ජනාධිපතිනිය එකවිට පරස්පර විරෝධී චරිත දෙකක් රගපාමින් සිටින බව පැහැදිලිය. ඇය ජාත්යන්තර වශයෙන් පෙනී සිටින්නේ රටේ පවත්නා ජනවාර්ගික අර්බුදයට සාමකාමී විසඳුමකට පක්ෂපාත, සාමය ඇති කිරීම සඳහා රනිල් වික්රමසිංහ මහතා ඉදිරියට ගෙනයමින් තිබෙන වැඩපිළිවෙලට උපරීම සහාය ලබාදෙන සාම දූතිකාවක් වශයෙනි. එහෙත් ඇය සිය පාක්ෂිකයන් ඉදිරියේ පෙනී සිටින්නේ රනිල් වික්රමසිංහ මහතා ප්රභාකරන්ට රට පාවාදිම සඳහා ඉදිරියට ගෙනයමින් තිබෙන වැඩපිළිවෙලට එරෙහිව තමාගේ ජීවිතය පරදුවට තබා වුවත් සටන් කිරීමට සූදානම් නායිකාවක් වශයෙනි.
ඇය 17 වැනිදා හොරගොල්ලේ පැවති පාක්ෂිකයන්ගේ රැස්වීමක් අමතා එජාප බලයට ගෙන ඒමට කොටි සංවිධානය විශාල කාර්ය භාරයක් ඉටු කර ඇති බවත්, ඒ නිසා එජාප කොටින්ට ණයගැති බවත්, ඒ ණය ආපසු ගෙවන්නට යාමේදි එජාප රට විකුණන්නට ක්රියාකළහොත් තමන් ඊට එරෙහිව නැගී සිටීමට තීන්දුවක් ගන්නා බවත් ප්රකාශ කර තිබේ.
එජාප බලයට පත්වූ වහාම ජනාධිපතිනිය සම්බන්ධයෙන් අප කරන ලද අනතුරු ඇගවීම තිත්ත යථාර්ථයක් බවට පත්වෙමින් තිබෙන බව පෙනේ. ඇය තම පක්ෂය ලද පරාජයත් සමග පෙනය හකුළුවා ගත්තාය. එහෙත් ඇය පෙනය හකුළුවා ගත්තේ දෂ්ඨ කිරීමට සුදුසු අවස්ථාවක් එන තෙක් මිස සදාකාලිකව නොවේ.
ජනාධිපති බලය හා පාර්ලිමේන්තු බලය ප්රතිවිරුද්ධ පක්ෂ දෙකක් අතට පත්වීම ශ්රී ලංකාවට අලුත් අත්දැකීමකි. එවැනි තත්ත්වයක් තුළ සංහිඳියාවක් පවත්වාගෙන යාමට ඇමරිකාවට හා ප්රංශයට හැකි නම් අපට බැරි වන්නේ කෙසේදැයි නව අගමැතිවරයා කල්පනා කළා විය යුතුය. එහෙත් අගමැතිගේ මාමා (ජේ.ආර්.) 78 ව්යවස්ථාව ඇති කර තිබුණේ ඒ බල මණ්ඩල දෙකම එක පක්ෂයක් අත තිබිය යුතු ආකාරයට මිස, ප්රතිපක්ෂ දෙකක් අත තිබිය හැකි ආකාරයට නොවේ. ඩිගෝල් ද සිය ව්යවස්ථාව සකස් කර තිබුණේ ඊට සමාන ආකාරයකටය. එහෙත් අසූ හතේ අවසානයේදි ප්රංශය ජනාධිපති බලය එක් පක්ෂයකටත්, පාර්ලිමේන්තු බලය තවත් පක්ෂයකටත් ගිය අවස්ථාවේදි ප්රති පක්ෂ දෙක අතර සංහිඳියාවක් පවත්වාගෙන යා හැකි ආකාරයට, එනම් ජනාධිපතිගෙන් එල්ල වන බාධාවකින් තොරව අභ්යන්තර පාලන බලය පාර්ලිමේන්තු බලය ලැබූ පක්ෂයට ලැබෙන ආකාරයට ව්යවස්ථා රාමුව ද වෙනස් කරගත්තේය.
ශ්රී ලංකාවේ ද විය යුතුව තිබුණේ එයයි. මෙම ආයතන දෙකේ බලය ප්රතිපක්ෂ දෙකක් අතට යන අවස්ථාවක සංහිඳියාවක් සඳහා ඇති කළ යුතුව තිබෙන මූලික ව්යවස්ථාවල වෙනස්කම් මොනවාද යන්න කල් තියා හඳුනාගෙන තිබුණත්, නව අගමැතිවරයා ඒ ගැන උනන්දුක් දැක්වූ බවක් පෙනෙන්නට නැත. සර්වබලධාරී බලයක් සඳහා තම මාමා ඇති කළ ව්යවස්ථාව වෙනස් නොකරන ප්රතිපත්තියක් මගින් කවදා හෝ ඒ බලය තමන් ද භුක්ති විඳිය යුතු යැයි අගමැතිවරයා කල්පනා කළා විය හැකිය.
එහෙත් ජනාධිපතිනිය පෙනේ පුප්පන්නට පටන් ගෙන සිටින තත්ත්වයක් තුළ ජනාධිපතිනිය පිළිබඳ නිශ්චිත තීන්දුවක් ගැනීමෙන් තොරව ඉදිරියට යා නොහැකි තත්ත්වයක් දෑන් නිර්මාණය වී තිබේ.
