පොදු පෙරමුණ පරාජය වුවහොත් විය හැක්කේ කුමක්ද?

November 25, 2001
Publication:
Ivan considers cohabitation between a PA President and a UNP Parliament. He recalls how President Wijetunga cooperated with Chandrika Kumaratunga in 1994, quotes N.M. Perera's 1978 warnings that a hostile Parliament could paralyse a president through its control of finance, and argues that a PA defeat would amount to a popular verdict against her. He concludes that she must accept the leader of the winning party as Prime Minister or face public revolt.

විවිධ සීමිතකම් තිබියදිත් ශ්‍රී ලංකාව තවදුරටත් තමන්ට හුරු පුරුදු ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන මගේම ගමන් ගන්නේ ද, නැතිනම් අලුත් ඒකාධිපති මගකට මාරුවෙන්නේ ද යන්න මේ පාර්ලිමේන්තු මැතිවරණයේ අවසානයත් සමග තීන්දු වීමට නියමිතය.

78 ව්‍යවස්ථාව යටතේ ඇති කර තිබෙන දේශපාලන ක්‍රමය තුළ විධායක ජනාධිපති බලය එක් පක්ෂයකට ලැබී පාර්ලිමේන්තු බලය වෙනත් පක්ෂයකට ලැබිය හැකිය. එහෙත් ඉතාමත් කෙටි කාලයක් සඳහා එකම අවස්ථාවක හැර මීට පෙර මේ ආයතන දෙකේ බලය ප්‍රතිවිරුද්ධ පක්ෂ දෙකක් අතට ගොස් නැත.

94 පාර්ලිමේන්තු මැතිවරණය අගෝස්තු 16 වැනිදා පැවැත්වෙන විට ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ එම වසරේම නොවැම්බර් 9 වැනිදාය. පාර්ලිමේන්තු මැතිවරණයෙන් පොදු පෙරමුණ ජය ලැබූ පසු තමන්ට තවදුරටත් ධුරයේ රැඳී සිටිය හැක්කේ ඉතාමත් කෙටි දින ගණනක් පමණක් වේය යන අමිහිරි සත්‍ය තේරුම් ගැනීම නිසා හෝ අන් හේතුවක් නිසා හෝ එජාපයේ විජේතුංග ජනාධිපතිවරයා පොදු පෙරමුණේ චන්ද්‍රිකා කුමාරතුංග සමග සහයෝගයෙන් ක්‍රියා කරන තත්ත්වයකට යොමු වූයේය.

විජේතුංග ජනාධිපතිවරයාට ධුරයේ රැඳී සිටීමට ඉතිරිවී තිබූ කාලය කෙටි වුවත්, අවශ්‍ය නම්, අගමැතිකමට තමන් නොකැඳවා තම මව කැඳවීමේ හැකියාවක් ඇති බවත්, එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් අවුල් සහගත තත්ත්වයක් ඇතිවිය හැකි බව චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය දැන සිටියාය. ඒ වනවිටත් මව හා දුව අතර තිබුණු බල අරගලය අවසන් වී තිබුණේ නැත. අගමැතිකමට මව කැඳවනු ලැබුවහොත් ඇය එය භාරගනු ඇතැයි දුවගේ කල්පනාව වී තිබුණ. ඒ නිසා එවැනි තත්ත්වයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා ඇය ජනාධිපති විජේතුංග පමණක් නොව, විශ්‍රාම සුවයෙන් කල් ගෙවූ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ද හමුවූවාය. විජේතුංග ජනාධිපතිවරයා අවුලක් ඇතිවීමට ඉඩක් නොලැබෙන ලෙස අගමැතිකම දිමට දුව කැඳවූවා පමණක් නොව, ඇගේ උපදෙස් අකුරටම පිළිපදිමින් ඇය ඉල්ලා සිටි ඇමති මණ්ඩලය ද නම් කළේය. ඇමති මණ්ඩලය තමන්ට අභිමත ලෙස වෙනස් කිරීමට හෝ පොදු පෙරමුණු ආණ්ඩුවට හිසරදයක් වන ආකාරයට තමන් වෙත ද තනතුරු තබාගන්නා පිළිවෙතක් විජේතුංග ජනාධිපතිවරයා අනුගමනය කළේ නැත.

