චෙස් ක්රීඩාවේදි චෙක්මේට් කරනවා යන්නෙන් ප්රතිවිරුද්ධ පිලේ රජු කොටු කොට යටත් කරගැනීම අදහස් වේ. චෙස් භාෂාවෙන් කියතොත් දැන් ජනාධිපතිනිය ඉන්නේ ද චෙක්මේට් වීමට ආසන්න තැනකය.
ප්රජාතන්ත්රවාදි දේශපාලන ක්රමයක් තුළ රාජ්ය පාලකයා තීරණය කරන්නේ මහජනතාවය. ඔහු බලයට පත්වීමෙන් පසුව ඔහු හෝ ඇයට පාලන බලයේ සිටිය හැක්කේ ද මහජන කැමැත්ත තිබෙන තාක් කල් පමණය.
එහෙත් මහජන කැමැත්තෙන් බලයට පත්වී උරුමය අනුව බලයට පත්වූ රාජ්ය පාලකයන් ලෙස හැසිරෙන අත්තනෝමතික වර්ගයේ රාජ්ය පාලකයෝ ද ප්රජාතන්ත්රවාදි දේශපාලන ක්රමය තුළ දැකිය හැකිය. එවැනි අය බලයට පත්වූ පසුව තමන් බලයට පත් කළේ මහජනතාව විසින් බව හා තමන්ට බලයේ සිටිය හැක්කේ මහජන කැමැත්ත තිබෙන තාක් කල් පමණයක් යන මූලික සත්යය අමතක කරති. මහජනයාට එපාවූ දිනක තමන්ට බලය අත්හරින්නට සිදුවන බව නොසලකා අත්තනෝමතික ආකාරයකින් ක්රියා කරන රාජ්ය පාලකයන් අවසන් වන්නේ නීච තත්ත්වයකට පත්වීමෙනි.
දැන් ජනාධිපතිනිය ගමන් ගනිමින් සිටින්නේ ද එවැනි තැනකටය. මහජනයා ඇය බලයට පත්කිරිමෙන් අපේක්ෂා කළේ සාධාරණ, ප්රජාතන්ත්රවාදි පාලනයකි. එහෙත් බලයට පත්වූ පසු මහජන අපේක්ෂා අමතක කොට මහජනයා බලයට පත් කළ පාලිකාවක් වෙනුවට උරුමය අනුව බලයට පැමිණ රැජිණක් ලෙස සලකා දරදඬු හා පීඩාකාරි පාලනයක් පවත්වා ගෙන ගියාය. ඇයට මහජනයා අවශ්ය වූයේ ආරම්භක වශයෙන් බලයට පත්වීම සඳහා පමණය. ඉන්පසු ඇගේ කල්පනාව වූයේ මහජනයාගේ කැමැත්ත කුමක් වුවත්, ධුර කාල දෙක අවසන් වන තෙක් බලහත්කාරයෙන් හෝ බලයේ සිටීමේ අයිතියක් තමන්ට ඇති බවය.
ඇය යම් පමණකට ඉදිරිය දකින රාජ්ය නායිකාවක් වී නම්, අඩුම වශයෙන් 17 වැනි ව්යවස්ථා සංශෝධනයක් ඇති කරගැනීමෙන් පසුවවත් ඒ යටතේ පැවති මැතිවරණයේදි තමන්ට ලැබෙන ජය පරාජය නොසලකා අලුතෙන් මූලික නීතියට එකතු කෙරුණු මැතිවරණ නීති රිතිවලට ගරු කරමින් ඊට ඇතුළත් විධි විධාන උපරිම මට්ටමෙන් ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කළ යුතුව තිබුණ. එය එසේ වී නම්, එම මැතිවරණය ආදර්ශමත් හා සාමකාමී මැතිවරණයක් වන්නට ඉඩ තිබුණා සේ ම, එම මැතිවරණයෙන් ඇගේ ආණ්ඩුව පරාජය වුවත් මහජනතාව තුළ සේ ම විරුද්ධ පක්ෂය තුළ ද ඇය කෙරෙහි යම් පමණක ගෞරවයක් හා අනුකම්පාවක් ඇති කිරීමට හේතුවන්නට තිබුණි.
