ඇනීටා ප්රතාප්ගේ “Island of Blood” නමැති කෘතිය ශ්රී ලංකාවේ වර්ගාන්තර අර්බුද සාහිත්යයට අලුතෙන්ම එකතු වී ඇති කෘතිය ලෙස සැලකිය හැකිය. ඇනීටා ඉන්දියානු ජනමාධ්යවේදිනියක් ලෙස ශ්රී ලංකාවේ අර්බුයට සම්බන්ධ වන්නේ ඇගේ ජනමාධ්ය ජීවිතයේ සී.එන්.එන්. යුගයේ නොව, “ටයිම්” සගරාවට සේවය කළ යුගයේය.
ඇය එකල මේ අර්බුදයේ ප්රධාන දේශපාලන ඉත්තන් ලෙස සැලකිය හැකි ජේ. ඩික්සිත්, රංජන් විජේරත්න, ලලිත් ඇතුලත්මුදලි, වේලුපිල්ලේ ප්රභාකරන් වැනි අය ඇසුරු කළාය. ප්රභාකරන්ට වැඩිම සමීපතාවක් තිබුණු විදේශ ජනමාධ්යවේදිනිය ලෙස සැලකෙන්නේ ද ඇයයි. ඒ නිසාම ඇය විවිධ කටකතාවලට ලක්වූ අතර, ඇයට ප්රභාකරන් සමග ආදර සම්බන්ධයක් තිබුණේය කියන කතාවක් ද පැතිර පැවතුණි.
1995 මාර්තුවලදි මා යාපනයේ සංචාරයක යෙදුණු අවස්ථාවේදි ජනාධිපතිනිය ඇනීටා අත ප්රභාකරන් වෙත එවන ලද විශේෂ පණවුඩයක් පිළිබඳ කතාවක් මට ඇන්ටන් බාලසිංහම්ගෙන් අසන්නට ලැබුණු අතර, පෙරළා කොළඹට පැමිණි පසු ඒ කතාවේ ඇත්ත නැත්ත පිළිබඳව ජනාධිපතිනිය හමුවී කරුණු විමසීමක් කරන්නට මට සිදුවිය. ඇනීටාගේ කෘතිය පිළිබඳව කෙරෙමින් තිබෙන කතාබහ ඒ යටගිය සිද්ධියේ මතකය අලුත් කිරීමට හේතුවූ අතර, වර්ගාන්තර අර්බුදයේ අද පවත්නා සමහර විශේෂ ලක්ෂණ ගැන කරන විමර්ශනයක් ලෙස ඒ ගැන කතා කිරීමට මෙය සුදුසුම අවස්ථාව වේ යැයි සිතුවෙමි.
ශ්රී ලංකාව දිර්ඝ ශිෂ්ටාචාරයකට හිමිකම් කියන, රටක් වශයෙන් නගා සිටුවීමට අවශ්ය කරන බොහෝ සම්පත්වලින් ආඪ්ය රටකි. එහෙත් අද ශ්රී ලංකාව තරම් කාලකණ්ණි තත්ත්වයට ඇද වැටුණු රටක් තවත් නැති තරම්ය. බ්රිතාන්ය යටත් විජිත ක්රමය විසින් දිර්ඝ කාලයක් ඔවුන්ගේ කිරිටයට යටත් තත්ත්වයක අප රට තබාගෙන සිටියත්, නවීන ආර්ථික ක්රමයක් සේ ම, නවීන දේශපාලන ක්රමයක් ද අප රටට ලැබුණේ බ්රිතාන්යයන්ගෙනි. ඔවුන් විසින් නවීන අර්ථයෙන් වන ජාතික රාජ්යයක් ඇති කර දුන්නත් ඒ ජාතික රාජ්යයේ පැවැත්ම සඳහා අත්යවශ්ය සහජාතික සමාජයක් ඇතිකර ගැනීමෙහිලා අප අද දක්වාම අසමත් වී සිටී. ශ්රී ලංකාව ලේවලින් ම තෙත බරිත වූ රටක් බවට පත්ව ඇත්තේ ඒ නිසාය. ලී ක්වාන්යූ ලියා ඇති දේශපාලන විවරණ ගණනාවක අසාර්ථක රටකට ඔහු උදාහරණ ලෙස දක්වා ඇත්තේ ශ්රී ලංකාවය. ඔහු දක්වා ඇති පරිදි වාර්ගික ආවේගයන් නිවැරදි ලෙස කළමනාකරණය කිරීමට අසමත් වීම ශ්රී ලංකාවේ අසාර්ථකභාවයට බලපා තිබෙන මූලික හේතුවයි.
මා 71 කැරැල්ල වෙනුවෙන් මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටියදි විශ්ව විද්යාලවලට සිසුන් ඇතුළත් කිරිමේදි යොදා ගනු ලැබූ ප්රමිතිකරණ නීතිවලට එරෙහිව කලු කොඩි ව්යාපාරයක් පවත්වාගෙන ගිය දෙමළ තරුණයන් පස්දෙනෙකු ද අප සමග රඳවා සිටියේය. ඔවුන් අතර සිටි එක් අයෙකු වූයේ පොන්නදුරේ සත්යසීලන්ය. එකල විසිවිය නොඉක්මවූ කුලෑටි තරුණයෙකු වූ ඔහු කවදා හෝ ප්රභාකරන්ගේ ව්යාපාරය වැනි ප්රචණ්ඩ ව්යාපාරයක දෙවැනියා වනු ඇතැයි අපි එදා සිහිනෙකින්වත් නොසිතුවෙමු. ඔහු 83 ජූනිවලදි තිරිනිල්වේලිහිදි පහරදිමෙන් මරණයට පත්වන තෙක් ම ප්රභාකරන්ගේ සමීපතම සගයා වූවා පමණක් නොව, දෙමළ කොටි සංවිධානයේ ප්රභාකරන්ට පමණක් දෙවැනි වූ නායකයා ද වූයේය. අප සමග ඔවුන් අතර සිටි කැපී පෙනෙනම චරිතය වූයේ දෙමළ තරුණ පරපුර කවියෙන් අවධි කළ කවියකු ලෙස සැලකුණ කාසියානන්දන්ය. මුහුණ පුරා වැවුණු රැවුළකින් හා කෙසග සිරුරකින් යුතු ඔහු ඉතා තැන්පත් පැවැත්මක් ඇති යෝගියෙකු වැනි පෙනුමක් ඇති පුද්ගලයෙකු විය. ඔහු හැගීම්බර ස්වරූපයකින් කී පුංචි කතාවක් මාගේ සිංහල අධ්යාත්මය කම්පාවට පත් කිරීමට හේතුවූ බව කිවයුතු ය.
