නුවුවමනා තරම් ඉක්මන්කම සේ ම අධික ප්‍රමාදය ද රටට අයහපත් ය

February 3, 2002
Publication:
The editorial notes that the new government has still not appointed chairmen and boards to corporations and statutory bodies, paralysing decisions at state banks and the Insurance Corporation. It urges prompt appointments vetted by a parliamentary committee open to public objections, and full enforcement of the assets and liabilities law, which the previous government ignored even for the President and cabinet.

ඕනෑම දෙයක දි ඕනෑවට වඩා ඉක්මන් වීම සුදුසු නැතිවා සේ ම ඕනෑවට වඩා ප්‍රමාද වීම ද නුසුදුසු ය.

නව ආණ්ඩුවට සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවලට සභාපතිවරුන් හා අධ්‍යක්ෂෂ මණ්ඩල පත් කිරිමේ ක්‍රියාවලිය තවමත් අවසන් කිරීමට හැකි වී නැත. එවැනි ආයතනවලට පුද්ගලයන් පත් කිරීමේ දි ඉක්මන් නොවී හොඳින් කරුණු සලකා බලා සුදුසුම පුද්ගලයින් පත් කිරීම අත්‍යාවශ්‍ය වුවත් ඒ ක්‍රියාවලිය අනවශ්‍ය තරම් ප්‍රමාද කිරිමෙන් ද විශාල හානියක් ඇති විය හැකි ය. සභාපතිවරුන් පත් කිරිමේ ක්‍රියාවලිය තවමත් අවසන් කොට නැත. එම ප්‍රමාදය එම ආයතනවල තීන්දු ගැනීමේ ක්‍රියාවලිය අඩපණ කිරීමට හේතු වී තිබෙන අතර සේවකයින් අතර ද අසහනකාරි හැගීමක් ඇති කිරීමට හේතු වී තිබේ. අධ්‍යක්ෂෂ මණ්ඩලයේ අනුමැතිය නොමැතිව තීන්දු කළ නොහැකි දෑ තිබෙන අතර ඒ අවශ්‍යතාව සම්පූර්ණ නොකිරීම නිසා රාජ්‍ය බැංකු, රක්ෂෂණ සංස්ථාව වැනි ආයතනවල ක්‍රියාකාරිත්වය යම් පරිමාණයකට අඩපණ වීමට හේතු වී තිබෙන බව ද පෙනේ.

ප්‍රමුඛ නිලතල සඳහා පත්කර තිබෙන පුද්ගලයින්ගේ යෝජනා ප්‍රමාදයකින් තොරව ප්‍රමුඛ නිලතල සඳහා වන පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවකින් පරික්ෂෂාවට ලක් කිරීම වැදගත් ය. එහි දි මෙම පත් කර තිබෙන පුද්ගලයන්ට එරෙහිව මහජනයාට, පැමිණිලි ඇතොත් එම තේරිම් කාරක සභාව වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමට මහජනයාට තිබෙන අයිතිය ගැන දැන්වීම් මගින් හෝ මහජනයා දැනුවත් කිරීම ද වැදගත් ය. ඒ සියලු දෙනාට වත්කම් හා බැරකම් නීතිය අකුරට ම පිළිපදින ලෙස දැනුම් දිම ද වැදගත් ය.

පසුගිය ආණ්ඩු කාලය තුළ මේ කිසිවක් හරි හැටි සිදු නොවූ බව ද කිව යුතු ය. ප්‍රමුඛ නිලතල සඳහා කෙරෙන දේශපාලන පත්වීම්වලදී වහාම ඔවුන්ගේ සුදුසු නුසුදුසු භාවය ගැන පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව ඉදිරියේ මනා සොයා බැලීමක් සිදු නොවී ය. ප්‍රමුඛ නිලතලවලට දේශපාලන පත්වීම් ලබාගත් සමහර අය සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමක් ද සිදු නොවී ය.

රටේ පවත්නා වත්කම් හා බැරකම් නීතිය අනුව ඒ නීතිය යටතට වැටෙන ඕනෑම පුද්ගලයකු ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ පරික්ෂෂා කිරිමේ හෝ පිටපත් ලබාගැනීමේ අයිතිය මහජනයා සතු ය. එහෙත් එම නීතිය පසුගිය කාලය තුළ ප්‍රමුඛ නිලතල දරන පුදගලයන් සඳහා පමණක් නොව ජනාධිපතිනිය ඇතුළු කැබිනට් මණ්ඩලය සඳහා ද ක්‍රියාත්මක නොවී ය. ඒ වරද තවදුරටත් ඉදිරියට යන්නට ඉඩ නොදිම නව ආණ්ඩුවේ වගකීමකි. විවෘත පාලනයක් සඳහා එවැනි ප්‍රතිපාදන අකුරටම ක්‍රියාත්මක විය යුතු ය.