ව්‍යවස්ථාව විහිළුවක් බවට පත් කිරීම

November 11, 2001
Publication:
The editorial says that the 17th Amendment, passed with cross-party support to secure free and fair elections, has been turned into a farce. It holds the President and the PA government responsible for violating it, the Elections Commissioner for standing by, and the courts for encouraging the violators, and warns that the result will be anarchy without the rule of law.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සහතික කිරිම සඳහා විශාල බලාපොරොත්තු ඇතිව සම්මත කරගන්නා ලද, මැතිවරණ කොමසාරිස්වරයාට පුළුල් බලතල ලබාදෙන 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හාස්‍යජනක විගඩමක් බවට හරවාගෙන තිබෙන බව පැහැදිලි ය. රටේ ප්‍රමුඛ නීතිය එවැනි තත්ත්වයකට පත් කිරීම සඳහා ක්‍රියා කිරීම ගැන ජනාධිපතිනිය ඇතුළු පොදු පෙරමුණු ආණ්ඩුව ද, එම සංශෝධනයේ එන විධිවිධාන බලාත්මක කිරිමෙන් වැළකී සිටීම ගැන මැතිවරණ කොමසාරිස්වරයා සේ ම අධිකරණය ද වගකිවයුතු ය.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සහතික කිරීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයාට පුළුල් බලතල ලබාදෙන මැතිවරණ කොමිසමක් ද ඇතුළත් 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩු පක්ෂෂය ඇතුළු විරුද්ධ පක්ෂෂවල ද සහාය ඇතිව පොදු අනුමැතියකින් යුතුව සම්මත කරගන්නා ලද්දකි. එම මූලික නීතියේ තීන්ත වේලෙන්නටත් පළමුව ආණ්ඩුව විසින් රටේ මූලික නීතිය අමු අමුවේ උල්ලංඝණය කරමින් සිටී. මැතිවරණ කොමසාරිස්වරයා ද එම නීති උල්ලංඝණය කිරීම ඉදිරියේ නිහඬව බලා සිටින ප්‍රතිපත්තියක් මිස නීති උල්ලංඝණය කරනවුන්ට එරෙහිව නීතිය බලාත්මක කිරීම සඳහා අධිෂ්ඨාන සහගත ආකාරයකින් ක්‍රියාකරන බවක් පෙනෙන්නට නැත. ඒ සියලු නීති විරෝධී ක්‍රියා ඉදිරියේ අධිකරණය අනුගමනය කරමින් තිබෙන්නේ ද පනින රිලවුන්ට ඉනිමං බඳින ප්‍රතිපත්තියකි.

මේ රටේ පරමාධිපත්‍ය බලය ඇත්තේ ජනතාවට ය. ජනතාව එම පරමාධිපත්‍ය බලය අභ්‍යාස කරන්නේ මැතිවරණ කාලවල දි ය. එහි දි ජනතාවගේ අභිලාෂයන් පිරිසිදු අර්ථයෙන් ප්‍රකාශ විය හැක්කේ මහජන නියෝජිතයන් තෝරාපත් කෙරෙන මැතිවරණ නිදහස් හා සාධාරණ තත්ත්වයක පවතී නම් පමණ ය. නිදහස් හා සාධාරණ මැතිවරණයක් සහතික කිරීමට අවශ්‍ය කරන පුළුල් බලතල මැතිරවණ කොමසාරිස්ට ලබාදෙන ව්‍යවස්ථා සංශෝධනයකට රටට යන්නට සිදුවූයේ ද මැතිවරණ ක්‍රමය ඇද වැටී තිබුණු අන්ත දූෂිත ස්වභාවය සලකා ඊට පිළියමක් වශයෙනි. එහෙත් එවැනි දැවැන්ත නීතියක් ඇතිකර ගැනීමෙන් පසුත් පාලක පක්ෂෂය නොබියව නීති උල්ලංඝණය කරන ප්‍රතිපත්තියක් අනුගමනය කරයි නම් හා මැතිවරණ කොමසාරිස්වරයා තමන්ට ලැබී තිබෙන බලය ඒ තත්ත්වය මැඬලීම සඳහා යොදා නොගනී නම් හා ඇති වී තිබෙන එම විනාශකාරි තත්ත්වයට සහන සොයා අධිකරණයට ඉදිරිපත් වන ඉල්ලීම් නොසලකා ක්‍රියා කරන පිළිවෙතක් අධිකරණය අනුගමනය කරයි නම් එහි අවසාන ප්‍රතිඵලය වනවා ඇත්තේ නීතියේ පාලනයක් නැති අරාජික තත්ත්වයකට රට පත්වීම ය. එවැනි තත්ත්වයක් රටට කිසිසේත් ම යහපත් විය නොහැකි ය.