මල්වත්ත ඝාතනය රෝහණ කුමාර හා අගවිනිසුරු

January 6, 2002
Publication:
The report details the arrest of Rohana Kumara, fourth suspect in the February 2001 shooting of businessman Ranjith Bandara Wijekoon at the Peradeniya botanical gardens, and his alleged ties to Chief Justice Sarath N. Silva. It cites phone records, his use of a Justice Ministry vehicle, his role at the judges' training centre and his claim to have hidden on the Chief Justice's advice. It also recounts an attempted bribe of a Mirihana police officer and forged signatures on fundamental rights petitions.

පේරාදෙණිය මල්වත්ත ඝාතන නඩුවේ සිව්වැනි විත්තිකරු වූ රෝහණ කුමාර විවෘත වරෙන්තුවක් තිබියදි කැස්බෑවේ සුඛෝපභෝගී නිවසක සැගවී සිටියදි, පසුගිය 29 වැනිදා පිළියන්දල පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද අවස්ථාවේදි සැකකරු සමග ඒ නිවසේ ජීවත් වී ඇති ඔහුගේ අනියම් බිරිඳ අගවිනිසුරුවරයාට දුරකථනයෙන් කථා කොට රෝහණ කුමාර අත්අඩංගුවට ගන්නා ලද බව පොලිස් කණ්ඩායම ඉදිරියේම දැනුම් දි ඇති බව වාර්තා වේ.

අගවිනිසුරුවරයාට එහිදි සිය ජංගම දුරකථනයෙන් කථා කළ ලක්ෂ්මි කුසුමලතා මහනුවර, සංඝරාජ මාවතේ පිහිටි, කිංග්ස් පාර්ක් හෝටලයේ හිමිකාරිය වන අතර, මල්වත්ත ඝාතන නඩුවේ 3 වැනි විත්තිකාරිය වූයේ ඇයයි. මල්වත්තේදි ඝාතනයට ලක්වූයේ ඇයගේ පළමු විවාහයේ සැමියාය. එම ඝාතනය ඇයගේ ආධාර ඇතිව ඇයගේ අනියම් ස්වාමි පුරුෂයා බවට පත්ව සිටි රෝහණ කුමාර විසින් දෙන ලද කොන්ත්‍රාත්තුවක් මත සිදු කරන ලද මිනීමැරුමක් ලෙස ඒ ගැන කෙරුණු පරික්ෂණවලදි හෙළිදරව් වී තිබුණ.

රෝහණ කුමාර අත්අඩංගුවට ගත් වහාම තමාට අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාට දුරකථනයෙන් කථා කිරීමට අවශ්‍ය බව රෝහණ කුමාර විසින් ඔහු අත්අඩංගුවට ගන්නා ලද පොලිස් කණ්ඩායම මෙහෙයවූ උප පොලිස් පරික්ෂකවරයාට ප්‍රකාශ කර ඇතත්, උප පොලිස් පරික්ෂකවරයා ඊට අවසර දි නැත. අත්අඩංගුවෙන් පිටස්තරව සිටි ලක්ෂ්මි කුසුමලතා ඔවුන් ඉදිරියේදිම සිය ජංගම දුරකථනයෙන් අගවිනිසුරුවරයා අමතා ඇත්තේ ඉන්පසුවය. පොලිසිය තේරුම් ගෙන තිබෙන ආකාරයට ලක්ෂ්මී කථා කළවිට දුරකථනයට පළමුවෙන් පැමිණ ඇත්තේ අගවිනිසුරුවරයා නොව බිරිඳය. “මැඩම්, රෝහණ කුමාර අත්අඩංගුවට ගත් බව සර්ට කියන්න” යැයි ලක්ෂ්මි පවසා ඇති අතර, ඉන් ටික මොහොතකට පසුව අනෙක් පසින් කථා කළ පුද්ගලයා අගවිනිසුරුවරයා බව පොලිසියේ විශ්වාසයයි.

ඔවුන් සැගවී සිටි වායුසමනය කරන ලද සුඛෝපභෝගී නිවසේ එල්ලා තිබුණු ඡායාරූප අතර රෝහණ කුමාර අගවිනිසුරුවරයා සමග එක්ව ගත් ඡායාරූප තුනක් ද වූ බව දැනගන්නට තිබේ.

මනුෂ්‍ය ඝාතන සිද්ධියකට සම්බන්ධ විවෘත වරෙන්තුවක් තිබියදි, සැගවී සිටියේ ඇයිදැයි ප්‍රශ්න කළ අවස්ථාවේදි, රෝහණ කුමාර ඊට දි තිබෙන පිළිතුර වී ඇත්තේ, C.J. ගෙන් ලබාගත් උපදෙස් මත එසේ කරන ලද බවය.

පුදුමයකට මෙන් මෙම විවෘත වරෙන්තුකරුවා 28 වැනිදා දක්වාම සිය පුද්ගලික පරිහරණය සඳහා පාවිච්චි කර ඇත්තේ ද අධිකරණ අමාත්‍යංශයට අයත් නිල් පැහැති ඩබල් කැබ් රථයකි. (අංක 58-7314) අත්අඩංගුවට ගැනීමට පෙර දින එම වාහනය අලුත්වැඩියා කිරීම සඳහා රත්මලානේ දිපාල් නැමති පුද්ගලයෙකුට අයත් ගරාජයකට භාර දුන් බව ද ඔහු පොලිසියට ප්‍රකාශ කර තිබේ.

