යුද හමුදාව නින්දාවට පත් කිරීම

February 10, 2002
Publication:
Ivan argues that Anuruddha Ratwatte used army commandos in the election, including the Madawala and Polgolla polling-station attacks and the Udathalawinna massacre, and faults army commander Lionel Balagalle for permitting it. He then examines the Athurugiriya safe-house affair, questioning why an intelligence unit working in Batticaloa kept thermobaric weapons in Colombo, the irregular rent and uniform contracts, and Charitha Ratwatte's earlier complaint of a plot to kill Ranil Wickremesinghe.

හිටපු නියෝජ්‍ය ආරක්ෂක ඇමති අනුරුද්ධ රත්වත්ත මහතා යුද හමුදාව කෙරෙහි ඇති කර තිබෙන අපකීර්තියේ තරම ඉතා විශාලය. ඔහු තමන්ට තිබූ නිල බලය මත යුද හමුදාව තමන්ගේ දේශපාලන කටයුතුවලට යොදා ගැනීම මගින් යුද හමුදාව කෙරෙහි අතිවිශාල අපකීර්තියක් ඇති කොට තිබෙන අතර, යුද හමුදාව කෙරෙහි ඇතිවී තිබෙන ඒ අවදානම යම් පමණකට හෝ සෝදා හැරිය හැකිවනු ඇත්තේ ඔහුට ලබාදි තිබෙන සියලු පදවිනාමවලින් අවමන් කොට ඉවත් කරන ප්‍රතිපත්තියක් අනුගමනය කරයි නම් පමණය.

නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයා වශයෙන් ඔහු තමාගේ ආරක්ෂාව සඳහා ලබාදි තිබූ කමාන්ඩෝ භට කණ්ඩායම පමණක් නොව, අතිරේක වශයෙන් ගෙන්වා ගත් 29 දෙනෙකුගෙන් සමන්විත හමුදා කණ්ඩායමක් ද ඉතාමත් නින්දා සහගත ආකාරයකින් මැතිවරණයේදි ප්‍රතිපාක්ෂිකයින්ට හිංසා කිරීම සඳහා හා ඔවුන් බිය වැද්දිම සඳහා යොදා ගත්තේය.

ඡන්දය පැවති දින සවස රසායනික අවි ප්‍රහාරයකට මුහුණ දිම සඳහා පාවිච්චි කරන අලි හොඬක් වැනි පෙනුමකින් යුතු මුහුණු ආවරණ පැළඳ ගෙන මඩවල ඡන්ද මධ්‍යස්ථානය ආක්‍රමණය කොට ඇත්තේ ද නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයාට ආරක්ෂාව ලබාදි තිබූ කොමාන්ඩෝ භට කණ්ඩායම බව පරික්ෂණවලින් අනාවරණය වී තිබේ. පොල්ගොල්ලේ රත්නජෝති විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද පෙට්ටි දෙක පැහැර ගෙන ඇත්තේ ද කමාන්ඩෝ භට කණ්ඩායමට අයත් පිරිසක් බව පරික්ෂණවලදි හෙළිවී තිබේ.

යුද හමුදාව මෙවැනි නින්දාසහගත තත්ත්වයකට ඇද දැමීම ගැන යුද හමුදාවේ ලුතිනන් ජනරාල් ලයනල් බලගල්ල මහතා ද වගකිව යුතුය. ඔහු යුද හමුදාවේ ප්‍රධානියා වශයෙන් යුද හමුදාවට දේශපාලන කටයුතු සම්බන්ධ කිරිමෙන් වළකින දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුව තිබුණත්, ඔහු සිය යුතුකම හා වගකීම අකුරටම ක්‍රියාත්මක කර ඇති බවක් පෙනෙන්නට නැත. ඔහු නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයා සතුටු කිරීම පිණිස පනින රිලවුන්ට ඉනිමං බඳින පිළිවෙතක් අනුගමනය කර ඇති බව පෙනෙන්නට තිබේ. නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයා හැම මැතිවරණයකදිම නීතියට පටහැනිව බලය පාවිච්චි කරන පිළිවෙතක් අනුගමනය කිරීම නිසා චෝදනාලාභී තත්ත්වයක සිටි බව හමුදාපතිවරයා නොදැන සිටියා විය නොහැකිය. ඔහුගේ ඉල්ලීම මත තමන් මේ අවස්ථාවේදි ඔහු වෙත යවන කණ්ඩායමක් මැතිවරණ කටයුතු සඳහා යොදා ගනු ඇති බව හමුදාපතිවරයා නොදැන සිටියා ද විය නොහැකිය.

උඩතලවින්න සමුහ ඝාතනය ඇතුළු මහනුවර ප්‍රදේශයේ සිදුවූ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාකාරකම්වලට යුද හමුදා භට පිරිසක් චෝදනාලාභී තත්ත්වයකට පත්වීමෙන් යුද හමුදාව කොතරම් විශාල ප්‍රමාණයකට දේශපාලනකරණයට ලක්වී තිබේද යන්න පෙන්නුම් කරයි.

