ජනතා විමුක්ති පෙරමුණේ පරිවාස වැඩපිළිවෙළ

September 9, 2001
Publication:
Ivan questions whether the JVP can win the five independent commissions by giving oxygen to a dying People's Alliance government. He recalls its seats on the rigged North Western Provincial Council and support for PA provincial administrations, and gives the numbers: the government fell from a majority to 109 against 115 after Rauff Hakeem's group left, and JVP support brings it back to 119. He argues that the pact's ban on peace talks, privatisation and price rises clashes with the IMF standby agreement and risks another LTTE attack like Katunayake.

ඇද වැටෙන්නට යන පොදු පෙරමුණු ආණ්ඩුවට ඔක්සිජන් දෙන පිළිවෙතක් මගින් ජනතා විමුක්ති පෙරමුණට එම ආණ්ඩුවෙන් ඔවුන්ගේ පරිවාස වැඩපිළිවෙළට ඇතුළත් ස්වාධීන කොමිෂන් සභා පහ ඇතුළු අනෙකුත් ඉල්ලීම් ලබාගැනීමට හැකිවේද? ඒ නිසා ජනතාවට කිසිවක් නොලැබී ආණ්ඩුවේ බලය තහවුරුවීම පමණක් සිදුවුවහොත් ජනතා විමුක්ති පෙරමුණ ද විශාල අර්බුදයකට තල්ලුවී යනු නොවැළැක්විය හැකිය.

තමන්ට පොදු පෙරමුණු ආණ්ඩුව ගොනාට ඇන්දවිය හැකිවේ යයි ජනතා විමුක්ති පෙරමුණ කල්පනා කරන විට පොදු පෙරමුණු ආණ්ඩුව ද ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් ඊට සමාන ආකාරයකින් කල්පනා කරන බවක් පෙනී යයි.

ජනතා විමුක්ති පෙරමුණේ සමහර දේශපාලන ස්ථාවරයන් තුළ තර්කානුකූල බවක් නොපවතී. වයඹ පළාත් සභා ඡන්දය එළිපිට කෙරෙන ඡන්ද මංකොල්ලයක් බවට පත්ව තිබියදී එක්සත් ජාතික පක්ෂය පවා එම පළාත් සභාවේ කොටස්කරුවන් වීමෙන් වැළකී එම පළාත් සභාව වර්ජනය කළ අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණ මොනයම් හේතුවක් නිසා හෝ එම පළාත් සභාවේ මන්ත්‍රී ධුර බාරගනිමින් එම කොල්ලකාරී පළාත් සභා ආණ්ඩුවට සුජාතභාවයක් ලබා දුන්නේය. ඉන්පසු පැවති පළාත් සභා මැතිවරණවලදී පොදු පෙරමුණට ආණ්ඩුවක් පිහිටුවීමට බහුතර බලයක් නැති පළාත් සභාවල ආණ්ඩු පවත්වාගෙන යාමට අවශ්‍ය සහාය ලබාදෙමින්, ඒ ආණ්ඩුවල දුරස්ථ පාලකය තමන් අත තිබෙන නිසා එම ආණ්ඩුවලට මහජනතාවගේ හිත සුව පිණිස මිස, පිස්සු නටන්නට ඉඩ නොදෙන බව ජනතා විමුක්ති පෙරමුණ පුන පුනා ප්‍රකාශ කළත්, ඒ ආණ්ඩු ලවා මහජනතාවගේ යහපතට හේතුවන විශේෂ වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කරවීමට තමන් සමත් වී ඇති බව ඔප්පු කිරීමට අද දක්වා ජනතා විමුක්ති පෙරමුණ සමත් වී නැත. ජනතා විමුක්ති පෙරමුණ පොදු පෙරමුණු ආණ්ඩුව විවේචනය කළත්, මොන හේතුවක් නිසා හෝ අනියම් ලෙස ජනතා විමුක්ති පෙරමුණ පාලනය කරන තත්ත්වයක් පවත්වාගෙන යාමට පොදු පෙරමුණ සමත් වී තිබෙන බව ඉන් පෙනී යයි.

ආණ්ඩු පක්ෂය සුළුතරයක් බවට පත්වීම ආශ්‍රයෙන් ඇතිවූ අර්බුදයේදී ද තම පක්ෂයට හෝ එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුවක් පිහිටුවීමට මහජන වරමක් ලැබී නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ අවස්ථා ගණනාවකදීම ප්‍රකාශ කළහ. එම ප්‍රකාශයන් තුළ 2000 පාර්ලිමේන්තු මැතිවරණයේ දූෂිත ස්වරූපය වසන් කිරීමක් ඇතිවා සේ ම, ආණ්ඩුවක් පිහිටුවීමට ජනවරමක් ලැබී ඇත්තේ පොදු පෙරමුණට වන නිසා එම ආණ්ඩුව ආරක්ෂා කිරීමේ වගකීමක් තමන්ට ඇතැයි කියන මතවාදයක් ද ඒ තුළ පවතී.

