මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ධුරයට පත්වීම ශ්රී ලංකාවේ ප්රධාන දේශපාලන පක්ෂ දෙකෙන් එකක් වන ශ්රී ලංකා නිදහස් පක්ෂය තුළ අවශ්යයෙන්ම සිදුවිය යුතුව තිබෙන වෙනසක් සඳහා තබන ලද ඉතා වැදගත් ආරම්භක පියවරක් ලෙස සැලකිය හැකි ය.
ශ්රී ලංකා නිදහස් පක්ෂය මෙතෙක් පැවතී ඇත්තේ එක් පවුලකට අයත් පක්ෂයක් වශයෙනි. බණ්ඩාරනායක මහතා පක්ෂය ආරම්භ කරන විට එවැනි පටු අපේක්ෂාවන් එතුමා තුළ තිබුණු බවක් පෙනෙන්නට නැත. බණ්ඩාරනායක මහතා පක්ෂය තුළට හා රාජ්ය පාලනයට පවුලේ ඥාතීන් සම්බන්ධ කරගැනීමෙන් වැළකී සිටි දේශපාලන නායකයෙකි. එහෙත් එතුමාගේ අභාවයෙන් පසුව එම පක්ෂය එක පවුලකට අයත් බූදලයක් බවට පත්වූයේ ය. ශ්රී ලංකා නිදහස් පක්ෂය කෙරෙන් විශද වූ වැඩවසම් ආකල්පය කෙරෙහි විශාල ප්රමාණයකට ඒ පක්ෂය කෙරෙහි පැවති එක් පවුලක ආධිපත්යය බලපෑවේ ය.
මහින්ද රාජපක්ෂ මහතාට, විපක්ෂ නායක ධුරය සිය කැමැත්තෙන් දෙන ලද්දකට වඩා නොදි බැරී තත්ත්වයක් නිසා දෙන්නට සිදුවූ දෙයක් ලෙස සැලකිය හැකි ය. පක්ෂ නායිකාව කෙරෙහි ශ්රී ලංකා නිදහස් පාක්ෂිකයන් අතර වර්ධනය වන විරෝධයක් පවතී. ඒ සියලු දෙනාගේ ඉල්ලීම වූයේ විපක්ෂ නායකකම මහින්ද රාජපක්ෂට දිය යුතු බව ය. ඔහු විපක්ෂ නායක ධුරයට පත්කිරිමෙන් වැළකී සිටීම ජනාධිපතිනියගේ දැඩි අභිලාෂය වී තිබුණත්, පහළින් ගලා එමින් තිබූ දෑඩි පීඩනය ඉදිරියේ මහින්ද රාජපක්ෂ මහතා එම තනතුරට තෝරා ගැනීමට ජනාධිපතිනියට සිදුවූවා ය.
මහින්ද රාජපක්ෂ මහතාට අවශ්ය නම් මේ පක්ෂය දිග ගමනක වැදගත් ආරම්භක පියවරක් බවට පත් කර ගත හැකි ය. ප්රජාතන්ත්රවාදි දේශපාලන ක්රමයක් සඳහා දේශපාලන වශයෙන් සංවේදි හා කාර්යක්ෂම බහු පක්ෂ ක්රමයක් අවශ්ය වන අතර, ශ්රී ලංකා නිදහස් පක්ෂය වැඩවසම් ආකල්පවලින් ඉවත් කොට, නවීන ලෙස සිතා මතා ක්රියා කරන පක්ෂයක් බවට වර්ධනය කළ හැකි නම්, එය රටේ ඉදිරි ගමනට ලබාදෙන වැදගත් දායකත්වයකි.
නව විපක්ෂ නායකයා වශයෙන් යහපත් දේශපාලන සදාචාරයක් ඇති කිරීම සඳහා සේ ම, සාමකාමී රටක් දිනාගැනීම සඳහා වන කාර්යයකටද ඵලදායී ලෙස දායක විය හැකි ය. හැමදෙයකදි ම ප්රතිපක්ෂයට විරුද්ධ වන දේශපාලනයක් වෙනුවට යහපත් හැම දෙයකටම සහාය දෙන අතර, අයහපත් දේවලට පමණක් එරෙහි වන, දේශපාලන තරගය තුළ පවත්නා වෛර ස්වභාවය ඉවත් කිරීමට හේතුවන දේශපාලනයක් වෙනුවෙන් පෙනී සිටීමට රාජපක්ෂ මහතා සමත් වේ නම්, ඒ මහතාට ද ශ්රී ලංකා දේශපාලනයේ සාර්ථක භූමිකාවක් රගපෑමට හැකිවනු නො අනුමාන ය.