සරත් එන්. සිල්වා මහතා අභියාචනාධිකරණයේ විනිසුරු වරයෙකුව සිටියදි සිය විවාහක බිරිඳගෙන් දික්කසාද නොවී සිය විවාහක බිරිඳ සමග ගත කරන ලද අනාචාර ජීවිතය පිළිබඳව රසායන ඉංජිනේරු ජයසේකර මහතා ඒ දෙදෙනාට එරෙහිව පවරන ලද නඩුව, දිසා විනිසුරු උපාලි අබේරත්න එය විභාග කරන ලද අපකීර්තිමත් ආකාරය, ඊට එරෙහිව ජයසේකර විසින් අධිකරණ සේවා කොමිසමට ඉදිරිපත් කරන ලද පැමිණිල්ල ආශ්රයෙන් දිසා විනිසුරුවරයාට එරෙහිව ආරම්භ වූ විනය පරික්ෂණය යටපත් කෙරුණු ආකාරය යන කාරණා ඒ වනවිටත් අධිකරණය ඇද වැටී තිබුණු ඛේදජනක තත්ත්වයේ තරම කියාපායි.
සරත් එන්. සිල්වා සිය සමීප මිත්රයෙකු වූ ජයසේකරගේ බිරිඳ දමයන්ති සමග ඇතිකරගත් අනාචාර සම්බන්ධය සානුකම්පිතව සලකා බැලිය යුතු පුද්ගලික ප්රශ්නයක් ලෙස සලකන පිරිසක් ද රටේ සිටී. විනිසුරුවරයකුට වුවත් පවුලේ ප්රශ්න ඇතිවිය හැකි ය. සිය බිරිඳ නොගැළපෙන අවස්ථාවක දි ඇය අතහැර අවශ්ය නම් සුදුසු සහකාරියක් සමග ජීවත් වීමේ අයිතිය විනිසුරුවරයකුට ද තිබිය යුතු බවට සැකයක් නැත. එහෙත් විශේෂයෙන් ම විනිසුරුවරයකුට එවැනි පුද්ගලික ප්රශ්නයක දි වුවත් විනිසුරුවරයකු වශයෙන් තමන් ආරක්ෂෂා කිරීමට බැඳී සිටින පිළිගත් ආචාරධර්ම නොසලකා ක්රියා කිරිමේ හැකියාවක් නැත. ලිංගික ප්රශ්නවල දි ඉතාමත් නිදහස් ලිබරල් ආකල්පයකින් ක්රියා කරන රටවල් පවා විනිසුරුවරුන් සඳහා අනාචාරය අධිකරණ සේවයෙන් ඉවත් කළ යුතු තරම් බරපතල වරදක් ලෙස සලකයි.
විනිසුරුවරයකු වශයෙන් සරත් එන්. සිල්වා මහතාට සිය විවාහක බිරිඳ සමග එකට ජීවත් වීමට බැරි තරම් ප්රශ්න තිබුණේ නම් හා ඇයගෙන් ඉවත් වී සුදුසු වෙනත් සහකාරියක් සමග එකතු වීමට අවශ්ය වී නම් අධිකරණ සේවයේ නිරත විනිසුරුවරයකු වශයෙන් ඔහුට අවශ්යයෙන් ම ඒ සඳහා අනුගමනය කළ යුතුව තිබුණු පිළිගත් ප්රතිපත්ති සමුදායක් තිබුණේ ය. ඔහු පළමුකොට සිය විවාහක බිරිඳගෙන් දික්කසාද විය යුතු ය. තමා සිය බිරිඳ බවට තෝරාපත් කර ගැනීමට අපේක්ෂෂා කළ සහකාරිය ද තවත් කෙනෙකුගේ විවාහක බිරීඳක් වී නම් ඇයට ද එම විවාහයෙන් දික්කසාද වීමට සලස්වා ඇය සමග නීත්යනුකූලව විවාහ විය යුතුව තිබුණි.