රෝහණ කුමාර වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති ආකාරයට ඔහු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා හඳුනාගෙන ඇත්තේ, ඔහු නීතිපති ධුරයේ සිටියදිය. ඔහුට එම හැඳුනුම්කම ලබාදි ඇත්තේ ඔහු ළගින් ඇසුරු කර ඇති ජයම්පති වික්‍රමරත්න හා ගැස්ටන් ජයකොඩි යන නීතිඥයන් දෙදෙනාය. ජයම්පති වික්‍රමරත්න සේ ම, ගැස්ටන් ජයකොඩි යන දෙදෙනාම අගවිනිසුරුවරයාට සේ ම, ජනාධිපතිනියට හා ජනාධිපති ලේකම්ට සමීප පුද්ගලයින්ය.

රෝහණ කුමාර තවදුරටත් ප්‍රකාශ කර තිබෙන ආකාරයට, ඔහු මත්පැන් බලපත්‍රයක් ලබාගැනීමට ද මේ තිදෙනාගෙන් ආධාර ලැබී තිබේ. “කුමාර රෙස්ටුරන්ට්” නමින් මේ මත්පැන් බලපත්‍රය සහිත ආපනශාලාව පළමුවෙන්ම පවත්වාගෙන ගොස් ඇත්තේ නුවරඑළිය ලබුකැලේය. 96 වසරේදි එය හැටන් දික්ඔය ප්‍රදේශයට ගෙනවිත් ඇත.

අත්අඩංගුවට ගැනීමට පෙර මෙම විවෘත වරෙන්තුකරුවා තිස්සමහාරාමය උසාවියේ ඇසෙමින් තිබෙන නඩුවකට මැදිහත්වීම පිණිස නොවැම්බර් මුල් සතියේ අනියම් බිරිඳ ලක්ෂ්මි සමග කතරගම ගොස් කතරගම රොෂේන් (Roshan) හෝටලයේ සතියක පමණ කාලයක් ගත කර ඇති බවත්, එම හෝටලයේ පවත්වා ඇති සාදයකට මහේස්ත්‍රාත්වරයෙකු, තෝරාගත් පොලිස් නිලධාරින් කිහිප දෙනෙකු හා නීතිඥ පිරිසක් ද සහභාගී වී ඇති බව දැනගන්නට තිබේ. ඔහු එහි ගොස් ඇත්තේ තිස්සමහාරාමයේ මහේස්ත්‍රාත් අධිකරණයේ සෙල්ල කතරගම පුරාණ ගණදෙවි කෝවිල හෙවත් ගගේ දේවාලයේ භූමියට අදාළව ඇසෙමින් තිබෙන නඩුවෙන් වැඩිහිටි කන්දේ අධිපති රත්මලානේ සිද්ධාර්ථ හිමියන්ට වාසිදායක තීන්දුවක් ලබාදිම සඳහාය. මේ දෙපළගේ නැවතුම් ගාස්තු හා ප්‍රිය සම්භාෂණයේ වියදම වූ රු. 140,000ක් වන හෝටල් ගාස්තුව ගෙවන ලද්දේ තමා බව සිද්ධාර්ථ හිමියන් පිළිගත්තේය. එහෙත් අගවිනිසුරුවරයා ඊට නොපැමිණීම ගැන හිමි නම කණගාටුව පළ කරමින් විශාල වියදමක් දැරුවත් තමා අපේක්ෂා කළ දේ ඉටු නොවූ බව ද ප්‍රකාශ කර සිටියේය.

විවෘත වරෙන්තුකරුවා පවත්වන ලද සාදයට දෙනියාය පොලිස් ස්ථානයාධිපති පොලිස් පරික්ෂක සරත් පෙරේරා ද, කතරගම ස්ථානයාධිපති පොලිස් පරික්ෂක අතුල සිල්වා, කතරගම වැඩ බලන ප්‍රාදේශීය ලේකම් බුද්ධප්‍රිය නිගමුනි මහතා ද සහභාගී වූ බව දැනගන්නට තිබේ.

එහෙත් ඒ ගැන ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් හා කතරගම පොලිස් ස්ථානයාධිපතිවරයාගෙන් විමසූ විට එවැනි සාදයකට තමන් සහභාගී නොවූ බව ප්‍රකාශ කළේය. තමන් රෝහණ කුමාර දන්නා බව හා තමන් හමුවීමට ඔහු දෙනියායට පැමිණ ඇති බව දෙනියාය පොලිස් ස්ථානයාධිපති සරත් පෙරේරා මහතා පිළිගත්තේය. වරෙන්තුකරුවා සිය අනියම් බිරීය සමග කතරගමට පැමිණ ඇත්තේ ද අධිකරණ අමාත්‍යංශයට අයත් වාහනයකිනි.

රෝහණ කුමාර

රෝහණ කුමාර 29 වැනිදා අත්අඩංගුවට ගත්තේ පේරාදෙනිය මල්වත්ත ඝාතන නඩුවේ සිව්වැනි සැකකරු වශයෙන් විවෘත වරෙන්තුවක් මත සැගවී සිටියදිය. 2001 පෙබරවාරි 05 වැනිදාය. පේරාදෙනිය රාජකීය උද්භිද උද්‍යානයේ ආපන ශාලාව හිමිකරු වූ රංජිත් බණ්ඩාර විජේකෝන් නමැති ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කොට පලායමින් සිටි දෙදෙනෙකු ඒ අවට සිටියවුන් විසින් අල්ලා ගන්නා ලද අතර ඒ සමග ඒ වෙඩි තැබීම සඳශා පාවිච්චි කරන ලද පිස්තෝලය ද, වෙඩික්කාරයා ලෙස සැලකුණු නුපුල් කුමාර නැමති පුද්ගලයා පරිහරණය කරන ලද අංක 077-794681 දරන ඇල්කටෙල් වර්ගයේ ජංගම දුරකථනය ද අත්අඩංගුවට පත්විය. ඝාතකයා සමග අත්අඩංගුවට ගන්නා ලද ඔහුගේ සහායකයා වූයේ ඕ.. අශෝකා නමැති පුද්ගලයෙකි.

