සාමයේ අනාගතය

March 3, 2002
Publication:
As the President and the JVP line up against the government's ceasefire memorandum of understanding with the LTTE, Ivan says Ranil Wickremesinghe misjudged her willingness to cooperate and failed to adapt the 1978 Constitution for cohabitation, as France did in 1986. He proposes constitutional reform giving domestic power to the Prime Minister, and urges that the chance for peace be seized after 18 years of war that neither side can win.

එජා පෙරමුණ ආණ්ඩුව ස්ථිර සටන් විරාමයක් සඳහා කොටි සංවිධානය සමග ඇති කරගෙන තිබෙන අවබෝධතා ගිවිසුමට එරෙහිව ජනාධිපතිනිය හා ජනතා විමුක්ති පෙරමුණ ඒකාබද්ධව නැගී සිටීමට අර අදිමින් සිටින බව පෙනී යයි.

ජා-ඇලදි පැවති රැස්වීමකදි ජනාධිපතිනිය ප්‍රකාශ කර ඇත්තේ යුද්ධ හමුදාවට කරන එක දැනුම් දිමකින් පමණක් මෙම ගිවිසුම ව්‍යර්වථ කිරීමට තමාට හැකි බවය. අවබෝධතා ගිවිසුමට ඇතුළත් කරුණු ගැන තමන් පත් කළ විශේෂඥ මණ්ඩලයක් මගින් කරුණු හදාරමින් සිටින බවත් ඒ කටයුත්ත අවසන් වූ පසුව තමන් කරන්නේ කුමක්ද යන්න ප්‍රකාශ කරන බවත් ඇය එහිදි වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණ.

ජනතා විමුක්ති පෙරමුණේ මතය වී ඇත්තේ මේ ගිවිසුම රනිල් වික්‍රමසිංහ විසින් සිය මව්බිම ප්‍රභාකරන්ට පාවාදිම සඳහා ඇති කරගන්නා ලද ගිවිසුමක් බවය. එය ව්‍යර්වථ කිරීම සඳහා උපරිම ශක්තිය යෙදිම ඔවුන්ගේ අරමුණ වී තිබෙන බව ද පෙනේ.

අගමැති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ තිබෙන අභියෝගය ඉතාමත් සංකීර්ණය. එය පරස්පර විරෝධී ප්‍රධාන අංග ගණනාවකින් සමන්විතය. සාම ක්‍රියාවලියේදි තම පාර්ශ්වය හෝ ප්‍රතිපාර්ශ්වය අතින් සිදුවන ඕනෑම බරපතල වරදක් ජනාධිපතිනියගේ හා ජනතා විමුක්ති පෙරමුණේ පැවැත්ම ශක්තිමත් කිරීමට හේතුවී සාම ක්‍රියාවලිය අවුල් ජාලාවක් බවට පත් කිරීමට හේතුවිය හැකිය. අනෙක් අතට ජනාධිපතිනියගේ හා ජනතා විමුක්ති පෙරමුණේ විරුද්ධවාදි ක්‍රියාකාරකම් ද සාම ක්‍රියාවලිය අවුල් කිරීමට හේතුවිය හැකිය. එක් අතකින් සාම ක්‍රියාවලියේදි තම පාර්ශ්වය අතින් පමණක් නොව, ප්‍රතිපාර්ශ්වය අතින් ද බරපතල වරදක් සිදුවීමට ඉඩ නොදෙන කළමනාකරණයක් පවත්වාගෙන යා යුතුය. අනෙක් අතට ජනාධිපතිනියට හා ජනතා විමුක්ති පෙරමුණට විරුද්ධවීමේ අයිතියට ඉඩ දෙන අතර ඔවුන්ගේ විරුද්ධවාදි ක්‍රියා සාම ක්‍රියාවලිය අවුල් කිරීමට හේතු නොවන තත්ත්වයක තබාගැනීමට සමත්විය යුතුය. ඒ අරමුණ ජයගත හැකිවනු ඇත්තේ සාම ක්‍රියාවලිය දක්ෂ ලෙස කළමනාකරණය කරන අතර, තමන්ට පක්ෂපාත බලවත් මහජන මතයක් ද (සිංහල, දෙමළ හා මුස්ලිම් යන තුන් වර්ගයට අයත් ජනයා අතර) පවත්වාගෙන යාමට සමත් වේ නම් පමණය.