එහෙත් ඒ වෙනුවට සිදු වී ඇත්තේ සිය විවාහක බිරිඳගෙන් දික්කසාද නොවීම හා සිය බිරීඳ බවට පත්කරගන්නා කාන්තාව ඇතුළත්ව සිටි විවාහයෙන් ද ඇය දික්කසාද කිරීමකින් තොරව ඇය සමග අනාචාර ජීවිතයක් ගත කිරීම ය. මෙය අධිකරණ සේවයේ නිරත විනිසුරුවරයෙක් විසින් නොකළ යුතු බරපතල වරදකි.
සිය මිත්රයාගේ ක්රියාකලාපය නිසා සිය පවුල් ජීවිතය විනාශ වී දුෂ්කර තත්ත්වයකට පත්ව සිටි රසායන ඉංජිනේරුවා අභියාචනාධිකරණයේ විනිසුරුවරයකුට නොගැළපෙන එම ක්රියාකලාපය අභියාචනාධිකරණයේ එකල ප්රධානියා ලෙස ක්රියාකළ කේ. පාලකිඩ්නන් මහතා වෙත 1992 නොවැම්බර්වල දි ලිඛිතව පැමිණිලි කළේ ය. පාලකිඩ්නන් මහතා ජයසේකර මහතාට ඒ ගැන ලිඛිතව සිය කණගාටුව පළ කරමින් තමාට පැවරි තිබෙන බලතල පිළිබඳව ඒ ගැන කිසිවක් කිරිමේ හැකියාවක් තමාට නැති බව ප්රකාශ කරමින් එවැනි කරුණික් සඳහා ක්රියා කිරිමේ බලය ඇත්තේ ව්යවස්ථාවේ 107 වගන්තිය යටතේ පාර්ලිමේන්තුවට බවට ද ප්රකාශ කළේ ය.
එහෙත් අභියාචනාධිකරණයේ ප්රධානියා වශයෙන් පාලකිඩ්නන් මහතා එහිදී ක්රියාකර තිබෙන ආකාරය නිවැරදි නැත. අභියාචනාධිකරණයේ ප්රධානියා වශයෙන් එය අධිකරණයේ ගෞරවයට අදාළ කරුණක දි ඒ ගැන සොයා බලා අගවිනිසුරුවරයාට දැනුම් දිමේ යුතුකමක් ඔහුට තිබුණි. අගවිනිසුරුවරයාට අභියාචනාධිකරණයේ විනිසුරුවරයකුට දඬුවම් පැමිණවීමේ අයිතියක් නැතත් අධිකරණයේ ප්රධානියා වශයෙන් අධිකරණයේ ගෞරවයට අදාළ කරුණක දි ඒ ගැන කරුණු සොයා බලා එම විනිශ්චයකාරවරයාගේ පැවැත්ම අධිකරණයේ ගෞරවයට හේතු නොවේ නම් ඒ ගැන පාර්ලිමේන්තුවට වාර්තා කිරිමේ යුතුකමක් අගවිනිසුරුවරයාට ද තිබුණේ ය. එහෙත් අභියාචනාධිකරණයේ සභාපතිව සිටි පාලකිඩ්නන් මහතා හෝ අගවිනිසුරු ධූරය ඉසිලු ජී.පී.එස්. ද සිල්වා යන දෙදෙනාම තමන් වෙත පැවරි තිබුණු යුතුකම ඉටු නොකළේ ය. එම ප්රතිපත්තිය සිදුවෙමින් තිබූ වරදක් තහවුරු වීමට ඉඩ දිමකට සමාන ය.
