17 වැනි ව්‍යවස්ථා සංශෝධනය හා ශ්‍රේෂ්ඨාධිකරණය

September 30, 2001
Publication:
Ivan argues that constitutional amendments should not be rushed or sent to court before the public sees the draft, citing N.M. Perera and faulting Batty Weerakoon and Jayampathy Wickramaratne. He contrasts the seven- and nine-judge benches that reviewed earlier amendments with Chief Justice Sarath N. Silva's small benches that left out Mark Fernando, A.R.B. Amerasinghe and Ranjith Dheeraratne, and objects to his ruling that ITN, Lakhanda and Lake House, as companies, fall outside the Elections Commission's powers.

ලෝකයේ කිසිම ශිෂ්ටසම්පන්න රටක් ව්‍යවස්ථා සංශෝධනයක් කඩිමුඩියේ කළයුතු හදිසි කටයුත්තක් ලෙස සලකා ක්‍රියාකරන්නේ නැත. එසේම ව්‍යවස්ථා සංශෝධනයක කෙටුම්පතක් මහජනතාවට ප්‍රසිද්ධ කිරීමකින් තොරව කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය සලකා බැලීමට අධිකරණයට ඉදිරිපත් කරන්නේ නැත. ව්‍යවස්ථා සංශෝධනයක් අධිකරණයට ඉදිරිපත් කළ විට අධිකරණය එහිදී කරුණු සලකා බලන ලද ආකාරය ද පිළිගත් සම්ප්‍රදායයන්ට පටහැනිය.

රටක හදිසි නීති සම්පාදනය ලෙස සැලකෙන්නේ මුදල්, හුවමාරු අනුපාත, ආදායම් බදු වැනි කාලය අතපසුවීම නිසා රටට හානියක් විය හැකි කාරණාය. සේපාල ඒකනායක ගුවන් යානාවක් පැහැර ගෙන ඒම ආශ්‍රයෙන් ඇතිවූ තත්ත්වය ද හදිසි නීති සම්පාදනයක් අවශ්‍ය වූ අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. එහෙත් රටේ මූලික නීතියට අදාළ සංශෝධන කාර්යයක් දඩි බිඩියේ හදිසියේ කළයුතු දෙයක් ලෙස සැලකිය නොහැකිය.

ජනතා විමුක්ති පෙරමුණ සමග ඇති කරගෙන තිබූ එකගතා ගිවිසුම අනුව 17 වැනි සංශෝධනය 24 වැනිදාට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුව තිබුණු තත්ත්වයක් ඉදිරියේ ඉක්මණන් ක්‍රියාකිරිමේ අවශ්‍යතාවක් ආණ්ඩුවට තිබුණත්, කෙටුම්පත අධිකරණයට යවන්නට ප්‍රථම එය මහජනතාවගේ දෑනගැනීම සඳහා ප්‍රසිද්ධ කිරිමේ යුතුකමක් ආණ්ඩුවට තිබුණේය. මේ කරුණුවල ඇති වැදගත්කම ව්‍යවස්ථා සම්පාදන විෂයයෙහි ශ්‍රී ලංකාව බිහි කළ ලොකුම විශාරදයා ලෙස සැලකිය හැකි ආචාර්ය එන්.එම්. පෙරේරා මහතා පුන පුනා ප්‍රකාශ කර ඇතත්, ඒ මහතාගේ දේශපාලන ගෝලයන් දෙදෙනෙකු ලෙස පෙනී සිටින අධිකරණ ඇමති බැටී වීරකෝන් මහතා හෝ 17 වැනි සංශෝධනය කෙටුම්පත් කළ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා හෝ ආචාර්ය එන්.එම්. පෙරේරා අවධාරණය කොට ඇති එම කරුණු එහිදී සැලකිල්ලට ගෙන ඇති බවක් පෙනෙන්නට නැත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 120 වැනි වගන්තියට අනුව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කෙරෙන පනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලදෑයි තීන්දු කිරිමේ වගකීම පැවරි ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙතය. එය ඇමරීකාවේ පවතින ක්‍රමයට සමානය. සමහර රටවල ඒ කාර්යය සඳහාම වන විශේෂ ආයතනයක් පවතී. ප්‍රංශයේ ඒ වගකීම පැවරි ඇත්තේ ව්‍යවස්ථාදායක සභාවටය. අපේ රටේ දැන් පවතින ක්‍රමය ඇමරිකන් ක්‍රමයට සමාන වුවත්, ඒ සඳහා යොදා තිබෙන විධි විධාන ඇමරිකන් ක්‍රමයට වෙනස්ය. අපේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය එවැනි ප්‍රශ්නයක් පිළිබඳව තීන්දු දිම සති තුනක උපරිම කාලයකට යටත් කොට ඇති අතර, හදිසි කරුණක් සඳහා නම් එය තවදුරටත් දින තුනකට සීමා කොට ඇති අතර, ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන කෙටුම්පතක් සම්බන්ධයෙන් එය තවදුරටත් පැය 24ක් දක්වා සීමා කොට තිබේ.

