කිරී පැණි තරමට ම සමීපව සිටි දෙදෙනකු ලෙස සැලකිය හැකි එස්.බී. දිසානායක හා ජනාධිපතිනිය අතර ඇතිවී තිබෙන විවාදයට ඇතුළත්, එකිනෙකාට එරෙහිව එල්ල කරගනිමින් තිබෙන චෝදනා ඉතාමත් බරපතලය. දෙදෙනාම මේ අරගලයේදි එකිනෙකාට එරෙහිව පාවිච්චි කිරීමට තමන් ළග ඇති උණ්ඩ එකවර පාවිච්චි නොකොට එකවිට එක් උණ්ඩයක් හෝ දෙකක් පාවිච්චි කරන පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බව ද දැකිය හැකිය.
ජනාධිපතිනිය පසුගිය 4 වැනිදා තරුණ සම්මේලනය අමතා කරන කතාවේදි එස්.බී. දිසානායකට එරෙහිව අලුත් ආකාරයේ උණ්ඩයක් පාවිච්චි කළාය. එස්.බී. තමා හමුවී ආණ්ඩුව පවත්වාගෙන යාමට නොහැකි දුර්වල තැනකට ඇද වැටී තිබෙන බව ප්රකාශ කරමින්, ඒකාධිපති වන ලෙස තමාගෙන් ඉල්ලා සිටි බවත්, ඒ සඳහා අවශ්ය නම් ආණ්ඩුව කෙරෙහි විවේචනාත්මක ආකල්පයකින් ක්රියා කරන පුවත්පත් කතුවරයෙකු හෝ දෙන්නෙකු මරා දැමීමට තමා සූදානම් බව ප්රකාශ කළ බවත් කියා සිටියාය.
එහිදි ආඥාදායක පාලකයකු වීම තමා ප්රතික්ෂේප කරන ලද බව ජනාධිපතිනිය ප්රකාශ කර ඇතත්, පුවත්පත් කතුවරයෙකු හෝ දෙදෙනකු මරා දැමීමේ අදහස පිළිබඳව කුමන ප්රතිචාරයක් දැක්වුවා ද යන්න හා මරා දැමීමට අදහස් කරගෙන සිටි පුවත්පත් කතුවරුන් කවුරුන් ද යන්න ප්රකාශ කළේ නැත.
මෙය සාමාන්ය පුද්ගලයෙකු විසින් කරන ලද ප්රකාශයක් නොව, රටේ ලොකුම හා බලවත්ම තනතුර ලෙස සැලකිය හැකි ජනාධිපති ධුරය දරන තැනැත්තිය විසින් කරන ලද ප්රකාශයකි. ප්රජාතන්ත්රවාදි දේශපාලන ක්රමයක් තිබෙන රටක කැබිනට් ඇමතිවරයෙකු රටේ ප්රධාන විධායකයා වෙත ගොස් ආණ්ඩුවේ පැවැත්ම සඳහා පුවත්පත් කතුවරුන් කිහිපදෙනෙකු මරා දැමීමේ අවශ්යතාව ගැන සාකච්ඡා කෙරුණු අවස්ථාවක් මීට පෙර වාර්තා වී නැත. මෙය මේ මාදිලියේ සාකච්ඡා පැවති පළමු අවස්ථාව ද, නැතිනම් ඊට පෙර ද එවැනි සාකච්ඡා පවත්වා තිබේ ද යන්න ද පැහැදිලි නැත.
ජනාධිපතිනිය කරන චෝදනාව ප්රතික්ෂේප කරමින් එස්.බී. කියන්නේ ජනමාධ්යවේදින්ට ගස්සවන හා ඔවුන් මරා දමන දේවල් ගැන ජනාධිපතිනිය කතා කළේ බැද්දගානේ සංජීව සමග බවය. ජනාධිපති ආරක්ෂක අංශයේ කැපී පෙනෙන චරිතයක් වූ බැද්දගානේ සංජීව ඝාතනය කෙරෙන්නේ ද මේ දෙදෙනා අතර මෙම කර්කශ විවාදය ආරම්භ වී තිබූ අවස්ථාවකය. රෝහණ කුමාර ඝාතනය ගැන චෝදනා එල්ල වී තිබුණු ප්රධාන පුද්ගලයා වන්නේ ද බැද්දගානේ සංජීවය.
රෝහණ කුමාර ඝාතනය ගැන කෙරුණු පොලිස් පරික්ෂණයේදි එම ඝාතනය පිටුපස සිටින ප්රධාන පුද්ගලයා ලෙස සොයා ගැනුණේ ද බැද්දගානේ සංජීවය. ඉහළින් ලැබුණු නියෝගයක් මත එම පොලිස් පරික්ෂණය අතරමග නතර කරන ලද බව ද ප්රකටය. අවසානයේදි රෝහණ කුමාරගේ බිරිඳට ද ආරක්ෂාව සඳහා රටින් පලායාමට සිදුවිය. “සන්ඩේ ලීඩර්” පුවත්පතේ කර්තෘ ලසන්ත වික්රමතුංගගේ නිවසට එල්ල කෙරුණු වෙඩි තැබීමේ සිද්ධියට ද චෝදනා එල්ල වූයේ බැද්දගානේ සංජීවටය.
කවර හේතුවක් නිසා හෝ බැද්දගානේ සංජීවට කුමාර ජීවිතයක් ගත කිරීමට අවශ්ය අනුග්රහය සේ ම, විශේෂ රැකවරණයක් ද ලබාදි තිබුණි. දියවන්නා ඔය ඉදිරියේ ඔහු ඉදිකරමින් සිටි තුන්මහල් නිවස පාර්ලිමේන්තුවේ දෙවැනි තට්ටුවේ සිට නැරඹිය හැකිය. එය ද මාළිගා ගණයේ නිවසක් ලෙස සැලකිය හැකිය. ඔහුට ද පහත් බිම් සංවර්ධන මණ්ඩලය විසින් නාවල පිච්චමල් පාරෙන් අක්කර 05ක ඉඩමක් ලබා දි තිබුණි. එම ප්රදේශයේ ඉඩම් පර්චසයක් රුපියල් ලක්ෂ 02ක් ලෙස සැලකුවත් ඉඩමේ වටිනාකම රුපියල් මිලියන 170කි. ඔහු ජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කළ පොලිස් සොක්කකු වුවත්, කැබිනට් ඇමතිවරුන් පරිහරණය කරන තරම් සුපිරි ගණයේ ලා සැලකිය හැකි වාහන ගණනාවක් පරිහරණය කළේය. ඔහුගේ ආදරවන්තිය වූයේ ද ඝාතනයට ලක්වූ රග්බි පුහුණුකරු ජොයෙල්ගේ ආදරවන්තිය වූ වැනේසාය. කැසිනෝ ජීවිතයට ඇබ්බැහි වූ ඇතැම් අය ප්රකාශ කරන ආකාරයට තදින්ම කැසිනෝවලට ඇබ්බැහි වී සිටි වැනේසාට එක් රාත්රියක් සඳහා අවශ්ය අවම වියදම රුපියල් ලක්ෂයකි. සංජීව ඝාතනයට ලක්වන අවස්ථාවේදි ඔහු යමින් සිටියේ ද වැනේසා වෙතය. වාහනයේ තිබූ රුපියල් ලක්ෂයක මුදල ඇය වෙත ගෙනයමින් සිටි ඇගේ දවසේ වියදම විය හැකිය.
