පැවැත්ම සමග කරන සූදුවක්

March 10, 2002
Publication:
Ivan argues that the JVP is gambling its political survival by opposing Ranil Wickremesinghe's peace effort as it once opposed the Indo-Lanka Accord. He recalls that the party called provincial councils a division of the country, killed people over them and then became their keen participants without apology, and now stays silent on the executive presidency and the President's stalling of the 17th Amendment. Nationalism, he says, can wreck a settlement but no longer carries anyone to power.

ජනතා විමුක්ති පෙරමුණ සිය දේශපාලන පැවැත්ම සමග දරුණු සූදුවක යෙදි සිටින බව පෙනේ. ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ජාතිවාදි ස්වරූපයකින් නැගී සිටියේ ආයුධ සන්නද්ධ කැරැල්ලකට අවස්ථාවක් ලබාගැනීම සඳහාය. ඔවුන් ඒ සමග ඉදිරියට ගෙනා ආයුධ සන්නද්ධ අරගලය ජයගැනීමට සමත් නොවූවත්, රටේ සමස්ත ක්‍රියාකාරිත්වය අඩපණ කිරීමට හේතුවන තරම් බලවත් කැරැල්ලක් ඉදිරියට ගැනීමට සමත් විය.

ඔවුන් දැන් රනිල් වික්‍රමසිංහගේ සාම වැඩපිළිවෙලට එරෙහිවන්නේ ද ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව ක්‍රියා කළ ආකාරයට සමාන ආකාරයකටය. එහෙත් එහිදි ඔවුන් ආයුධ සන්නද්ධව නැගී සිටීමක් බලාපොරොත්තු නොවේ නම් ඒ වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදි රාමුවක් තුළ සිය බලය ශක්තිමත් කරගැනීමට අදහස් කරයි නම් ඔවුන් අපේක්ෂා කරන දේ බිඳ වැටීමට තිබෙන ඉඩකඩ වැඩිය.

ජනතා විමුක්ති පෙරමුණ රගපාමින් තිබෙන මේ භූමිකාව තුළ නොගැලපීම් රාශියක් ද පවතී. ඉන්දු-ලංකා ගිවිසුම අවස්ථාවේදි 13 වැනි සංශෝධනය සේ ම පළාත් සභා ක්‍රමය ද ඔවුන් හැඳින්වූයේ රට දෙකඩ කරන ක්‍රමයක් ලෙසය. එහෙත් ඒ ක්‍රමය නිසා රට දෙකඩවීමක් සිදු නොවූ අතර, ජනතා විමුක්ති පෙරමුණ ද ඒ ගැන තමන් විසින් කරන ලද රළු විවේචන අමතක කරමින් තවත් අවුරුදු ගණනකට පසුව පළාත් සභා ක්‍රමයේ උද්යෝගීමත් කොටස්කාරයෝ පිරිසක් බවට පත්වූහ. මේ වනවිට ජනතා විමුක්ති පෙරමුණට මන්ත්‍රීවරුන් 16 දෙනකුගේ පාර්ලිමේන්තු නියෝජනයක් ඇතත්, 13 වැනි සංශෝධනයට එරෙහිව හෝ පළාත් සභා ක්‍රමයට එරෙහිව යෝජනාවක්වත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැත.

එක්කෝ ඔවුන්ගේ ඒ සඳහා වන අතීත ස්ථාවරය වැරදි විය යුතුය. නැත්නම් වර්තමාන ස්ථාවරය වැරදි විය යුතුය. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය හා පළාත් සභා ක්‍රමය අරභයා තමන්ගේ අතීත ස්ථාවරය වැරදි නම් ඒ පිළිබඳව බිහිසුණු චිත්‍රයක් මවා පා ඊට පක්ෂපාතවූවන් මරණයට පත්කිරීම හා ඔවුන්ගේ දේපළ විනාශ කිරීම ගැන ඔවුන් මහජනයාට සිය කණගාටුව පළ කළ යුතුව තිබුණේය. එහෙත් අද දක්වා ඔවුන් ඒ ගැන මහජනතාවට සිය කණගාටුව පළකිරීමක් කර නැත. ඒ වෙනුවට සිදුවී ඇත්තේ මුළු හදවතින් වෛර කළ රට බෙදා වෙන් කිරීමකට මගපාදනු ඇතැයි කී පළාත් සභා ක්‍රමයේ උද්යෝගීමත් කොටස්කරුවන් පිරිසක් බවට පත්වීමය.

