කිරි කළයේ ගොම

March 31, 2002
Publication:
Ivan says that malpractice in some areas has tarnished the government's deserved local election victory and exposed a hunger for rigging among some of its members. He recalls how Chandrika Kumaratunga's failure to punish those behind the 1997 malpractices and the North Western Provincial Council poll began her decline, and urges the government to investigate, reprimand offenders, pursue serious PA-era wrongs without revenge, and make people unafraid to oppose it.

ස්වභාවික වශයෙන්ම තමන්ට විශාල ජයග්‍රහණයක් ලැබීමට නියමිත මැතිවරණයක් සමහර ප්‍රදේශවල හෝ තක්කඩිකමින් ජය ගන්නට දරන උත්සාහයක් නිසා ජයග්‍රහණය තුළ තිබිය යුතු ගෞරවණිය බව කිසියම් ප්‍රමාණයකට නැතිකර ගත්තේය.

එය ආණ්ඩුවේ නායකයින්ගේ දැනුවත් භාවයෙන් තොරව සිදුවූවක් වුවත් නව ආණ්ඩුව තුළ සිටින කිසියම් පිරිසක් තුළ හෝ බලහත්කාරයෙන් හා තක්කඩිකමින් ඡන්ද ජය ගැනීමට තිබෙන ගිජු බව එයින් පෙන්නුම් කළේය. එජා පෙරමුණේ ජයග්‍රහණය කෙරෙහි බල පෑ ප්‍රජාතන්ත්‍රවාදි නිදහස හා අයිතිවාසිකම් පිළිබඳ ජාතික මට්ටමින් පැවති වාද විවාද එම පුද්ගලයින්ගේ ආකල්ප කෙරෙහි බලපා නැති බව ඉන් පෙනීි යයි. දේශපාලන නායකයෙක් යහපත් වීම පමණක් ප්‍රමාණවත් නැත. එම නායකයා ගෞරවනීය නායකයකු වන්නේ සිය අනුගාමිකයින් තුළ තිබිය හැකි වරදට ඇති ගිජු කම මනා ලෙස පාලනය කිරීමට ඔහු හෝ ඇය සමත් වේ නම් පමණය.

වරදක් වන්නට පෙර එය කල්තියා තේරුම් ගනිමින් වරදක් සිදුවීමට තිබෙන ඉඩ ඇහිරිම වැරදි කළමනාකරණය කිරීම සඳහා තිබෙන හොඳම මාර්ගයයි. එහෙත් ඒ දේ සිදු නොවූයේ ය. දැන් ඒ නිසා ඇති වී තිබෙන අගෞරවය නැති කර ගත හැක්කේ සිදු වී තිබෙන වැරදි ගැන විදිමත්ව කරුණු සොයා බලා වැරදිකළවුන් වෙත ඔවුන්ට ලජ්ජා හිතෙන තරමටවත් බලවත් ලෙස අවවාද කිරීමක් හෝ සිදුවන්නේ නම් පමණය.

ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන් ක්‍රම තුළ පරමාධිපත්‍යය බලයට ජනතාවට තිබෙන අයිතිය පැහැර ගැනීම තරම් බරපතල හා විනාශකාරි වරදක් තවත් තිබිය නොහැකිය. එවැනි වරදක් සිදුවන හැම අවස්ථාවකදිම නැවත එවැනි වැරදි සිදුවීමට ඉඩක් නොලැබෙන ලෙස දැඩිව ක්‍රියාකිරීම නායකයා වෙත පැවරෙන වගකීමකි.

ආරම්භයේ මහජනතාව අතර අති විශාල ආශ්වාදයක් ඇති කිරීමට හේතු වී සිටි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පසුකලෙක මහජනතාවගේ පිළිකුලට හේතු වන තරම් නීච තත්ත්වයකට ඇද වැටීම කෙරෙහි බලපෑ එක් ප්‍රධාන සාධකයක් වූයේ එයයි.

1997 පළාත් පාලන මැතිවරණයේදි ඇතැම් ප්‍රදේශවල සිදුවූ මැතිවරණ දූෂණ ඇය විසින් ක්‍රියාත්මක කරවන ලද ඒවා බවට සාක්ෂෂි නැත. එහෙත් එහිදි තම අනුගාමිකයින් විසින් කරන ලද එම වැරදි ගැන ඇය තුළ කම්පාවක් ඇති නොවීය. ඒ වැරදි නිවැරදි කිරීමට ක්‍රියා කරනවා වෙනුවට ඒ වැරදි කළ පුද්ගලයන් ආරක්ෂෂා කරමින් ඔවුන්ට අනුබල දෙන ක්‍රියාමාර්ගයක් තුළ ඊළගට එන හැම මැතිවරණයක් ම තක්කඩිකමින් ජය ගන්නා සාහසික ක්‍රියාමාර්ගයක් වෙත ඇය තල්ලුවී ගියාය.