ඒ අර්ථයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පරිවාස ආණ්ඩු වැඩපිළිවෙළ උපාය මාර්ගික ක්‍රියාමාර්ගයක් වනවාට අතිරේකව පොදු පෙරමුණු ආණ්ඩුව සමග තිබෙන නොපෙනෙන සම්මුතිවල ඵලයක් ලෙස ද සැලකිය හැකිය.

දේශපාලන මරණ මංචකයේ සිටින පොදු පෙරමුණු ආණ්ඩුවට ඔක්සිජන් දීමට ඉදිරිපත් වීමට බලපා ඇති හේතු මොනවා වුවත්, ඒ මගින් පොදු පෙරමුණු ආණ්ඩුවට අවුරුද්දක රවිත කාලයක් ලබාදීමට හැකිවේද යන මූලික ප්‍රශ්නයක් පවතී.

මන්ත්‍රීවරුන් 108කගේ තත්ත්වයක සිටි විපක්ෂයට මුස්ලිම් කොංග්‍රසයේ රවුෆ් හකීම් ඇතුළු 07 දෙනෙකු එකතුවීම නිසා විපක්ෂයට සිටින මන්ත්‍රී සංඛ්‍යාව 115ක් වී, ආණ්ඩු පක්ෂයට සිටින මන්ත්‍රීන් සංඛ්‍යාව 109 දක්වා පහත වැටුණේය. ඒ නිසා ආණ්ඩුව සුළුතරයක් බවට පත්වන විට ආණ්ඩු පක්ෂය තුළ ද බලබෙදීමක් මෝරා තිබුණි. ඒ බලබෙදීම තුළ ආණ්ඩු පක්ෂයේ පිරිසක් සුදුසුම අවස්ථාවක විපක්ෂයට එකතුවීම පිණිස කල්ලි ගැසී ක්‍රියා කරන තත්ත්වයකට යොමුවී සිටියේය. පරිවාස ආණ්ඩු වැඩපිළිවෙළ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට සහාය දෙන තත්ත්වයක් ඉදිරියේ දැන් නැවත ආණ්ඩු පක්ෂයට සිටින මන්ත්‍රී සංඛ්‍යාව 119 දක්වා ඉහළ යමින් විපක්ෂයේ මන්ත්‍රී සංඛ්‍යාව 105 දක්වා පහත වැටී ඇත්තේය. ජනතා විමුක්ති පෙරමුණේ සහාය දෙන පිළිවෙත විපක්ෂය හා ආණ්ඩු පක්ෂ අතර තිබුණු සරල සංඛ්‍යා ගැටලුවට විසඳුමක් ලබාදීමට හේතුවී ඇතත්, ආණ්ඩුව අභ්‍යන්තරයේ ඇතිව තිබූ බල බෙදීම ආශ්‍රයෙන් මතුවී තිබුණු ගැටලුවට විසඳුමක්වී නැත. නැවත ආණ්ඩු පක්ෂය සුළුතරයක් බවට පත්කිරීමට ආණ්ඩු පක්ෂයෙන් විපක්ෂයට අවශ්‍ය වනු ඇත්තේ 8 දෙනෙකු පමණය. කොයි මොහොතක හෝ සිදුවිය හැකි ඒ ආගමනය පොදු පෙරමුණු ආණ්ඩුව පමණක් නොව පරිවාස ආණ්ඩුවේ කොටස්කරුවෙකු ලෙස ක්‍රියා කරන ජනතා විමුක්ති පෙරමුණ ද බලවත් අර්බුදයකට තල්ලු කරනු නොවැළැක්විය හැකිය.

ජනතා විමුක්ති පෙරමුණේ පරිවාස ආණ්ඩු වැඩපිළිවෙළ තුළ ස්වාධීන කොමිෂන් සභා 05 වැනි යහපත් අංශ තිබෙන්නා සේ ම, පවතින අර්බුදය උග්‍ර කිරීමට හේතුවිය හැකි අයහපත් අංග ද පවතී. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රසිද්ධ කොට ඇති පරිවාස වැඩපිළිවෙළ අනුව පරිවාස කාලය තුළ ආණ්ඩුව සාම කතාවලට නොයායුතු බව සඳහන් වේ. අත්සන් කරන්නට යන ගිවිසුමට එම කොන්දේසිය තිබේද නැද්ද යන්න තවමත් පැහැදිලි නැත. එහෙත් ප්‍රසිද්ධ කර ඇති ලියවිල්ලේ එවැනි කොන්දේසියක් ඇතුළත් කිරීමෙන් පෙනී යන්නේ පරිවාස කාලය තුළ සාම කතාවලට යනවාට ජවි පෙරමුණ නොකමැති බවය.