56ට පෙර දකුණේ සිංහල මිනිසුන්ට ද උතුරේ දෙමළ මිනිසුන්ට ද විදුලි පුවතක් පවා ලැබුණේ ඉංග්රීසියෙන් බවත්, ඉංග්රීසි නොදත් සිංහල මිනිසුන්ට හෝ දෙමළ මිනිසුන්ට ඒ විදුලි පුවතේ ඉංග්රීසියෙන් ලියා තිබෙන පණවුඩය කියවා ගැනීම සඳහා ඉංග්රීසි දන්නා මහත්තයකු වෙත යන්නට සිදුවූ බවත්, එම නින්දාසහගත තත්ත්වය වෙනස් කිරීම සඳහා ස්වභාෂාවන්ට මුල් තැන දෙන පිළිවෙතකට යන්නට සිංහල දෙමළ නායකයන් එකගත්වයක් ඇති කරගෙන සිටි බවත්, එහෙත් බණ්ඩාරනායක බලයට පත්වී ඊට පටහැනිව සිංහල භාෂාව පමණක් රාජ්ය භාෂාව කරන පිළිවෙතක් යටතේ සිංහල මිනිසුන්ට සිංහල භාෂාවෙන් විදුලි පණවුඩ ලැබෙන විට දෙමළ මිනිසුන්ට ද සිංහල භාෂාවෙන් ලියවුණ විදුලි පුවත් ලැබුණු බවත්, එහිදි ඊට ඇතුළත් පණිවුඩය දැනගැනීම සඳහා ඊළග වටයේදිත් සිංහල භාෂාව දත් මහත්තයකු සොයා යාමට සිංහල නොදත් දෙමළ මිනිසුන්ට සිදුවූ බවත් ප්රකාශ කළේය. සිංහල බසට අවමානය ගෙන දෙන දෙයක් දෙමළ අප මත පැටවූ පසු එය අවමානයක් නොවන්නේ කෙසේදැයි කාසියානන්දන් ප්රශ්න කළේය.
පහසුවෙන් විසඳ ගත හැකි සරල ප්රශ්න කුණුවෙන්නට ඉඩ හරින තත්ත්වයක් තුළ පහසුවෙන් විසඳ ගත නොහැකි සංකීර්ණ ප්රශ්න බවට හැරි, අවසානයේ ඒවා කෙළවරක් නැති තරම් ලේ වගුරුවන තත්ත්වයක් ඇති කිරීමට හේතුවී තිබෙන බව පැහැදිලිය.
වර්ගාන්තර අර්බුදය මේ මැතිවරණයේදි ද කේන්ද්රීය ප්රශ්නය බවට පත්වෙමින් පවතී. එජාප නායක රනිල් වික්රමසිංහට කොටි සංවිධානය සමග රහසිගත ගිවිසුමක් ඇති බවට පොදු පෙරමුණ චෝදනා කෙරෙමින් තිබෙන අතර, ඒ චෝදනාව ඒ ආකාරයෙන් ම එජාපය ද පොදු පෙරමුණේ නායිකා චන්ද්රිකා කුමාරතුංගට ද එල්ල කළේය. වත්මනයේ පොදු පෙරමුණ අලි කොටි හවුලක් ගැන කතා කරයි. චන්ද්රිකාගේ ඡායාරූපය ඇතුළත් පෝස්ටර්වල චන්ද්රිකාගේ නළලේ පොට්ටු තබන සංවිධානාත්මක ව්යාපාරයක් එදා රට තුළ ක්රියාත්මක විය. එහෙත් ඒ කිසිවකින් ඇගේ ජයග්රහණය නතර කළ හැකිවූයේ නැත.
රනිල් වික්රමසිංහ එජාප නායකත්වයට ඒමෙන් පසුව පටු දේශපාලන වාසි සලකා ජාතිභේදවාදි හැගීම් අවුස්සන සුළු තත්ත්වයකින් ක්රියා නොකිරීම, රනිල් වික්රමසිංහ කෙරෙන් ප්රකාශ වූ විශේෂ ලක්ෂණයක් ලෙස සැලකිය හැකි ය. එජාප පොදු පෙරමුණට වඩා කොටි සංවිධානයෙන් බැට කෑ පක්ෂයකි. ජේ.ආර්. ජයවර්ධන ඇරුණු විට ඒ පක්ෂයේ සියලු නායකයන් මැරුම් කෑවේ කොටි සංවිධානය අතිනි. කොටි සංවිධානය අතින් පොදු පෙරමුණු නායකයන් වශයෙන් මැරුම් කෑවේ එක් කැබිනට් ඇමතිවරයකු පමණය. පොදු පෙරමුණේ නායිකාව මරා දමන ප්රයත්නයක් ක්රියාත්මක වුවත්, එක් ඇහැක් පමණක් අහිමි කරගනිමින් සිය ජීවිතය බේරාගැනීමට ඇය සමත් විය.
ජනාධිපතිනිය කොටි සංවිධානය සමග සාකච්ඡාවට ගිය අවස්ථාවේදිවත්, ඉන්පසු කලාප සභා ක්රමයක් ඇතුළත් පැකේජයක් ඉදිරිපත් කළ අවස්ථාවේදිවත් රනිල් වික්රමසිංහ ඒ ක්රියාවන්ට ඉඩදි බලා සිටියා මිස ජාතිවාදි හැගීම් අවුස්සන සුළු ප්රතිපත්තියකට නොගියේය. එය ඔහු කෙරෙන් ප්රකාශිත යහපත් ප්රතිපත්තියක් ලෙස සැලකිය හැකිය.
