ජනාධිපතිනියගේ මුක්තිය සීමා කිරීම

April 14, 2002
Publication:
The proposed constitutional amendment would limit the President's immunity, which Ivan welcomes. He argues that a head of state who commits crimes, fraud or wilful breaches of the constitution should be liable to prosecution and lose office on conviction without impeachment, noting that the President ignored the 17th Amendment and used her security staff against opponents under the shelter of immunity.

යෝජිත ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයාට ලැබී තිබෙන මුක්තියේ අයිතිය ද සීමාවන්ට යටත් කිරීමට අපේක්ෂිතය. එය යහපත් හා ඉදිරිගාමී පියවරකි.

රාජ්‍ය නායකයාට ආරක්ෂාවක් තිබිය යුතු වුවත්, එය අසීමිත විය යුතු නැත. දැන් ක්‍රියාත්මක වන ක්‍රමය අනුව ලැබී තිබෙන බලය සීමාවකින් තොරය. මහජනයා බලයට පත් කරන රාජ්‍ය නායකයකු ඉවත් කිරීම සඳහා දෝෂාභියෝගයක් වැනි ක්‍රමයක් වෙනුවට පිළිගත හැකි ක්‍රම ගණනාවක් තිබිය යුතුය. දැන් තිබෙන ක්‍රමය අනුව රාජ්‍ය නායකයා ඉවත් කළ හැක්කේ දෝෂාභියෝගයකින් පමණය. දෝෂාභියෝගයක් සඳහා ලබාදි තිබෙන ප්‍රතිපාදන ද තර්කානුකූල නැත.

රාජ්‍ය නායකයා අපරාධ ගණයට වැටෙන වරදක් කරන අවස්ථාවකදි ඔහුට එරෙහිව නඩු පැවරිමේ ඉඩක් තිබිය යුතුය. එවැනි වරදකට රාජ්‍ය නායකයා වරදකරු බව අධිකරණය තීන්දු කරන අවස්ථාවකදි දෝෂාභියෝගයකින් තොරව ඔහුගේ පදවිය අහිමි විය යුතුය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව චේතනාන්විතව උල්ලංඝණය කරන අවස්ථාවලදි ද රාජ්‍ය පාලකයාට එරෙහිව නඩු පැවරිමේ ඉඩක් තිබිය යුතුය. රාජ්‍ය නායකයා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට බැඳී සිටී. එවැනි පුද්ගලයෙකු චේතනාන්විතව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම බරපතල වරදක් ලෙස සැලකිය යුතුය. 17 වැනි ආණ්ඩු ක්‍රම සංශෝධනයක් ඇති කරගැනීමෙන් පසුත් ජනාධිපතිනිය එය නොසලකා එහි එන මූලධර්ම අමු අමුවේ උල්ලංඝණය කෙරෙන ආකාරයට ක්‍රියා කළේ මුක්තියෙන් තමන්ට ලැබී තිබුණු ආවරණය නිසාය. එසේම සිය ආරක්ෂක සේවය තමන් නොකැමති අය පීඩාවට පත්කිරීම සඳහා යොදා ගන්නේ ද මුක්තියෙන් ලැබී තිබෙන ආවරණය නිසාය.

ආණ්ඩු පාලනයේ තීන්දු ගැනීමේ ක්‍රියාවලියේදි රාජ්‍ය නායකයකු අතින් වැරදි සිදුවිය හැකිය. එවැනි වැරදිවලට දඬුවම් කරන ක්‍රමයක් තිබිය යුතු නැතත්, රාජ්‍ය නායකයකු හිතාමතා අපරාධ ගණයේලා හා වංචා, දූෂණ ගණයෙහිලා සැලකිය හැකි වැරදි චේතනාන්විතව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරන, වැරදි කරන අවස්ථාවලදි රාජ්‍ය නායකයා නීතිය ඉදිරියට ගෙන ආ හැකි ක්‍රමයක් තිබිය යුතුය.