මේ ඝාතනය පිටුපස සිටි ප්‍රධාන පුද්ගලයින් වූයේ ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයාගේ පළමු බිරිය වූ මහනුවර කිංග්ස් පාර්ක් හෝටලයේ හිමිකාරිය වූ ලක්ෂ්මි කුසුමලතා නැමති කාන්තාවත්, ඇයගේ අනියම් සැමියාව සිටි පසුගිය 29 වැනිදා අත්අඩංගුවට ගන්නා ලද රෝහණ කුමාරත්ය. රෝහණ කුමාර එවකට අගවිනිසුරුවරයාගේ පාලනය යටතේ පැවති විනිසුරුවන් පුහුණු කෙරෙන මධ්‍යස්ථානය භාරව ක්‍රියා කරන පුද්ගලයා වූවා සේ ම, එම ආයතනයට කෑම සපයන කොන්ත්‍රාත්කරුවා ද විය. රෝහණ කුමාර අගවිනිසුරුවරයාට ඉතාමත් සමීප පුද්ගලයෙකු වූ අතර, විනිශ්චයකාරවරුන්ට එරෙහිව ඉදිරිපත් වන පැමිණිලි වලදි මූලික වශයෙන් කරුණු සොයා බැලීමේ කටයුතු කර ඇත්තේ ද මේ රෝහණ කුමාරය. අධිකරණ නායකයාට තිබුණු හිතවත්කම් ප්‍රයෝජනයට ගනිමින් රෝහණ කුමාර තමන්ට සම්බන්ධ පාතාල ලෝකයේ අපරාධකරුවන්ට එරෙහිව පැවරෙන නඩුවලදි ඔවුන් ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කළේය යන්න රෝහණ කුමාර පිළිබඳව තතු දත් අයගේ මතය වී තිබුණ.

උද්භිද උද්‍යානයේ වෙඩි තැබීම සිදු කළ ඝාතකයා පරිහරණය කළ ජංගම දුරකථනයේ බිල්පත් පරික්ෂා කිරිමේදි ඝාතකයා දිගින් දිගට රෝහණ කුමාරටත්, ලක්ෂ්මි කුසුමලතාටත් කථා කර ඇති බව තහවුරු විය. රෝහණ කුමාර පරිහරණය කළ අංක 077-768165 දරන ජංගම දුරකථනයේ බිල්පත් පරික්ෂා කිරිමේදි රෝහණ කුමාර එම ඝාතනය සිදුවූ දිනයට පෙර දින එනම් පෙබරවාරි 04 වැනි දින ඝාතකයා සමග දස වතාවක් ද, ඝාතනය සිදු කෙරෙන දින ඝාතනය කෙරුණු අවස්ථාව දක්වා ඝාතකයා සමග හතර වතාවක් ද කථා කර තිබුණ. මෙම වෙඩි තැබීම සිදුවී ඇත්තේ පෙරවරු 10.00ට පමණය. ඝාතකයා එම ඝාතනය සඳහා මල්වත්ත උද්භිද උද්‍යානයට පැමිණ ඇත්තේ පෙරවරු 9.30ට පමණය. රෝහණ කුමාර එම ඝාතකයාට පෙ.ව. 9.30ට එක් වතාවක් ද, නැවත ඝාතනය සිදුවීමට විනාඩි කිහිපයකට පෙර 9.40ට තවත් වතාවක් ද කථා කර තිබුණේය. ඊට අතිරේකව ඔහු ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්නට ද ඔහුගේ කොළඹ නිවසේ අංක 884315 දරන දුරකථනයට දෙවතාවක් ද, පසුදින එම දුරකථන අංකයට එක් වතාවක් ද කථා කර තිබේ. ජයම්පති වික්‍රමරත්න මහතා රෝහණ කුමාර ඇසුරු කළ පුද්ගලයෙකු වුවා සේ ම, ඔහුගේ නඩු කටයුතු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා ද වූයේය. අනෙක් අතට ජයම්පති වික්‍රමරත්න මහතා මේ ඝාතනයේ ඊළග භූමිකාව රගපෑ ලක්ෂ්මි කුසුමලතාගේ නඩු කටයුතුවලට පෙනී සිටි නීතිඥයා ද වූයේය. ඊටත් අතිරේකව රෝහණ කුමාර අගවිනිසුරුගේ අංකය වන 422142 දරන අංකයට ද මාර්තු 8 වැනි දින කථා කර තිබුණ. අගවිනිසුරුවරයාගේ දුරකථන බිල්පත් පරික්ෂා කිරිමේදි අගවිනිසුරුවරයා ද රෝහණ කුමාරට දුරකථනයෙන් කථා කරන තරම් සම්බන්ධයක් තිබී ඇති බව පෙනී යයි.