ජයසේකර මහතා සරත් එන්. සිල්වා මහතාට අදාළ සිය දුක්ගැනවිල්ල 1993 පෙබරවාරි වල දි ජනාධිපති ප්රේමදාස මහතා වෙත ද ලිඛිතව ඉදිරිපත් කළේ ය. ජයසේකරගේ පැමිණිල්ල කියවා බලා ජනාධිපතිවරයා කම්පනයටත්, කෝපයටත් පත් වූ බව කියනු ලැබේ. ඔහු ඉන් පසු පැමිණිල්ලේ පිටපතක් අපරාධ පරික්ෂෂණ දෙපාර්තමේන්තුවට යවා ඒ ගැන පරික්ෂෂණයක් කොට පරික්ෂෂණ වාර්තාව තමන් වෙත ඉදිරිපත් කරන ලෙස උපදෙස් දෙන ලද බව ද කියනු ලැබේ. එහෙත් සරත් එන්. සිල්වා මහතාගේ වාසනාවට ප්රේමදාස මහතා 1993 මැයි වල දි ජීවිතක්ෂෂයට පත් විය. සරත් එන්. සිල්වා මහතා විජය කුමාරතුංග ඝාතන කොමිසමේ දි අපරාධ පරික්ෂෂණ දෙපාර්තමේන්තුවේ එවකට ප්රධානියාව සිටි චන්ද්රා ජයවර්ධන ද එම ඝාතන කුමන්ත්රණයට පටලවන ප්රතිපත්තියක් අනුගමනය කර ඇත්තේ ජනාධිපති ප්රේමදාස මහතාගේ නියෝගය පරීදි ජයසේකරගේ පැමිණිල්ල පිළිබඳව චන්ද්රා ජයවර්ධන පරික්ෂෂණයක් පැවැත්වූ නිසා බව ද සමහර තතු දත් පොලීසියට සම්බන්ධ අයගේ මතය වී තිබේ.
ජයසේකර සිය දුක්ගැනවිල්ල ඊළගට බලයට එන විජේතුංග ජනාධිපතිවරයා වෙත ද ඉදිරිපත් කළේ ය. ජයසේකර විසින් එවන ලද පෙත්සම කියවා බලා විජේතුංග ජනාධිපතිවරයා සරත් සිල්වා කෙරෙහි කෝපයෙන් පසුවූ බවත් අභියාචනාධිකරණයේ සභාපති ධූරයට පත් කිරිමෙන් වැළකී සිටින දැඩි ආකල්පයකින් සිටියත් නීතිපති තිලක් ධූරයට පත් කිරීමට කැමති කරවා ගත් බවත් කියනු ලැබේ.
ඉන් පසු ජයසේකර සරත් එන්. සිල්වාට එරෙහිව පවරනු ලබන අනාචාර නඩුවේ දි කටයුතු සිදුවන නින්දා සහගත ආකාරය මීට පෙර විස්තර කොට ඇති බැවින් ඒ සිද්ධිය නැවත විග්රහ කිරීම අනවශ්ය ය. එහෙත් ඒ සිද්ධිය ආශ්රයෙන් ඒ වන විට අධිකරණය ඇද වැටී තිබුණු දූෂිත තත්ත්වයේ තරම තේරුම් ගැනීමට හේතුවන කරුණු කිහිපයක් පමණක් මෙහි සඳහන් කළ යුතු ය.
නඩුව විභාග කරන උපාලි අබේරත්න දිසා විනිසුරුවරයා එහි දි ක්රියාකර ඇත්තේ අභියාචනාධිකරණයේ සභාපති විසින් නටවන රූකඩයක් ලෙස ය. ඉහළ අධිකරණයේ විනිසුරුවරයකුට එරෙහිව පවරන නඩුවකදි යුක්තිය ඉටුකරවා ගැනීමේ හැකියාවක් ශ්රී ලංකා අධිකරණ ක්රමය තුළ නොපවත්නා බව ඉන් පෙන්නුම් කරයි.
