අපේක්ෂා කළ හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදය සහිත සාමයක් නොව,සාමයක් පමණය

April 21, 2002
Publication:
Ivan compares the LTTE's entry into mainstream politics with the JVP's. The JVP returned quietly, under another name, after military defeat; the Tigers are coming openly as an undefeated force. He expects their rule in any interim North-East administration to be authoritarian and barracks-like, argues that peace itself is the prize for the Sinhala people, that winning democratic freedom is for Tamils themselves, and that the government must guarantee the rights of Muslims and Sinhalese in the region.

එල්ටීටිඊ සංවිධානය ද ජනතා විමුක්ති පෙරමුණ මෙන් දේශපාලනයේ ප්‍රධාන ප්‍රවාහයට එකතුවෙමින් සිටින බව පැහැදිලිය. එහෙත් කොටි සංවිධානය ප්‍රධාන ප්‍රවාහයට එකතුවෙමින් සිටින ආකාරය ජනතා විමුක්ති පෙරමුණ එකතු වූ ආකාරයට වඩා වෙනස්ය.

ජනතා විමුක්ති පෙරමුණට ප්‍රධාන ප්‍රවාහයට එකතුවීමට සිදුවූයේ තමන් රාජ්‍ය බලය අල්ලා ගැනීමේ අරමුණ ඇතිව ඉදිරියට ගෙනා කැරැල්ල පොඩි පට්ටම් කොට පරාජය කිරිමෙන් පසුවය. ඉන්පසු පළමුවරට 94දි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළේ ද ජනතා විමුක්ති පෙරමුණ යන නාමයෙන් නොව, ප්‍රගතිශීලී පෙරමුණ යන අන්‍ය නාමයකිනි. ඉන්පසු 94 ජනාධිපතිවරණයට තරග කළේ ද සිය නමින් නොව, ඒ නමිනි. ජවිපෙ නැවත සිය සැබෑ නමින් තරග බිමට ආවේ 1997 පළාත් පාලන මැතිවරණයේදිය. ඉන් ව්‍යාජ නමට ආයුබෝවන් කියා අද දක්වාම සිය නියම නමින් පෙනී සිටිති.

එහෙත් කොටි සංවිධානය ප්‍රධාන ප්‍රවාහයට එමින් සිටින්නේ යුදමය වශයෙන් පොඩි පට්ටම් කරනු ලැබූ බලවේගයක් වශයෙන් නොව, යුදමය වශයෙන් අවසාන වශයෙන් වන පරාජයකට ලක් නොවූ බලවේගයක් වශයෙනි. කැරැල්ලෙන් පසුව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ප්‍රවාහයට ගැනීමේ වුවමනාවක් ආණ්ඩුවට නොතිබුණු අතර, ඔවුන් වෙනත් නමකට මුවාවී ප්‍රධාන ප්‍රවාහයට එන විට ඊට අවහිර කිරීමක් ද සිදු නොවීය. ආයුධ සන්නද්ධව අරගලයක නිරත වූ සංවිධානයක් වශයෙන් මින්මතු එවැන්නක් නොකරන බවට සහතිකයක් දිය යුතු බවට කොන්දේසි පැනවීමක් ද සිදු නොවීය.

එහෙත් කොටි සංවිධානය ප්‍රධාන ප්‍රවාහයට එන්නේ ඔවුන් ආයුධ සන්නද්ධ ක්‍රියාමාර්ගයන්ගෙන් ඉවත් කොට ප්‍රධාන ප්‍රවාහයට එකතු කරගැනීමට එල්ලවෙමින් තිබු විශාල බලපෑම් මැද්දේය. ඔවුන් ආයුධ සන්නද්ධ අරගලයෙන් ඉවත් කොට ප්‍රධාන ප්‍රවාහයට එකතු කරගැනීමේ වුවමනාවක් ආණ්ඩුවට ද තිබුණි.

ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල යටපත් කිරිමෙන් පසුව ඔවුන් ප්‍රධාන ප්‍රවාහයට එකතු වූයේ යම් පමණක පරාජිත ආකල්පයකින් යුතුව, හෙමින් හෙමින් හා හොරෙන් හොරෙන්ය. එහෙත් කොටි සංවිධානය ප්‍රධාන ප්‍රවාහයට එකතුවෙමින් සිටිනුයේ යුදමය වශයෙන් පරාජය කරනු නොලැබූ බලවේගයක් වශයෙනි. ඒ නිසා ඔවුන් හොරෙන් හොරෙන්, හෙමින් හෙමින් එනවා වෙනුවට ප්‍රසිද්ධියේ හා වේගයෙන් එන ගමනක් දැකිය හැකිය.

කොටි සංවිධානය ස්ථිරසාර ලෙස ප්‍රධාන ප්‍රවාහයට එකතු වුවහොත් ඒ නිසා රටේ සාමය තහවුරුවීමක් සිදුවනු ඇතත්, ඔවුන්ගේ දේශපාලන භාවිතය වහා ප්‍රජාතන්ත්‍රවාදි වනු ඇතැයි සිතිය නොහැකිය. එය කොටි සංවිධානයට පමණක් ආවේණික ලක්ෂණයක් නොව, දිර්ඝ කාලයක් ප්‍රධාන ප්‍රවාහයෙන් පිටස්තරව, දිර්ඝ කාලයක් ආයුධ සන්නද්ධ ක්‍රියාමාර්ගයකට අනුගතවී සිටි ඕනෑම ව්‍යාපාරයක් කෙරෙන් ප්‍රකාශ වන ධර්මතාවකි.

ඔවුන්ගේ සංවිධානයේ සාමාජිකයන් මිලිටරි අච්චුවක සාදනු ලැබූ පුද්ගලයෝය. ඔවුන් ඉහළින් ලැබෙන අණ ප්‍රශ්න කිරීමකින් තොරව ක්‍රියාවට නැංවීමට හුරු පුරුදු වූ පිරිසක් වන්නා සේ ම, වෙනස් වන ඉවසීමට හුරුපුරුදු නොවූ ජන කණ්ඩායමකි. සිය නායකයා දෙනු ලබන අණ හිස් මුදුනින් පිළිගෙන ක්‍රියාවට නගනවා හැර, වාද විවාදවලට මුහුණදෙමින් හරි මතය තෝරා ගැනීමේ පුරුද්දක් නොපවතී. මේ ලක්ෂණය කොටි සංවිධානයට පමණක් නොව, ජනතා විමුක්ති පෙරමුණට හා ආයුධ සන්නද්ධ අරගලයක නිරත ඕනෑම සංවිධානයක් කෙරෙන් දක්නට ලැබෙන ලක්ෂණයයි. මේ දරදඬු අධිකාරිවාදි හා බැරැක්කවාදි ගති ලක්ෂණ ඔවුන් ප්‍රධාන ප්‍රවාහයට එකතු වූ වහාම ඔවුන් කෙරෙන් ඉවත්වීමේ හැකියාවක් නොපවතී. ඒ තත්ත්වය ඇතිවනවා ඇත්තේ ක්‍රමයෙනි. ජනතා විමුක්ති පෙරමුණ ද ආයුධ සන්නද්ධ ව්‍යාපාරයක්ව සිට ප්‍රධාන ප්‍රවාහයට එකතු වූ වහාම එම අධිකාරිවාදි හා බැරැක්ක ගති ලක්ෂණ අත් නොහැරියේය. ඒ තත්ත්වය වෙනස් වෙමින් තිබෙන්නේ හෙමින් හෙමින්ය.

මේ තත්ත්වය අනුව කොටි සංවිධානය උතුරු නැගෙනහිර අතුරු පාලනයක් සඳහා එකතු වුවහොත් ඔවුන්ගේ පාලන ශෛලිය කිසියම් විශාල ප්‍රමාණයකට අධිකාරිවාදි හා බැරැක්ක ස්වරූපයක් ගනු නොවැළැක්විය හැකිය. උතුරු නැගෙනහිර දෙමළ ජනතාව අතර ප්‍රජාතන්ත්‍රවාදි නිදහස පිළිබඳ හැගීමක් ඇතිවීම ආරම්භ වනු ඇත්තේ ද ඒ සමගය.