කොතරම් මතභේද තිබුණ ද තමන්ගේ සාම ක්‍රියාවලියට ජනාධිපතිනිය අවහිර නොකරනු ඇතිය යන්න අගමැතිවරයාගේ ආරම්භක තක්සේරුව වී තිබුණි. තමන් ලැබූ ජයග්‍රහණයෙන් පසුව ජනාධිපතිනියට එරෙහිව නැගී සිටින පිළිවෙතකට නොගොස් ඇය සමග සහජීවනයෙන් ක්‍රියා කරන පිළිවෙතක් පවත්වාගෙන ගියේ ඒ විශ්වාසය නිසාය.

එහෙත් අගමැතිවරයාගේ ආරම්භක තක්සේරුව නිවැරදි නොවීය. ඒ පිළිබඳව එවැනි තක්සේරුවකට යන්නට ප්‍රථම ඇගේ සැබෑ ස්වභාවය පිළිබඳවත්, රටේ පාලන රාමුවට ආවේණික විශේෂ ස්වරූපය පිළිබඳවත් අගමැතිවරයා හරි තක්සේරුවකට යා යුතුව තිබුණි.

ජනාධිපතිනියගේ පාලන කාලය තුළත් විශේෂයෙන්ම මැතිවරණ කාලය තුළත් ඇය කෙරෙන් පළවූ හැසිරිම රාජ්‍ය නායිකාවකට ගැලපෙන හැසිරිමක් නොවීය. පාර්ලිමේන්තු බලය තවදුරටත් තමන් අත තබා ගැනීම පිණිස සාමාන්‍යයෙන් ශිෂ්ටසම්පන්න රාජ්‍ය නායකයකු නොකරන බොහෝ දේවල් ඇය කළාය. එවැනි රස්තියාදුකාර හැසිරිමක් පෙන්නුම් කළ රාජ්‍ය නායිකාවක් සමග සහජීවනයක් පවත්වාගෙන යා හැකි ද යන්න අගමැතිවරයා මීට වඩා බැරෑරුම් ලෙස කල්පනා කළ යුතුව තිබුණේය. අනෙක් අතට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ආවේණික විශේෂ කොටස විසින් ඇති කිරීමට නියමිත ගැටලු පිළිබඳව ද හරි තක්සේරුවකට යා යුතුව තිබුණි.

78 ව්‍යවස්ථාව පාර්ලිමේන්තු බලය හා ජනාධිපති බලය එකම පක්ෂයකට ලැබෙන තත්ත්වයක් සඳහා ඇති කරගන්නා ලද ව්‍යවස්ථාවක් මිස, ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙන් පාර්ලිමේන්තු බලය එක් පක්ෂයකටත්, ජනාධිපති බලය තවත් පක්ෂයකටත් යන තත්ත්වයක් තුළ පවා දෙපක්ෂයට සහජීවනයෙන් ක්‍රියා කළ හැකි ආකාරයට සකස් කෙරුණු ව්‍යවස්ථාවක් නොවීය. පාර්ලිමේන්තු බලය එක් පක්ෂයකටත්, ජනාධිපති බලය තවත් පක්ෂයකටත් යාම ශ්‍රී ලංකාව සඳහා නවමු අත්දැකීමක් වූ අතර, මේ ප්‍රතිපක්ෂ දෙකට සහජීවනයෙන් ක්‍රියා කළ හැකි තත්ත්වයක් සඳහා ඊට ගැලපෙන ලෙස ව්‍යවස්ථාවේ යම් යම් වෙනස්කම් ඇති කිරීම අත්‍යවශ්‍ය කොන්දේසියක් වී තිබුණ. ප්‍රංශයට තිබුණේ ද බොහෝ දුරට ශ්‍රී ලංකාවට සමාන ව්‍යවස්ථාවකි. එහෙත් 1986දි එක් පක්ෂයක් අත ජනාධිපති බලය තිබියදි, පාර්ලිමේන්තු බලය ප්‍රතිවිරුද්ධ පක්ෂයට ගිය අවස්ථාවේදි ඊට ගැලපෙන ලෙස පාලන රාමුව වෙනස් කිරීමට ජනාධිපතිවරයා එකග විය. 2001 පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵලවලින් පසුව ශ්‍රී ලංකාවේ සිදුවිය යුතුව තිබුණේ ද එයයි. එනම් ජනාධිපති බලය එක් පක්ෂයක් අතත්, පාර්ලිමේන්තු බලය ප්‍රතිපක්ෂය වෙතත් ලැබී තිබෙන තත්ත්වයක් තුළ ජනාධිපතිවරයාගෙන් එල්ල වන අවහිරයකින් තොරව අභ්‍යන්තර පාලනය පවත්වාගෙන යාමට ඉඩ ලැබෙන රාමුවක් සඳහා ජනාධිපතිනිය එකග කරවා ගත යුතුව තිබුණි.