94 මැතිවරණයේදි තමන්ට එරෙහිව එල්ලවෙමින් තිබූ ජාතිවාදි විවේචන නොසලකා පොදු පෙරමුණේ නායිකාව තමන් යුද්ධය අතහැර සාකච්ඡා මගින් සාමකාමී විසඳුමක් ඇති කරගන්නා බව ප්රකාශ කළාය. එය ද නිර්භීත ප්රවේශයකි. එය නිර්භීත ආරම්භක ප්රවේශයක් වුවත් එය තර්කානුකූල අවසානයක් කරා ගෙන යාමට අවශ්ය කරන ගැඹුරු දෑක්මක් හෝ අධිෂ්ඨානයක් ඇයට නොතිබුණේය. ඇතිවු සිද්ධීන් දෙස විවේචනාත්මකව ආපසු හැරි බලන විට පෙනී යනුයේ ඇගේ එම නිර්භීත ප්රවේශය තුළ පවා අවංකභාවයක් නොතිබුණු බවය. බලයට පත්වීම සඳහා විශේෂයෙන් ම ජනාධිපතිවරණය ජයගැනීම සඳහා ඇයට දෙමළ ඡන්ද අවශ්ය විය. ඒ අවශ්යතාව සපුරා ගැනීම සඳහා පමණක් ඇය සාමකාමී විසඳුමක් ගැන කතා කළාය.
මේ නිරික්ෂණය මා තුළ අද ඊයේ ඇතිවූවක් නොව, ඇය බලයට පත්වී බොහෝ කාලයක් යන්නට මත්තෙන්ම ඇතිවූවකි. මම ඒ බව ඇයට සමීප තෝරාගත් උගතුන් පිරිසකගේ සාකච්ඡාවකදි ද ප්රකාශ කළෙමි. වර්ගාන්තර ගැටලු ගැන උනන්දුවක් දක්වන අයට එකතු වී කතා කළ හැකි, වාද විවාද කළ හැකි හා පර්යේෂණ කළ හැකි ආයතනයක් ඇති කරන ලෙස මම පොදු පෙරමුණ බලයට පත්වූ මුල් අවස්ථාවේදි ජනාධිපතිනියගෙන් ඉල්ලා සිටියෙමි. ඇය මා කී අදහස පිළිගනිමින් මා අපේක්ෂා කළ පුළුල් අර්ථයකින් නොව, ඊට වඩා පටු අර්ථයකින් නිපූ නමින් වන ආයතනයක් ඇති කළේය. පොදු පෙරමුණට සම්බන්ධ ශාස්ත්රාලීය මට්ටමේ ප්රමුඛ උගතුන් පිරිසක් ඊට සම්බන්ධ වී සිටියේය.
ජනාධිපතිනිය කලාප සභා ක්රමයක් පිළිබඳ යෝජනාවලිය ගෙනා මුල් අවස්ථාවේදි ඒ වැඩපිළිවෙල රට ඉදිරියට ගෙන යා යුතු ආකාරය පිළිබඳව නිපූ ආයතනයට සම්බන්ධ උගතුන් කැඳවා කරන ලද සාකච්ඡාවකදි ජනවාර්ගික අර්බුදය පිළිබඳ ජනාධිපතිනියගේ ප්රවේශය අවංක එකක් නොවන බව ප්රකාශ කිරීමට මට සිදුවිය. එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ජාතිවාදියකු නොවීත් බලයට පත්වීමේ අරමුණ සපුරා ගැනීම සඳහා ජාතිවාදය ආයුධයක් කරගත් බවත්, චන්ද්රිකා කුමාරතුංග මහත්මිය ඊට වෙනස්ව බලයට පත්වීම සඳහා තමාගේ පියා විසින් ඇති කොට වර්ධනය වී තිබූ ජනවාර්ගික අර්බුදය ආයුධයක් කොටගත් බවත්, ලෙඩාගේ ජීවිතය බේරාගැනීම සඳහා ශෛල්යකර්මයක් අත්යවශ්ය වුවත්, ශෛල්ය වෛද්යවරයෙකු නොවන වෛද්යවරයෙකු එම සැත්කම කිරීමට බාර ගනියි නම්, එවැනි මෝඩ සැත්කමකට මට එකග විය නොහැකි බවත්, නොදන්නා සැත්කමක් කරන්නට ඉඩදි ලෙඩාගේ තත්ත්වය උග්ර කරනවාට වඩා සුදුසු ශෛල්ය වෛද්යවරයෙකු සොයා ගන්නා තෙක් බලා සිටින ප්රතිපත්තියක් වඩා යහපත් වනු ඇති බවත් මම ප්රකාශ කළෙමි. එම සාකච්ඡාවට මහාචාර්ය පී.වී. ජයසේකර, මහාචාර්ය කාලෝ පොන්සේකා, ආචාර්ය කුමාරි ජයවර්ධන, ආචාර්ය රංජිත් අමරසිංහ, ආචාර්ය ජේ. උයන්ගොඩ, ආචාර්ය ගාමිණී කීරවැල්ල, ආචාර්ය නවරත්න බණ්ඩා, සුමනසරි ලියනගේ ඇතුළු පිරිසක් සහභාගි විය.
සමහරවිට එහි සිටියවුන්ගේ කෝපයට හේතුවන්නට ඇති එම නිරික්ෂණයන්ට මා එළඹ සිටියේ වාර්ගික ආවේගයන් කළමනාකරණයේදි ජනාධිපතිනිය කෙරෙන් ප්රකාශවෙමින් පැවති අසාර්ථක ප්රතිපත්ති පිළිබඳව මා ලබමින් සිටි අත්දැකීම් නිසාය.