මේ ඝාතනයට හේතුවී ඇත්තේ දේපළ ආරාවුලකි. මහනුවර වැව රවුමේ සංඝරාජ මාවතේ පිහිටි ද කිංග්ස් පාර්ක් හෝටලය ඝාතනයට ලක්වූ රංජිත් බණ්ඩාර විජේකෝන් ලක්ෂ්මි කුසුමලතා සමග විවාහ වී සිටියදි ඒ දෙදෙනා විසින් ම ආරම්භ කර තිබුණු ව්‍යාපාරයකි. රංජිත් බණ්ඩාර විජේකෝන් ඇගෙන් වෙන්වී ක්ලෝඩියා රිස් නමින් වන කාන්තාවක් සමග එක්ව ජීවත්වීම ආරම්භ කිරිමෙන් පසු තමන්ගේම වන වෙනත් ව්‍යාපාරයක් ආරම්භ කළත්, කිංග්ස් පාර්ක් හෝටලය හා එය පිහිටි රූඩ් එකයි පර්චස් දහයක් වූ ඉඩමේ අයිතිය සඳහා ඔහු ලක්ෂ්මි කුසුමලතාට එරෙහිව නඩු කීවේය. ඝාතනයට ලක්වන අවස්ථාව වනවිට ඒ සඳහා අභියාචනාධිකරණයේ ඇසෙමින් තිබූ නඩුවත් නිමවී එහි තීන්දුව ප්‍රකාශ කිරීමට නියමිතව තිබුණේය.

මේ දේපළ ආරාවුල නිසා හිටපු සැමියා සමග වෛරයක් ඇති කරගෙන තිබූ ලක්ෂ්මි කුසුමලතා සමග රෝහණ කුමාර සම්බන්ධයක් ඇති කරගෙන තිබූ ආකාරය ද අපුරුය.

රෝහණ කුමාර ඉපදි ඇත්තේ 1962 මාර්තු 24 වැනිදාය. ඔහුගේ ගම හොරණය. වෛවාහක නිවසේ ලිපිනය “නිහතමානී”, මීමන, පොකුණුවිටය. ඔහු සහෝදර, සහෝදරියන් අට දෙනෙකුගෙන් යුතු පවුලක හතරවැනියාය. විවාහ වී ඇත්තේ 1987දිය. බිරියගේ නම යමුණා ලියනගේය. දරු දෙදෙනෙකුගේ පියෙකි.

1995 වසරේදි ඔහු ජාතික සංවර්ධන බැංකුවට සින්න වී තිබුණු කෙන්මාර්ක් ටෙක්ස් (පුද්ගලික) ලිමිටඩ් නමින් වූ ඇගළුම් කර්මාන්තශාලාවක සවිකර තිබු රුපියල් 1112618ක් වටිනා යන්ත්‍ර වංචාසහගත ලෙස විකිණීමේ සිද්ධියක් මත නීතිපති දෙපාර්තමේන්තුව ඔහුට එරෙහිව 1996 වසරේදි අධි චෝදනා පත්‍රයක් ඉදිරිපත් කොට මහනුවර මහාධිකරණය ඉදිරියේ නඩු පැවරිය. (එම නඩුවේ අංකය 1218/97 යන්නය.) මෙම වංචාව පිළිබඳ පරික්ෂණය කර තිබුණේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරික්ෂක විශ්වනාදන් මහතාය.

රෝහණ කුමාර අංක එකේ වංචාකාරයෙකු වුවත්, නව ආණ්ඩුවේ බලවත් පිරිසක් සමග දැන හැඳුනුම්කම් පවත්වාගෙන යන තත්ත්වයක් ඔහු ඇති කරගෙන තිබුණේය. ඔහු දන්නා හඳුනන අය අතර ප්‍රධාන තැනක් ගෙන තිබුණේ ජනාධිපති ලේකම් කුසුම්සිරී බාලපටබැඳි මහතාගේ පුත්‍රයෙකු වූ හරේන්ද්‍ර බාලපටබැඳිය. රෝහණ කුමාර නීතිඥ ගැස්ටන් ජයකොඩි සමගත්, නීතිඥ ජයම්පති වික්‍රමරත්න සමගත් දැන හැඳුනුම්කමක් ඇති කරගත්තේ ද ඒ සම්බන්ධය ඔස්සේ විය හැකිය.

ඔහු ඒ දෙදෙනා මගින් නීතිපති සරත් සිල්වා මහතා සමග දැන හැඳුනුම්කමක් ඇති කර ගනී. ඔහුට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව පනවා තිබුණු නඩුව තමන්ට වාසිදායක ලිහිල් තත්ත්වයකට ගැනීම එහි අරමුණ වූවා විය හැකිය. ඔහුට එරෙහිව අධි චෝදනා පත්‍රය ඉදිරිපත් කර තිබුණේ ද සරත් සිල්වා මහතාය.

මේ වංචාකාරයා ඉතාමත් දක්ෂ ලෙස නීතිපතිගේ විශ්වාසය දිනාගත් පුද්ගලයකු බවට පත්වනවා පමණක් නොව, නීතිපති අගවිනිසුරු ධුරයට පත්වීමෙන් පසුව අගවිනිසුරු නිල නිවසේ ඇති කෙරෙන විනිසුරුවරුන් පුහුණු කරන ආයතනය බලා සොයා ගන්නා පුද්ගලයා බවට හා එම ආයතනයේ පැවැත්වෙන උත්සව සඳහා ආහාර පාන සපයන කොන්ත්‍රාත්කරුවා බවට ද පත් වන්නේය.