ඇය එහිදි තුනෙන් දෙකක බලයෙන් සම්මත කරගනු ලැබූ නව ව්යවස්ථා සංශෝධනයේ එන මූලික විධි විධාන අමු අමුවේ උල්ලංඝණය කෙරෙන පිළිවෙතක් තුළ මහජනතාවගේ දැඩි පිළිකුලට හේතුවූ නායිකාවක් බවට පත්වූවාය. එම මැතිවරණයට තමන් තරග නොකළත් එම මැතිවරණය මෙහෙයවූ ප්රධාන පුද්ගලයා වශයෙන් එම මැතිවරණ ප්රතිඵලය තමන්ට ද එරෙහිව දෙන ලද ප්රතිඵලයක් බව තේරුම් ගැනීමට ද ඇය අසමත් වූවාය.
එක් අවස්ථාවකදි ලැබෙන ඡන්ද ප්රතිඵලයකට ඇතුළත් මූලික උපනති ඊට පෙර පැවති ඡන්ද ප්රතිඵලයකින් ලැබෙන මූලික උපනති වලට වෙනස් වේ නම් දෙවැනි ප්රතිඵලය පළමු ප්රතිඵලය අවලංගු කරයි. 1999 පැවති ජනාධිපතිවරණයෙන් ජනාධිපතිනිය ජය ගත්තාය. 2001 පැවතියේ ජනාධිපතිවරණයක් නූනත්, ඒ මැතිවරණය මෙහෙයවන ලද ප්රධාන පුද්ගලයා වූයේ ජනාධිපතිනියයි. ඒ නිසා 2001 පැවති මැතිවරණය පාර්ලිමේන්තු මැතිවරණයක් වුවත්, 1999 දි ජනාධිපතිනියට ලැබුණු ජනවරම ද එමගින් අහෝසි වන්නේය. එවැනි අවස්ථාවක සිදුවිය යුත්තේ ජනාධිපතිනිය සිය ධුරයෙන් ඉල්ලා අස්වීම හෝ මහජන මතය උරගා බැලීම සඳහා තවත් ජනාධිපතිවරණයකට යාමය. තවත් ජනාධිපතිවරණයක් සඳහා ව්යවස්ථාවේ ප්රතිපාදන නැත්නම් කළයුතුව තිබුණේ ඒ සඳහා වන ව්යවස්ථා සංශෝධනයට අනෙක් පක්ෂවල එකගත්වය ඉල්ලා සිටීමය.
එහෙත් මැතිවරණය ආරම්භයේ සිටම ජනාධිපතිනිය කීවේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් කුමන ප්රතිඵලයක් ලැබුණත්, තමන් 2005 දක්වාම රටේ විධායක ජනාධිපතිනිය වන බවය. එයින් පෙන්නුම් කෙරුණේ වෙනස් වන මහජන මතයන්ට ගරු කිරීමට ඇය තුළ පැවති නොකමැත්තේ ප්රමාණයයි. පාර්ලිමේන්තු බලය තමන්ගේ පීඩාවට හේතුවී සිටි වෙනත් පක්ෂයක් අතට පත්ව තිබූ තත්ත්වයක් තුළ එක්කෝ ඇය ඩී.බී. විජේතුංග ජනාධිපතිවරයා කළාක් මෙන් කිසිම අවහිර කිරීමකින් තොරව බලයට පත්වී සිටින අයට තමන්ට කැමති පාලනයක් පවත්වාගෙන යාමට ඉඩ හැර නාමික වශයෙන් පමණක් ධුරය උසුලන තත්ත්වයකට ඇය පත්විය යුතුව තිබුණේය. එහෙත් ඇය එසේ නොකළා පමණක් නොව විටින් විට තම බලය පෙන්නන මෝඩ ප්රතිපත්තියක් අනුගමනය කළාය.