කොටි සංවිධානය සමග සාම සාකච්ඡාවලට යැවීමට තෝරා ගත් කණ්ඩායම තුළ එවැන්නකට සුදුසුකම් ඇති අය සිටියේ එක් අයෙකු පමණය. ඒ ලයනල් ප්රනාන්දුය. ඒ කණ්ඩායම සාකච්ඡාවලට ගියේ මනා සූදානමකින් තොරවය. සමහරවිට ඔවුන් කණ්ඩායමක් වශයෙන් එකට හමුවූයේ ද ගුවනින් යාපනයට යන ගමනේදිය. ගැටලුවක් මතුවන හැම අවස්ථාවකදිම ඔවුන්ගෙන් ලැබී තිබෙන පිළිතුර වී ඇත්තේ ජනාධිපතිනියගෙන් විමසා ඊට ලබන වර සාකච්ඡාවේදි පිළිතුරක් දෙන බවය. ඔවුන්ගේ හැසිරිම කොටි සංවිධානය තුළ හාස්යයට අතිරේකව කෝපයක් ද ඇති කිරීමට හේතුවී තිබුණ.
ජනවාර්ගික ප්රශ්නය වැනි ඉතාමත් සංකීර්ණ ප්රශ්නයකට විසඳුමක් සොයා යන ගමනේදි විසඳුමකට එකග නොවන බලවේගයන් ප්රකෝප නොකරන තැනක තබාගැනීම අත්යවශ්යය. එමෙත්ම ආණ්ඩුව බෞද්ධ භික්ෂූන් වහන්සේලා සමග කරන ගනුදෙනුවේදි ඔවුන්ට ඉවසීමෙන් කරුණු කියා දෙන ප්රතිපත්තියක් වෙනුවට ඔවුන් ප්රකෝප කරන තත්ත්වයකට පත්කිරීමත් විසඳුමක් සඳහා අවශ්ය සමාජ වාතාවරණය අවුල් කරගත්තේය.
අනෙක් අතට ජනවාර්ගික ප්රශ්නය වැනි සංකීර්ණ ප්රශ්නයකට විසඳුමක් ලබාදිම සඳහා ක්රියා කරන ප්රයත්නයකදි විරුද්ධ පක්ෂවලින් උපරිම ලෙස සහාය ලබාගන්නා ප්රතිපත්තියක් අත්යවශ්යය. සාම සාකච්ඡා ක්රියාවලියේදි විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා තමන් වෙත කැඳවා විටින් විට ඒ ගැන නිල වශයෙන් ඔහුට කරුණු දැනුම් දෙන ප්රතිපත්තියක් මගින් ඔහු තුළ විශ්වාසයක් ඇති කරගන ඔහුගේ සහාය මේ ක්රියාවලිය සඳහා ලබාගන්නා ලෙස මම ජනාධිපතිනියගෙන් ඉල්ලා සිටියෙමි. එහෙත් ඇය එවැනි ප්රතිපත්තියකට යොමු වූයේ නැත. එහෙත් විරුද්ධ පක්ෂය තමන්ට සහාය නොදෙන බවට විරුද්ධ පක්ෂයට චෝදනා කරන ප්රතිපත්තියක් ඇය දිගින් දිගට පවත්වාගෙන ගියාය.
විරුද්ධ පක්ෂ නායකයා මේ අර්බුදය ජයගන්නා පොදු වැඩපිළිවෙලකට සම්බන්ධ කරගැනීමේ හැකියාවක් ඇත්ද යන්න දෑනගැනීමට මට අවශ්ය වී මා රනිල් වික්රමසිංහ මහතා හමුවන්නට අදහස් කරගෙන සිටින බව ජනාධිපතිනියට ද දෑනුම් දි රනිල් වික්රමසිංහ මහතා හමුවුණෙමි. එදින පැවති කතාබහට මිලින්ද මොරගොඩ මහතා ද සහභාගි වූයේය.
මා එදින වස සහිත අතුරුපසක් නිදර්ශනය කොට ගනිමින් බලය ආශ්රයෙන් මතුවී තිබෙන මූලික ගැටලුවක් විස්තර කිරීමට උත්සාහ කළෙමි. සාමාන්ය මිනිසකුට සිය ජීවිතය පවත්වාගෙන යාමට ආහාර අවශ්ය වුවත්, හැම ප්රධාන ආහාර වේලකින් ම පසු රසවත් අතුරු පසක් අත්යවශ්ය වන්නේ නැත. එහෙත් සමහර ධනවතුන් සෑම ප්රධාන ආහාර වේලකට පසුව රසවත් අතුරු පසකට ඇබ්බැහිවී සිටිති. ඔවුන්ගේ සෑම ආහාර වේලක් ම අවසාන වශයෙන් වර්ණවත් කෙරෙන්නේ රසවත් අතුරු පසකිනි. කාලයාගේ ඇවෑමෙන් අතුරුපසට එකතු වන විෂ සහිත දෙයක් නිසා අතුරුපස කන හැම කෙනෙකුම මරණයට පත්වන්නේය. එහෙත් අතුරුපසේ රසට ඇබ්බැහි වූ අය එනිසා තමන් මැරෙන බව නොසලකාම අතුරුපස කන තත්ත්වයක් රටේ පවතී. මා අතුරුපස ලෙස සැලකුවේ බලයයි. බලයට එන හැම කෙනෙකුටම පාරේ මැරෙන්නට සිදුවන බව දැන දැනත් ඔවුන් බලයට ඇති ආශාව අත් නොහරින බවත්, ප්රඥාවන්ත දේ අතුරුපසට ඇති ලොල් බව අත්නොහැරිය හැකි නම්, ඒ තුළ ඇති මරණ බිය ඉවත් කරන ක්රමයක් සොයා ගැනීම බවත් මම කියා සිටියෙමි. එය උද්යෝගිමත් සාකච්ඡාවක් වූ අතර, තිබුණු අභියෝගය ජයගැනීම සඳහා පොදු ක්රියාමාර්ගයකට ඒමට රනිල් වික්රමසිංහ මහතා කෙරෙන් අකමැත්තක් ප්රකාශ නොවීම නිසා දෙවැනි දිනයකදි ද හමුවී වඩාත් නිශ්චිත ආකාරයකින් ප්රශ්න සාකච්ඡා කරන තත්ත්වයකට ගියෙමු.