ඒ නිසා බලයට පත්වී සිටි පොදු පෙරමුණේ වෛරයට හෝ ද්වේෂයට හේතු නොවන ලෙස ජනාධිපතිවරණයෙන් පසුව සමාදානයෙන් විශ්‍රාම යාමේ හැකියාව විජේතුංග ජනාධිපතිවරයාට ලැබුණේය.

එහෙත් කාල නියමයන් මීට වෙනස් වී පොදු පෙරමුණට පාර්ලිමේන්තු බලය ලැබී ඊළග ජනාධිපතිවරණය සඳහා තවත් වසර දෙකක පමණ කාලයක් තිබුණේ වී නම්, මේ ආයතන දෙකේ අන්‍යොන්‍ය ක්‍රියාකාරිත්වය සමහරවිට මීට වෙනස් මුහුණුවරක් ගන්නට ඉඩ තිබුණ. විජේතුංග ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ බලයට එන පොදු පෙරමුණ සමග සහයෝගයෙන් ක්‍රියා කිරීමට කැමති වුවත්, මැතිවරණ ජයග්‍රහණයකින් පසුත් තමන්ට ඉහළින් ප්‍රතිවිරුද්ධ පක්ෂයක ජනාධිපතිවරයකු සිටීම පොදු පෙරමුණට හිසරදයක් වී මේ ආයතන දෙක සහයෝගයෙන් ක්‍රියා කරනවා වෙනුවට ගැටුමකට යන තත්ත්වයක් ඇතිවන්නට ඉඩ තිබුණේය.

දැන් එජාපය පාර්ලිමේන්තුවේ බලය ලබන්නට යන්නේ පොදු පෙරමුණේ නායිකාව ජනාධිපති ධුරයේ සිටියදිය. ඇගේ හය අවුරුදු නිල කාලයෙන් අවසන් වී ඇත්තේ ද වසර දෙකක් තරම් කාලයක් පමණය.

ප්‍රතිපක්ෂ පාර්ලිමේන්තු ආණ්ඩුවක් සමග සහයෝගයෙන් ක්‍රියාකළ හැකි තත්ත්වයක ජනාධිපතිනිය නොසිටින්නේය. විශ්වාසභංග යෝජනාවෙන් තම පක්ෂයට අයත් පාර්ලිමේන්තු ආණ්ඩුව පරාජය වන බව පෙනුණ විට විශ්වාසභංගයකට ඉඩ නොදි මැතිවරණයක් සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීයේ ද ඒ නිසාය. එජාප පාර්ලිමේන්තු ආණ්ඩුවක් සමග වැඩ කළ නොහැකි බව දෑන් ඇය පුන පුනා කියන්නේ ද ඒ නිසාය.

මෙවැනි තත්ත්වයක් යටතේ විධායක ජනාධිපති හා පාර්ලිමේන්තුව අතර ගැටුමක් ඇතිවීම නොවැළැක්විය හැකිය. 78 ව්‍යවස්ථාව යටතේ එක් පක්ෂයකට ජනාධිපති බලයත්, තවත් පක්ෂයකට පාර්ලිමේන්තු බලයත් ලැබී ඒ දෙක අතර ගැටුමක් ඇතිවිය හැකි බවට 78 ව්‍යවස්ථාවේ තීන්ත වේලෙන්නටත් ප්‍රථම එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන විග්‍රහයක යෙදෙමින් විචක්ෂණ ආණ්ඩුක්‍රම විශාරදයකු වන ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා ප්‍රකාශ කළේය. දැන් එය අප ඇස් ඉදිරිපිට සනාථ වෙමින් පවතී.

මෙම අනතුර කල්තියා තේරුම් ගනිමින් ජනාධිපති බලය එක් පක්ෂයකටත් පාර්ලිමේන්තු බලය තවත් පක්ෂයටත් යන අවස්ථාවකදි පවා මෙම ආයතන දෙකට සහයෝගයෙන් ක්‍රියාකළ හැකි පරිසරයක් ඇති කිරීමට හේතුවන විධි විධාන ඇතුළත් ව්‍යවස්ථා සංශෝධනයක් ඇති කරගැනීමේ අවශ්‍යතාව දෑන් කලකට පෙර ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන සන්ධානය සියලු දේශපාලන පක්ෂවල අවධානයට යොමු කර සිටිය ද අවාසනාවකට මෙන් ඊට නිසි අවධානයක් ලැබුණේ නැත. ඒ නිසා දැන් ගැටුමක් ඇතිවීම නොවැළැක්විය හැකිය.