අතුරුගිරිය සිද්ධිය පිළිබඳව ද හැගීම් බර මතවාද පළවෙමින් පවතී. යුද හමුදාව දේශපාලනයෙන් පිටස්තරව සිටියේ නම්, බලවත් සැකයක් ඇති කිරීමට එවැනි සිද්ධියක් හේතු නොවන්නට ඉඩ තිබුණ.

අතුරුගිරිය සිද්ධිය විශ්ලේෂණය කරන විට ද පෙනීයන්නේ යුද හමුදාව තුළ තිබිය යුතු ක්‍රමානුකූල බව බිඳ වැටී තිබෙන ප්‍රමාණයේ තරමය.

පළමු කොට මේ අත්අඩංගුවට ගන්නා ලද කණ්ඩායම ඉදිරි වළල්ලෙන් එපිටට ගොස් කරන මෙහෙයුම් සඳහා යොදා ගැනෙන විශේෂ බලකායට අයත් පිරිසක් වන්නේ නැත. ඔවුන් යුද හමුදාවේ බුද්ධි අංශය විසින් නිදහස් නොකර ගත් ප්‍රදේශවල සැගවී සිට කරන පීඩාකාරි මෙහෙයුම් සඳහා පවත්වාගෙන ගිය අංශයකි. විශේෂ බලකාය ද එවැනි කාර්යයන් සඳහා පවත්වාගෙන යන ආයතනයකි. එයට සම්බන්ධ අය ඒ සඳහාම පුහුණු කරනු ලැබූ අය වන අතර, ඔවුන් නිදහස් කර නොගත් ප්‍රදේශවලට ගොස් විශේෂ ඉලක්කවලට පහරදිම් කරනු ලබයි. එහෙත් බුද්ධි අංශය පවත්වාගෙන ගොස් ඇති ඒකකය ඊට වෙනස්ය. මුදා නොගත් ප්‍රදේශවල විශේෂ ඉලක්ක කරා පහරදිමට යැවෙන්නේ විශේෂයෙන් පුහුණු කළ හමුදාවේ නිත්‍ය කණ්ඩායමක් නොව, දෙමළ ඔත්තුකරුවන්ය. ඔවුන් හමුදාවට අනුයුක්ත කොට ගෙන ඒ වෙනුවෙන් හමුදා සෙබළුන්ට ගෙවන වැටුපට සමාන වැටුපක් ගෙවන අතර, මුදා නොගත් ප්‍රදේශවල ඔවුන් විසින් කෙරෙන මෙහෙයුම් සඳහා බුද්ධි අංශයේ රහස්‍ය අරමුදලින් විශේෂ ගෙවීමක් කරනු ලබයි. එය කොන්ත්‍රාත් පදනමක් යටතේ පවත්වාගෙන ගිය මෙහෙයුම් විශේෂයකට සමානය. මේ කටයුතු සඳහා වසරකට බුද්ධි අංශයේ රහස්‍ය ගිණුමට රුපියල් ලක්ෂ 68කට සමාන මුදල් ප්‍රමාණයක් ලැබෙන අතර, ඒ සඳහා වැයවෙන මුදල් ගිණුම් ගත කිරීමක් අවශ්‍ය වන්නේ නැත.

මේ අංශය ක්‍රියාත්මක වී ඇත්තේ මඩකලපුව ප්‍රදේශයේ කෙරෙන මෙහෙයුම් සඳහා පමණය. මඩකලපුව ප්‍රදේශයේ කෙරෙන මෙහෙයුම් සඳහා කොළඹින් ආරක්ෂක නිවසක් අවශ්‍ය වූයේ ඇයිද යන ප්‍රශ්නයට තවමත් පිළිගත හැකි තර්කානුකූල පිළිතුරක් ලැබී නැත. හමුදාවේ බුද්ධි අංශයට අනුයුක්ත මෙවැනි ඒකකයක් මඩකලපුවේ ද තිබේ. එහෙත් ඒ ඒකකය සිය මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය ආයුධ ලබාගන්නේ ප්‍රාදේශීය හමුදා මූලස්ථානයෙනි. මෙවැනි විශේෂ මෙහෙයුම් කටයුතු සඳහා පවත්වාගෙන යන විශේෂ බලකාය පවා ඔවුන්ගේ විශේෂ මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය ආයුධ ලබාගන්නේ ආසන්නයේම තිබෙන හමුදා කඳවුරුවලිනි. එහෙත් අතුරුගිරිය කණ්ඩායම සඳහා පමණක් ඒ මූලධර්මය වෙනස් වූයේ ඇයි ද යන්න තේරුම් ගැනීම අමාරුය.

අනෙක් අතට ආරක්ෂක නිවසක් (Safe House) යන්නෙන් පුද්ගලයින්ගේ රහසිගතභාවය ආරක්ෂා කරන ඒකකයක් මිස, ආයුධ ගබඩා කොට තබන ඒකකයක් අදහස් වන්නේ නැත. මෙහි තිබුණු ආයුධ ද සැහැල්ලු ගණයේ ආයුධ ලෙස සැලකිය නොහැකිය. තර්මෝබැරික් (Thermobaric) ආයුධය ඉතාමත් මිල අධික හා විශාල විනාශයක් කළ හැකි ආයුධයකි. මඩකලපුවේ කෙරෙන මෙහෙයුම් සඳහා එවැනි ආයුධ කොළඹ ආරක්ෂක නිවසක සිට මඩකලපුවට ගෙන යන ප්‍රතිපත්තියක් ඉතා ප්‍රශස්ථ වේ යැයි කිව නොහැකිය.