අප එදින ප්රධාන කොට කතා කළේ දකුණු අප්රිකානු අත්දෑකීම් ආශ්රයෙන් අපේ මේ අර්බුදය විසඳ ගැනීමට අපට ලබාගත හැකි පාඩම් ගැනය. දකුණු අප්රිකාව පළමු වටයේදි විසඳුමක් සැලසුම් නොකළේය. ඒ වෙනුවට ගැටුමට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ට එකිනෙකා කෙරෙහි ගෞරවයෙන් ජීවත් විය හැකි නව දකුණු අප්රිකාවක් ඇති කිරීම සඳහා අවශ්ය නව ආණ්ඩුක්රම ව්යවස්ථාවක් සඳහා ඒ තුළ තිබිය යුතු මූලික මූලධර්ම හඳුනා ගනිමින් ඒ මූලධර්ම සඳහා පොදු එකගත්වයක් ඇති කරගත්තේය. ඉන්පසු සියලු පක්ෂ මැතිවරණයකට යමින් වෙන්ව තරග කොට සියලු පක්ෂ අතර සාධාරණව බලය බෙදි යන ආකාරයේ වසර 05ක කාලයක් සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇති කරගනිමින් පාර්ලිමේන්තුව ව්යවස්ථාදායක සභාවක් බවට හරවා ගනිමින් පොදු එකගතාවක් ඇති කරගත් මූලධර්මය මත නව ආණ්ඩුක්රම ව්යවස්ථාවක් ඇති කරගත්තේය.
පරස්පර විරෝධී අදහස් දරන සියලු දෙමළ දේශපාලන පක්ෂ (කොටි සංවිධානය ද ඇතුළුව) එවැනි ක්රියාමාර්ගයක් වෙත යොමුවීමේ හැකියාවක් තිබේද, ඒ සඳහා ආරම්භක වශයෙන් ප්රධාන පක්ෂ දෙක අතර එකගත්වයක් ඇති කරගත හැකි ද යන ප්රශ්නය එහිදි සාකච්ඡාවට ලක්විය.
තමන්ට එවැනි පොදු වැඩපිළිවෙලකට එකග විය හැකි බව ප්රකාශ කරමින් රනිල් වික්රමසිංහ මහතා ප්රකාශ කළේ ඒ සඳහා පළමුව පක්ෂ දෙකේ නායකයන් අතර විශ්වාසයකින් හා ගෞරවයකින් ක්රියා කළ හැකි පරිසරයක් ඇති කළ යුතු බවත්, ජනාධිපතිනිය එවැනි වැඩපිළිවෙලකට කැමති නම් විශ්වාසය තහවුරු කිරිමේ ක්රියාවලියක් වෙනුවෙන් සංකේතාත්මක වැදගත්කමක් ඇති ඉල්ලීමක් තමන්ට ඉදිරිපත් කළ හැකි බවත්, ඒ ඉල්ලීම සම්පූර්ණ කිරිමෙන් පසුව ජනාධිපතිනියට තමාගෙන් ද එවැනි ඉල්ලීමක් කළ හැකි බවත්, තමාද එය සම්පූර්ණ කිරිමෙන් පසුව තවදුරටත් විශ්වාසය තහවුරු කරගන්නා ක්රියාමාර්ගයක් ඔස්සේ පොදු වැඩපිළිවෙලක් පිළිබඳව සාකච්ඡා කරන තැනකට යා හැකි බවත් ප්රකාශ කළේය.
රනිල් වික්රමසිංහ මහතා ජනාධිපතිනිය වෙත ඉදිරිපත් කරන ලද ඉල්ලීම වූයේ ජනාධිපතිනිය විසින් වව්නියාවට යවා තිබූ සිය ආරක්ෂක ප්රධානියා (නිමල් ලෙව්කේ) නැවත තමාට ලබාදෙන ලෙසය. එය ඉතාමත් සරල හා පහසුවෙන් සම්පූර්ණ කළ හැකි ඉල්ලීමක් වූ නිසා මා ජනාධිපතිනිය හමුවී ඒ බව ඇයට කියා සිටියෙමි. ඇගෙන් ඊට ලැබුණු ප්රතිචාරය ඇදහිය නොහැකි තරම් වූ බව කිවයුතුය.
රනිල් වික්රමසිංහ මහතා ඉල්ලා සිටින පොලිස් නිලධාරියා විදේශ රටවලට යවා මනා පුහුණුවක් ලැබූ අයකු බවත්, එවැනි පුද්ගලයෙකු තමන් වෙත ගෙන්වා ගැනීමට රනිල්ට අවශ්ය වී ඇත්තේ කුමන්ත්රණයක් සඳහා විය හැකි බවත් ප්රකාශ කරමින් ඇය එම ඉල්ලීම සම්පූර්ණ කිරීම ප්රතික්ෂේප කළාය. ජනාධිපතිනියගෙන් එම ඉල්ලීමට ලැබුණු ප්රතිචාරය ඉතාමත් ළඳ බොළඳ විය.
රනිල් වික්රමසිංහ මහතාගේ මේ හමුවට පෙර 1995 මාර්තු වලදි යාපනයට ගොස් එහි පවතින තත්ත්වය සොයා බලන ලෙස ජනාධිපතිනිය මගෙන් ඉල්ලීමක් කර තිබුණ. ඊට පෙර ජනාධිපතිවරණය පැවති කාලයේදි ද ඇය එවැනිම ඉල්ලීමක් කර තිබුණු අතර, එහිදි යාපනයට යාමට දින යොදාගෙන තිබුණේ 1994 ඔක්තෝබර් 25 වැනිදාටය. එහෙත් ඊට පෙර දින රාත්රියේ එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක ගාමිණී දිසානායක ඇතුළු පිරිසක් කොටි සංවිධානය විසින් ඝාතනය කිරීම නිසා ඒ ගමන අත්හිටුවීමට සිදුවී තිබුණ.
1995 මාර්තුවලදි මා යාපනය බලා ගියේ තවත් ජනමාධ්යවේදින් පිරිසක් ද සමගය. එම කණ්ඩායමට “ඔබ්සවර්” පුවත්පතේ කර්තෘ අජිත් සමරනායක ද, දීදි අයිලන්ඩ්” පුවත්පතට දීතරාකි” නමින් කොලමක් ලියූ ධර්මලිංගම් සිවරාම්, බී.බී.සී. දෙමළ සේවයේ ආනන්දි රාජ්කාශනන් හා “රාවයේ” නන්දන වීරරත්න යන අය ඇතුළත් විය.