එහිදි ජනාධිපතිනියගේ ද වගකීම විය යුතුව තිබුණේ පොදු පෙරමුණට ලැබී තිබුණු පාර්ලිමේන්තු ජනවරම පමණක් නොව, තමන්ට ලැබී තිබුණු ජනවරමද 2001 මැතිවරණ ප්‍රතිඵලය විසින් ශූන්‍ය කර ඇති බව තේරුම් ගනිමින් ආණ්ඩු ක්‍රම අර්බුදයක් ඇතිවීමට ඉඩ නොලැබෙන ලෙස සිය පදවියෙන් ඉල්ලා අස්වීම හෝ ප්‍රංශයේ සිදුකළා සේ ම අවහිරයකින් තොරව අභ්‍යන්තර පාලන බලය ප්‍රතිපක්ෂයට ලබාදෙන ආකාරයට, තිබුණු ව්‍යවස්ථා රාමුව වෙනස් කරගැනීමට අවශ්‍ය එකගත්වයක් ලබාදිමය. එහෙත් ජනාධිපතිනිය කළේ ඒ වෙනුවට තාවකාලිකව පෙනය සගවා ගන්නා ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමය.

දෑන් ඇතිවී තිබෙන තත්ත්වය තුළ මේ බල මණ්ඩල දෙක අතර ගැටුමක් ඇතිවීම නොවැළැක්විය හැකිය. සිය පැවැත්ම සඳහා එක්සත් ජාතික පෙරමුණට තිබෙන බලය පරාජය කිරීම අත්‍යවශ්‍ය වේ යයි ජනාධිපතිනිය කල්පනා කරන අතර, සාමය ජයගැනීමට නම් ජනාධිපතිනිය එම ධුරයෙන් ඉවත් කිරීම අත්‍යවශ්‍ය වේ යයි එජා පෙරමුණ කල්පනා කරයි. දෙපක්ෂය අතර වන මෙම තීරණාත්මක ගැටුම පළාත් පාලන මැතිවරණය අවසන්වීමත් සමග ආරම්භ වීමට නියමිතය. එහෙත් ඇතිවන්නට නියමිත එම ගැටුම සාම ක්‍රියාවලිය කෙරෙහිත් නැවත පොදුවේ රට කෙරෙහිත් ඇති කරන්නට යන ප්‍රතිඵලය කුමක් ද යන්න නොපැහැදිලිය.

විය යුතු හොඳම දේ ගැටුමක් වෙනුවට දෙපක්ෂයට සහජීවනයෙන් ක්‍රියා කළ හැකි ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණයකට යාමය. ප්‍රංශයේ මෙන් කැබිනට් ඇමතිවරුන් තෝරා පත් කරගැනීමේ සිට සියලුම අභ්‍යන්තර පාලන බලය පාර්ලිමේන්තුව තෝරා පත් කරගන්නා අගමැතිවරයාට ලැබෙන ලෙසත් පාර්ලිමේන්තුව පවත්වාගෙන යා නොහැකි ඇත්ත තත්ත්වයක් පවතින අවස්ථාවක හැර පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ අභිමත බලය ජනාධිපතිවරයාගෙන් ඉවත් කෙරෙන ලෙසත්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් ඇති අවස්ථාවකදි ජනාධිපතිවරයා ධුරයෙන් පහ කිරීමට පාර්ලිමේන්තුවට බලය ලැබෙන ලෙසත්, ව්‍යවස්ථාව සංශෝධනය කරගත හැකිය. තමන් බලයෙන් ඇද දමන ක්‍රියාමාර්ගයකට ඉඩ තබනවාට වඩා එවැනි ව්‍යවස්ථා සංශෝධනයකට සහාය දිම ජනාධිපතිනියට ද වාසිදායකය. එවැනි ව්‍යවස්ථා සංශෝධනයක් මින් මතු ඒකාධිපති පන්නයේ විධායක ජනාධිපතිවරයෙකුට බලයට ඒමට තිබෙන ඉඩකඩ ද අහුරයි.

