ප්රජාතන්ත්රවාදි දේශපාලන ක්රමයක් තුළ මහජනයා සිය පරමාධිපත්යය බලය අභ්යාස කරනුයේ මැතිවරණවලදි සිය ඡන්දය පාවිච්චි කිරීම මගිනි. තරාතිරම නොසලකා හැම පුද්ගලයකුටම ලැබෙන ඡන්දයේ වටිනාකම එක සමානය.
එහෙත් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදි තෝරා ගත් විශේෂ පුද්ගලයන් සඳහා විශේෂ ආකාරවලට ඡන්දය පාවිච්චි කිරීමට ඉඩ දෙන ප්රතිපත්තියක් ක්රියාත්මක විය. ජනාධිපතිනිය ඡන්දය පාවිච්චි කළේ ජනාධිපති මන්දිරයේදිය.. අගමැති ඡන්දය පාවිච්චි කළේ අරලියගහ මන්දිරයේදිය. අනුර බණ්ඩාරනායක මහතා ඡන්දය පාවිච්චි කළේ හොරගොල්ල වලව්වේදිය.
මෙවැනි විශේෂ සහන ක්රමයක් ලබාදිමට හේතු වූයේ ආරක්ෂක හේතු මත නම්, ආරක්ෂක ප්රශ්න තිබුණු සාමාන්ය ජනතාව සඳහා ද එවැනි සහන ක්රමයක් ක්රියාත්මක විය යුතුය. බියගැන්වීම් හා තර්ජන නිසා ඡන්දය පාවිච්චි කිරීමට අවස්ථාවක් නොලැබුණු ඡන්දදායකයන් දහස් ගණනක් රටේ සිටියහ.
1988 ජනාධිපතිවරණයේදි ඡන්දය පාවිච්චි කරන්නට එන පළමු පස්දෙනා මරා දමන බවට තර්ජනයක් තිබුණු අවස්ථාවක පවා මහජනතාව සඳහා එවැනි සහන ක්රමයක් ක්රියාත්මක නොවීය. තිබුණු මරණීය තර්ජන නොසලකා ඡන්දය පාවිච්චි කිරීමට ගොස් සමහරෙකුට සිය ජීවිත අහිමි කරගන්නට සිදුවූ බව ද රහසක් නොවේ.
මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු මැතිවරණ දෙපාර්තමේන්තුවත්, ඡන්ද නීතිය හදාරනවාට අතිරේකව නිදහස් ඡන්ද ක්රමයක මූලධර්ම පිළිබඳව ද හදාරන්නේ නම් රටට යහපත්ය. අඩුම වශයෙන් දෑන් ඒ වෙනුවට ශ්රේෂ්ඨාධිකරණය ඉදිරියේ නිදහසට කරුණු කියන්නට සිදුවී තිබෙන තත්ත්වයක් තුළ ශ්රේෂ්ඨාධිකරණයටත් මැතිවරණ කොමසාරිස්වරයාටත් ඒ මූලධර්ම කියා දිය යුතුය.
නීතියක් නැති රටක්
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදි ඡන්ද නිරික්ෂණය සඳහා යුරෝපා සංගමයෙන් ශ්රී ලංකාවට පැමිණි නිරික්ෂණ කණ්ඩායමේ ප්රධානියා 2000 පාර්ලිමේන්තු මැතිවරණයේදි ඡන්ද දූෂණවලට සම්බන්ධ වැරදි කළ පුද්ගලයන් කීදෙනෙකුට එරෙහිව නඩු පවරා ඇත්දැයි ප්රශ්න කළේය. ශ්රී ලංකාවේ මැතිවරණ දූෂණ ගැන කතා කරන්නේ මැතිවරණ කාලවලදි පමණය. මැතිවරණය අවසන් වීමෙන් පසුව දූෂණවලට සම්බන්ධ කිසිවෙකුටත් එරෙහිව නීතිය ක්රියාත්මක වන්නේ නැත.
මැතිවරණවලදි සිදුවන වැරදි, නීත්යනුකූල නොවන කටයුතු හා දූෂණ හඳුනාගැනීම සඳහා අවශ්ය විධි විධාන සේ ම, එවැනි අවස්ථාවලදි එවැනි වැරදි කරන්නන්ට එරෙහිව නඩු පැවරිමේ විධි විධාන ද මැතිවරණ නීති රිති හා අණ පනත්වලට ඇතුළත්ය. එහෙත් මැතිවරණවලින් පසුව සිදුවන වැරදිවලට එරෙහිව එම වැරදිවලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරිමක් සිදුවන්නේ නැත.