අගවිනිසුරු සමග තිබුණු සමීප සම්බන්ධය නිසා බොහෝ විනිසුරුවරුන්ට දුරකථනයෙන් කථා කළ හැකි තත්ත්වයක් ඔහු ඇති කරගත්තේය. ඔහු විනිසුරුවරුන් සමග කොතරම් දුරකට ඇයි හොඳයි කියන තත්ත්වයකට පත්ව සිටියේද කියතොත්, ඔහු විනිසුරුවරුන්ට මචං කියා අමතන බව ප්‍රකාශ කරමින් ඒ ගැන අගවිනිසුරුවරයාට පැමිණිලි කිරීමටද, විනිසුරුවරුන් පුහුණු කරවන ආයතනයේ ප්‍රධානියා ලෙස ක්‍රියා කරන විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සෝසා මහතාට සිදුවූයේය. ඔහු කෑවේ, බීවේ හා රාත්‍රියේ ජීවත් වූයේ අගවිනිසුරුගේ නිල නිවසේය. ගමන් බිමන් ගියේ ද විනිසුරුවරුන් පුහුණු කරන ආයතනයේ නිල වාහන වලිනි. විනිසුරුවරුන්ට එරෙහිව පෙත්සම් මගින් පැමිණිලි එන අවස්ථාවලදි ඒවායේ මූලික වටාපිටාව සොයා වාර්තා කිරිමේ වගකීම පැවරුණේ ද රෝහණ කුමාරටය. අධිකරණයේ ප්‍රධානියාට මෙම සමීප සම්බන්ධය නිසාම ඔහු අධිකරණ තලයේ කවුරුත් දන්නා හඳුනන බලවත් චරිතයක් බවට පත්ව සිටියේය. ඔහු ඒ මගින් හිමි කරගත් බලය මුදල් උපයා ගැනීමේ අරමුණ සඳහා ද දක්ෂ ලෙස යොදා ගත්තේය. ඔහු තමන් දන්නා හඳුනන අයගේ නඩුවලට මැදිහත් වූයේය. සමහර කාරණා බේරුමක් කරදිම සඳහා ඔහු නිශ්චිත මිලක් අය කළේය. තමන් දන්නා හඳුනන පාතාල ලෝකයේ අපරාධකරුවන්ට ආරක්ෂාව ලබාදෙන පිළිවෙතක් පවත්වාගෙන ගිය අතර, සමහර ආරාවුල් බේරුමක් කරදිම සඳහා මුදල් පදනමක් මත මැදිහත් වී ක්‍රියා කරන පිළිවෙතක් ද අනුගමනය කළේය.

ඉතාමත් ඉහළ පාන්තික ජීවිතයක් ගත කළ ද කිංග්ස් පාර්ක් හෝටලයේ හිමිකාරිය වූ ලක්ෂ්මි කුසුමලතා සමග සම්බන්ධයක් ඇති කරගැනීමට රෝහණ කුමාරට හැකිවන්නේ ද සමහර විනිසුරුවරුන්ට එරෙහිව වන පෙත්සම්වල පසුබිම් කරුණු සොයා බැලීමට ඔහුට ලැබී තිබුණු විශේෂ වරප්‍රසාදය පදනම් කොටගෙනය.

ඝාතනයට ලක්වූ රංජිත් බණ්ඩාර විජේකෝන්ට එරෙහිව මහනුවර පොලිසියේ විශේෂ විමර්ශන අංශයේ ස්ථානයාධිපති රෝහණ වනිගසේකර විසින් බහු විවාහ චෝදනාවක් මත මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ නඩුවක් ගොනු කොට තිබුණි. 47036 එහි නඩු අංකය විය.

රංජිත් බණ්ඩාර විජේකෝන් 08.05.1996 වැනි දින නීතිඥ බෝගහපිටිය මගින් අධිකරණයට ඉදිරිපත් වී තිබූ චෝදනා දෙකටම වරද පිළිගත්තේය. ඩී.සී. මිරීන්චි ආරච්චි මහත්මිය මෙම නඩුව විමසූ විනිසුරුවරිය විය. වරද පිළිගැනීමෙන් පසුව විනිසුරුවරිය රුපියල් 1000ක මුදල් ඇපයක් මත විත්තිකරු මුදාහැරිමුත් ඇගිලි සලකුණු වාර්තාවක් කැඳවා දඬුවම් නියම කිරීම 24.06.1996 වැනි දිනට කල් දැමුවේය.

විනිසුරුවරිය කුමන හේතුවක් නිසා හෝ දඬුවම් නියම කිරීමට නියම කර තිබූ දිනය වු 24.06.1996 වැනි දින නඩුව කැඳවා ඇගිලි සලකුණු වාර්තාවක් ද ලබාගැනීමෙන් තොරව විත්තිකරුට රුපියල් 1500ක දඩයක් නියම කොට ඔහු මුදාහැරියේය. සාමාන්‍යයෙන් මෙවැනි වරදකදි දඩ නියම කිරීමකට අමතරව සිරදඬුවම් ලබාදිමක් ද සිදුවේ. පෙර වැරදි නැතහොත් සිරදඬුවම වෙනුවට අත්හිටවූ සිරදඬුවමක් නියම කළ හැකිය.

