උරුමයේ කරුමය

March 3, 2002
Publication:
Ivan agrees with Anura Bandaranaike that the SLFP is a Bandaranaike family fiefdom in which Mahinda Rajapaksa is only a capable retainer, but warns that the country is not a fiefdom too. Further sections mock the 'jobless' President's prison visit to her guards at Bogambara and her complaint that cabinet meetings drive her mad, note an unrevealed secret Mangala Samaraweera told S.B. Dissanayake, and describe how powerful remand prisoners end up in hospital rather than cells.

ශ්‍රීලනිපයට තමන්ට තිබෙන උරුමය පිළිබඳව අනුර කියන කථාව නිවැරදිය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බණ්ඩාරනායක පවුලට අයත් නින්දගමක් වැනි වැඩවසම් ආයතනයකි. අනුරගේ තාත්තා එම පක්ෂයේ නිර්මාතෘවරයාය. තාත්තා මිය යනවිට පක්ෂයේ ඊළග නායකයා වූයේ සී.පී.ද සිල්වා වුවත්, අනුරගේ අම්මාට පක්ෂ නායකත්වය හිමිවූයේ ශ්‍රීලනිප නමැති නින්දගමේ ඊළග හිමිකාරිය අනුරගේ අම්මා වූ නිසාය. අම්මාගෙන් පසු නායකත්වය ගියේ අනුරගේ චූටි අක්කාටය. චූටි අක්කාගෙන් පසු හිමිකම යා යුත්තේ “මල්ලාට” හෙවත් අනුරටය. මහින්ද රාජපක්ෂ දක්ෂ වැඩකාරයෙකු විය හැකිය. එහෙත් ඔහු ඒ නින්දගමේ දක්ෂ ප්‍රවේණිදාසයකු පමණය. නින්දගමක ප්‍රවේණිදාසයකුට යාහැකි ඉහළම තැනට ඔහු පැමිණ සිටින අතර, එහි හිමිකාරයා වීමේ අයිතියක් ඔහුට නොතිබිය යුතුය.

අනුර කියන්නේ තමන්ට දරුවන් නැති නිසා තමා නැති කලක පිටස්තර කෙනෙකුට ඒ තැනට ආ හැකි බවය. එහෙත් ඉතිරිවී සිටින ලොකු අක්කා සේ ම, චූටි අක්කාගේ දරුවන් සිතන්නේ කෙසේද යන්න නොපැහැදිලිය. ඔවුන්ට ද උරුමය පිළිබඳව හැගීමක් ඇතිවිය හැකිය. බණ්ඩාරනායකලා ශ්‍රීලනිපය තමන්ගේ නින්දගමක් ලෙස සැලකුවාට වරදක් නැත. එහෙත් සමහර බණ්ඩාරනායකවරුන් (අනුරගේ පියා නම් එසේ කල්පනා කළ බවක් පෙනෙන්නට නැත) සිය නින්දගමක් වන ශ්‍රීලනිපයේ ශක්තියෙන් බලයට පැමිණි පසු පක්ෂය පමණක් නොව, රට ද තමන්ගේ නින්දගමක් ලෙස සලකා ක්‍රියා කරන පුරුද්දක් පවතී. පක්ෂය තමන්ගේ නින්දගමක් වුවත්, රට තවත් නින්දගමක් නොවන බව “මල්ලා” තේරුම් ගන්නේ නම් වැදගත්ය.

ජොබ්ලස් මැඩම්

ජනාධිපතිනිය පසුගිය සතියේදි බියගමදි පවත්වන ලද රැස්වීමකදි ප්‍රකාශ කර තිබෙන ආකාරයට “ඉස්සර තමන් ලොකු වැඩ කොටසක නිරත වී සිටි නිසාත්, ප්‍රභාකරන්ගෙන් එල්ල වූ ජීවිත තර්ජනයක් තිබුණු නිසාත් මහජනතාව අතර වැඩ කිරීමට කාලයක් නොතිබුණ.