ආණ්ඩුවේ නායකයන්ගේ වෛරයට හේතුවූ පත්තර කතුවරුන් දෙදෙනාගෙන් කෙනෙකු වූයේ “ලීඩර්” කර්තෘ ලසන්ත වික්රමතුංගය. අනෙකා මා ය. ඇමති මංගල සමරවීර කියන පත්තර මාෆියාවේ ප්රධානීන් දෙදෙනා වූයේ ද අප දෙදෙනාය. පසුගිය ජනාධිපතිවරණයේදි ජනාධිපතිනිය ඝාතනය කිරිමේ අරමුණින් කොටි සංවිධානය විසින් බෝම්බ ප්රහාරයක් දියත් කෙරුණු අවස්ථාවේදි එය දකුණේ පිරිසක් ද සම්බන්ධ කුමන්ත්රණයක් ලෙස ආණ්ඩුවේ ජනමාධ්ය විග්රහ කරන විට එම කුමන්ත්රණයේ ප්රධාන කොටස්කරුවන් දෙදෙනෙකු ලෙස අප දෙදෙනාගේ නම් ද ඊට ඈඳ ගෙන තිබුණි. බෝම්බ ප්රහාරයෙන් අනතුරට ලක්වීමෙන් පසු ජනාධිපතිනිය රූපවාහිනිය සමග කරන ලද දිර්ඝ සම්මුඛ සාකච්ඡාවේ දි ද අපේ නම් සඳහන් කරමින් අපට චෝදනා කළාය. ඉන්පසු එළඹි කාලයේ ජනාධිපති ආරක්ෂක අංශය අප පසුපස ලුහුබැන්දේය. ඝාතන ප්රයත්න ගණනාවක් ද ක්රියාත්මක විය. මා ගමන් ගත් වෑන් රථයකට ඇසිඩ් වැනි ද්රව්යයකින් පහර දුන්නේය. “රාවය” කාර්යාලයට දුම් බෝම්බ ප්රහාරයක් එල්ල විය.
ජනාධිපතිනියගේ ප්රකාශයේ නම් සඳහන් නොවෙතත්, ආණ්ඩුවේ නායකයන්ගේ වෛරයට හේතුවී සිටි ඝාතනය කිරීමට අවශ්ය වූ කතුවරුන් දෙදෙනා අප දෙදෙනා බවට සැකයක් තිබිය නොහැකිය. ඒ සුවඳ අපට ද දැනී තිබුණේය.
රටේ මැතිවරණයක් ප්රකාශ කර තිබුණු අවස්ථාවක ජාත්යන්තර වශයෙන් ජනාධිපතිනියගේ ප්රතිරූපය ශක්තිමත් කිරිමේ අරමුණින් රුපියල් ලක්ෂ 1200ක වියදමින් විදේශ සමාගමක් විසින් දියත් කෙරුණු වැඩසටහනක කොටසක් ලෙස සැලකිය හැකි බී.බී.සී. හාඩ් ටෝක් වැඩසටහනේ දි ටිම් සෙබස්තියන් ජනාධිපතිනිය ප්රශ්න කිරිමේ පදනම වශයෙන් ප්රයෝජනයට ගත්තේ ඇමරිකන් රාජ්ය දෙපාර්තමේන්තුව ශ්රී ලංකාවේ මානව හිමිකම් අළලා 2001 වසර සඳහා ප්රකාශ කර තිබූ වාර්තාවයි. එවැනි වාර්තාවක් ගැන තමා අසා නැති බව ජනාධිපතිනිය ප්රකාශ කිරීම නිසා එහි පිටපතක් ජනාධිපතිනියට පිළිගන්වන්නට ද ටිම් සෙබස්තියන්ට සිදුවූයේය. පුදුමයට මෙන් රෝහණ කුමාර ඝාතනයේ සිට ඊනියා පත්තර මාෆියාවේ නායකයන් ලෙස සැලකෙන පත්තර කතුවරුන් දෙදෙනාට එරෙහිව එල්ල වී තිබෙන මරණ තර්ජන පිළිබඳ විස්තර ද එම වාර්තාවට ඇතුළත්ව තිබුණ. ඒ බව ජනාධිපතිනිය නොදැන සිටියා විය නොහැකිය. අප්රසන්න බව පළ කරන මුහුණක් මවා ගනිමින් තමා එවැනි වාර්තාවක් ගැන දන්නේ නැති බව ජනාධිපතිනිය කියන්නට ඇත්තේ ද ඒ නිසා විය හැකිය. පුවත්පත් කතුවරුන් දෙදෙනකු මරා දැමීම ගැන රජ ගෙදර කෙරුණ සුහද කතාබහක් ගැන සංවාදයක් ආරම්භවීමට නියමිතව තිබුණු මොහොතක ඒ කරුණ ඇතුළත් වාර්තාවක් මත පිහිටා ටිම් සෙබස්තියන් අතින් ජනාධිපතිනිය දැඩි ප්රශ්න කිරීමකට ලක්වීම ද දෛවයේ සරදමක් ලෙස සැලකිය හැකිය.