රට බිහිසුණු විදුලිබල අර්බුදයකට මුහුණ දි සිටී. දින 180ක කාලයක් තුළ මේ අර්බුදය විසඳන බවටත්, එසේ නොවේ නම් තමන් උසුලන තනතුරු අත් හරින බවටත් බලශක්ති ඇමතිවරයා මහජනයාට පොරාන්දු වී තිබේ. එහෙත් දිනකට පැය 05ක විදුලි කප්පාදුවක් ක්රියාත්මක වේ. ඒ සීමාසහිත කප්පාදුව පවා සමස්ත ජාතික ආර්ථිකය කෙරෙහි ඇති කරමින් තිබෙන බලපෑම ඉතාමත් විනාශකාරි ය. ඒ පැය කිහිපය තුළ සාමාන්ය ජන ජීවිතය ද කාලකණ්ණි කිරීමට හේතුවී තිබේ.
විදුලි පාරිභෝජනයෙන් 30%ක් වැය වෙන්නේ ගෘහ පාරිභෝගිකයන් සඳහා ය. තවත් 30%ක් වාණජ කටයුතු සඳහා වැය වන අතර, ඉතිරි40% කර්මාන්ත කටයුතු සඳහා වැය වේ.
ගෘහස්ථ මට්ටමෙන් විදුලි ආලෝක කරණයේදි යොදා ගත හැකි බලශක්ති පිරිමැසුම්දායක විදුලි පහන් විශේෂයක් රටේ ඇති අතර, ඒ මගින් සාමාන්ය විදුලි බුබුලකට සාපේක්ෂව 75%ක් තරම් වන බලශක්ති ප්රමාණයක් ඉතිරිකරගත හැකි බව ද කියනු ලැබේ. එය සත්යයක් නම්, ගෘහස්ථ පාරිභෝජනයේදි සාමාන්ය විදුලි බුබුළු පාවිච්චිය තහනම් කොට බලශක්ති පිරිමැසුම්දායක විදුලි බුබුළු පමණක් පරිහරණය කිරීමට බලකෙරෙන නීති ඇති නොකරන්නේ ඇයි? බලශක්ති පිරීමැසුම්දායක විදුලි බුබුළුවල මිල අධික වුවත්, ඒවා පරිහරණය කිරීම දිර්ඝකාලීන අර්ථයෙන් ඉතාමත් ලාභදායකය. සියලු විදුලි පාරිභෝගිකයන්ට පිරීමැසුම්දායක විදුලි බුබුළු විදුලි බිල්පතටම කොටස් වශයෙන් එකතු කරන ක්රමයකට ලබාදිය හැකි ය. මේ විදුලි බුබුළු 75%ක් තරමින් පිරීමැසුම්දායක වේ නම් ගෘහස්ථ මට්ටමේ පාරිභෝගිකයන්ට තමන් මිලදි ගන්නා නව විදුලි බුබුළු වෙනුවෙන් කොටස් වශයෙන් ගෙවිය යුතු කොටස ගෙවීමෙන් පසුත් ඔවුන්ගේ විදුලි වියදම කලින් පැවති වියදම ඉක්මවීමේ හැකියාවක් නැත. මෙවැනි ක්රමයක් නිසා සාමාන්ය වර්ගයේ විදුලි බුබුළු නිපදවන කර්මාන්තශාලා කිහිපයක් වැසීයාමේ ඉඩක් ඇතත්, සාපේක්ෂ වශයෙන් ඉන් රටට සිදුවන යහපත වඩා විශාල ය.
මෙවැනි ක්රමයක් ඇති කිරීම මගින් පමණක් ජාතික පද්ධතියට ඉතුරු කරගත හැකි අනුපාතිකය වත්මන් මුළු පාරීභෝජනයෙන් 22%ක් පමණ වන අතර, ඒ මගින් විදුලි බලය කපා හරින පැය ගණන තවත් පැය දෙකකින් පමණ අඩු කළ හැකි ය.
මීට අමතරව නගරවල විසඳ ගැනීමට අමාරු බරපතල කැලි කසල ප්රශ්නයක් පවතී. ප්රධාන නගර ඉලක්ක කොට ගෙන හෝ කැලි කසල ආශ්රයෙන් විදුලිය නිපදවන ක්රියාමාර්ගයකට යොමුවිය හැකි නම්, එය සමහරවිට වියදම් අධික කාර්යයක් වුවත්, ජාතික විදුලි බල පද්ධතියට අතිරේක යමක් එකතු කරගත හැකිවා සේ ම, නගරබද ජනයා පීඩාවට පත් කරන කැලි කසල ප්රශ්නයට ද ඒ මගින් සාර්ථක විසඳුමක් සොයා ගත හැකිවනු ඇත්තේ ය.