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට පෙර සම්මත කරගත් 17 වැනි සංශෝධනයට අනුව මැතිවරණයකදි ඊට තරග කරන පක්ෂයක ප්රචාරක කටයුතු සඳහා රාජ්ය සම්පත් යොදා ගැනීම මුළුමණින්ම නීති විරෝධීය. එහෙත් මේ මූලික නීතිය නොසලකා පොදු පෙරමුණට සම්බන්ධ දේශපාලකයන් උපරිම මට්ටමකින් මැතිවරණ කටයුතු සඳහා රාජ්ය සම්පත් යොදා ගත්තේය. එහිදි රටේ මූලික නීතිය නොසලකා ක්රියා කළ ඒ සියලු දේශපාලනඥයින්ට එරෙහිවත්, දේශපාලනඥයන්ගේ එම නීති විරෝධී ක්රියාකලාපයට අනුග්රහය දැක්වූ රාජ්ය නිලධාරින්ට එරෙහිවත් නඩු පවරන ප්රතිපත්තියක් අනුගමනය නොකරන්නේ නම් මේ ආණ්ඩුවේ දේශපාලකයින් ද ඉක්මණන් හෝ ප්රමාද වී හෝ එවැනි වැරදි කරන තැනකට යොමුවීම නොවැළැක්විය හැකිය. එවැනි නැඹුරුවක් ඇතිවීම වැළකිය හැකිවනු ඇත්තේ මැතිවරණ කටයුතුවලට අදාළ ආණ්ඩු ක්රම ව්යවස්ථාවේ එන විධි විධාන උල්ලංඝණය කරන ලද සියලු දෙනා අධිකරණය ඉදිරියට ඉදිරිපත් කරන ප්රතිපත්තියක් අනුගමනය කරයි නම් පමණය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කොයිබටද?
නව හිමිකම් ආයතනය පොදු දේපළ රැකගැනීමේ වැඩසටහන යටතේ මැතිවරණ කාලය තුළ රාජ්ය සම්පත් අයථා ලෙස යොදා ගනු ලැබූ අවස්ථා පිළිබඳව විස්තරාත්මකව කරුණු හෙළිදරව් කරන ප්රතිපත්තියකින් නොනැවතී ඒ පිළිබඳ මේ වසර ඇතුළත් තම වාර්තා අල්ලස් හෝ දූෂණ කොමිසමට යවමින් ඒ වැරදි සිදුවූ ආයතනවල ප්රධානීන් හා දේශපාලනඥයන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන නීතිය යටතේ නඩු පවරන ලෙස ඉල්ලා සිටියේය. පුදුමයට මෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම එම පැමිණිල්ලට ලබාදි තිබුණු පිළිතුර වී ඇත්තේ පැමිණිල්ලේ සඳහන් වැරදි අල්ලස් හෝ දූෂණ විමර්ශන නීතියට අදාළ නොවන බවය. කොමිසම දි තිබෙන එම පිළිතුරෙන් පෙන්නුම් කෙරෙන්නේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විධායකයේ පටු දේශපාලන වුවමනාවන් වෙනුවෙන් ක්රියා කරන ආයතනයක් වනවා මිස, අල්ලස් හෝ දූෂණ මැඩලීම පිණිස අවංක අදහසින් ක්රියාත්මක වන ආයතනයක් නොවන බවය. දැන් මානව හිමිකම් ආයතනය කොමිෂමේ එම දැනුම් දිමට එරෙහිව අධිකරණය ඉදිරියට ගොස් තිබෙන අතර, එය මහජනයාට පොදු වැදගත්කමක් ඇති නඩු විභාගයක් බවට පත්වනු නොඅනුමානය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මහජන වියදමින් පවත්වාගෙන යන ඉතා බලවත් ආයතනයක් වුවත්, ඊට එම විෂයෙහි වැදගත් කාර්ය භාරයක් ඉටු කිරීමට හැකිවූයේ නැත. කොමිසම කළේ අල්ලස් හෝ දූෂණ මැඩලන ප්රතිපත්තියක් අනුගමනය කරනවා වෙනුවට විධායකයට සතුටු විය හැකි දේශපාලනයක යෙදිමය.