මේ නඩුව පවරන ජයසේකර සාමාන්ය තත්ත්වයේ කෙනෙකු නොවී ය. ඔහු වරලත් රසායන ඉංජිනේරුවරයකි. විද්වතුන්ගේ සංගමයේ සභාපතිවරයා ය. ඔහු අගවිසුරු ධූරය දැරූ ජී.පී.එස්. ද සිල්වා මහතා ඇතුළු ඉහළ අධිකරණයේ විනිසුරුවරුන් කිසියම් පිරිසක් හොඳින් දැන සිටි අතර නීතිඥ සංගමය ද විද්වතුන්ගේ සංගමයට අනුයුක්ත සංගමයක් වශයෙන් ඔහු ප්රමුඛ පෙළේ නීතිඥයන් විශාල පිරිසක් පුද්ගලිකව දැන හැඳිනගෙන සිටියේ ය. එහෙත් ඉහළ අධිකරණයේ විනිශ්චයකාරවරයකුට එරෙහිව තමන් පවරන නඩුව සඳහා කොළඹින් නීතිඥයෙකු සොයා ගැනීමට ඔහුට නොහැකි විය. ඔහු අවසානයේ පිටස්තරින් සොයාගන්නා නීතිඥයාටද නිදහසේ සිය සේවාදායකයා වෙනුවෙන් ක්රියා කිරීමට ඉඩ නොලැබෙන්නේය. අභියාචනාධිකරණයේ සභාපතිව සිටි සරත් එන්. සිල්වා එම නීතිඥයා සිය නිල කුටියට කැඳවා තමන්ට එරෙහිව එම නඩුව වෙනුවෙන් පෙනී සිටීම ගැන ඔහු දෝෂදර්ශනයට ලක් කරන්නේය.
එම නඩුවේදි සරත් එන්. සිල්වාගේ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින්නේ නීතිඥ අනෝමාගුණතිලක මහත්මියගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ ඉන්රාම් මොහොමඩ් මහතාය. මේ නඩුව විමසූ දිසා විනිසුරුවරයා සිය සේවාදායකයාගේ ආරක්ෂාව වෙනුවෙනුත් ඉතාමත් නීති විරෝධී ආකාරයකින් මෙහෙයවන ලද බව මේ නීතිඥයන් දෙදෙනාට නොපෙනුණා විය නොහැකිය. නීතිඥයන් සඳහා ක්රියාත්මක වන වෘත්තීය ආචාර ධර්ම අනුව එවැනි නීති විරෝධී සාහසික ක්රියාවලියක් සිය සේවාදායකයාගේ වාසියට හේතුවන අවස්ථාවකදි පවා එවැන්නකට ඉඩ හැර බලා සිටීමේ හැකියාවක් නැත. ඔවුන් එසේ කරන්නට ඇත්තේ ද සරත් එන්. සිල්වා විසින් මෙහෙයවන ලද එම නාටකයේ ඔවුන් ද දැනුවත් කොටස්කරුවන් වූ නිසා විය යුතුය.
එයින් පෙන්නුම් කෙරෙන්නේ අධිකරණය පමණක් නොව, අධිකරණයේ වැදගත් පංගුකාරයකු ලෙස සැලකිය හැකි නීතිඥ වෘත්තිය ද ඒ වනවිටත් ඉතාමත් දූෂිත තත්ත්වයකට ගමන් ගනිමින් තිබූ බව නොවේද?
මේ නඩුවෙන් පීඩාවට පත්ව සිටි ජයසේකර 1994 සැප්තැම්බර්වලදි ඒ ගැන අධිකරණ සේවා කොමිසමට ලිඛිතව පැමිණිලි කළේය. එවකට අධිකරණ සේවා කොමිසම සමන්විත වූයේ අගවිනිසුරු ජී.පී.එස්. ද සිල්වා, ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු තිස්ස බණ්ඩාරනායක හා ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මාක් ප්රනාන්දු යන තිදෙනාගෙනි.
අගවිනිසුරුවරයාට ජයසේකර සමග පුද්ගලික දැන හැඳුනුකමක් තිබුණේය. ඒ දෙදෙනා කලක් එකම නිවසක කොටස් දෙකක ජීවත් වී තිබුණේය. ඒ නිසා අගවිනිසුරුවරයා ජයසේකරගේ පැමිණිල්ල විභාග කිරීමට සම්බන්ධ නොවී ඒ වගකීම කොමිසමේ අනෙකුත් සාමාජිකයන් දෙදෙනා වෙත පැවරුවේ ය.
