ජනාධිපතිනියගේ පීඑස්ඩීයේ ක්රියාකාරකම් ගැන පරික්ෂණ ආරම්භ කෙරුණු අවස්ථාවේදි ජනාධිපති ලේකම් ඇතුළු ශ්රීලනිප පාක්ෂිකයෝ ඒ ගැන මහා ඝෝෂාවක් කළහ. එය ජනාධිපතිනියගේ ආරක්ෂාව බෙලහීන කොට ඇය ඝාතනය කිරිමේ අරමුණින් කෙරෙන කුමන්ත්රණයක් විය හැකි බවට ඔවුහු චෝදනා කළහ.
එහෙත් මෙතෙක් කරන ලද පරික්ෂණවලින් අනාවරණය වී ඇත්තේ රටේ මහත් කතාබහට හේතුවූ බිහිසුණු සිද්ධීන් ගණනාවකට වගකිවයුත්තේ ජනාධිපතිනියගේ පීඑස්ඩීය බවය.
“ලීඩර්” පුවත්පතේ කර්තෘ හා ඔහුගේ බිරිඳට පහරදිම, ඔවුන්ගේ නිවසට වෙඩි තැබීම, රෝහණ කුමාර ඝාතනය, සිනමා නිළි අනෝජා වීරසිංහගේ නිවස ගිනිබත් කිරීම හා රූකාන්ත-චන්ද්රලේඛා ගායක යුවළ හිංසාවන්ට ලක් කිරීම ඇතුළු වෙනත් ප්රධාන පෙළේ සාහසික සිද්ධීන් ගණනාවක් පිටුපස ඉන්නේ ජනාධිපතිනියගේ පීඑස්ඩීය බව දැන් අනාවරණය වී තිබේ.
දැන් පීඑස්ඩීයේ සොක්කන් පමණක් නොව, ලොකු ලොක්කන් ද වමාරමින් කියන්නේ තමන් ඒ සියල්ල ජනාධිපතිනියගේ නියෝග මත කරන ලද ඒවා බවයි.
එහෙත් ඒ ගැන ශ්රිලනිප, පොපෙ හා ජවිපෙ කිසිවක් කතා කරන්නේ නැත. එම පක්ෂ ඒ ගැන තමන් දරන අදහස් රටට පැහැදිලි කිරීම වැදගත්ය. ජනාධිපතිනියගේ නියමය පරිදි පීඑස්ඩීය කර තිබෙන මේ සැහැසිකම් ඔවුන් අනුමත කරන්නේද? නැතිනම් පීඑස්ඩීය කළේ යැයි කියන සියලු සාහසිකකම් පිළිබඳ කතා ජනාධිපතිනියගේ හොඳ නම විනාශ කිරීම පිණස ගොතන ලද කතා ලෙස ඔවුන් සලකන්නේද? අනෙක් අතට පීඑස්ඩීය පිළිබඳව කෙරෙන මේ පරික්ෂණවල අරමුණ මේ සාහසිකකම් වලට සෘජු ලෙස සම්බන්ධ පීඑස්ඩී නිලධාරින්ට දඬුවම් කිරීම පමණක් නම්, එය මහජනයාගේ හාස්යයට හේතුවන ක්රියාවලියක් වනු නොවැළැක්විය හැකිය. මේ සියලු සාහසික සිද්ධීන් ඔවුන් විසින් කර ඇත්තේ ජනාධිපතිනියගේ වුවමනාව මත නම්, ජනාධිපතිනිය ද නීතිය ඉදිරියට පමුණුවාලිය යුතුය. ඊට ව්යවස්ථාව බාධාවක් නම් ව්යවස්ථා සංශෝධනයකට යමින් හෝ ඒ ඉලක්කය කරා යා යුතුය. වර්තමානයේ හෝ අනාගතයේ බලයට පත්වන කිසිම රාජ්ය නායකයකුට එවැනි පාහරකම් කිරීමට ඉඩ නොතැබීම එහි අරමුණ විය යුතුය.