එහෙත් ඇතිවන්නට යන මේ ගැටුමේදි වැඩි අවාසි ඇත්තේ ජනාධිපතිනියටය. ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහතා දරන ලද මතය ද එය විය.

ඒ ගැන ඇන්.ඇම්. කරන විග්‍රහය මෙසේය.

“තමන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට එරෙහිව නැගී සිටින වැඩි බලයක් සහිත විරුද්ධවාදි පාර්ලිමේන්තුවක් සමග ඔහු ක්‍රියා කරන්නේ කෙසේද? ඒ තත්ත්වය නිසා මුදල් නොමැතිවීමෙන් විධායකය අක්‍රියාත්මක වෙයි. ජනතාව තවදුරටත් නියෝජනය නොකරන ජනාධිපතිවරයා ඉවත් නොවූවහොත්, ඒ හේතුවෙන් සම්පූර්ණ රාජ්‍ය යන්ත්‍රයම ක්‍රියාවිරහිත වීමටත්, ව්‍යවස්ථාව හා පාර්ලිමේන්තුව පවා ජන පිළිකුලට පත්වීමටත් ඉඩ තිබේ.

(24 වැනි පිටුව)

ඇන්.ඇම්.ගේ එම නිබන්ධනයේ එන තවත් උපුටා ගැනීම් දෙකක් මෙසේය.

“මෙම ද්විත්ව කාරණය හුදෙක් න්‍යායාත්මක අක්‍රමිකතාවක් පමණක් නොවන්නේය. එය නිරන්තරයෙන්ම පවතින්නාවූ, අවසානයේදි ව්‍යවස්ථාව පවා විනාශ වී යන ගැටුමක් ද වන්නේය.”

(22 වැනි පිටුව)

“වැය කිරීමට අවශ්‍ය මුදල් අනුමත කිරීම හා අය බදු අයකර ගැනීම ද පාර්ලිමේන්තුව සතු වගකීමක්. ජනාධිපතිවරයාට අහිතකර වූ පාර්ලිමේන්තුවකින් පරිපාලනයට අවශ්‍ය මුදල් අනුමත නොකළහොත් ජනාධිපතිවරයා ක්‍රියාවිරහිත වන්නේය.”

(60 වැනි පිටුව)

“මෙම ආයතන දෙක අතර ඇතිවන ගැටුමක් අවසන් විය හැකි ආකාර ගණනාවක් පවතී.

මහජනතාව විසින් තමන් ජනාධිපති ධුරයට පත් කළේ වසර හයක කාලයක් සඳහා මිස, වසර දෙකක කාලයක් සඳහා නොවන බවට ජනාධිපතිනිය නගන තර්කයක් ද පවතී.

මහජනතාවගේ පරමාධිපත්‍යය පිළිබඳ බල චක්‍රය ක්‍රියාත්මක වන ආකාරය ජනාධිපතිනිය සිතන ආකාරයට වෙනස්ය. මැතිවරණ මහජනතාව සිය පරමාධිපත්‍යය බලය අභ්‍යාස කෙරෙන ආකාරය ලෙස සැලකිය හැකිය. එහිදි එක් අවස්ථාවකදි මැතිවරණයක් මගින් කෙරෙන මහජන අභිප්‍රාය ප්‍රකාශ කිරීමත්, ඊට පසු අවස්ථාවකදි මැතිවරණයක් මගින් කෙරෙන වෙනස් අභිප්‍රාය පළකිරීමකින් මුල් අභිප්‍රාය පළ කිරීම අවලංගු දෙයක් බවට පත්වන්නේය.

99 ජනාධිපතිවරණයෙන් ජනාධිපතිනිය ජයගත්තත්, මෙම පාර්ලිමේන්තු මැතිවරණයෙන් මහජනතාව පොදු පෙරමුණු ආණ්ඩුව පරාජය කළහොත් පොදු පෙරමුණු ආණ්ඩුවේ නායිකාව හා එම ආණ්ඩුවේ ප්‍රතිපත්තිවල මූලිකයා වශයෙන් එය ජනාධිපතිනියට එරෙහිව පළවූ මහජන මතයක් ලෙස සැලකිය හැකිය. එය 99 ඇය ලැබූ ජයග්‍රහණය ද නිශේධ කරයි. එවැනි තත්ත්වයක් යටතේ සාමාන්‍යයෙන් සිදුවිය යුත්තේ වහාම ජනාධිපතිවරණයකට යාමය. එහෙත් 78 ව්‍යවස්ථාව යටතේ ඒ සඳහා ප්‍රතිපාදනයක් නැත.