ඔවුන් 1994 නොවැම්බර් 8 වන දින ජයසේකර එවන ලද ලිපියේ පැමිණිල්ලේ පිටපතක් දිසා විනිසුරු උපාලි අබේරත්න වෙත යවමින් ඒ ගැන නිරික්ෂෂණ ලිඛිතව ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියේ ය. දිසා විනිසුරුවරයා නොවැ. 11 වන දින සිය ලිඛිත නිරික්ෂෂණ කොමිසම වෙත ඉදිරිපත් කළේ ය.
අධිකරණ සේවා කොමිසමේ සාමාජිකයන් දෙදෙනා ඒ නිරික්ෂෂණ අධ්යයනය කොට දෙසැම්බර් 14 වන දින දිසා විනිසුරුවරයා කොමිසම වෙත ගෙන්වා ඉදිරිපත් කරන ලද නිරික්ෂෂණ ගැන වැඩිදුර ප්රශ්න කිරීමක් සිදු කළේ ය. ඉන් පසු කොමිසම දිසා විනිසුරු උපාලි අබේරත්නට එරෙහිව ඉදිරිපත් කරන ලද පැමිණිල්ලට එම නඩුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥයාගේ ද දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කරන ලෙස 1999 මැයි 10 වැනි දින ජයසේකර වෙත දැනුම් දුන්නේ ය.
1995 ජූනි 16 වැනි දින ජයසේකර හා ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහතා ඒ ගැන වන දිවුරුම් පෙත්සම් දෙකක් අධිකරණ සේවා කොමිසම වෙත ඉදිරිපත් කළේ ය.
ඉන් පසු කොමිසන් සභාව දිසා විනිසුරුවරයාට එරෙහිව විධිමත් චෝදනා පත්රයක් සකස් කොට 1996 පෙබරවාරි 12 වැනි දින දිසා විනිසුරුවරයා වෙත යවමින් සේවයෙන් පහ කිරීමට හෝ අන් දඬුවමක් නොපැමිණ වීමට හේතු ඇතොත් එක් මසක කාලයක් තුළ (මාර්තු 12 දාට පෙර) ලිඛිතව නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙස දිසා විනිසුරුවරයාට දැනුම් දුන්නේ ය.
මේ වන විට අභියාචනාධිකරණයේ සභාපතිව සිටි සරත් එන්. සිල්වා මහතා 1995 ඔක්තෝබර්වල දි ශ්රේෂ්ඨාධිකරණයට පත් වී තිබුණි. ඒ වන විට පොදු පෙරමුණු ආණ්ඩුව බලයට පත් වී චන්ද්රිකා කුමාරතුංග මහත්මිය රටේ ජනාධිපති වී සිටි තත්ත්වයක් ඉදිරියේ ඇගේ සමීපතම පුද්ගලයකු වශයෙන් සරත් එන්. සි්ල්වා මහතා අධිකරණ තලය තුළ සිටි නිල නොවන ප්රධාන බලවතා බවට පත්ව සිටියේ ය.
