17 වැනි සංශෝධනයට කොකා පෙන්නීම

March 17, 2002
Publication:
Ivan explains that the 17th Amendment gives the Constitutional Council power over the independent commissions and top appointments, yet the President has still not named her nominee despite Article 41(5). He argues that she is protecting her hold over the Chief Justice, Attorney General, IGP and Bribery Commission, since a council would weaken her defence against impeachment and against the Padiyapelella rocket-launcher case linked to a plot to kill S.B. Dissanayake.

සැප්තැම්බර් 25 වැනිදා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර ඡන්දයකින් සම්මත කරගන්නා ලද 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය යහපත් රාජ්‍ය පාලනයක් ගැන උනන්දුවක් දක්වන සමාජ කණ්ඩායම්වලින් එල්ල වූ බලපෑම් මත ඇති කරගන්නා ලද ව්‍යවස්ථාමය ප්‍රතිපාදනයක් ලෙස සැලකිය හැකිය. සමාජ වැදගත්කමක් ඇති ආයතන දේශපාලන තරගයෙන් ඉවත් කොට නීතියට අනුකූලවත්, ස්වාධීනවත් ක්‍රියා කරන තත්ත්වයක් ඇති කිරීම එහි අරමුණ විය.

ඒ අනුව ඇති කෙරෙන මැතිවරණ කොමිෂන් සභාවට, රාජ්‍ය සේවා කොමිෂන් සභාවට, පොලිස් කොමිෂන් සභාවට, අධිකරණ සේවා කොමිෂන් සභාවට, මානව හිමිකම් කොමිෂන් සභාවට, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට, මුදල් කොමිෂන් සභාවට හා ඡන්ද කොට්ඨාශ සීමා නිර්ණ කොමිෂන් සභාවට සාමාජිකයන් පත් කිරිමේ බලයත්, අග්‍රවිනිශ්චයකාරවරයා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් ද, අභියාචනාධිකරණයේ සභාපති ඇතුළු අභියාචනාධිකරණ විනිසුරුවරුන් ද, නීතිපති, විගණකාධිපති, පොලිස්පති, පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් හා පාර්ලිමේන්තු මහලේකම්වරයා තෝරාපත් කිරිමේ බලයත් ලැබෙන්නේ 17 වැනි සංශෝධනය යටතේ ඇති කරන ව්‍යවස්ථා සභාවටය.

ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත් වහාම ප්‍රමාදයකින් තොරව ව්‍යවස්ථා සභාව හා ඒ යටතේ ඇති කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත්කර ගැනීමට හැකිවනු ඇති බවට අපේක්ෂා කළත්, එය එසේ සිදුවූයේ නැත. ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව එජාප ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවක් තිබියදිත් 17 වැනි සංශෝධනයට ආයතන ඇති කරගැනීමේ හැකියාවක් තිබුණත්, එවැනි ආයතන ක්‍රමයක් ඇති කරගැනීමට ඉඩදිමෙන් තොරව මැතිවරණයකට යාම තමන්ට වාසිදායක වේ යයි කල්පනා කළ පොදු පෙරමුණු ආණ්ඩුව ව්‍යවස්ථා සභාවක් හෝ ඒ යටතේ ක්‍රියාත්මක වන ස්වාධීන කොමිෂන් සභා ක්‍රමයක් හෝ ඇති කරගැනීමට ඉඩ නොලැබෙන ආකාරයට මැතිවරණයකට ගියේය.

ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත්ව තිබූ විධි විධාන අනුව මැතිවරණ කොමිසමක් ඇති කර නොතිබුණ ද ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව මැතිවරණයක් පවතී නම් මැතිවරණ කොමිසම සතු බලතල මැතිවරණ කොමසාරිස්වරයා වෙත පැවරෙන්නේය. මැතිවරණයේදි පොදු පෙරමුණු ආණ්ඩුව පමණක් නොව, රටේ විධායක නායිකාව ලෙස සැලකිය හැකි ජනාධිපතිනිය ද ක්‍රියා කළේ මැතිවරණවලට අදාළ ව්‍යවස්ථා සංශෝධනයේ එන මූලධර්ම එළිපිටම උල්ලංඝණය කෙරෙන ආකාරයටය. මැතිවරණ කාලයට එහි එන විධි විධාන බලාත්මක කරගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගිය අයට ද ආපසු එන්නට සිදුවූයේ හිස් අතිනි. ඒ අර්ථයෙන් බලයේ සිටි ආණ්ඩුව පමණක් නොව, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට බැඳී සිටින රාජ්‍ය නායිකාව පමණක් නොව, ශ්‍රේෂ්ඨාධිකරණය ද හිතාමතාම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරන පිළිවෙතක් අනුගමනය කළේ යැයි කිව හැකිය.

මැතිවරණයෙන් පොදු පෙරමුණ ලැබූ පරාජයෙන් පසුව බලයට පැමිණි එජාප ප්‍රමාදයකින් තොරව ව්‍යවස්ථා සභාව හා ස්වාධීන කොමිෂන් සභා ඇති කරනු ඇතැයි මහජනතාවගේ අපේක්ෂාව විය. එහෙත් විවිධ හේතු නිසා එය දිගින් දිගට කල් ගියේය. සිය නියෝජිතයා සඳහා වතුකරයේ පාර්ලිමේන්තු නියෝජිතයන් අතර එකගත්වයක් ඇති කරගැනීමට නොහැකිවීම නිසාත්, පසුව විපක්ෂ නායකයකු නැතිකම නිසාත් එය කල් ගියේය. අවසානයේදි විශාල ප්‍රමාදයකින් පසුව වුවත්, පෙබරවාරි 22 වැනිදා වනවිට ජනාධිපතිගේ නියෝජිතයා හැර ව්‍යවස්ථා සභාව සඳහා අන් නියෝජිතයන්ගේ නම් ලැයිස්තුව ජනාධිපතිනිය වෙත භාර දිමට අගමැතිවරයා සමත් විය. ඉන්පසුව සිදුවිය යුතුව තිබුණේ ජනාධිපතිනිය විසින් තමාගේ නියෝජිතයා එම ලැයිස්තුවට ඇතුළත් කොට එම පත්කිරිම් සඳහා වහාම ජනාධිපතිනියගේ නිල අනුමැතිය ලබාදිමය. එහෙත් පුදුමයට මෙන් ජනාධිපතිනිය තවමත් සිය නියෝජිතයා නම් කොට නැත.

17 වැනි සංශෝධනයේ 41 (5) වගන්තිය අනුව ව්‍යවස්ථා සභාව සඳහා වන නාමයෝජනා දැනුම් දිමකින් පසුව ජනාධිපතිවරයා එම පත්කිරිම් අප්‍රමාදව කරනු ලැබිය යුත්තේය. නීතිය එය වුවත්, ජනාධිපතිනිය තවමත් බොරුවට නටවන තත්ත්වයකින් ක්‍රියාකරමින් සිටී.

ජනාධිපතිනියගේ අභිලාෂය ඉතාමත් පැහැදිලිය. ව්‍යවස්ථා සභාව ක්‍රියාත්මක වුවහොත් ඉතා වැදගත් තනතුරු සඳහා දෑන් තමන්ට ලැබී තිබෙන පත් කිරිමේ බලය තමන්ට අහිමි වන බව ඇය දන්නේය. ඒ සමග ඒවාහි ක්‍රියාකාරිත්වය ද වෙනස්විය හැකිය.

තමා සමග සංහිඳියාවකින් ක්‍රියා කළ නොහැකි තත්ත්වයක් ඉදිරියේ එජාපය තමන්ට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරියට ගැනීමට තීරණය කර ඇති බවත් තමන්ට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කරන්නට පෙර අගවිනිසුරු සරත් සිල්වාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බවත් ජනාධිපතිනිය දන්නේය.

ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කරන දෝෂාභියෝගයකදි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණාත්මකය. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් නොව පාර්ලිමේන්තුවේ සියලු දෙනාම එකතු වී දෝෂාභියෝගයක් ඉදිරිපත් කළත් ශ්‍රේෂ්ඨාධිකරණය සිය විමර්ශනයේදි එය නිෂ්ප්‍රභා කරන්නේ නම් දෝෂාභියෝගය බලරහිත දෙයක් බවට පත්වන්නේය. ඒ නිසාම තම ආරක්ෂාව සඳහාම අගවිනිසුරු ධුරයට ගෙනා සරත් සිල්වා මහතා බලරහිත කිරීමට හේතුවන ආකාරයට ව්‍යවස්ථා සභාවක් පත් කරගැනීමට ඉඩදිමේ හැකියාවක් ජනාධිපතිනියට නැත. ව්‍යවස්ථා සභාවට අගවිනිසුරුවරයා ධුරයෙන් ඉවත් කිරිමේ සෘජු බලයක් නැතත්, ව්‍යවස්ථා සභාව පත් කළ පසුව අගවිනිසුරුවරයාට එරෙහිව ඉදිරිපත් කෙරෙන දෝෂාභියෝගයක් සාර්ථක වුවහොත් ඊළගට පත් කරන අගවිනිසුරුවරයා නම් කිරිමේ බලය ලැබෙන්නේ ජනාධිපතිනියට නොව ව්‍යවස්ථා සභාවටය. එහෙත් ව්‍යවස්ථා සභාවක් පත් නොකර තිබෙන තත්ත්වයක් යටතේ අගවිනිසුරුවරයාට එරෙහිව ඉදිරිපත් කරන දෝෂාභියෝගයක් සාර්ථක වුවත්, තමන් කැමති පුද්ගලයෙකු නම් කිරිමේ බලය ජනාධිපතිනියට ලැබෙන්නේය. තමාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරියට ගැනීම වැළකීම අවශ්‍ය නම්, ව්‍යවස්ථා සභාව පත්කිරිමෙන් වැළකීම අත්‍යවශ්‍ය වේ යයි ජනාධිපතිනිය කල්පනා කරනවා විය යුතුය.

අධිකරණයට අතිරේකව තීරණාත්මක වැදගත්කමක් ඇති වෙනත් ආයතන ද පවතී. තවමත් පොලිස්පති සිටින්නේ ජනාධිපති යටතේය. නීතිපති ඉන්නේත් ජනාධිපති යටතේය.

පදියපැලැල්ලට රොකට් ලෝන්චරයක් සමග ආයුධ සන්නද්ධ කණ්ඩායමක් එවීමේ සිද්ධිය පිළිබඳව පැවැත්වෙන පරික්ෂණය හා නඩු විභාගය ජනාධිපතිනියට තීරණාත්මක ලෙස වැදගත්ය. ඒ වැඩපිළිවෙල තුළ අමාත්‍ය එස්.බී. දිසානායක ඝාතනය කිරීම සඳහා වන සාහසික කුමන්ත්‍රණයක් තිබී ඇති බව පැහැදිලිය. එස්.බී. දිසානායක ඝාතනය කිරිමේ අරමුණ ඇති එවැනි කුමන්ත්‍රණයක් තිබුණේ නම්, එය ජනාධිපතිනියගේ අනුදැනුම ඇතිව සිදුවූවක් ලෙස මිස, ඇගේ අවබෝධයෙන් තොරව ස්වාධීනව සිදුවූවක් ලෙස සැලකිය නොහැකිය. ඇය එහි විත්තිකරුවකු බවට පත්කොට නැත්තේ එම කුමන්ත්‍රණයට ඇගේ සම්බන්ධයක් නොපෙනෙන නිසා නොව, මුක්තිය නිසා ජනාධිපතිනිය වශයෙන් ඇයට එරෙහිව නඩු පැවරිය නොහැකි නිසාය.