ජනතා විමුක්ති පෙරමුණ ජනවාර්ගික අර්බුදය අලලා කරන විශ්ලේෂණ නිවැරදි නොවේ යැයි සනාථ කිරීමට ඒ එකම කරුණ වුවත් ප්‍රමාණවත්ය.

එහෙත් දැන් තෝරා ගෙන ඇති ජාතිවාදි මාර්ගය සාමකාමී රාමුවක පවත්වාගෙන යාමට එම පක්ෂය අදහස් කරයි නම්, සිය අනුගාමිකයන්ට ජීවිතවලින් වන්දි ගෙවන තත්ත්වයක් ඇති නොකරනු ඇතත්, දේශපාලන වශයෙන් මහජනයාගේ හාස්‍යයට හේතුවිය හැකි තැනකට ඇද වැටීමේ ඉඩක් පවතී.

රනිල් වික්‍රමසිංහගේ ප්‍රයත්නය පුස්සක් බවට පත්වුවහොත් ඉන් දේශපාලන වාසියක් ලබාගැනීමේ හැකියාවක් ජනතා විමුක්ති පෙරමුණට ඇතත්, රනිල් වික්‍රමසිංහගේ ප්‍රයත්නය පුස්සක් බවට පත්වුවහොත් රනිල් වික්‍රමසිංහගේ එජාපය පමණක් නොව, එජාපයට එරෙහිව යන ජනතා විමුක්ති පෙරමුණ පමණක් නොව, පොදු පෙරමුණ ද විනාශ මුඛයට පත්වීම නොවැළැකිවිය හැකිය.

ජනතා විමුක්ති පෙරමුණ මාක්ස්වාදි පක්ෂයක් ලෙස පෙනී සිටියත්, මාක්ස්වාදයේ එන කාලය හා අවකාශය පිළිබඳ සංකල්පය පිළිබඳ අවබෝධයක් ජනතා විමුක්ති පෙරමුණට තිබෙන බවක් පෙනෙන්නට නැත.

ඓතිහාසික වශයෙන් ජාතිවාදය ආයුධයක් කරගනිමින් බලයේ සිටින ආණ්ඩුවක් පෙරළා බලයට පත්වීමේ අවකාශයක් අතීතයේදි තිබුණි. එහෙත් වර්තමානයේ එවැනි අවකාශයක් නොපවතී. වර්තමානයේ විසඳුමක් ඇති කරගැනීම සඳහා දරන ප්‍රයත්නයන් ජාතිවාදය ආයුධයක් කොටගනිමින් කඩාකප්පල් කළ හැකිය. එහෙත් ඒ නිසා සිදුවන කඩාකප්පල්වීමක් අතීතයේ මෙන් විරුද්ධ පක්ෂයට ජයග්‍රාහී තත්ත්වයක් ලබාදෙන්නේ නැත. ඒ සමග ආණ්ඩු පක්ෂය පමණක් නොව විපක්ෂය ද මුළු රට ද වැනසෙනු ඇත.

ඒ අර්ථයෙන් අතුරේ ගමන් කරන්නට සිදුවී ඇත්තේ රනිල් වික්‍රමසිංහට පමණක් නොවේ. පොදු පෙරමුණේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය, ජනතා විමුක්ති පෙරමුණේ විමල් වීරවංශ පමණක් නොව, සමස්ත සමාජයම ගමන් ගනිමින් සිටින්නේ අතුරකය. අතුරේ බිඳ වැටීමක් ඉදිරියේ ගමන් ගන්නා රනිල් වික්‍රමසිංහ පමණක් නොව, එහි ගමන් ගනිමින් සිටින අන් සියලු දෙනා ද විනාශ වනු ඇත්තේය.

විය හැකි ඊළග දේ රනිල්ගේ සාමය සඳහා වන වැඩපිළිවෙල සාර්ථකවීමය. එසේ වුවත්, ජනතා විමුක්ති පෙරමුණ දෑන් සිටින ස්ථාවරය තුළ අතිවිශාල අර්බුදයකට තල්ලු වන තත්ත්වයක් ඇතිවීම නොවැළැක්විය හැකිය. සාමය වහා ඇතිවන දෙයක් ලෙස සැලකිය නොහැකිය. ඒ සඳහා ගමනේ තබන හැම සාර්ථක අඩියක්මත් රටට යහපත් ප්‍රතිඵල ගෙන දෙනු නොවැළැක්විය හැකිය. එසේ ඇති කරන ඒ හැම යහපත් ප්‍රතිඵලයක්මත් පෙරළා සාමය සඳහා වන සමාජ උනන්දුව ශක්තිමත් කිරීමට හේතුවනු ඇති අතර, ජාතිවාදි බලවේගයන් වඩාත් දුර්වල කිරීමට හේතුවනු ඇත්තේය.

