අධිකරණය කෙරෙහි අතිවිශාල අපකීර්තියක් ඇති කිරීමට හේතු වී සිටින අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා, ඔහුට එරෙහිව එල්ල වී තිබෙන බරපතල චෝදනා නොසලකා, ඔහු තවදුරටත් එම තනතුරේ තබාගෙන සිටින තත්ත්වයක් යටතේ සමස්ත අධිකරණයම ජනතාවගේ පිළිකුලට හේතුවන තත්ත්වයකට ඇද දැමීම පිණිස ක්රියාකරමින් සිටී.
අධිකරණ සේවා කොමිසම විසින් පත්කරන ලද ත්රිපුද්ගල පරික්ෂෂණ කමිටුවක් ඔහුගේ අනාචාර නඩුව සරත් සිල්වා මහතාගේ පාර්ශ්වයට වාසිදායක ලෙස තීන්දු කළ හිටපු දිසා විනිසුරුවරයා සියලු චෝදනා වලට වැරදිකරු බව තීන්දු කිරිමෙන් පසු අධිකරණ සේවා කොමිසම එම දිසා විනිසුරුවරයා දුෂ්කර ප්රදේශයකට මාරුකොට යවා අවුරුදු දෙකක කාලයක් සඳහා ක්රියාත්මක වන පරිදි සියලු උසස්වීම් අත්හිටවූයේ ය. සරත් නන්ද සිල්වා මහතා අගවිනිසුරු ධූරයට පත්වීමෙන් පසුව කිසිදු හිරීකිතයකින් තොරව තමාට ආධාර කිරීම නිසා අමාරුවේ වැටී සිටි එම දිසා විනිසුරුවරයා දඬුවම් කාලය සම්පූර්ණ වීමට පෙරාතුව මහාධිකරණයට උසස් කළේ ය.
දැන් ඔහු ඉන් නොනැවතී, අධිකරණ සේවා කොමිසම විසින් පත් කරන ලද අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් සමන්විත පරික්ෂෂණ කමිටුවක් මගින් ස්ත්රී දූෂණ චෝදනා දෙකකට හා මුදල් වංචා චෝදනාවකට වරදකරු කරනු ලැබූ සිය ඥාති මහේස්ත්රාත්වරයා නැවත අධිකරණ සේවයට කැන්දාගෙන ඒම සඳහා ක්රියාකරමින් සිටී. මේ සඳහා ක්රියාවට නගා තිබෙන වැඩ පිළිවෙළ ඉතාමත් සටකපට ය. මහේස්ත්රාත්වරයා ඔහුට එරෙහිව නැගී තිබුණු සියලු චෝදනාවලට වරදකරු කිරිමෙන් පසුව අධිකරණ සේවා කොමිසම මහේස්ත්රාත්වරයාට එරෙහිව නඩු පැවරිමේ වගකීම නීතිපති දෙපාර්තමේන්තුවට බාර කළේ ය. අගවිනිසුරුවරයා කළේ සිය ඥාති ස්ත්රී දූෂක මහේස්ත්රාත්වරයාට එරෙහිව නඩු පැවරිමෙන් නීතිපති දෙපාර්තමේන්තුව වළකා නැවත මහේස්ත්රාත්වරයාට එරෙහිව චෝදනා විභාග කිරීම සඳහා විශ්රාම ගිය තමන්ට සම්බන්ධ මහාධිකරණ විනිසුරුවරයකුගෙන් සමන්විත ඒක පුද්ගල පරික්ෂෂණ කමිටුවක් ඇති කිරීම ය. එවැනි ඒක පුද්ගල පරික්ෂෂණ කමිටුවක් ආණ්ඩුක්රම ව්යවස්ථාවට සේ ම අධිකරණ සේවා කොමිසමේ රිතීන්ට අදාළව නිකුත් කර ඇති 1978 දෙසැම්බර් 8 අංක 14 වන විධිවිධානවලට පටහැනි ය.
මෙම නින්දා සහගත තත්ත්වය අධිකරණයේ ගරු කටයුතු විනිසුරුවරුන්ට, නාමධාරි නීතිඥ මහතුන්ට, මානව හිමිකම් ක්රියාකාරිකයන්ට, අධිකරණ ඇමතිට, ව්යවස්ථා සභාවට හා ආණ්ඩුවට ඉවසිය හැකි නම් අපට එය ඉවසිය හැකි ය. එහෙත් මේ නොහොබිනා තත්ත්වය අධිකරණය කෙරෙහි බිඳ වැටෙමින් තිබෙන මහජන විශ්වාසය මුළුමණන් බිඳ දමන තත්ත්වයක් ඇති කිරීමට හේතුවිය හැකි ය. මහජනයා එවිට අධිකරණයට ද සලකනු ඇත්තේ ගරු කටයුතු ආයතනයක් ලෙස නොව අන්ත දූෂිත රස්තියාදුකාර ආයතනයක් ලෙස ය.