මේ නිවසේ සිට කටයුතු ආරම්භ කර ඇත්තේ ද සැකයට හේතුවන කාලපරීච්ඡේදයකදිය. නිවස ලබාගෙන ඇත්තේ දෙසැම්බර් 07 වැනිදාය. ඊට පෙර මේ ඒකකය මාස 08ක් ම ක්‍රියාත්මක වී ඇත්තේ කොහුවල හමුදා කඳවුරේ සිටය.

අතුරුගිරියේ නිවස, ඒකකය භාරව ක්‍රියා කළ කපිතාන්ගේ බිරිඳට අයත්ය. එහි කුලිය ගෙවා තිබුණේ රහස්‍ය අරමුදලෙනි. මාසික කුලිය රුපියල් 12500ක් ලෙස මාස 4ක් සඳහා රුපියල් 50,000ක අත්තිකාරමක් ලබාදි ඇත. කුලී පදනමක් මත පරිහරණය කළ වාහනය ද ඒකකය භාරව ක්‍රියා කළ කපිතාන්ගේ බිරිඳට අයත්ය. යුද හමුදා නීති රිති අනුව යුද හමුදාවට සම්බන්ධ පුද්ගලයකුගේ වාහනයක් කුලියට ගැනීම නීතියට පටහැනිය. නිල ඇඳුම් කට්ටල 209ක් නිපදවා ගෙන ඇත්තේ ද අංශය භාර කපිතාන්ගේ මස්සිනා කෙනෙකු මාර්ගයෙනි. ඒ සඳහා ගෙවා ඇති මිල රුපියල් 2,50,000කි. එය ටෙන්ඩර් ක්‍රමයකින් තොරව ලබාගන්නා ලද සැපයුමක් වන අතර, ඒ සඳහා මුදල් ගෙවා ඇත්තේ ද හමුදා අරමුදලෙන් නොව, රහස්‍ය අරමුදලෙනි.

2001 නොවැම්බර් 10 වැනි දින එජා. පෙරමුණේ සභාපති චරිත රත්වත්ත මහතා හමුදාපතිවරයාට කරන ලද පැමිණිල්ලකින් කියවුණේ රනිල් වික්‍රමසිංහ මහතා ඝාතනය කිරීම සඳහා වන වැඩපිළිවෙලක් පිළිබඳ තොරතුරු තමන්ට ලැබී ඇති බවත්, හමුදාවේ බුද්ධි අංශයේ ප්‍රධානියෙකු නැගෙනහිර පළාතේ දෙමළ දේශපාලන පක්ෂයට අයත් තරුණයින් කිහිපදෙනෙකු පානලුව හමුදා කඳවුරට ගෙන්වා තර්මෝබැරීක් වර්ගයේ ආයුධ පාවිච්චි කරන ආකාරය පුහුණු කරවා තමන්ගේ රැස්වීමකට තර්මෝබැරීක් වර්ගයේ ආයුධයකින් පහර දි සිය නායකයා විනාශ කිරිමේ සැලැස්මක් ඇති බවත්ය. මෙම කුමන්ත්‍රණ කතාවේ ඇත්ත නැත්ත කුමක්ද යන්න කිව නොහැකිය. එහෙත් හමුදාව දේශපාලනකරණය වී තිබී ඇති තරම දෙස බලන විට එවැනි චෝදනාවක් නිකම්ම බැහැර කිරිමේ හැකියාවක් ද නොපවතී.

විවාදයට හේතුවී ඇති තර්මෝබැරීක් හතර නිකුත් කර ඇත්තේ 2001 නොවැම්බර් 07 වැනිදාය. එහෙත් ඒ සඳහා ඉල්ලීම් ලිපියක් ගොනුවේ තිබී නැති බව පරික්ෂණයේදි හෙළිවිය. ඉන් එකක් දෙමළ තරුණයෙකු ලවා පානලුව වෙඩි ශාලාවේදි අත්හදා බලා ඇති බවත්, නොවැම්බර් 8 හා 9 යන දින දෙක ඒ අත්හදා බැලීම් සඳහා එම කඳවුරේ වෙඩි ශාලාව වෙන් කර තිබූ බවත් හමුදා සාක්ෂියෙන් තහවුරු වී තිබේ. එය හරියටම චරිත රත්වත්ත විසින් කර තිබෙන පැමිණිල්ලේ එන කරුණු සමග ගැලපෙන බවක් පෙනෙතත් අත්හදා බැලීම කුමන්ත්‍රණකාරි අරමුණකින් සිදුවූවක් ද නැතිනම් පිරිසිදු යුදමය අරමුණින් කරන ලද්දක් ද යන්න නොපැහැදිලිය.