තමන්ට එරෙහිව ජයසේකර පවරන ලද අනාචාර නඩුවේ දි තමන්ගේ ආරක්ෂෂාව සඳහා සිය රැකියාව ද පරදුවට තබා ක්රියාකළ දිසා විනිසුරුවරයා බෙල්ල හිරවන තත්ත්වයකට පත්ව සිටි බව සරත් එන්. සිල්වා මහතා නොදැන සිටියා විය නොහැකි ය. ඔහු ආරක්ෂෂා කර ගැනීමට නම් අධිකරණ සේවා කොමිසමේ සංයුතිය වෙනස් කරවා ගැනීම අත්යවශ්ය බව ඔහුට පෙනුණා විය යුතු ය. තිස්ස ඩයස් බණ්ඩාරනායක විශ්රාම යාමට ආසන්න තත්ත්වයක සිටි අතර මාක් ප්රනාන්දු මහතා ද නැවත පත්කළ යුතු කාල සීමාව ළංව තිබුණේ ය. තිස්ස බණ්ඩාරනායක මහතා විශ්රාම ගිය පසු ඒ තනතුරට ආනන්ද කුමාරස්වාමි මහතා පත් කරවා ගන්නා ලද අතර මාක් ප්රනාන්දු මහතාගේ කාලය අවසන් වීමෙන් පසුව නැවත ඔහු අධිකරණ සේවා කොමිසමට පත් නොකොට ඒ වෙනුවට ශ්රේෂ්ඨාධිකරණයේ තමන්ට සිටි හොඳම සගයා වූ ප්රියන්ත පෙරේරා මහතා ඒ තනතුරට ජනාධිපතිනිය ලවා පත් කරවා ගැනීමට සරත් එන් සිල්වා මහතා සමත් විය. එහෙත් පැවති අධිකරණ සේවා කොමිසම හැම විටම සමන්විත වූයේ අගවිනිසුරු හා ශ්රේෂ්ඨාධිකරණයේ සිටින ජේයෂ්ඨතම විනිසුරුවරුන් දෙදෙනාගෙනි. ඒ සම්ප්රදාය අහෝසි කෙරුණේ ද දිසා විනිසුරු උපාලි අබේරත්නගේ ආරක්ෂෂාව වෙනුවෙනි.
ප්රියන්ත පෙරේරා මහතා ද අධිකරණ සේවයේ අපකීර්තිමත් පසුබිමක් සහිත පුද්ගලයෙකි. ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් කොටි සංවිධානයේ ආධාරකාර විනිසුරුවරයකුගෙන් පගාවක් ගෙන ඔහු නිදහස් කර ඇති බවට ජනාධිපතිනිය විසින් ප්රසිද්ධ චෝදනාවක් ඉදිරිපත් කර තිබූ අතර එම චෝදනාවට සම්බන්ධ ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා ප්රියන්ත පෙරේරා මහතා ය. ප්රියන්ත පෙරේරා මහතා කලක් නීතිපති දෙපාර්තමේන්තුවේ උසාවිවල ඇප කටයුතු භාර ප්රධානියා ලෙස ක්රියා කළේ ය.
ඒ මහතා එම ධූරය දරන කාලයේ දි අල්ලස් ලබා ගනිමින් සමහර පුද්ගලයන්ට ඇප ලබාදෙන ලෙසට නිර්දේශ කර ඇති බවට චෝදනා එල්ල වී තිබුණු අතර ඒ ගැන බලවත් පැමිණිලි කිහිපයක් ජනාධිපති ප්රේමදාස මහතා වෙත ද ලැබී තිබුණි. සරත් එන්. සිල්වා මහතා ඒ කාලයේ සේවය කළේ ද නීතිපති දෙපාර්තමේන්තුවේ ය. ප්රියන්ත පෙරේරා මහතාට එල්ල වන චෝදනාවල දි ප්රියන්ත පෙරේරා මහතාගේ ආරක්ෂෂාව වෙනුවෙන් පෙනී සිටි ප්රධාන පුද්ගලයා වූයේ ද සරත් එන්. සිල්වා මහතා ය.
ප්රියන්ත පෙරේරා මහතා අධිකරණ සේවා කොමිසමට ඒමත් සමග කොමිසම සරත් එන්. සිල්වා මහතාට අනියම් ලෙස පාලනය කළ හැකි ආයතනයක් බවට පත් විය. ප්රියන්ත පෙරේරා මහතාට සරත් එන්. සිල්වා සමග තිබුණු සමීප සම්බන්ධය අගවිනිසුරු ඇතුළු කොමිසමේ අනෙක් සාමාජිකයා ද දැන සිටියේ ය. කොමිසමේ ඇති වූ මේ නව වෙනස්කම හා සරත් එන්. සිල්වා මහතා නීතිපති ධූරයට පත්වීමත් සමග දිසා විනිසුරු උපාලි අබේරත්නට එරෙහිව බොහෝ දුරට අවසන් වී තිබුණු පරික්ෂෂණය ද ඒ සමග යටපත් විය.
දිසා විනිසුරුවරයා තමන් වෙත එවා තිබුණු චෝදනා පත්රය වෙනුවෙන් කොමිසම නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට දි තිබුණු කාලය අවසන් වීමට නියමිතව තිබුණේ 1996 මාර්තු 12 වැනිදාට ය. සරත් එන්. සිල්වා මහතා නීතිපති ධූරයට පත්වූයේ 1996 මාර්තු 1 වැනි දා ය.
ඉන් පසු ජයසේකර වෙනුවෙන් යුක්තිය ඉටුකරවා දිම පිණිස රාවය දිගින් දිගට කරන ලද හඬගෑම හේතුකොටගෙන නීතිඥ සංගමයට නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරුන්ගේ සම්මේලනයක් කැඳවීමට සිදු වූ අතර එම සම්මේලනය ලෙනින් රත්නායක මහේස්ත්රාත්වරයාට එරෙහිව හා උපාලි අබේරත්න දිසා විනිසුරුවරයාට එරෙහිව රාවය නගන චෝදනා පරික්ෂෂා කරන ලෙසට අගවිනිසුරුවයාගෙන් කරන ලද ඉල්ලීම නිසා එතෙක් සරත් එන් සිල්වා මහතා විසින් නිල බලය යොදා යටපත් කොටගෙන සිටි ජයසේකර සිද්ධිය පිළිබඳව පරික්ෂෂා කිරීමට අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්රිපුද්ගල පරික්ෂෂණ කමිටුවක් පත් කිරීමට අධිකරණ සේවා කොමිසමට සිදුවූයේ ය.
පරික්ෂෂණයේ දි විත්තිකාර උපාලි අබේරත්න දිසා විනිසුරුවරයා වෙනුවෙන් පෙනී සිටියේ සරත් එන්. සිල්වා මහතාගේ සමීප මිත්රයෙකු ලෙස සැලකිය හැකි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා ය. පරීක්ෂෂණය එහි ඉතිහාසය සම්බන්ධ කරණු එනම් එතෙක් සිදු වූ පරික්ෂෂණය අතරමග යටපත් කෙරුණේ යන ප්රශ්නය දක්වා දුරදිග යන්නට ඉඩ නොදි චෝදනා පත්රයට පමණක් සීමා වූ පරික්ෂෂණ තත්ත්වයක තබාගැනීමට ෆයිස් මුස්තාපා මහතා සමත් විය.
උපාලි අබේරත්න දිසා විනිසුරුවරයාට එරෙහිව ඉදිරිපත් කෙරුණේ ද අධිකරණ සේවා කොමිසම 1996 පෙබරවාරිවල දි සකස් කොට යවන ලද චෝදනා පත්රයම ය. දෙවන පරික්ෂෂණය ආරම්භ වූයේ ද හරියටම ඉන් වසර තුනකට පසුව 1999 පෙබරවාරි වල දි ය.
ත්රිපුද්ගල පරික්ෂෂණ කමිටුව දිසා විනිසුරුවරයා චෝදනා පත්රයේ එන සියලු චෝදනාවලට වරදකරු කළේ ය. අධිකරණ සේවා කොමිසන් සභාව ඒ අනුව උපාලි අබේරත්න දිසා විනිසුරුවරයා වහාම ක්රියාත්මක වන පරිදි විශ්රාම ගැන්වීමට තීන්දු කොට ඒ බව ඔහුට දැනුම් දුන්නේ ය. ඉන් පසු ඔහු වෙනුවෙන් ජනාධිපති නීතිඥ ඉදිරියේ කරන ලද කරුණු දැක්වීමක් සලකා අවුරුදු දෙකක කාලයක් සඳහා ක්රියාත්මක වන පරිදි උසස්වීම් අත්හිටුවා මොණරාගලට දඬුවම් මාරුවක් ලබාදෙන ආකාරයට දි තිබූ දඬුවම ලිහිල් කළේ ය. අධිකරණ සේවා කොමිසම කෙරෙන් ප්රකාශ වූ මේ සානුකම්පිත ප්රතිපත්තිය සරත් එන්. සිල්වා මහතාගේ උවමනාව වෙනුවෙන් කරන ලද්දක් බවට සැකයක් තිබිය නොහැකි ය. දි තිබුණු දඬුවමට එරෙහිව ෆයිස් මුස්තාපා මහතාට එරෙහිව කරුණු දැක්වීමක් කරන්නට ඉඩ දුන්නේ නම් පැමිණිල්ලට අගතියක් නොවනු පිණිස ඒ අවස්ථාවට පැමිණිල්ලේ නීතිඥයන්ට කරුණු දැක්වීමට අවස්ථාවක් දිය යුතුව තිබුණි. කොමිෂන් සභාව ලෙනින් රත්නායක සම්බන්ධයෙන් සේ ම උපාලි අබේරත්න සම්බන්ධයෙන් ද මෙවැනි ලිහිල් ප්රතිපත්තියක් ගැනීමට ප්රියන්ත පෙරේරා මහතා විශේෂ කාර්ය භාරයක් ඉටු කළා විය යුතු ය.
මෙය දිසා විනිසුරු උපාලි අබේරත්න විසින් කර තිබූ වරදට ගැළපෙන තරමේ දඬුවමක් නොවූ අතර පසුව ලිහිල් කරන ලද දඬුවම ඔහුට එරෙහිව හරියාකාරව ක්රියාත්මක කිරීමක් සිදු නොවී ය. ඔහු මොණරාගල සිටියේ ඉතාමත් ටික කලක් පමණ ය. අවුරුදු දෙකක කාලයක් ක්රියාත්මක වන පරීදි ඔහුගේ සියලු උසස්වීම් අත්හිටුවා තිබුණත් සරත් එන්. සිල්වා මහතා අගවිනිසුරු ධූරයට පත් වීමෙන් පසුව එම දඬුවම් කාල සීමාව අවසන් වීමට ප්රථම ජනාධිපතිනිය ලවා ඔහුට මහාධිකරණයට උසස්වීමක් ලබා දුන්නේ ය.
ලෙනින් රත්නායක පිළිබඳ පරික්ෂෂණයෙන් හා උපාලි අබේරත්න පිළිබඳ පරික්ෂෂණයෙන් ඒ දෙදෙනාට ඉදිරිපත් වී තිබුණු සියලු චෝදනාවලට වරදකරු වී තිබූ තත්ත්වයක් ඉදිරියේ සරත් එන්. සිල්වා මහතා විෂමාචාර චෝදනාවලට එක් ආකාරයකින් හෝ තවත් ආකාරයකින් ගැට ගැසී තිබුණු තත්ත්වයක් ඉදිරියේ නීතිපති ලෙස ක්රියා කළ සරත් එන්. සිල්වාගේ නම නීතිඥ නාම ලේඛනයෙන් කපා හරින ලෙස ඉල්ලන පැමිණිලි දෙකක් ශ්රේෂ්ඨාධිකණය වෙත ඉදිරිපත් විය. එය ශ්රේෂ්ඨාධිකරණය දැඩි පරික්ෂෂණයට ලක් කෙරුණු අවස්ථාවක් විය. තමන් සමග සිටින කෙනෙකුට හෝ තමන් අතර සිටින නායකයකුට එරෙහිව ඉදිරිපත් වන චෝදනාවක දි ස්වාධීනව හා සාධාරණව ක්රියා කිරිමේ ශක්තියක් එයට තිබේද යන්න උරගා බැලෙන කලාතුරකින් පමණක් සිදුවන පරික්ෂෂණයක් විය. ශ්රේෂ්ඨාධිකරණය පළමු වටයේ දි පැමිණිලි දෙක විභාගයට ගත්තේ ය. චූදිත පුද්ගලයා අගවිනිසුරු ධූරයට පත් වීමත් සමග ඒ පරික්ෂෂණ දෙක ද සදා යටපත් විය. එය ශ්රේෂ්ඨාධිකරණය සිය ඉතිහාසයට එකතු කරගත් නොමැකෙන කලු පැල්ලමකි.
මතු සම්බන්ධයි