එය ජනාධිපතිනියට සම්බන්ධ නඩුවක්ව තිබියදිත් කිසිම හිරිකිතයකින් තොරව, ඇය එම නඩුවේ පරික්ෂණය භාරව ක්‍රියා කරන පොලිස් නිලධාරින්ට සේ ම, නීතිපති දෙපාර්තමේන්තුවට ද ඇගිලි ගසන ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. එය ඇගේ නඩුවක් වන නිසාම, ඇය මේ රටේ ජනාධිපතිනිය වුවත්, එම නඩුවට අදාළ කාරණාවලදි නීතිපතිට උපදෙස් දිමෙන් වැළකී සිටිය යුතු අතර, නීතිපති ද ඇය රටේ ජනාධිපති වුවත් එම කාරණයේදි ඇගෙන් උපදෙස් ලබාගැනීමෙන් වැළකී සිටිය යුතුය. එහෙත් ජනාධිපතිනිය නීතිපතිට උපදෙස් දෙන පිළිවෙතක් අනුගමනය කරනවා සේ ම, නීතිපති ද පිළිගත් මූලධර්මවලට පටහැනිව ඊට අදාළව ජනාධිපතිනිය දෙන උපදෙස් කිසියම් ප්‍රමාණයකට පිළිගන්නා පිළිවෙතක් ද අනුගමනය කරයි.

නීති විරෝධී ආකාරයට හෝ ජනාධිපතිනිය තමන්ට අදාළ එවැනි නඩුවලට ඇගිලි ගැසීමට හැකිවී ඇත්තේ නීතිපති සහ පොලිස්පති තවමත් තමන් යටතේ සිටින නිසාය. ව්‍යවස්ථා සභාව ඇති කිරීමට ඉඩ දුනහොත් ඒ හැකියාව නැතිවන්නේය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ද ජනාධිපතිනියට තීරණාත්මකය. දැන් එය තිබෙන්නේ ජනාධිපතිනිය යටතේය. කොමිෂමේ සභාපති ඇතුළු කොමසාරිස්වරුන් පත්කර ඇත්තේ ජනාධිපතිනිය විසිනි. එහි සිටින එක් කොමසාරිස්වරයෙකු ජනාධිපතිනිය ළග සේවය කරන ඇයට හිතවත් ලේකම්වරියකගේ ස්වාමි පුරුෂයෙකි. තීරණාත්මක වැදගත්කමක් ඇති හැම තැනක්මත්, තමන්ට පාලනය කළ හැකි තත්ත්වයක තබා ගැනීම, තමන්ට එරෙහිව නොයන තත්ත්වයක තබාගැනීම හා අවශ්‍ය නම් තම දේශපාලන සතුරන්ට එරෙහිව ක්‍රියා කරන තත්ත්වයක තබා ගැනීම ජනාධිපතිනියගේ උපාය මාර්ගික වැඩපිළිවෙල විය. හැම වැදගත් මර්මස්ථානයකටම පුද්ගලයන් පත් කර ඇත්තේ එම න්‍යාය ධර්මයට ගැලපෙන ලෙසය. බාලපටබැඳි ජනාධිපති ලේකම් කරගන්නා විට චන්දානන්ද ආරක්ෂක ලේකම් කමට ගෙනාවේය. චන්දානන්දගේ බිරිඳ ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා බවට පත් කළාය. සරත් සිල්වා අගවිනිසුරු ධුරයටත්, දම්මික කිතුල්ගොඩ පාර්ලිමේන්තු ලේකම් ධුරයටත්, ලකී කොඩිතුවක්කු පොලිස්පති ධුරයටත් ගෙනාවාය. ව්‍යවස්ථා සභාවට ඉඩ හැරිමෙන් තමන්ට හුරු පුරුදු හා තමන්ගේ ආරක්ෂාව සඳහා ඇති මේ ක්‍රමය නැතිවී ඒ ආයතන ජනාධිපතිනියගේ පාලනයෙන් බැහැරව ස්වාධීනව ක්‍රියා කරන තත්ත්වයකට පත්වන්නේය. ඒ මගින් ජනාධිපතිනියගේ බලය හීන කෙරෙනවා පමණක් නොව, ජනාධිපතිනිය අතින් සිදුවී තිබෙන බරපතල වැරදි වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන තත්ත්වයක් ද ඇතිවිය හැකිය. එවැනි තත්ත්වයකට ඇය ඉඩ නොදෙයි නම් එය අස්වාභාවික වන්නේ නැත.