ශ්රී ලංකාවේ ක්රියාත්මක වන වත්කම් බැරකම් නීතිය යටතට වැටෙන වැරදි සම්බන්ධයෙන් ක්රියා කිරිමේ ප්රධාන වගකීම පැවරි ඇත්තේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවටය. එහෙත් එම කොමිෂන් සභාව රාජ්ය පාලනයට සම්බන්ධ ප්රධාන දේශපාලකයින්ගේ, රාජ්ය නිලධාරින්ගේ වත්කම් හා බැරකම් ප්රකාශ තමන් වෙත ගෙන්වා ගෙන ඒවා විමර්ශනය කරන පිළිවෙතක් අනුගමනය කර ඇති බවට සාක්ෂි නැත.
රටේ ක්රියාත්මක වන වත්කම් හා බැරකම් නීතිය යටතේ ඕනෑම පුරවැසියෙකුට එම නීතිය යටතට වැටෙන දේශපාලනඥයකුගේ හෝ රාජ්ය නිලධාරියෙකුගේ වත්කම් හා බැරකම් ප්රකාශවල පිටපතක් ලබාගැනීමේ අයිතියක් ඇතත්, ජනාධිපතිනිය ඇතුළු පසුගිය ආණ්ඩුවේ කැබිනට් මණ්ඩල සාමාජිකයන්ගේ වත්කම් බැරකම් ප්රකාශ ඉල්ලා ඉදිරිපත් කෙරුණු කිසිම ඉල්ලීමක් අදාළ බලධාරින් සම්පූර්ණ කර නැත.
රාජ්ය පිරමීඩයේ ඉහළින්ම සිටින දේශපාලකයන් හා රාජ්ය නිලධාරින්ගේ වත්කම් හා බැරකම් ප්රකාශ නියමිත අවුරුදු ගණනක් සඳහා එකට ගෙන විමර්ශනය කිරිමෙන් පමණක් වුවත්, එවැනි තත්ත්වයක සිටින අයගෙන් කොතරම් විශාල පිරිසක් දූෂිතද යන්න සොයා ගැනීම අමාරු නැත.
රෝහණ කුමාර, කුමාර් පොන්නම්බලම් ඝාතන ගැන පරික්ෂණ කෝ?
එජාපය විපක්ෂයේ සිටියදි, රෝහණ කුමාර ඝාතනය ගැනත්, කුමාර් පොන්නම්බලම් ඝාතනය ගැනත් බොහෝ දේ කතා කළේය. රෝහණ කුමාර ඝාතනයට ලක්වූයේ එජාපයට ආධාර කරන පිළිවෙතක් අනුගමනය කිරීම නිසාය. කුමාර් පොන්නම්බලම් ඝාතනයට ලක්වූයේ සිය හිතට එකගව, සිය වර්ගයාට අදාළ ප්රශ්න ගැන කතා කරන පිළිවෙතක් අනුගමනය කරන ලද නිසාය.
අපරාධ පරික්ෂෂණ දෙපාර්තමේන්තුව මේ ඝාතන සිද්ධීන් දෙක සම්බන්ධයෙන් ඉතාමත් නින්දා සහගත ආකාරයේ පරික්ෂෂණ පිළිවෙතක් අනුගමනය කර ඇති බව කිව යුතු ය. මේ ඝාතන සිද්ධීන් දෙකට වගකිවයුතු අය කව්ද යන්න අපරාධ පරික්ෂෂණ දෙපාර්තමේන්තුවේ ප්රධානීන් දැන සිටියේ ය. එය විධායකය දේශපාලන වුවමනාවක් මත කරවන ලද ඝාතන දෙකක් බව ඔවුන් දැන සිටීම හේතු කොටගෙන අපරාධකරුවන් අල්ලාගන්නා පරික්ෂෂණ පිළිවෙතක් වෙනුවට ඔවුන්ට ආරක්ෂෂාව ලබාදෙන පරික්ෂෂණ පිළිවෙතක් අනුගමනය කළේ ය.
රෝහණ කුමාර ඝාතන සිද්ධියේ දි ඒ සඳහා යොදාගත් වාහනය පදවන ලද්දේ ජනාධිපති ආරක්ෂෂක අංශයේ බැද්දගානේ සංජීව බව තාර අජිත් සිය කටඋත්තරයෙන් ප්රකාශ කර තිබුණත් අපරාධ පරික්ෂෂණ දෙපාර්තමේන්තුව ඒ ගැන සංජීවගෙන් කටඋත්තරයක් ලබාගත්තේ නැත.
කුමාර් පොන්නම්බලම් ඝාතන පරික්ෂෂණයේ දි ද උපපොලිස් සේවා කොස්තාපල්වරයා වෙඩි තබන ලද පුද්ගලයා මොරටුව සමන් බව ප්රකාශ කර තිබිය දි ඒ වන විට සිය අත්අඩංගුවේ සිටි මොරටුවේ සමන් ගෙන් ඒ ගැන කටඋත්තරයක් ලබාගත්තේ නැත.