ජනතා විමුක්ති පෙරමුණ මවා පාමින් සිටින බිහිසුණු චිත්‍රයට වෙනස්ව මහජනයාට ඉන් ලැබෙන දේ මිහිරී වෙතොත් මහජනතාව ජනතා විමුක්ති පෙරමුණ කෙරෙහි බලන ආකල්පය අමිහිරි ස්වරූපයක් ගනු නොවැළැක්විය හැකිය.

ජනාධිපතිනිය සමග කල්ලි ගැසී සිටින ජනතා විමුක්ති පෙරමුණට දැන් විධායක ජනාධිපති ක්‍රමය ද මිහිරි දෙයක් බවට පත් වී තිබේ. දැන් විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ කෙරෙහි කිසිම හා හූවක් ඇසෙන්නේ නැත. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙස ඉල්ලා ඔවුන් දැන් පෙළපාලි යන්නේ නැත. ජනාධිපතිනිය මිහිරී වී සිටින තත්ත්වයක් තුළ ජනාධිපති ක්‍රමය ද සූකිරී වී තිබේ.

17 වැනි සංශෝධනය තමන් විසින් ලබාදෙන ලද ජයග්‍රහණයක් බවට ජනතා විමුක්ති පෙරමුණ පුරාජේරු කීවේ ය. එහෙත් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දි 17 වැනි සංශෝධනයේ වන විධිවිධාන අමු අමුවේ උල්ලංඝණය කරමින් සිටි අවස්ථාවේ දි පවා තමන් ඇති කළ ශුද්ධ වූ නීතිය කෙලෙසීම ගැන ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිනියට එරෙහිව එක වචනයක් වත් කතා කළේ නැත. ඉන්පසු දැන් ව්‍යවස්ථා සභාවට ජනාධිපතිනිය සිය නියෝජිතයා පත් කිරිමෙන් දිගින් දිගට වැළකී සිටින තත්ත්වයක් ඉදිරියේත් ජනතා විමුක්ති පෙරමුණ නිහඬ ය.

ජනතා විමුක්ති පෙරමුණ 77 මැතිවරණයෙන් පසු එජාප ආණ්ඩුවේ අනුග්‍රහය ඇතිව ශ්‍රීලනිපයට එරෙහිව “ගමනක අවසානය” නමින් රැස්වීම් පැවැත්වීය. එකල ජවිපෙ ශ්‍රීලනිපය පෙනුණේ වලව්කාර පක්ෂෂයක් වශයෙනි. පාක්ෂෂිකයන් විග්‍රහ කෙරුණේ වලව්වට දරදිය අදින දේශපාලන ප්‍රවේණදාසයන් ලෙස ය. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන, සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට අවශ්‍ය වූ විට ඒ සඳහා කොන්දේසි විරහිතව සහාය දුන් පක්ෂෂය වූයේ ද ජනතා විමුක්ති පෙරමුණ ය. එහෙත් දැන් විමල් වීරවංශට ශ්‍රීලනිප පෙනෙන්නේ ප්‍රගතිශීලී ව්‍යාපාරයක් වශයෙනි. ඊට සම්බන්ධ පාක්ෂෂිකයින් පෙනෙන්නේ රට ගැන කැක්කුමක් ඇති ප්‍රගතිශීලී ජනතාවක් ලෙසිනි. ජනාධිපතිනිය පෙනෙන්නේ ද අම්මන්ඩි කෙනෙක් ලෙස නොව රෝසා ලක්සම්බර්ග් කෙනෙක් ලෙසිනි.

ජනතා විමුක්ති පෙරමුණේ මේ නව රංගනය රෝහණ විජේවීරහා විජය කුමාරතුංගට පෙනුනේ කෙසේද යන්න දැන ගැනීමේ හැකියාවක් නැතත් ඔවුන්ගෙන් විග්‍රහයක් ලබා ගැනීමේ හැකියාවක් ඇතොත් එය රසවත් විග්‍රහයක් වනු නො අනුමාන ය.