අප කණ්ඩායම යාපනයට පැමිණියේ මාර්තු 15 වැනිදාය. අප යාපනේට යනවිට රදගුරු කෙනත් ප්රනාන්දු, චාල්ස් අබේසේකර හා ආචාර්ය ජේ. උයන්ගොඩ යන තිදෙනා ද යාපනයට පැමිණ සිටියෝය.
කොටි සංවිධානයේ අත්අඩංගුවේ සිටි පොලිස් නිලධාරින් 17 දෙනෙකුගේ උපවාසයක් පැවති අතර, කොටි සංවිධානය ඔවුන්ගේ උපවාසයට ප්රදර්ශනාත්මක තත්ත්වයක් ලබාදි තිබුණ. අප කණ්ඩායම ද එම උපවාසකරුවන් බැලීමට පසුදින එහි ගියෙමු. කොටි සංවිධානයේ දේශපාලන අංශයේ ප්රධානියා වූ තමිල් චෙල්වම් ද එහි පැමිණ සිටියේය. එක දිගට ආහාර නොගැනීම නිසා සියලු සිරකරුවන් අබල දුබල තත්ත්වයකට පත්ව සිටි අතර, ඔවුන් අතර සිටි දෙදෙනෙකු අසාධ්ය තත්ත්වයක සිටින බව පෙනෙන්නට තිබුණ. බිෂොප් කෙනත් ප්රනාන්දුට දක්වන ගරු සැලකිල්ලක් වශයෙන් අසාධ්ය තත්ත්වයක සිටින සිරකරුවන් දෙදෙනා මුදාහරින්නට යන බව උපවාසයේ යෙදි සිටින සිරකරුවන් අතර රාවයක් පැවති අතර, ඒ නිසා ඔවුන් කැළඹීමට පත්ව සිටියේය. සිරකරුවන් අප අමතා කීවේ සියලු දෙනාම දිර්ඝ කාලයක් අත්අඩංගුවේ සිටි බැවින් සියලු දෙනා නිදහස් කරන යවන පිළිවෙතක් මිස තෝරාගත් කිහිප දෙනෙකු පමණක් නිදහස් කර යවන පිළිවෙතක් ඉතිරිවී සිටින අයට වඩා වේදනාකාරි තත්ත්වයක් ඇති කිරීමට හේතුවනු නොවැළැක්විය හැකි බවය. අපි මේ සිරකරුවන් අතර පැවති හැගීම් චාල්ස් අබේසේකර හා උයන්ගොඩට දැනුම් දෙමින් ඔවුන් වෙනුවෙන් සිරකරුවන් දෙදෙනෙකු පමණක් නිදහස් කර යවන පිළිවෙතක් භාර නොගන්නා ලෙස ඉල්ලා සිටියෙමු.
උපවාසයේ යෙදි සිටි පොලිස් සිරකරුවන් අතර පැවති අසහනකාරි තත්ත්වය නොසලකා බිෂොප් කෙනත් ප්රනාන්දුට උපහාර පිණිස තමිල් චෙල්වම් අසාධ්ය තත්ත්වයක සිටි සිරකරුවන් දෙදෙනා නිදහස් කර හැරියේය.
එදින සවස අපූරු අත්දැකීමකට මුහුණ දෙන්නට මට සිදුවිය. කොටි හඬ ගුවන් විදුලි සේවයේ නිවේදකයෙක් මයික්රෆෝනයක් මා වෙත අල්ලා ශ්රී ලංකාවේ හමුදාවේ අමානුෂික ක්රියාකාරකම් පිළිබඳව අදහස් දැක්වීමක් කරන ලෙස ඉල්ලා සිටියේය. ඒ ක්රියාව මා තුළ කෝපයක් ඇති කිරීමට හේතුවූ අතර, ආණ්ඩුවේ යුද හමුදාවල අමානුෂික ක්රියාකාරකම් දකුණේ සිටින විටක මිස, ඔබලාගේ යාපනයේ භූමියට පැමිණ කතා කිරීමට සූදානම් නැති බවත්, යාපනයේ සිට මා කතා කරනවා නම් කතා කරනුයේ කොටි සංවිධානයේ අමානුෂික ක්රියාකාරකම් බවත් ප්රකාශ කළෙමි. මාගේ පිළිතුරෙන් ගුවන් විදුලි නිවේදකයා පමණක් නොව, ඒ අවට සිටි තරුණ පිරිස ද කෝපයට පත්විය. මා සමග කොළඹින් ගිය පිරිස ද මහත් විමතියට පත්ව සිටියේය. මට මාගේ ස්ථාවරයේ පිහිටා දිගටම කතා කරන්නට සිදුවූ අතර, ඔවුන් ද වියරු වැටුණ පිරිසක් ලෙස මා වට කොට ගෙන කෝපයෙන් යුතුව අදහස් පළ කරන්නට වූයේය. එහෙත් කෝපයෙන් කෙරෙන වාදයකට එහා යන ඇස් රතු කෙරෙන සිද්ධියක් සිදු නොවීය.
එදින රාත්රි ගත කිරීම සඳහා අප කණ්ඩායම ඥානම් හෝටලයට ගිය පසු ගුවන් විදුලි නිවේදකයා මා සොයා ගෙන හෝටලයට පැමිණියේය. ඔහු තමන්ගේ වැරදි හැසිරිම ගැන මගෙන් සමාව ඉල්ලා සිටියේය. එය කොටි සංවිධානය ඔහු වෙත පනවන ලද නියමයක් අනුව කරන ලද්දක් විය යුතුය.
මාර්තු 17 වැනි දින තනිව තමිල් චෙල්වම් හමුවීම පිණිස පැමිණෙන ලෙස මා වෙත එවන ලද දැනුම් දිමක් නිසා ඔවුන් එවා තිබූ රියක නැගී මා ඔහු හමුවීම පිණිස ඔහුගේ කාර්යාලයට ගියෙමි. එහි පැමිණ අප කණ්ඩායමට හා “රාවය” පුවත්පතට කරන උපහාරයක් වශයෙන් උපවාසයේ යෙදි සිටින සිරකරුවන්ගෙන් පිරිසක් මුදාහැරිමට සිය නායකයා තීරණය කර ඇති බවත්, තීරණය මා වෙත දැනුම් දෙන ලෙස සිය නායකයා තමන්ට දැනුම් දි ඇති බවත් තමිල් චෙල්වම් ප්රකාශ කර සිටියේය.