එයින් පෙන්නුම් කෙරෙන්නේ 78 ව්‍යවස්ථාවේ නිර්මාතෘවරුන් ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා පෙන්වා දි ඇති තත්ත්වය එනම් ජනාධිපති බලය එක් පක්ෂයකට තිබෙන අවස්ථාවක පාර්ලිමේන්තු බලය තවත් පක්ෂයකට යන තත්ත්වයක් ඉදිරියේ ඇතිවිය හැකි ගැටලු සලකා බැලීමක් සිදුවී නැති බවය.

මේ තත්ත්වය යටතේ ජනාධිපතිනියට සිය ධුරයෙන් ඉවත් විය හැකිය. එසේ වුවහොත් ජනාධිපති වරණයකින් තොරවම ජනාධිපති ධුරයට පත්වීමේ හැකියාව එජාප නායකයාට ලැබෙන්නේය.

ජනාධිපතිනිය සිය ධුරයෙන් ඉවත් නොවී, විජේතුංග ජනාධිපතිවරයා මෙන් සහයෝගයෙන් ක්‍රියා කරන නාමික ජනාධිපතිවරයෙකු බවට පත් නොවී පාර්ලිමේන්තු බලය ලබන පක්ෂයට එරෙහිව බලය පාවිච්චි කරන පිළිවෙතකට යොමු වුවහොත් එය සිය කැමැත්ත භාරගැනීම ප්‍රතික්ෂේප කිරීමක් ලෙස සලකා මහජනයා ඇයට එරෙහිව නැගී සිටින තත්ත්වයක් ඇතිවිය හැකිය.

පැහැදිලිවම ප්‍රකාශිත මහජන කැමැත්තක් තුවක්කු දහස් ගණනකට වඩා බලවත්ය. ප්‍රකාශිත මහජන කැමැත්ත පොලිසිය, යුද්ධ හමුදාව, රාජ්‍ය නිලධාරින් කෙරෙහි පමණක් නොව, සමාජය හා ලෝකය කෙරෙහි ද බලපායි. ඊට පයින් ගසන කෙනෙකු සැලකෙන්නේ මහජන ද්‍රෝහියෙකු ලෙසය.

එජා පෙරමුණ ජය ලැබුවත් එජාප නායකයා වෙනුවට අගමැතිකමට තමන් කැමති කෙනෙකු කැඳවීමේ හැකියාවක් ඇති බවට ජනාධිපතිනිය කරන කතාවල ද සත්‍යක් නොපවතී.

ඒ ගැන ඇන්.ඇම්. පෙරේරා ප්‍රකාශිත මතය මෙසේය.

“ව්‍යවස්ථා නියමය අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ වැඩි කැමත්ත ලැබිය හැකි යැයි සැලකිය හැකි කෙනෙකු අගමැති ලෙස පත් කළ යුතු වෙයි.”

(52 වැනි පිටුව)

මෙවැනි තත්ත්වයක් ඉදිරියේ නැවුම් පාර්ලිමේන්තුවක් බලරහිත කිරීමට විධායක ජනාධිපතිවරයාට බලයක් නැතත්, අවශ්‍ය තරම් බලයක් ඇතොත්, විධායක ජනාධිපති බලරහිත කිරිමේ බලය පාර්ලිමේන්තුව සතුය. මුදල් පාලනබලය සේ ම ව්‍යවස්ථා සම්පාදන බලය ඇත්තේ ද පාර්ලිමේන්තුවටය.

බලය භුක්ති විඳීමෙන් වර්ධනය වන රසය හා තෘෂ්ණාව අත්හැරිම පහසු නැතත්, මහජනයා ප්‍රතික්ෂේප කරන අවස්ථාවකදි බලය අත්හැර යාමට අවශ්‍ය හික්මීමක් නැති දේශපාලන නායකයන්ගේ දේශපාලනය නින්දාසහගත තැනකින් කෙළවර වීම ද නොවැළැක්විය හැකිය.