සාමාන්‍ය පනත් කෙටුම්පතක් පැය 24ක් වැනි කාලයක් තුළ සලකා බැලීමේ හැකියාවක් තිබෙනවා විය හැකි වුවත්, රටේ මූලික නීතියට ඉදිරිපත් කරන සංශෝධනයකදි පැය 24 සීමාව කවර මට්ටමකින්වත් සාධාරණ කාලයක් ලෙස සැලකිය නොහැකිය.

පනවා තිබෙන පැය 24 සීමාව යටතේ පවා ව්‍යවස්ථා සංශෝධන විමර්ශනයක් උසස් ප්‍රමිති තත්ත්වයකින් පවත්වාගෙන යාම ශ්‍රේෂ්ඨාධිකරණයේ වගකීමකි. එහෙත් වර්තමාන ශ්‍රේෂ්ඨාධිකරණය එම කාර්යය උසස් ප්‍රමිති මට්ටමකින් පවත්වාගෙන යන බවක් පෙනෙන්නට නැත. රටේ මූලික නීතියට ඉදිරිපත් කරන සංශෝධනයකදි ලබාදි තිබෙන කාලය ඉතාමත් සීමිත නම් අනෙකුත් නඩු කටයුතු අතහැර හෝ ව්‍යවස්ථාමය නීතිය පිළිබඳ ගැඹුරු දැනුමක් ඇති විනිශ්චයකරුවන් ඇතුළත් පුළුල් විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ එය විමර්ශනයට ලක්විය යුතුය. මීට පෙර සිටි අගවිනිසුරුවරුන් පවත්වාගෙන ගිය ක්‍රමය ඊට සමාන විය. එහෙත් දැන් ක්‍රියාත්මක වන ක්‍රමය ඊට සහමුලින් වෙනස්ය.

78 ව්‍යවස්ථාව සඳහා ඉදිරිපත් කෙරුණු පළමු සංශෝධනය විමර්ශනය කිරීම සඳහා පත් කළ විනිශ්චය මණ්ඩලය අගවිනිසුරු ඇතුළු ජේ‍යෂ්ඨයේ අනුපිළිවෙලට විනිසුරුවරුන් හත්දෙනෙකු ඇතුළත් විය. තුන්වැනි සංශෝධනය සලකා බැලු විනිසුරු මඩුල්ල ද අගවිනිසුරු ඇතුළු ජේ‍යෂ්ඨ විනිසුරුවරුන් හත්දෙනෙකුගෙන් සමන්විත වූ අතර, 13 වැනි සංශෝධනය විමර්ශනය කළ විනිසුරු මඬුල්ල අගවිනිසුරු ඇතුළු විනිසුරුවරුන් නවදෙනෙකුගෙන් සමන්විත විය.

එහෙත් අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා යටතේ මේ සම්ප්‍රදාය වෙනස් වී ඇති අතර, 2000 අගෝස්තුවලදි මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා ඉදිරිපත් කෙරුණු 17 වැනි සංශෝධනය පස් පුද්ගල විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ විමර්ශනය කෙරෙන විට ව්‍යවස්ථාමය නීතිය පිළිබඳ විශේෂඥයන් ලෙස සැලකෙන විනිසුරුවරුන් තිදෙනාම (මාර්ක් ප්‍රනාන්දු, ඒ.ආර්.බී. අමරසිංහ හා රංජිත් ධීරරත්න) එම විනිශ්චය මණ්ඩලයට ඇතුළත් නොකර තිබීම කැපී පෙනෙන ලක්ෂණයක් විය. ඊළගට 20දා 17 වැනි සංශෝධනය විමර්ශනයට ගැනුණේ ද අගවිනිසුරුවරයා ඇතුළත් ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේය. ඊට ද ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ජේ‍යෂ්ඨතම පුද්ගලයන් දෙදෙනා හා ව්‍යවස්ථා නීතිය පිළිබඳ විශාරද අවබෝධයක් ඇති පුද්ගලයන් ලෙස සැලකිය හැකි මාර්ක් ප්‍රනාන්දු, ඒ.ආර්.බී. අමරසිංහ යන විනිසුරුවරුන් ඇතුළත් නොවීය. 17 වැනි සංශෝධනය විමර්ශනයට ගැනුණේද එම විනිශ්චය මණ්ඩලය ඉදිරියේ ඇසීමට නියමිත අනෙක් නඩු කටයුතු අවසන් කිරිමෙන් පසුවය. 17 වැනි සංශෝධනය විමර්ශනය කිරිමේ අරමුණ වෙනුවෙන්ම විනිශ්චය මණ්ඩලයක් පත් නොකළ බව ඉන් පෙනී යයි. එයින් පෙන්නුම් කෙරෙන්නේ රටේ මූලික නීතියට ලැබී තිබෙන වැදගත්කමේ ප්‍රමාණයයි.