කුමාර් පොන්නම්බලම්ට වෙඩි තැබීමෙන් පසුව රහසිගත ලෙස මරණයට පත් වී සිටි කුමාර් පොන්නම්බලම්ගේ ජංගම දුරකථනය සිය බාරයට ගනිමින් මේ ඇනවුම ලබාදුන් පුද්ගලයාගේ දුරකථනයට කථා කොට තමන්ට බාර දෙන ලෙස ඇනවුම සාර්ථක ලෙස සම්පූර්ණ කළ බව ප්රකාශ කළේ ය. කුමාර් පොන්නම්බලම් ඝාතනයෙන් පසුව පිටස්තරයකු විසින් එම දුරකථනයෙන් තවත් කෙනෙකුට කථා කළ පළමු අවස්ථාව විය. අපරාධ පරික්ෂෂණ දෙපාර්තමේන්තුවේ පරික්ෂෂකවරයෙක් අපරාධකරුවා අපරාධය කිරිමෙන් පසුව එම දුරකථනයෙන් කථා කළ පුද්ගලයා කවුද එම අංකය කුමක්දැයි දැනගැනීම සඳහා කුමාර් පොන්නම්බලම් මහතාගේ ජංගම දුරකථනය අයත් සමාගමට ගිය අවස්ථාවේ දි අපරාධ පරික්ෂෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්ය පොලිස්පතිවරයාට ඒ බව දැනගන්නට ලැබී පරික්ෂෂකවරයාට දුරකථනයෙන් කථා කොට අනවශ්ය දේවල් පසුපස නොයා වහාම ආපසු කාර්යාලයට එන ලෙස දැනුම් දුන්නේ ය.
විශාල මහජන මුදලක් යොදා මෙවැනි අපරාධ පරික්ෂෂණ දෙපාර්තමේන්තුවක් නඩත්තු කිරිමේ තේරුමක් තිබේද? නව රජය අපේක්ෂෂා කරන්නේත් ඒ පැරණි ක්රමයම ද ? වෙනසක් ඇති කිරීමට අපේක්ෂෂා කරන්නේ නම් ඒ කුමන ආකාරයටද?
රජගෙදරින් හිර ගෙදරට
අපේ ජනාධිපතිනියඉතාමත් කරුණාවන්ත ය. විශේෂයෙන් දුක් විඳින පාක්ෂෂිකයන්ට කරුණාවන්ත ය. එතුමිය පසුගිය සතියේ බෝගම්බර රිමාන්ඩ් භාරයේ සිටින සිය පාක්ෂෂිකයින් බලන්නට බෝගම්බර හිරගෙදරට ගියා ය.
එතුමියට වඩාත් වැදගත් වන්නට ඇත්තේ ආසන සංවිධායක අබේකෝන් බලනවාටත් වඩා එහි සිටින ජනාධිපති ආරක්ෂෂක අංශයේ අහිංසකයන් කිහිප දෙනාගේ දුක සැප සොයා බැලීම විය හැකි ය. මතුරටින් ගේරනේඩ් විදිනයක් සමග අත්අඩංගුවට ගන්නා ලද අහිංසකයන් දෙදෙනාගේ දුක සැප බැලීම ඉතා වැදගත් වේ යැයි ඇය සිතුවා විය හැකි ය. ඔවුන් දෙදෙනා ඇත්ත කතා කළහොත් තමන්ටත් හිරගෙදර යන්නට විය හැකි බව ඇය සිතුවා විය හැකි ය. ඒ යන ගමනේ දි රෝහණ කුමාර, කුමාර් පොන්නම්බලම් වැනි අය මතක් වූවා ද විය හැකි ය. අනෙක් අතට ලංකාවේ හිරගෙවල්වල පවත්නා තත්ත්වය ගැන හරි වැටහීමක් ඇතිකර ගැනීමට ඇයට ආශාවක් ඇතිවූවා ද විය හැකි ය. රජ ගෙදර රජ සැප බුක්ති විඳි රාජකීය පුද්ගලයන්ට හිර ගෙදර හිර සැප භුක්ති විඳින්නට සිදු වූ අවස්ථා ද ලෝක ඉතිහාසයේ කොතෙකුත් පවතී. එහෙත් එවැනි තත්ත්වයක් නම් අපේ ජනාධිපතිනියට ඇති වේවායි කියා අපි ප්රාර්ථනා නොකරමු.