නඩුව නියමිත දිනයේ නොකැඳවා ඊට පෙර දිනක කැඳවා ලිහිල් දඬුවමක් නියම කිරීම ගැන ලක්ෂ්මි කුසුමලතා තුළ බලවත් සැකයක් ඇතිවී විනිසුරුවරිය විත්තිකරුගෙන් ලබාගත් රුපියල් 50,000ක පගාවක් මත මෙසේ ක්‍රියා කරන්නට ඇති බව සඳහන් පෙත්සමක් ඇය මැල්කම් ද සිල්වා යන නමින් 01.05.1999 වැනි දින අගවිනිසුරුවරයා වෙත යැවීය. මෙම පෙත්සමට පදනම් වූ කරුණුවල ඇත්ත නැත්ත සොයා බලා අගවිනිසුරුවරයා වෙත දැනුම් දිමේ වගකීම පැවරුණේ රෝහණ කුමාර වෙතය.

රෝහණ කුමාරට ලක්ෂ්මි කුසුමලතා සොයාගෙන කිංග්ස් පාර්ක් හෝටලයට යන්නට සිදුවූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. රෝහණ කුමාරට ඒ සම්බන්ධය රන් ඉල්ලමක් ලෙස පෙනෙන්නට ඇති බවට සැකයක් නැත. ඇය ධනවත් ජේත්තුකාර කාන්තාවකි. ඇය සිය සැමියාගෙන් වෙන්ව සිටි තත්ත්වයක් යටතේ ඇය සමග සම්බන්ධයක් ඇති කරගැනීමෙන් මෙම ජේත්තුකාර ගැහැනිය තමන්ගේ පර අඹුව කරගන්නවාට අමතරව ඇගේ දේපළ හා ධනයට ද අනියම් ලෙස අයිතිවාසිකම් කිව හැකි තත්ත්වයක් ඇති කරගත හැකි වේ යැයි ඔහු කල්පනා කළා විය යුතුය. තමන්ගේ පැරණි ස්වාමි පුරුෂයා සමග නඩු විශාල ගණනකට පැටලී සිටි ලක්ෂ්මි කුසුමලතාට ද රෝහණ කුමාර පෙනෙන්නට ඇත්තේ තමන්ට තිබෙන සියලු ප්‍රශ්නවලින් ගැලවිය හැකි ගැලවුම්කාරයකු ලෙසිනි. ඔහුට අගවිනිසුරුවරයාට තිබුණු සමීප සම්බන්ධය නිසාම රෝහණ කුමාරගේ ආධාර ඇතිව තමන්ගේ වාසියට හේතුවන ලෙස සියලු කටයුතු අවසන් කරගත හැකි වෙතැයි ඇය කල්පනා කළා සේ ම, ඒ සඳහා රෝහණ කුමාර ද ඒ ගැන උපරිම මට්ටමෙන් ඇයට සහතික වන්නට ඇතැයි ද සිතිය හැකිය.

රෝහණ කුමාර මේ ඇති කරගන්නා සම්බන්ධයේදි තමන් අගවිනිසුරුවරයාට හඳුන්වාදිම සඳහා ක්‍රියා කළ ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න මහතා ද අමතක නොකරන්නේය. ඉන්පසු ලක්ෂ්මිගේ සියලු නඩු කටයුතු වෙනුවෙන් පෙනී සිටීමේ වගකීම පැවරෙන්නේ ජයම්පති වික්‍රමරත්න මහතාටය.

ඇගළුම් කම්හලේ යන්ත්‍ර වංචා කිරීමට අදාළව රෝහණ කුමාරට එරෙහිව පවරන ලද නඩුව වෙනුවෙන් ඔහුට පෙනී සිටින්නේ ද ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න මහතාය. 2000 මාර්තු 23 වැනි දින මහනුවර මහාධිකරණය ඉදිරියේ ඔහු ඉදිරිපත් වී චෝදනාවලට වරද පිළිගත්තේය. මහාධිකරණ විනිසුරුවරයා ඔහුට රුපියල් 1000ක දඩයක් නියම කොට වසර 10කට බලපාන ආකාරයට මාස 6ක අත්හිටවූ සිරදඬුවමක් නියම කළේය.

රංජිත් බණ්ඩාර විජේකෝන් ඝාතනය කිරිමේ අදහස පළමුවෙන්ම ආවේ රෝහණ කුමාරගෙන් ද, නැතිනම් ලක්ෂ්මිගෙන් ද යන්න නොපැහැදිලිය. විජේකෝන්ට හා ඔහුගේ බිරිඳ ක්ලෝඩියා රිස්ට ලක්ෂ්මි කුසුම්ලතාගෙන් දිගින් දිගට මරණ තර්ජන ගලා එමින් තිබුණ.

අධිකරණ තලයේ රෝහණ කුමාරට තිබුණු අතිවිශාල බලවත්කම නිසාත්, පොලිසිය හා වෙනත් අංශ සමග තිබුණු සම්බන්ධකම් නිසාත් විජේකෝන් ඝාතනය කොට, එහි පරික්ෂණ යටපත් කිරීම එතරම් අපහසු දෙයක් නොවේ යයි රෝහණ කුමාර සේ ම, ක්ලෝඩියා ද කල්පනා කළා විය යුතුය. මේ මනුෂ්‍ය ඝාතනයේදි ඝාතකයාගේ භූමිකාව රගපාන නුපුල් කුමාර ද රෝහණ කුමාරට හිමි බලවත්කමේ තරම මනා ලෙස දැන සිටියේය. ඔහු වෙනුවෙන් කර දෙන මනුෂ්‍ය ඝාතනයක් නිසා තමන්ට කිසිම අතවරයකට ලක්වීමට හේතු නොවනු ඇතැයි ඝාතකයා ද විශ්වාස කළා විය යුතුය.