මා ඊට මාගේ විරෝධය ප්රකාශ කර සිටියෙමි. මේ සිරකරුවන් පිරිස තවදුරටත් සිරකරුවන් ලෙස යාපනේ සිර කොට තබා ගැනීම සාධාරණ නොවන බවත් සියලු දෙනාම නිදහස් නොකොට තෝරාගත් කිහිප දෙනෙකු පමණක් නිදහස් කිරීම අසාධාරණ බවත් අපට කරන ගරු කිරීමක් ලෙස නොව ඔවුන්ගේ මානුෂික අයිතිවාසිකම්වලට කරන ගරු කිරීමක් ලෙස සලකා නිදහස් කරනවා නම්, ඒ සියලු දෙනා නිදහස් කරන ලෙසත් මා තමිල් චෙල්වම්ගෙන් ඉල්ලා සිටියෙමි.
එදින සවස ද අප සිටි හෝටලයට අප හමුවීමට කොටි සංවිධානයේ නියෝජිතයකු පැමිණියේය. උපවාසයේ යෙදි සිටින පොලිස් සිරකරුවන් 15 දෙනාම නිදහස් කිරීමට සිය නායකයා තීන්දු කර ඇති බවත්, එහෙත් ඒ බව යාපනයේ පළ කෙරෙන පුවත්පත්වලට දැනගන්නට ඉඩ නොතබන ලෙසත් ඔහු අපෙන් ඉල්ලා සිටියේය. පසුදින උපවාසයේ යෙදි සිටි සිරකරුවන් 15 දෙනාම නිදහස් කර හරිනු ලැබීය.
ඇන්ටන් බාලසිංහම් අප කණ්ඩායමට රාත්රී භෝජන සංග්රහයක් සංවිධානය කොට කණ්ඩායමේ අනෙක් අය එහි එන්නට පැය දෙකකට ප්රථම එහි එන ලෙස මා වෙත දැනුම් දිමක් කරනු ලැබීය.
ඔහු සිය ඕස්ට්රේලියානු බිරිඳ සමග පැය දෙකක පමණ කාලයක් මා සමග පිළිසඳරක යෙදුණේය. ඇනීටා ප්රතාප් පිළිබඳ කතාව කියන ලද්දේ ද එහිදිය.
සාම සාකච්ඡාවලට එවන ලද කණ්ඩායමේ හැසිරිම පිළිබඳව ද හාස්යයකින් යුතුව ඔහු බොහෝ දේ කතා කළේය. ජනාධිපතිනියට විසඳුමක් සඳහා අවංක අභිලාෂයක් නැති බවත්, 94 මැතිවරණය හා ඉන්පසු පැවති ජනාධිපතිවරණය ජයගැනීම සඳහා දෙමළ ඡන්ද ලබාගැනීමේ පටු අරමුණින් පමණක් සාමකාමී විසඳුමක් ගැන කතා කළ බවත් ප්රකාශ කළේය. සාකච්ඡාව යන අතරතුරේදි ජාධිපතිනිය ඇනීටා ප්රතාප් අත ප්රභාකරන් වෙත පණිවුඩයක් එවන ලද බවත් නිල වශයෙන් කෙරෙමින් පවතින සාම සාකච්ඡා ගැන තමන්ගේ විශාල බලාපොරොත්තුවක් නැති බවත්, ඒ වෙනුවට තමා වෙනුවෙන් නම් කරන පුද්ගලයෙකුත්, ප්රභාකරන් වෙනුවෙන් ප්රභාකරන් නම් කරන පුද්ගලයෙකු අතරත් අප්රසිද්ධියේ කෙරෙන සාකච්ඡා වටයක් ආරම්භ කිරීමට තමන්ට අවශ්ය වී තිබෙන බවත් ඒ සඳහා ප්රභාකරන් නම් කරන නියෝජිතයාගේ නම තමන්ට දැනුම් දෙන ලෙසත්, ඉන්පසු තමාගේ නියෝජිතයා ද නම් කොට එවිය හැකි බවත් ඉන්පසු දෙදෙනාට ම එකග විය හැකි දිනක සාකච්ඡා ආරම්භ කළ හැකි බවත් ජනාධිපතිනිය විසින් ඇය අත දන්වා එවනු ලැබූ බවත් ප්රකාශ කර සිටියේය. ප්රභාකරන් එම යෝජනාවට කැමති වී ඔහුගේ නියෝජිතයාගේ නම ඇනීටා අත දන්වා යවනු ලැබූ බවත්, එහෙත් ඉන්පසු දිර්ඝ කාලයක් ගත වුවත් ජනාධිපතිනිය සිය නියෝජිතයාගේ නම දැනුම් නොදුන් බවත්, එය ජනාධිපතිනිය කෙරෙහි ප්රභාකරන් තුළ පැවති කලකිරීම උග්ර කිරීමට හේතුවු බවත් කියා සිටියේය. මේ කරුණ වෙනත් අයට නොකියන ලෙසත්, කොළඹ ගිය පසු ජනාධිපතිනිය හමුවූ විට එය ඇත්තක්දැයි ඇයගෙන්ම දැනගන්නා ලෙසත් බාලසිංහම් මා සමග ප්රකාශ කර සිටියේය.
අප කොළඹ බලා ආපසු ඒමට සූදානම් වන අවස්ථාව වනවිට එතෙක් පවත්වාගෙන ආ සටන් විරාමය අවසන් කොට තුන්වැනි ඊළාම් යුද්ධය ආරම්භ කිරීම සඳහා කොටි සංවිධානය දින යොදාගෙන ඇති බව අපට දැනගන්නට ලැබුණි. ඒ සඳහා යොදාගෙන තිබුණු දිනය වී තිබුණේ මාර්තු 29 වැනිදාය. නැවත ඇතිවිය හැකි ලේ වැගිරිම් නිසා මාර්තු 29 වැනිදාට තුන්වැනි ඊළාම් යුද්ධය ආරම්භ කිරීමට දින යොදාගෙන ඇති බවට අසන්නට ලැබුණු පුවත අප සියලු දෙනා අතර මහත් කම්පනයක් ඇති කිරීමට හේතුවූ අතර, එය වළක්වා ගැනීම සඳහා උපරිම උත්සාහයක් ගත යුතු යැයි අපි තීන්දු කළෙමු.