සිංහල ජනතාව මෙහිදි වැදගත් කොට සැලකිය යුත්තේ සාමයයි. කොටි සංවිධානය ආයුධ සන්නද්ධ අරගලය අතහැර ප්‍රධාන ප්‍රවාහයට එකතු වේ නම්, එය රටක් වශයෙන් ලැබිය හැකි විශාල ජයග්‍රහණයකි. ඉන්පසු ඔවුන්ගේ අධිකාරිවාදි හා බැරැක්ක පන්නයේ පාලන ස්වරූපය පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදි මූලධර්මවලට පටහැනි වේ නම් දෙමළ ජනතාව සඳහා ප්‍රජාතන්ත්‍රවාදි නිදහස දිනාගැනීමේ මූලික වගකීම පැවරෙන්නේ දෙමළ ජනතාවටය. ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන ක්‍රමයකට හුරු පුරුදුවීමට සේ ම, ඔවුන් සිය දරදඬු ප්‍රතිපත්ති අත් නොහරි නම්, ලිහිල් ප්‍රජාතන්ත්‍රවාදි පාලනයක් දිනාගැනීම සඳහා දෙමළ ජනතාව කෙරෙන් නැගී සිටීමක් සිදුවීමට තවත් කිසියම් කාලයක් ගතවනු නොවැළැක්විය හැකිය.

දෙමළ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදි නිදහස දිනා දිමේ වගකීම සිංහල ජනතාව හෝ ආණ්ඩුව බාරගත යුතු නැත. එය ඒ ප්‍රදේශවල දෙමළ ජනතාව වෙත පැවරෙන වගකීමකි. සිංහල ජනතාව සේම ආණ්ඩුව ද වැදගත් කොට සැලකිය යුත්තේ කොටි සංවිධානය ආයුධ සන්නද්ධ අරගලයෙන් ඉවත් කොට ඔවුන් ප්‍රධාන ප්‍රවාහයට ගැනීම පමණය. දෙමළ ජනතාව ඔවුන්ගේ ජාතික නිදහස දිනාගැනීමෙන් පසුව ඒ නිසා ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදි නිදහස අහිමි වේ නම් ඒ ප්‍රශ්නය බාහිර මැදිහත්වීමකින් තොරව ඔවුන් එය අභ්‍යන්තරික වශයෙන් විසඳ ගත යුතුය.

එහෙත් එහිදි එම ප්‍රදේශවල ජීවත්වන මුස්ලිම් හා සිංහල ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කෙරෙන රාමුවක් සහතික කරදිම ආණ්ඩුවේ වගකීමකි. කොටි සංවිධානයට ද එහිදි මුස්ලිම් හා සිංහල සාධක දෙක නොසලකා ක්‍රියාකිරිමේ හැකියාවක් නොපවතී. උතුරු නැගෙනහිර ප්‍රදේශවලදි මේ ජන කණ්ඩායම් දෙක තෘප්තිමත් තත්ත්වයක තැබීම පහසු නැතත්, සාම වැඩපිළිවෙලේ සාර්ථක, අසාර්ථකභාවය රැඳී පවතින්නේ ද ඒ මතය. එම ප්‍රදේශවල සිංහල හා මුස්ලිම් ජනයාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීමට කොටි සංවිධානය සමත් වෙතොත්, සාම වැඩපිළිවෙල සාර්ථක වනු ඇතිවා පමණක් නොව, ප්‍රධාන ප්‍රවාහයට එකතුවීමේ ක්‍රියාවලිය තුළ කොටි සංවිධානය වඩා ශක්තිමත් තත්ත්වයක් දිනාගැනීමට ද සමත් වනු ඇත.