රෝහණ කුමාර මේ සිද්ධියේ ඝාතකයා ලෙස ක්‍රියා කරන නුපුල් කුමාරට තිබුණු සම්බන්ධය ද මනා ලෙස තහවුරු කළ හැකි සම්බන්ධයකි.

විජේකෝන් ඝාතන සිද්ධියේදි ඝාතකයා ලෙස ක්‍රියා කළ නුපුල් කුමාර අංගොඩ, රුවන්පුර 48/7A දරන ස්ථානයේ පදිංචි පුද්ගලයෙකි. ඔහු වෘත්තියෙන් කොල්ලකරුවෙකි. කඩුවෙල කොමර්ෂල් බැංකුවෙන් රුපියල් ලක්ෂ 15ක් කොල්ලකෑමේ සිද්ධියක් මත 2000 ජනවාරීවලදි මිරීහාන පොලිසිය ඔහු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත්තේය. අත්අඩංගුවට ගන්නා ලද අනෙක් පුද්ගලයන් දෙදෙනා වූයේ අතුරුගිරීයේ හෝමාගම පාරේ අංක 463 දරන ස්ථානයේ පදිංචි ආර්.ජී. වජිර කුමාර හා කලපලූවාව, බුත්ගම පාරේ අංක 131 දරන ස්ථානයේ පදිංචි දිප්ති ප්‍රසන්න හෙවත් ප්‍රීති ප්‍රසන්න යන තිදෙනාය. දෑදිගම ජුවලර්ස් ආයතනයෙන් රුපියල් ලක්ෂ 20ක් මංකොල්ල කා තිබුණේ ද මේ තිදෙනා ද ඇතුළත් කණ්ඩායමක් විසිනි.

රෝහණ කුමාරට මේ කල්ලිය සමග සමීප සම්බන්ධයක් තිබුණු අතර, ඔහු තමන්ට තිබූ බලය මත පිහිටා මේ පිරිස අත්අඩංගුවෙන් මුදා ගැනීමට උත්සාහයක යෙදුණේය. මේ පිරිසේ පරික්ෂණය භාරව ක්‍රියා කළ පොලිස් නිලධාරියා වූයේ මිරිහාන පොලිසියේ උප පොලිස් පරික්ෂක කේ.එස්. දර්ශන මහතාය. රෝහණ කුමාර මිරිහාන පොලිස් ස්ථානයට ගොස් උප පොලිස් පරික්ෂකවරයා හමුවී සාකච්ඡා කොට වැඩිදුර සාකච්ඡා කිරීම පිණස අගවිනිසුරුවරයාගේ නිල නිවසට පැමිණෙන ලෙස ආරාධනා කළේය.

උප පොලිස් පරික්ෂකවරයා ද ඔහුගේ ආරාධනය පිළිගෙන රෝහණ කුමාර හමුවීම සඳහා අගවිනිසුරුගේ නිල නිවසට ගියේය. කොමර්ෂල් බැංකු මංකොල්ලයට අදාළව අත්අඩංගුවට ගෙන සිටින සියලු දෙනා පොදු පෙරමුණට ක්‍රියාකාරි ලෙස වැඩ කළ පිරිසක් නිසා ප්‍රශ්නය ගොඩින් බේරුමක් කර ඔවුන් නිදහස් කර යවන ලෙස ඔහු උප පොලිස් පරික්ෂකවරයාගෙන් ඉල්ලා සිටියේය. තමන් කථා කරමින් සිටින්නේ එසේ මෙසේ කෙනෙකු සමග නොව, අගවිනිසුරුවරයාට ඉතාමත් සමීප බව කියන පුද්ගලයකු සමග අගවිනිසුරුගේ නිල නිවස තුළ වීම නිසා උප පොලිස් පරික්ෂකවරයා තුළ චකිතයක් ඇතිවී ඇතත්, ඔහු එම යෝජනාවට එකග වී නැත. ඉන්පසු රෝහණ කුමාර තැටිය මාරු කොට රුපියල් ලක්ෂ 6ක් ගෙවීමට සූදානම් බවත්, ඔවුන් තිදෙනා නිදහස් කරන ලෙස ඉල්ලා ඇතත්, උප පොලිස් පරික්ෂකවරයා ඊට ද එකග වී නැත.

මිරිහාන පොලිසියට පැමිණීමෙන් පසුව උප පොලිස් පරික්ෂක මේ සිද්ධිය තමන් භාර ප්‍රධානියාට වාර්තා කර තිබේ.

නුපුල් කුමාර, රෝහණ කුමාර වෙනුවෙන් රංජිත් බණ්ඩාර විජේකෝන්ව ඝාතනය කරන්නේ ඉදිරිපත්වී තිබු මංකොල්ල චෝදනාවට ඇප මත නිදහස් වීමෙන් පසුවය.

තමන්ට අවනත නොවූ උප පොලිස් පරික්ෂකවරයාගෙන් පළිගැනීමට රෝහණ කුමාරට අවශ්‍ය වූ අතර, උප පොලිස් පරික්ෂකවරයාට එරෙහිව මේ තිදෙනා ලවා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළේය. තමන්ට තිබුණු අධිකරණ බලය මත උප පොලිස් පරික්ෂකවරයා මට්ටු කිරීම ඔහුගේ අරමුණ විය.