එහෙත් දැන් තත්ත්වය ඊට වෙනස්ය. දැන් ඇයට ජොබ් එකක් නැත. තියෙන්නේ තනතුරක් පමණය. ඇය තමන්ට ලැබී තිබූ සියලු දේවල් සිය සතුරන්ට දි අත හෝදා ගත්තාය. දැන් කරන්න වෙන දෙයක් නැති නිසා ජනතාවට අතරට ගොස් වැඩ කළ හැකිය. තම පවුලේ නින්දගම ලෙස සැලකිය හැකි පක්ෂයේ දියුණුව පිණිස ඇප කැප විය හැකිය.

ඇය තමන් නිසා හිරේ වැටී සිටි ආරක්ෂකයින් බලන්නට බෝගම්බර හිරගෙදරට යන්නට තරම් නිහතමානී වූවාය. ඉන්පසු කොටි අතින් මැරුම් කෑ නාවික සෙබළාගේ මළගෙදරට ද ගියාය.

බෝගම්බර හිරගෙදරට ගිය ගමන ගැන මුස්ලිම් කොංග්‍රස් නායකයා කී කථාවක්, ඇයගේ කෝපයට හේතුවී තිබුණි. පසුගිය සතියේ කැබිනට් මණ්ඩල සාකච්ඡාවෙන් පසු ජනාධිපතිනිය රවුෆ් හකීම් වෙත ඒ ගැන සිය විරෝධය පළකර සිටියාය.

තමා බෝගම්බරට ගියේ අපරාධකරුවන් බැලීමට නොවන බවත්, තමාගේ ආරක්ෂකයන් බැලීමට බවත්, අඩුම වශයෙන් තමා දමු දසනායක පවා බලන්නට නොගිය බවත්, අනුරුද්ධගේ පුතුන් දෙදෙනා ද බලන්නට නොයන බවත් ප්‍රකාශ කර සිටියාය.

ජනාධිපතිනිය හකීම්ට කී දේ හරියටම හරිය. ඇය කවුරුන් බලන්න නොගියත්, බෝගම්බර සිටින ආරක්ෂකයින් කිහිපදෙනා බලන්නට යා යුතුය. ඔවුන්ගේ දුක සැප සොයා බලන අතර, රාජකීය රහස් රැකීමේ වැදගත්කම ඔවුන්ට පෙන්වා දෙන්නට ඇතැයි ද සිතිය හැකිය.

ජොබ් එකක් නැති නිසාදෝ දැන් ජනාධිපතිනියගේ කතාව වෙනදාට වඩා වේගවත්ය. ස්වරය ඉතාමත් ආක්‍රමණශීලීය.

හරි නම් සාමය හා යුද්ධය පිළිබඳ ව්‍යවස්ථානුකූල බලය ඇත්තේ තමාට බවත්, හමුදාපතිට යවන එක ලියුමකින් ඇති කරගෙන තිබෙන අවබෝධතා ගිවිසුම අහෝසි කළ හැකි බවත් ඇය 24 වැනිදා ජා-ඇලදි ප්‍රකාශ කර සිටියාය.

ඇය එහිදි කැබිනට් මණ්ඩල සාකච්ඡා ගැන ද කතා කර ඇත.

“මේ ආණ්ඩුව යටතේ සතියකට සැරයක් පැවැත්වෙන කැබිනට් එකට යන එක කරදරයක් බව ප්‍රකාශ කර ඇති ඇය එතනට ගියවිට ඔලුවට පිස්සු හැදෙන බව ද ප්‍රකාශ කර තිබේ.

ජනාධිපති ධුරය දරන පුද්ගලයෙකුට පිස්සු හැදුණහොත් එම තැනැත්තා හෝ තැනැත්තිය වහාම ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන ප්‍රතිපාදනය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් නොවන බැවින් ඒ නිසා ඇතිවිය හැකි ප්‍රතිවිපාක ගැන ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා විශේෂ විග්‍රහයක් කර තිබේ. බැටී වීරකෝන් මහතා එම විග්‍රහය නැවත මහජනතාවට දැනගැනීම පිණිස ප්‍රසිද්ධියට පත් කරන්නේ නම් රටට ප්‍රයෝජනවත්ය.

මංගල -එස්.බීට කී රහස කුමක් ද?