දැන් ඇය ඉන්නේ පළායෑමට ඉඩක් නැති කොටුවෙමින් සිටින තැනකය. මංගල සමරවීර වැනි ඇගේ මෝඩ උපදේශකයන්ගේ විශ්වාසය වී තිබුණේ මැතිවරණය පැරදුණත් ඇය ජනාධිපති ධුරයේ රැඳී සිටින තත්ත්වයක් තුළ තමන්ට බලයක් සේ ම විශාල ආරක්ෂාවක් ද ලැබෙනු ඇති බවය. එහෙත් දැන් වෙන්නට යන්නේ එහි අනෙක් පැත්තය.
මෙම අර්බුදය කෙළවර වීමට නියමිතව ඇත්තේ චන්ද්රිකා කුමාරතුංග මහත්මියට ජනාධිපති ධුරය අහිමි කිරිමෙන් නොනැවතී බණ්ඩාරනායකවරුන්ට ශ්රී ලංකා පක්ෂයට තිබූ වැඩවසම් උරුමය ද අහිමි කෙරෙන ආකාරයටය. ඒ සමස්ත ක්රියාවලිය තාවකාලික වශයෙන් මුළු විරුද්ධ පක්ෂ ව්යාපාරය බෙලහීන කරන සාධකයක් ලෙස ද ක්රියා කරනු නොවැළැක්විය හැකිය.
චන්ද්රිකා කුමාරතුංග මහත්මිය ජනාධිපති ධුරයෙන් පළවා හැරිමේ ක්රියාවලිය විධායක ජනාධිපති ක්රමයේ මූලික වෙනසක් ද ඇති කිරීමට හේතුවන ලෙස සිදුවේ නම්, ප්රජාතන්ත්රවාදි අර්ථයෙන් එය ඉදිරිගාමී පියවරකි. එය විධායක ජනාධිපති ක්රමයේ කිසිදු මූලික වෙනසක් ඇති නොවන ලෙස සිදුවේ නම් එයින් රටට ලැබෙන එකම යහපත වනු ඇත්තේ අපකීර්තිමත් රාජ්ය නායිකාවක් ජනාධිපති ධුරයෙන් ඉවත් කිරිමෙන් රටට ලැබෙන යහපත පමණය.
පොදු පෙරමුණු පාලන කාලය තුළ බරපතල වැරදි කළවුන්ට දඬුවම් පැමිණවීමේ ක්රියාවලිය ද දෙපැත්ත කැපෙන ආයුධයක් බඳුය. එය විරුද්ධ පක්ෂයෙන් පළිගැනීමට ලක් කෙරෙන ක්රියාවලියක් ලෙස පෙනිය හැකි වුවත්, රාජ්ය පාලන කාලයක් තුළ රාජ්ය බලය පාවිච්චි කරන්නන්, වැරදි කරන අයට ඒ රාජ්ය පාලන කාලයෙන් පසුව හෝ දඬුවම් කෙරෙන ක්රමයක් තිබිය යුතුය. එවැනි සම්ප්රදායක් ආරම්භ කිරීමට හැකි වුවහොත් මේ පාලකයන් ද ඊට සමාන ආකාරයකින් ක්රියාකළ හොත් ඊළග ආණ්ඩුවක් යටතේ ඔවුන් සඳහා ද ඒ චක්රය කැරකෙන තත්ත්වයක් ඇතිවේ.
එහෙත් පැරණි ආණ්ඩුවක් යටතේ සිදුවූ අපරාධවලට වගකිවයුතු දේශපාලකයන්ට දඬුවම් පමුණුවන ක්රමයක් යම් පමණකට විරුද්ධ පක්ෂ ව්යාපාරය බෙලහීන කරන සාධකයක් ලෙස ක්රියා කිරීම ද නොවැළැක්විය හැකිය. එහෙත් අපරාධකාරි පසුබිමක් ඇති පුද්ගල පිරිසක් කවදා හෝ නැවත බලයට එනවාට වඩා එක්තරා කාලසීමාවකට විරුද්ධ පක්ෂ ව්යාපාරය යම් පමණකට බෙලහීන තත්ත්වයකට පත්වී හෝ වඩා හොඳ නව නායක පිරිසක් මතුවන්නට ඉඩ හැරිම රටට වැඩදායකය.