එහිදී සිදු කෙරුණු විමර්ශනයේ තිබූ පටු බව පෙන්නුම් කරන එක් නිදසුනක් මෙසේය. 17 වැනි සංශෝධනයේ මැතිවරණ කොමිසමට අයත් බලතල අතර මැතිවරණ කාලයේදි රූපවාහිනි සංස්ථාවට හා ගුවන් විදුලි සංස්ථාවට නියෝග දිමේ බලය හා ඒ නියෝග නොපිළිපදින්නේ නම් එම කාලය තුළ එම ආයතන විශේෂ බලධාරියෙකුගේ පාලනයට යටත් කිරිමේ බලය මැතිවරණ කොමිසම සතුය. එහෙත් පුදුමයකට මෙන් රජයට අයත් අනෙකුත් ජනමාධ්‍ය ආයතන ලෙස සැලකිය හැකි ස්වාධීන රූපවාහිනිය, “ලක්හඬ” ගුවන් විදුලිය හෝ ලේක්හවුස් පුවත්පත් ආයතනය ඊට ඇතුළත් නැත. පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි එක් නීතිඥයෙක් ඒ බව පෙන්වා දුන් විට අගවිනිසුරුවරයා ප්‍රකාශ කළේ ඒවා සමාගම් ගණයට අයත් වන බැවින් මේ නීතියට එම ආයතන ඇතුළත් කිරිමේ හැකියාවක් නැති බවය. එහි අවසාන තේරුම වනු ඇත්තේ බලයේ සිටින ආණ්ඩුවට මැතිවරණයකදි මැතිවරණ කොමිෂමේ නීතිවලට යටත් නැතිව ක්‍රියා කළ හැකි රූපවාහිනි ආයතනයක්, ගුවන් විදුලි ආයතනයක් හා පුවත්පත් ආයතනයක් තිබෙනු ඇති බවය.

මේ ආයතන සමාගම් ගණයට වැටෙනවා විය හැකි වුවත්, එම ආයතනවල අයිතිය ඇත්තේ රජයටයි. කළමනාකරණය කරන්නේද රජයයි. ආයතන තුනේම සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල පත් කරන්නේ ජනමාධ්‍ය ඇමතිවරයාය. රූපවාහිනී සංස්ථාවට ලැබුණු බලපත්‍ර ගාස්තුවලින් 25%ක් ස්වාධීන රූපවාහිනියට ලබාදෙන ලදි. “ලක්හඬ” නමින් අලුත් නාලිකාවක් ආරම්භ කරන ලදදේ ගුවන් විදුලි සංස්ථාව සතු තරංග මාලා ගණනාවක් උපයෝගී කරගනිමිනි. “ලක්හඬේ” කොටස් අයිතියෙන් 100%ක් ම හිමි මහා භාණ්ඩගාරයටය. “ලක්හඬ” ඇරඹීම වෙනුවෙන් පමණක් රජය ලබා දෙන ලද ආරම්භක අරමුදලේ ප්‍රමාණය රුපියල් මිලියන 100කි. ස්වාධීන රූපවාහිනිය හා “ලක්හඬ” ගුවන් විදුලිය පාවිච්චි කරමින් සිටින්නේ ද රූපවාහිනී සංස්ථාවේ හා ගුවන් විදුලි සංස්ථාව සතු අධෝව්‍යුහය පහසුකම්ය.

මැතිවරණයකදි රාජ්‍ය ආයතනයක අරමුදල් හෝ සම්පත් කිසිම පක්ෂයක් සඳහා යොදා නොගත යුතු බවට නීතියක් පවත්නේ ආණ්ඩුවක් තෝරාපත් කරගැනීමේ ක්‍රියාවලියේදි රාජ්‍ය ආයතන නිශ්ශබ්දව හා ස්වාධීනව ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය නිසාය. එහෙත් ඒ මූලධර්මය ලේක්හවුසිය, ස්වාධීන රූපවාහිනිය හා “ලක්හඬ” සඳහා බලනොපායි නම් ස්වාධීන මැතිවරණ කොමිසමක් ඇති කරගැනීමේ අදහස ද අර්ථයක් නැති දෙයක් බවට පත්වන්නේය.