හිටපු ආරක්ෂක නියෝජ්‍ය ඇමති අනුරුද්ධ රත්වත්ත මහතා අත්අඩංගුවට ගැනීම ගැන විරෝධය පළ කිරීම පිණිස පසුගිය 21 වැනිදා පොදු පෙරමුණේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට ආවේ සිය අත්වල කළු පටි බැඳගෙනය. අතේ බැඳගෙන පැමිණි කළු පටි නැවත පාවිච්චි කිරීම සඳහා ආරක්ෂා කරගන්නා ලෙසත්, තවත් තුන් හතර වතාවක් කළු පටි බැඳගෙන ඒමට සිදුවනු ඇති බවත් ඉඩම් ඇමති රාජිත සේනාරත්න මහතා පොදු පෙරමුණේ මන්ත්‍රීවරුන් අමතා කීවේය.

ඊට පෙර දින ජනරාල්වරයා සමුගැනීමේ රාජකීය උත්සවයේ ප්‍රධාන නළුවකු ලෙස ක්‍රියා කොට තිබුණු මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවට පැමිණි තිබුණේ විඩාබර මුහුණකින් යුතුවය. රාජිත සේනාරත්න මහතා ඊසොෆ්ගේ භාෂාවෙන් කරන ලද ප්‍රකාශය මංගල සමරවීර මහතා තුළ කිසියම් චකිතයක් ඇති කිරීමට හේතුවී තිබුණා විය හැකිය.

පාර්ලිමේන්තුවේ රග දැක්වුණු විරෝධතා ව්‍යාපාරවල උණුසුම මැද්දේ මංගල සමරවීර මහතා තමන්ගේ පැරණි හිතවතකු වූ එස්.බී. දිසානායක මහතා හමුවී ජනාධිපතිනිය කෙරෙහි ඇති කරගත් මහත් සානුකම්පිත ආකල්පයකින් යුතුව මැඩම් ගැන එස්.බී.ට රහසක් කීවේය.

ඒ රහසෙන් කියවෙන කතාව දේශපාලන වශයෙන් ඉතා වැදගත් වුවත්, තවමත් එස්.බී. දිසානායක ඇමතිවරයා මංගල කී ඒ රහස රටට ප්‍රකාශ කර නැත.

රක්ෂිත බන්ධනාගාර ක්‍රමය වෙනුවට රක්ෂිත රෝහල් ක්‍රමයක්

දැන් දැන් අපරාධ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරවලට යවන බලවතුන් රක්ෂිත බන්ධනාගාරවලට යනවා වෙනුවට රෝහල් ගතවන ක්‍රමයක් ක්‍රියාත්මක වෙමින් පවතී. මීට පෙර ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝගයක් ප්‍රකාශ වූ විට තෙන්නකෝන් මහතා රෝහල් ගතවූවේය. ඉන්පසු රෙජී රණතුංග මහතා අනුගමනය කළේ ද ඊට සමාන පිළිවෙතකි. ඉන්පසු ජනරාල් අනුරුද්ධ රත්වත්ත මහතා රක්ෂිත බන්ධානාගාරයට පත් කළ පසු ඔහු නතර වූයේ ද රෝහලකය. පියාගෙන් පසුව රක්ෂිත බන්ධනාගාරයට ආ පුතුන් දෙදෙනා නතර වූයේ ද රෝහල්වලය. ඊටත් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී අජන්ත සොයිසා මහතා ද ඒ ක්‍රමය ම අනුගමනය කළේය.

මේ ක්‍රමයෙන් පිටස්තරව රක්ෂිත බන්ධනාගාරයක ඉන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ද.මු. දසනායක මහතා පමණය. සමහරවිට ඔහුට පමණක් ඒ වරප්‍රසාදය නොලැබෙන්නට ඇත්තේ ඔහු මන්ත්‍රීවරයෙක් වුවත්, ප්‍රභූ පන්තියේ අයකු නොවන නිසා විය හැකිය.

පන්තිය අනුව වෙනස් සැලකිලි ලැබෙන මේ ක්‍රමයට වඩා රක්ෂිත බන්ධනාගාර ක්‍රමය අහෝසි කොට රක්ෂිත බන්ධනාගාරයට නියම කරන සියලු දෙනා රෝහල් ගත කරන ක්‍රමයක් ඇති කිරීම මගින් දැනට තිබෙන මේ භේදය ඵලදායක ලෙස අවසන් කළ හැකිය.