විශේෂයෙන්ම ඉතාමත්ම සංකීර්ණ ප්රශ්නයක් ලෙස සැලකිය හැකි ජනවාර්ගික අර්බුදයට සාමකාමී විසඳුමක්ඇති කර ගැනීමට උත්සාහ කරමින් තිබෙන අවස්ථාවක ජනාධිපතිනිය තමන්ට ලැබී තිබෙන විධායක බලය සාමකාමී විසඳුමක් ඇති කරගැනීමට දරන ප්රයත්නය කඩාකප්පල් කිරීම සඳහා යොදා ගනී නම් ඉන් රටට ඇතිවිය හැකි ප්රතිඵලය ඉතාමත් බිහිසුණුය.
දැන් විය යුතුව තිබෙන්නේ අන් සියල්ලටම ප්රථම එක්කෝ සංහිඳියාවක් සඳහා අවශ්ය ව්යවස්ථාමය ප්රතිසංස්කරණයට යාමය. නැත්නම් ජනාධිපතිනිය හෝ ජනාධිපති ක්රමය බලරහිත කරන තැනකට යාමය.
පවතින විධායක ජනාධිපති ධුරය තවදුරටත් පවත්වාගෙන යාමට අවශ්ය නම්, ඒ ධුරය දරන පුද්ගලයාට නියත බලයක් නොලැබෙන තත්ත්වයක් ඇති කිරීම ප්රජාතන්ත්රවාදි දේශපාලන ක්රමයක පැවැත්ම සඳහා අත්යවශ්ය කොන්දේසියකි. ජනාධිපති පාර්ලිමේන්තුවට හා අධිකරණයට වගකිවයුතු තැනකට ගෙනා යුතුය. එසේම හිතුවක්කාරි ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට ජනාධිපතිට ලැබී තිබෙන බලය අහෝසි විය යුතු අතර ඇමති මණ්ඩලය තීන්දු කිරිමේ බලය ද පාර්ලිමේන්තුවෙන් තේරි පත්වන අගමැති සතුවන තත්ත්වයක් ඇති කළ යුතුය.
ජනාධිපතිවරයෙකුට එරෙහිව ඉදිරිපත් කෙරෙන දෝෂාභියෝගයක් සඳහා යොදාගෙන තිබෙන හාස්යජනක විධිවිධානය ද වෙනස් කළ යුතුය. දැන් තිබෙන ක්රමය යටතේ ජනාධිපතිවරයෙකුට එරෙහිව ඉදිරිපත් කෙරෙන දෝෂාභියෝගයක් කතානායක විසින් භාරගැනීම අනිවාර්ය වනුයේ යෝජනාවට පාර්ලිමේන්තුවේ මන්ත්රීවරුන් තුනෙන් දෙකක් අත්සන් තබා ඇති අවස්ථාවක පමණය. ඉදිරිපත් කර තිබෙන චෝදනාවල බරපතලකම පිළිබඳව කතානායකවරයා සෑහීමට පත්වන අවස්ථාවක මන්ත්රීවරුන් අඩකට නොඅඩු පිරිසක් යෝජනාවට අත්සන් තබා ඇති අවස්ථාවකදිද අවශ්ය නම් කතානායකවරයාට එය බාරගත හැකිය. ඉන්පසු යෝජනාව විවාදයට ලක් කොට තුනෙන් දෙකක හෝ ඊට වැඩි ඡන්දයකින් සම්මත වෙතොත් ඉන්පසුව යෝජනාව ශ්රේෂ්ඨාධිකරණය වෙත යැවිය යුතුය. ශ්රේෂ්ඨාධිකරණය ඒ ගැන පවත්වන විභාගයකදි ජනාධිපතිවරයා චෝදනාවලින් නිර්දෝෂී කළහොත් දෝෂාභියෝගය ඉන් අවසන් වේ. ශ්රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයා චෝදනාවලට වරදකරු කරනු ලැබුවහොත් නැවත එම තීන්දුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක හෝ ඊට වැඩි ඡන්දයකින් අනුමත විය යුතුය.
මෙය ලෝකයේ මොනම රටකවත් නැති වැල්වටාරම් ක්රමයකි. ජනාධිපතිවරයෙකුට එරෙහිව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක පිරිසක් නැගී සිටී නම්, ජනාධිපතිවරයෙකු ඉවත් කිරීමට ශ්රේෂ්ඨාධිකරණයට යාමක් අවශ්ය විය යුතු නැත. විශ්වාසභංග යෝජනාවකින් පමණක් ජනාධිපතිවරයා පහකිරිමේ හැකියාවක් තිබිය යුතුය. ජනාධිපතිවරයාට එරෙහිව බරපතල චෝදනා තිබෙන අවස්ථාවකදි දෝෂාභියෝගයක් සඳහා බහුතර මන්ත්රීන් පිරිසකගේ අත්සන් තිබීම ප්රමාණවත් විය යුතු අතර, ශ්රේෂ්ඨාධිකරණය එම චෝදනා විභාගයට ලක් කොට ජනාධිපතිවරයා වරදකරු කරයි නම් ඒ සමග ජනාධිපති ධුරය දරන්නාගේ ධුරය අහෝසි විය යුතුය.
ව්යවස්ථා සංශෝධනයක් මගින් සංහිඳියාවක් පවත්වාගෙන යාමට අවශ්ය වෙනස්කම් ඇති කර නොගනී නම්, සිය බලය ජනාධිපතිනියගෙන් එල්ල වන අභියෝගයකින් තොරව ඉදිරියට ගෙනයාම සඳහා ජනාධිපතිනිය බලරහිත කරන අන් විකල්ප ක්රියාමාර්ගයක් වෙත තල්ලු වීමට ආණ්ඩුවට සිදුවනු ඇත්තේය. එසේ නොවෙතොත්, සංවේදි අවස්ථාවක් බලා ජනාධිපතිනිය ආණ්ඩුවට එරෙහිව නැගී සිටිනු නොවැළැක්විය හැකිය.