ශ්රී ලංකන් එයාර් ලයින්ස් සමාගම සඳහා ඇති කරගෙන තිබෙන කළමනාකරණ ගිවිසුම නැවත විමර්ශනයට ලක් කළ යුතු බව සංචාරක ඇමති ගාමිණී ලොකුගේ මහතා ප්රකාශ කර තිබේ.
සමාගම සිය ගමන් පවත්වාගෙන යනුයේ ශ්රී ලංකාවේ සංචාරක අවශ්යතාවන්ට ගැලපෙන ආකාරයකට නොවේ. ශ්රී ලංකාව සංචාරක කර්මාන්තය ගැන විශේෂ උනන්දුවක් දක්වන රටකි. ශ්රී ලංකාව සංචාරක කර්මාන්තය සඳහා කර තිබෙන ආයෝජනය ද ඉතා විශාල ය.
ශ්රී ලංකාවට ලැබෙන සංචාරක පැමිණීම්වලින් 63%ක් ම දායක වන්නේ බටහිර යුරෝපිය රටවලිනි. ජර්මනිය, එක්සත් රාජධානිය, ප්රංශය, ඉතාලිය, නෙදර්ලන්තය යන රටවල් ඒ අතරින් ප්රධාන තැනක් ගනී.
එහෙත් අවාසනාවකට ශ්රී ලංකා ගුවන් සේවයේ කළමනාකරණය එමිරේට්ස් සමාගමට පවරාදිමෙන් පසුව දැන් ජර්මනියට හෝ ඉතාලියට සෘජු ගුවන් ගමන් නො කෙරෙන්නේ ය. එවැනි රටවල සංචාරකයන් ශ්රී ලංකාවට පැමිණිය යුතුව ඇත්තේ සංචාරක වැදගත්කමක් ඇති මාලදිවයින වැනි රටවල් හරහා ය. මෙය ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය දුර්වල කිරීමට හේතුවන කරුණක් ලෙස ක්රියාකරමින් තිබෙන අතර, එය ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය හිතාමතා අඩපණ කිරිමේ අරමුණින් ක්රියාත්මක වන දෙයක් ය යන විශ්වාසයක් ද සංචාරක කර්මාන්තයට සම්බන්ධ සමහර අය තුළ පවතී.
එහෙත් එමිරේට්ස් සමාගම සමග ඇති කරගෙන තිබෙන ගිවිසුම අනුව මේ තත්ත්වයෙහි වෙනසක් ඇති කිරිමේ හැකියාවක් ශ්රී ලංකාවට නැත. ගුවන් සමාගමේ වැඩි අයිතිය ඇත්තේ ශ්රී ලංකාවට වුවත්, න්යාය පත්රය අවසන් වශයෙන් තීන්දු කිරිමේ අයිතියක් රටට නැති නම් එය ඉතා නරක තත්ත්වයක් බව අමුතුවෙන් කිව යුතු නැත.
ශ්රී ලංකන් ගුවන් සමාගමේ කළමනාකරණය එමිරේට්ස් සමාගමට ලබාදිම සඳහා ක්රියාකිරිමේදි පුද්ගලික යහපත මිස, රටේ ජාතික යහපත සැලකිල්ලට ගෙන ඇති බවක් පෙනෙන්නට නැත. විශේෂයෙන් ම එකම කලාපයක තරගකාරි සමාගමකට ශ්රී ලංකා ගුවන් සේවයේ කළමනාකරණය ලබාදිම හරියට තරගකාරි පුවත්පත් ආයතනයක් වන ලේක්හවුසියේ කළමනාකරණය රටේ තිබෙන වෙනත් පුද්ගලික පුවත්පත් සමාගමකට ලබාදිමට සමාන ය.
විරුද්ධ පක්ෂයේ සිටියදි මෙම ගිවිසුම විවේචනය කළ අයට රටේ පාලන බලය බාරවී ඇති බැවින් ආඩපාලි කීමකින් තොරව වරදක් සිදුවී ඇත්නම් එය නිවැරදි කිරීම පිණිස ක්රියාකිරීම ඔවුන්ගේ වගකීමයි.