වයඹ පළාත් සභා මැතිවරණ කොල්ලය ජනාධිපතිනියගේම නිර්මාණයක් වුවත් එය බලවත් ලෙස හෙළිදරව් වන තත්ත්වයක් ඉදිරියේ සිදුවූ වැරදි ගැන සොයා බලා වැරදි කළවුන්ට දඬුවම් කරන බවට ජනතාවට පොරොන්දු වීමට ඇයට සිදුවිය. එහෙත් එය තමාගේ අනු දැනුම ඇතිව සිදුවූ ක්‍රියාවලියක් වීම හේතුකොටගෙන ජනතාවට දෙන ලද එම පොරොන්දුව ඉටු කිරීමට ඇය අසමත් විය. ඇය මහජනතාව ඉදිරියේ නීච තත්ත්වයකට පත්වීම ආරම්භ වූයේද එතැන් සිටය. පළාත් පාලන මැතිවරණයේදි සිදුවූ වැරදි ගැන සොයා බලා වැරදිකළවුන්ට දඬුවම් කරන බවට මහජනතාවට දි තිබෙන පොරොන්දුව ඉටු නොකරයි නම් එය මේ ආණ්ඩුව කෙරෙහි මහජනතාව ඇති කරගෙන තිබෙන විශ්වාසය පළුදු කිරීමට එය හේතුවන වැදගත් හේතුවක් ලෙස ක්‍රියා කරනු නොඅනුමානය. අවශ්‍ය කරන ප්‍රධානම දේ සිදුවූ දූෂණ මොනවා දෑයි අවංකවම සොයා බැලීමයි. ඉන් පසුව වැරදිකළවුන්ට දැඩි අවවාද කිරීමක් හෝ කළ යුතුය. මහජනයාට තිබෙන පරමාධිපත්‍ය බලය සමග සෙල්ලම් කිරීමට ඉඩක් නැති බව ප්‍රාදේශීය නායකයින් තේරුම් ගනු ඇත්තේ එවිටය. යහපත් ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන සදාචාරයක් සඳහා වන පරිසරයක් ඇති වීම ආරම්භ වනු ඇත්තේ ද එතැනිනි.

එසේම පොදු පෙරමුණු පාලන කාලය තුළ සිදු වී ඇති බරපතල වැරදි ගැනද සොයා බැලිය යුතුය. බරපතල වැරදි කළ වුන් අනුකම්පා විරහිතව නීතිය ඉදිරියට පමුණුවාලිය යුතුය. එහෙත් ඒ සියල්ල සිදුවිය යුත්තේ යහපත් දේශපාලන සදාචාරයක් ඇති කිරිමේ හොඳ අරමුණින් මිස දේශපාලන විරුද්ධවාදින්ගෙන් පළි ගැනීමේ අරමුණින් නොවේ.

තමන් පීඩාවට හෝ පළිගැනීමට ලක්වනු ඇතැයි යන බියකින් තොරව තමන් කැමති දේශපාලන අදහසක් දැරිමේ හා ඒ වෙනුවෙන් පෙනී සිටීමේ අයිතිය මහජනයාට සහතික කළ යුතුය. තුවක්කු වලින් කෙරෙන සෘජු තර්ජනයන් නොතිබියදිත් ආණ්ඩුවට විරුද්ධ වීමට බියක් ඇති පරිසරයක් රටේ නොතිබිය යුතුය.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදි විරුද්ධ පක්ෂෂ පෝලින් නියෝජිතයන්ගෙන් තොර ඡන්ද මධ්‍යස්ථාන සමහර ප්‍රදේශවල තිබුණ. සෘජු තර්ජනය කිරීමක් නොවී ඔවුන්ගේ නොපැමිණීම සිදුවූයේ ඔවුන්ගේ හිත් වල පැවති චකිතයක් නිසා වුවත් එවැනි තත්ත්වයක් යහපත් තත්ත්වයක් ලෙස සැලකිය නොහැකිය. ඒ තත්ත්වය තුරන් කොට ආණ්ඩුවට විරුද්ධ වීමට කැමති අයට කිසිදු චකිතයකින් තොරව එසේ කිරීමට පුලුවන් කමක් ඇති සමාජ වාතාවරණයක් ඇති කරලීම ආණ්ඩුවේ වගකීමයි.