එවැනි මට සිළුටු ක්‍රියාමාර්ගයක් විරුද්ධ පක්ෂයක් වශයෙන් සාම ක්‍රියාවලියට අවහිර කිරීමට පොදු පෙරමුණට තිබෙන බලවත් උනන්දුව ද හීන කිරීමට හේතුවේ. එය දෙපාර්ශ්වයට සහජීවනයෙන් ක්‍රියා කළ හැකි නව පරිසරයක් ඇති කිරීමට හේතුවනු ඇති අතර, ජනාධිපතිනිය ධුරයෙන් පහ කරන දෑඩි ක්‍රියාමාර්ගයක් සාධාරණ වනු ඇත්තේ එවැනි ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලකට ඇය එකග නොවේ නම් පමණය.

දැන් තිබෙන තත්ත්වයන් යටතේ සාමකාමී විසඳුමක් සඳහා සාකච්ඡාමය ක්‍රියාමාර්ගයකට යනවා හැර එම ප්‍රශ්නය විසඳ ගැනීමට වෙනත් කිසිම විකල්ප ක්‍රියාමාර්ගයක් රටට ඉතිරිවී නැත. අපි වසර 18කට වැඩි කාලයක් එකිනෙකාට එරෙහිව යුද්ධ කළෙමු. රටක් වශයෙන් අප ඒ වෙනුවෙන් කර තිබෙන වියදම රුපියල් කෝටි පනස් දාහකටත් වැඩිය. මිය ගොස් ඇති අයගේ ගණන දහස් ගණනක් වන අතර, අනාථවූවන්ගේ ගණන දස ලක්ෂයකටත් වැඩිය. යුද්ධය විසින් සමස්ත ජන ජීවිතය විකෘති කිරීමකින් නොනැවතී, රට ආර්ථික වශයෙන් ද අඳුරු අගාධයකට තල්ලුකර තිබේ. අප දිගු කලක් යුද්ධ කර ඇතත්, ප්‍රතිපක්ෂය ලෙස සැලකෙන කොටි සංවිධානය අවසාන වශයෙන් පරාජය කිරීමට නොහැකි වී තිබෙනවා සේ ම ඔවුන්ට ද අප අවසාන වශයෙන් පරාජය කළ නොහැකි වී තිබේ. ඔවුන් අපට පෙනෙන්නේ ඉතාමත් කුරිරු මිනිසුන් පිරිසක් ලෙස වුවත්, ඔවුන්ට ද අප පෙනෙන්නේ ඉතා කුරිරු මිනිසුන් පිරිසක් ලෙස බව අප අමතක නොකළ යුතුය. යුද්ධයෙන් අත් මිදි සාමකාමී විසඳුමක් ඇති කරගැනීමට මේ ලැබී තිබෙන අවස්ථාව හෝ ප්‍රශස්ථ ලෙස ප්‍රයෝජනයට නොගත හොත් අවසාන විග්‍රහයේදි මේ දෙපාර්ශ්වයම තව තව කාලකණ්ණි තත්ත්වයකට තල්ලුවීම නොවැළැක්විය හැකිය. සාමය ජයගැනීම පහසු නැතත්, රටක් වශයෙන් දෑන් වැටී සිටින කාලකණ්ණි තත්ත්වයෙන් අපට ගොඩ ආ හැකිවනු ඇත්තේ ඒ අමාරු අරමුණ ජයගන්නේ නම් පමණය.