ඒ සඳහා කෙරුණ සාකච්ඡාවලදි 29 වැනිදා යුද්ධ ප්රකාශ නොකිරීමට නම් පුනරින් කඳවුර ඉවත් කරගන්නා බවට ආණ්ඩුව සහතික විය යුතු බවත්, ඊට අතිරේකව උතුර සඳහා පවත්වාගෙන යන ඉන්ධන හා පොහොර තහනම් වහාම ඉවත් කරගත යුතු බවත් ඔවුන්ගේ මතය විය. පුනරින් කඳවුර ඉවත් කරගැනීම සඳහා වන ඉල්ලීමක් සාධාරණ ප්රායෝගික ඉල්ලීමක් ලෙස සැලකිය නොහැකි නිසා එම කොන්දේසිය අත්හරින්නේ නම් පමණක් අනෙක් කොන්දේසි ඉටුකිරීම සඳහා ජනාධිපතිනිය එකග කරවා ගැනීමේ උත්සාහයක යෙදිය හැකි බවට අප ඔවුන්ට දැනුම් දුන්නෙමු. ඔවුන් පුනරින් කඳවුර ඉවත් කිරිමේ කොන්දේසිය සම්පූර්ණ කළයුතු බවට දැඩිව ඉල්ලා සිටියත්, අපගේ පෙළඹීම මත අනෙක් කොන්දේසිවලින් පමණක් තෘප්තිමත් වීමට ඔවුන් අවසානයේ කැමති විය.
අප කොළඹ පැමිණි පසුව මා ජනාධිපතිනිය හමුවන්නට ගොස් මට පෙනෙන චිත්රය ඇයට විස්තර කළෙමි. තුන්වැනි ඊළාම් යුද්ධයක් වළක්වා ගැනීම සඳහා ඉන්ධන හා පොහොර සඳහා පවත්වාගෙන යන තහනම ඉවත් කිරිමේ අවශ්යතාව අවධාරණය කළෙමි. පොහොර යැව්වොත් ඒවා බෝම්බ නිපදවා ගැනීම සඳහා යොදාගනු ඇති බවට ඇය බිය පළ කළේය. පොහොර යොදා බෝම්බ නිපදවන තත්ත්වයකට යායුතු තරම් නොදියුණු තත්ත්වයක ඔවුන් නොසිටින බවත්, එවැනි අවශ්යතාවක් තිබුණත් යාපනයේ ගොවීන් අතර පවත්නා අසහනය දුරු කිරීමට අවශ්ය නම් යාපනයට පොහොර යැවීම අත්යවශ්ය බවත් මම පැහැදිලි කළෙමි. යාපනයට යවන ලද දැවැන්ත විදුලි උත්පාදන යන්ත්රයක් මහජනයාට ප්රදර්ශනය කෙරෙමින් තිබූ ආකාරය අපට යාපනයේදි දකින්නට ලැබුණු අතර, ඉන්ධන තහනම් කොට විදුලි උත්පාදන යන්ත්රයක් යැවීමෙන් වී ඇත්තේ ආණ්ඩුව මහජනතාව අතර විහිළුවට ලක්වීම බවත් ප්රකාශ කර සිටියෙමි. අවසානයේදි එම කොන්දේසි දෙක ඉටු කිරීමට ජනාධිපතිනිය එකග විය. නන්දන වීරරත්න හා සිවරාම් යාපනයට යවා ඒ බව දැනුම් දිමට සැලැස්සුවෙමි.
ඇනීටා අත ප්රභාකරන් වෙත යවන ලද පණිවුඩය ගැන ඇසූ විට ජනාධිපතිනියගේ මුහුණ වහාම වෙනස් විය. එය මා දැනගත්තේ කාගෙන්දැයි ඇය ප්රශ්න කළාය. එය ඇන්ටන් බාලසිංහම් මට කී බව ප්රකාශ කළෙමි. ඇනීටා අත එවැනි පණිවුඩයක් යවනු ලැබූ බව සත්යයක් වුවත්, ඇනීටා ඉන්පසු තමා හමු නොවූ බව ප්රකාශ කරමින් ජනාධිපතිනිය ඇනීටාට ද දොස් කීවාය. ගරිල්ලා ව්යාපාරයක් සමග ගනුදෙනු කරන විට සෙල්ලම් කරන්නට යාම ඉතාමත් භයානක බව ඇයට එහිදි කියා සිටීමට මට සිදුවිය.
ජනාධිපතිනිය හමුවූ දිනට පසු දින අයර්ලන්ත සංචාරයක් සඳහා රටින් පිටවී යාමට මට සිදුවිය. ඉන්ධන හා පොහොර තහනම වහා ඉවත් කරගන්නා බව ජනාධිපතිනිය පොරොන්දු වී ඒ බව යාපනයට දැනුම් දෙන ලෙස ජනාධිපතිනිය ප්රකාශ කර සිටියත්, ඇය ඒ පොරොන්දුව කඩිනමින් ඉටු නොකළාය. ඒ සඳහා සති ගණනක් ප්රමාද විය. සති ගණනක් ප්රමාද වී පොරොන්දුව ඉටු කරන්නට ගියත්, බොහෝ ප්රමාද වී එවන එම සහන භාරගැනීම ප්රභාකරන් ප්රතික්ෂේප කළේය. අප්රේල් 18 වැනිදා රාත්රී සටන් විරාමය අවසන් කෙරෙන බව ආණ්ඩුවට දැනුම් දි, 19දා පෙරවරුවේ ත්රිකුණාමලයේ මුර යාත්රා දෙකකට පහර දි ඔවුහු තුන්වන ඊළාම් යුද්ධය ආරම්භ කළහ.