සම්මත කරගනු ලැබූ 17 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථාව යටතේ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවා නැතත්, ඒ යටතේ පිහිටුවන්නට නියමිතව තිබූ මැතිවරණ කොමිසමේ සියලුම බලතල මැතිවරණ කොමසාරිස්වරයා වෙත පැවරෙන්නේ ය. ඒ අනුව මැතිවරණ කොමසාරිස්වරයාට ලැබෙන බලතල ඉතා විශාල වන අතර, ඒ බලතල උපරිම ලෙස ප්රයෝජනයට ගනිමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සහතික කිරීම මැතිවරණ කොමසාරිස්වරයා සතු වගකීමකි.
එම නීතිය යටතේ මැතිවරණ රාජකාරි වලට සම්බන්ධ සියලු පොලිස් නිලධාරින් පොලිස්පති යටතට නොව මැතිවරණ කොමසාරිස්වරයා යටතට වැටෙන්නේ ය. මැතිවරණ කාලසීමාව තුළ පක්ෂග්රාහීව ක්රියාකරන ඕනෑම රාජ්ය ආයතනයක් අවශ්ය නම් තාවකාලික ලෙස පවරා ගැනීමේ බලය ද මැතිවරණ කොමසාරිස්වරයා සතු ය.
මෙතෙක් පැවති මැතිවරණවලදි බලයේ සිටින හැම ආණ්ඩුවක්ම ආණ්ඩුවේ පොදු සම්පත් සිය මැතිවරණ කටයුතු සඳහා උපරිම මට්ටමකින් ප්රයෝජනයට ගත්තේ ය. රාජ්ය ආයතන සතු මුදල්, වාහන පමණක් නොව, සේවකයන් ද මැතිවරණ කටයුතු සඳහා යොදා ගත්තේ ය. රාජ්ය මාධ්ය ආයතන ක්රියා කළේ ද බලයේ සිටින ආණ්ඩුවල නිල හොරණෑ ලෙස ය. මේ මැතිවරණයේ දි ඒ කිසිවකට ඉඩ නොතබා නීතිය අකුරටම ක්රියාත්මක කරවීම මැතිවරණ කොමසාරිස්වරයාගේ වගකීමකි.
මැතිවරණවලට තරග කරන සියලු අපේක්ෂකයින්ගේ ද, පක්ෂවල නිලධාරින්ගේ ද වත්කම් හා බැරකම් ප්රකාශ ලබාගැනීමේ වගකීම පැවරි ඇත්තේ ද මැතිවරණ කොමසාරිස්වරයාට ය. එහෙත් මොනයම් හේතුවක් නිසා හෝ මැතිවරණ කොමසාරිස්වරයා අතින් මෙතෙක්, ඒ වගකීම ඉටුවූයේ නැත. එය ඉතාමත් අයහපත් තත්ත්වයක් වන අතර, යහපත් ආණ්ඩුකරණයක් සඳහා අත්යවශ්ය එම කොන්දේසිය වහාම සම්පූර්ණ කරන ලෙස අපි මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටිමු.
ප්රමාණවත් තරම් බලතල නැතැයි කීමේ හැකියාවක් දැන් මැතිවරණ කොමසාරිස්වරයාට නැත. 17 වැනි ව්යවස්ථා සංශෝධනයෙන් පමණක් නොව, ශ්රේෂ්ඨාධිකරණය ලබාදි තිබෙන අර්ථකථනයකින් ද විශාල බලතල රාශියක් මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලබාදි තිබෙන අතර, ඒ සියලු බලතල උපයෝගී කරගනිමින් දූෂිත මැතිවරණ සම්ප්රදායට නැවතීමේ තිතක් තබමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සහතික කරන ලෙස අපි මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටිමු.