17 වැනි සංශෝධනයට ආවේණික සීමිතකම් තිබියදිත් එය නීතිගත කරවා ගැනීමට හැකිවීම, දේශපාලන ඇගිලි ගැසීම් නිසා බිඳ වැටී තිබෙන ආයතන ක්රමය නැවත ශක්තිමත් කරගැනීම සඳහා තබන ලද ඉතා වැදගත් ඉදිරි පියවරක් ලෙස සැලකිය හැකි ය.
මේ සමස්ත ප්රතිසංස්කරණයේ හදවත ලෙස ක්රියා කරනුයේ ව්යවස්ථාදායක සභාව ය. ඊට ශක්තිමත් හා ස්වාධීන ක්රියාකාරිත්වයකට ඉඩ ලැබෙන ලෙස ඉතාමත් ගරු කටයුතු, අවංක හා ශක්තිමත් පිට කොර් ඇති පිරිස් එම සභාවේ සාමාජිකයන් බවට පත් කරගත හැකි වේ නම්, ඒ යටතට වැටෙන අලුතෙන් ගොඩ නගන ලද ස්වාධීන කොමිෂන් සභා හතර පමණක් නොව ඒ යටතට වැටෙන අනෙකුත් පැරණි ආයතනවල ද ස්වාධීන ක්රියාකාරිත්වයන් පණගන්වනු හැකිවනු ඇතැයි සිතිය හැකි ය.
එහෙත් මේ මණ්ඩලයට දේශපාලන හෙංචයියන් හෝ දේශපාලන බලපෑම් මත නැටවිය හැකි පුද්ගල පිරිසක් පත් කළහොත් සමස්ත ප්රතිසංස්කරණ වැඩපිළිවෙලෙන් අපේක්ෂා කරන අරමුණු ද බිඳ වැටෙන්නේ ය. මේ නිසා පටු දේශපාලන අභිලාෂයන්ගෙන් තොරව රටේ ආරක්ෂාව සලකා ඒ සඳහා සුදුසුම පුද්ගල පිරිසක් තෝරාපත් කිරීම අගමැති හා විපක්ෂ නායක ප්රමුඛ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල වගකීමයි. ඔවුන් ලවා ඒ වගකීම අකුරටම ඉටු කරන තත්ත්වයක් පවත්වාගෙන යාම සමාජය වෙත පැවරෙන වගකීමයි.
ඉන්පසු ඇති කර තිබෙන නව කොමිෂන් සභා හතරට හා ඒ යටතට වැටෙන අනෙකුත් කොමිෂන් සභාවලට ද ශක්තිමත්, ගරු කටයුතු, අවංක හා ස්වාධීන පුද්ගලයන් පත්විය යුතු ය. මේ සියලු ආයතන මහජනයාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන දේශපාලන ඇගිලි ගැසීම්වලින් තොරව ස්වාධීනව හා කාර්යක්ෂමව ක්රියා කරන ආයතන බවට පත් කිරීම ව්යවස්ථාදායක මණ්ඩලයේ ද, කොමිෂන් සභාවලට පත්වන සාමාජිකයන්ගේ ද වගකීම විය යුතු ය.
ව්යවස්ථාදායක මණ්ඩලයට ස්වාධීනව ක්රියාකරන ගරු කටයුතු පුද්ගලයන් තේරි පත්වීමෙන් පමණක් එය මහජනයාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන ආයතනයක් බවට පත්විය නොහැකි ය. ඒ දේ සිදුවනු ඇත්තේ ඔවුන්ට ලැබී තිබෙන බලය සාධාරණව හා ස්වාධීනව පාවිච්චි කරන බව හා ඒ නිසා දූෂණයෙන් පිරි, පිරිහී බිඳ වැටෙමින් තිබෙන මේ ආයතන ක්රමයට නව පණක් ලබාදිමට හේතුවන බව මහජනතාවට පෙනේ නම් පමණ ය.
පිරමීඩයේ පහළ කොටසට ප්රථම මුදුනත පිරිසිදු විය යුතු ය. බලවත් හා ගරු කටයුතු ආයතන භාරව දූෂිත පුද්ගලයන් සිටී නම්, ඔවුන් හැම කෙනෙකුම එම තනතුරුවලින් පහකරමින් මුදුනත පිරිසිදු කරන ක්රියාවලියක් ආරම්භ කළ යුතු ය. පිරමීඩයේ පහළ කොටස ද පිරිසිදු කළ යුතු ය. එහෙත් එය සිදුවිය යුත්තේ මුදුනත පිරිසිදු කිරිමෙන් අනතුරුව ය.