෙන් එවන ලද දූත මණ්ඩලය සිය වාර්තාවේ ඒ ගැන දිර්ඝ විශ්ලේෂණයක් කර ඇතත්, ආණ්ඩුවක් වෙනස් වී තිබියදිත් තවමත් ඔවුන්ට සාධාරණයක් ඉටුවී නැත. ඒ වෙනුවට කිසිදු හිරිකිතයකින් තොරව අධිකරණ සේවා කොමිසම විසින් ම පත් කරන ලද අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල පරික්ෂණ මණ්ඩලයක් විසින් ස්ත්‍රී දූෂණ චෝදනා දෙකකට, මුදල් වංචා චෝදනාවකට හා තමන්ගේ අපකීර්තිමත් ඉතිහාසය වසන් කොට අධිකරණ සේවයට එකතුවී ඇති බවට එල්ල වූ බරපතල චෝදනා හතරකට වැරදිකරුවකු වූ පුද්ගලයෙක් ඒ චෝදනාවලින් නිදහස් කරවා යළි අධිකරණ සේවයට එකතු කරගැනීම සඳහා ක්‍රියාකරමින් සිටින්නේය. තමා ඇද වැටී සිටින නින්දා සහගත තැනට මුළු අධිකරණයම ඇද දැමීම අගවිනිසුරුවරයාගේ අරමුණ වී තිබෙන බව පැහැදිලිය.

චන්ද්‍රිකා පාලන කාලය තුළ දේශපාලන අනුග්‍රහය මත සිදුවී ඇති සාහසික සිද්ධීන් ගැන සොයා බැලෙමින් පවතී. එම සාහසික සිද්ධීන්ට අදාළ නඩු අධිකරණය ඉදිරියට ආ විට ඒ සාහසිකම්වලට වගකිවයුතු අලුගෝසුවන් ආරක්ෂා කිරීම පිණිස අගවිනිසුරුවරයා රගපෑ සුවිශේෂ භූමිකාව ගැන ආණ්ඩුවට වැටහීමක් තිබෙන බවක් පෙනෙන්නට නැත. ජනාධිපතිනියගේ අලූගෝසු ආරක්ෂක අංශයෙන් බැට කෑ මිනිසුන් වෙනුවෙන් පැවරුණු හැම නඩුවක්ම අගවිනිසුරුවරයා මැදිහත් වී යටපත් කළේය. ඒ ක්‍රියාමාර්ගයට අවනත නොවූ හැම විනිසුරුවරයෙකුටම ඒ වෙනුවෙන් වන්දි ගෙවන්නට සිදුවූයේය. සාහසිකම් ගැන කෙරෙන පරික්ෂණ, සිදුවූ සාහසිකම්වලට සීමා නොකොට ඔවුන් අධිකරණයට ගියවිට සිදුවූයේ කුමක් ද යන්න සොයා බලතොත් නිහාල් කරුණාරත්න, සනත් ගුණතිලක, මංගල සමරවීර වැනි අය පමණක් නොව, අගවිනිසුරුවරයා ද සිටිය යුත්තේ හිරගෙදරය.

මනා අධිකරණයක් නැති රටක මනා පාලනයක් ද තිබිය නොහැකිය. ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන ක්‍රමයක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණය වැනි ආයතනයකින් අපේක්ෂා කරන්නේ පුරවැසියන් පුරවැසියන් අතර ඇතිවන ආරාවුල් සාධාරණ ලෙස විසඳනවාටත් වඩා බලයට පත්වන ආණ්ඩු හා පුරවැසියන් අතර ඇතිවන ආරාවුල් සාධාරණ ලෙස විසඳ දිමය. විධායකයට, නීතියට පටහැනිව ක්‍රියාකරන්නට ඉඩ නොදිම හා මහජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතිවාසිකම් ආරක්ෂා කරදිම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැවරෙන වගකීමකි. ඉදිරියේදි කොටි සංවිධානය සමග ඇති කරගන්නා එකගතාවක් තුළ දෙපාර්ශ්වය අතර ඇතිවන ආරාවුල් බේරුම් කිරිමේ වගකීම යන්නේ ද ශ්‍රේෂ්ඨාධිකරණයටය. එහෙත් ඒ සියල්ල සිදුවන්නට යන්නේ සරත් සිල්වා වැනි පුද්ගලයෙකු අගවිනිසුරු ධුරයේ තබාගෙන නම්, ලැබෙන ප්‍රතිඵලය ද ඉතාමත් විනාශකාරි විය හැකිය.

2000 පාර්ලිමේන්තු මැතිවරණයට පෙර පොදු පෙරමුණු ආණ්ඩුව තමන්ට වාසිදායක මැතිවරණ ක්‍රමයක් නීතිගත කරන්නට ගිය අවස්ථාවේදි අගවිනිසුරුවරයා පොදු පෙරමුණේ එම ප්‍රජාතන්ත්‍ර විරෝධී සටකපට වැඩපිළිවෙල අනුමත කළේය. මේ පුද්ගලයා අගවිනිසුරු ධුරයෙන් පළවා හැරීමට ඒ වරද පමණක් වුවත් ප්‍රමාණවත්ය.