නුපුල් කුමාර, වජිර කුමාර හා දිප්ති ප්‍රසන්න වෙනුවෙන් ඉදිරිපත් වූ එම මූලික අයිතිවාසිකම් පෙත්සම් (SCFR 43/2000, 40/2000 හා 44/2000) තුන වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙනී සිටියේ ද රෝහණ කුමාරගේ නීතිඥයා වූ ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න මහතාය. මෙම පෙත්සම් තුන විභාගයට ගැනුණේ 2001 පෙබරවාරි 19 වැනිදාය. එය විභාගයට ගැනුණේ ද රෝහණ කුමාරගේ හිතවතා ලෙස සැලකුණු අගවිනිසුරු ප්‍රමුඛ විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේය. සෙසු විනිසුරුවරුන් වූයේ ප්‍රියන්ත පෙරේරා මහතා හා ශිරාණි බණ්ඩාරනායක මහත්මියයි. එහිදි මිරිහාන පොලිසියේ උප පොලිස් පරික්ෂක දර්ශන වෙනුවෙන් නීතිඥ ජී.ඩබ්ලිව්.ඩී. සිල්වා මහතා ද, මිරිහාන පොලිසියේ ස්ථානභාර නිලධාරීයා වෙනුවෙන් නීතිඥ එන්. රනමුකආරච්චි මහතා ද පෙනී සිටියේය.

පෙත්සම ගොනු කිරිමේදි සිදුවී තිබුණු වංචාවන් හෙළිදරව් වීම හේතු කොටගෙන රෝහණ කුමාර ඇතුළු කල්ලිය අපේක්ෂා කළ දේ දිනාගත නොහැකි විය.

පෙත්සම්කරුවන්ගේ ලේඛනගත නීතිඥයා ලෙස පෙත්සම්වල සඳහන්ව තිබුණේ නීතිඥ එම්.බී.එස්. වීරකෝන් යන නමය. වීරකෝන් මහතා විත්තියේ නීතිඥයන් මගින් අධිකරණය වෙත එවන ලිපියක් මගින් තමා එම පෙත්සම් තුනේ ලේඛනගත නීතිඥයා නොවන බවත්, තමාගේ නමින් එහි ඇති අත්සන් ද තමාගේ අව්‍යාජ අත්සන් නොව ව්‍යාජ අත්සන් බවත් ප්‍රකාශ කර සිටියේය. සාමාන්‍යයෙන් එවැනි අවස්ථාවකදි එම වංචාවට වගකිව යුත්තේ කව්දැයි සොයා බලා ඔවුන්ට දඬුවම් කරන පිළිවෙතක් ශ්‍රේෂ්ඨාධිකරණය අනුගමනය කළත්, රෝහණ කුමාරට හිතවත් අගවිනිසුරුතුමාට ද අත්වැරැද්දක් විය හැකි බව සළකා පෙත්සම් තුන නිෂ්ප්‍රභා කළේය. මෙම අත්සන් වංචාව පිටපුස සිටි පුද්ගලයා වූයේ ද රෝහණ කුමාර අගවිනිසුරුවරයාට හඳුන්වා දුන් ඊළග පුද්ගලයා වන නීතිඥ ගැස්ටන් ජයකොඩිය.

සිදුවූ මේ වංචාව ගැන මිරිහාන පොලිසියේ උප පොලිස් පරික්ෂක කේ.එස්. දර්ශන මහතා පොලිසියේ වංචා විමර්ශන බියුරෝවට පැමිණිල්ලක් කළේය. IR 312/201 එම පැමිණිල්ලේ අංකයයි. පුදුමයකට මෙන් අද දක්වාම ඒ ගැන කිසිම පරික්ෂණයක් සිදුවී නැත.

විජේකෝන් ඝාතනය වෙනුවෙන් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් තිදෙනාගෙන් ලක්ෂ්මි කුසුමලතාට පමණක් ඇප ලැබුණේ කෙසේද යන්න පැහැදිලි නැත. පොලිසිය කියන්නේ එය පොලිසියට ද අපැහැදිලි බවය. අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුවක් තිබියදිත් රෝහණ කුමාර සැගවී සිටියේය. ලක්ෂ්මි ඇප ලබා නිදහස්වීමෙන් පසුව ජීවත් වූයේ ද රෝහණ කුමාර සමගය. රෝහණ කුමාර ප්‍රකාශ කර ඇති ආකාරයට ඔහු සැගවී සිටියේ අගවිනිසුරුවරයාගෙන් ලබාගන්නා ලද උපදෙස් මතය. රෝහණ කුමාරගේ සගයකු ඔහු කොපමණ කලක් සැගවී සිටින්නට බලාපොරොත්තු වන්නේ දැයි විමසූ අවස්ථාවක ඔහු ප්‍රකාශ කර ඇත්තේ මහනුවර අධිකරණයට මේ නඩුව විමසීමට සුදුසු නඩුකාරයෙකු එවන තෙක් පමණක් සැගවී සිටින බවය.

මේ කථාව වත්මනයේ අධිකරණය ඇද වැටී තිබෙන කණගාටුදායක තත්ත්වයේ තරම මනා ලෙස පෙන්නුම් කරයි. මීට පෙරත් අධිකරණයේ නොයෙකුත් වැරදි හා අඩුපාඩුකම් තිබුණා විය හැකිය. එහෙත් කවරදාවත් අධිකරණය පාතාල ලෝකය සමග කල්ලි හැදි ක්‍රියා කරන තත්ත්වයක් මීට පෙර නොතිබුණ.