ජනවාර්ගික අර්බුදය හා ඒ ආශ්‍රයෙන් රටේ ඇතිවී තිබෙන යුද්ධය වර්තමාන අර්බුදය කෙරෙහි බලපා ඇති ප්‍රමුඛ සාධකයකි. නෝර්වේ සාම වැඩපිළිවෙළ නිසා දකුණේ පහරදීම් කිරීමෙන් වැළකී සිටින පිළිවෙතක් අනුගමනය කිරීමට ප්‍රභාකරන්ට සිදුවී තිබුණේය. එම වැඩපිළිවෙළ අත්හැරීමත් සමග කටුනායකට එල්ල කරන ලද ප්‍රහාරය නිසා ආර්ථිකයේ අතිවිශාල බිඳ වැටීමක් ඇති කිරීමට හේතුවිය. නැවත ප්‍රභාකරන්ට එවැනි තවත් එක් පහරදීමකට හෝ ඉඩ නොතැබීම රටේ පැවත්ම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් වී තිබෙන අවස්ථාවක පරිවාස කාලය තුළ සාම කතාවලට නොයා යුතුයැයි කියන කොන්දේසියක් රටට ලබාදෙන ප්‍රතිඵල ඉතා විනාශකාරී විය හැකිය.

පරිවාස ආණ්ඩු කාල සීමාව තුළ පුද්ගලිකකරණ වැඩපිළිවෙළ අත්හැරිය යුතු බවට පනවා තිබෙන කොන්දේසිය ද රටේ ආර්ථිකයේ පවතින අවුල තව තවත් අවුල් කිරීමට හේතුවිය හැකිය. රට මුහුණ දී තිබූ ගෙවුම් ශේෂ අර්බුදයට පිළියමක් වශයෙන් හදිසි ණය මුදලක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුමක් ඇතිකර ගැනීමට ශ්‍රී ලංකා ආණ්ඩුවට සිදුවිය. එම ගිවිසුම අනුව එස්ඩීආර් මිලියන 200ක් (ඩොලර් මිලියන 225ක) අනුමත වූ අතර ඉන් ඩොලර් දශ ලක්ෂ 131ක් අප්‍රේල්වල සිට මුදා හැරියේය. එම ණය මුදලින් තවත් කොටසක් (එස්.ඩී.ආර්. මිලියන 24.16ක්) අගෝස්තු 30 වැනිදා මුදා හරින ලද අතර, ඊට සමාන කොටසක් නොවැම්බර් 30 වැනිදා මුදාහැරීමට නියමිතය.

බරපතල ගෙවුම් ශේෂ අර්බුදයකින් තොරව අපනයනයන් සඳහා ගෙවීම් කළ හැකි තත්ත්වයක් රටට ලැබී තිබෙනුයේ එම ගිවිසුම යටතේ ලැබී වාරික වශයෙන් මුදාහැරෙමින් තිබෙන මුදල් නිසාය. පරිවාස ආණ්ඩු වැඩපිළිවෙළට ඇතුළත් පුද්ගලිකකරණ වැඩපිළිවෙළ එක් අවුරුද්දක කාලයක් සඳහා අත්හිටුවීමේ කොන්දේසිය හා එම කාලය සඳහා භාණ්ඩ මිල වැඩි නොකිරීමේ කොන්දේසිය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇති කරගෙන තිබෙන ගිවිසුමට ඇතුළත් කොන්දේසිවලට මුළුමණන් පටහැනිය. පරිවාස වැඩපිළිවෙළ යටතේ පුද්ගලිකකරණ වැඩපිළිවෙළ වසරක කාලයක් සඳහා අත්හිටු වුවහොත් මේ වසරේ නොවැම්බර්වලදී ද, ලබන වසරේ පෙබරවාරිවලදී හා මැයිවලදී වාරික වශයෙන් මුදා හැරීමට නියමිත ණය මුදල් මුදාහැරීම ස්වයංක්‍රීය ලෙස අහෝසි වනු ඇති අතර, එහි නොවැළැක්විය හැකි ප්‍රතිඵලය වනු ඇත්තේ රට නැවත විශාල ගෙවුම් ශේෂ අර්බුදයකට තල්ලු වීමය.

පරිවාස වැඩපිළිවෙළට ඇතුළත් සමහර යෝජනා මහජනයාගේ ආකර්ශනයට හේතුවිය හැකි යෝජනා විය හැකි වුවත්, ඉන් බොහොමයක් ප්‍රායෝගික බවෙන් තොරය. දැඩි පාලිත ආර්ථිකය ක්‍රමයක් තුළ මිස විවෘත ආර්ථික ක්‍රමයක් තුළ භාණ්ඩවල ඉහළ යාම පාලනය කළ හැකි ක්‍රමයක් නැත. විශේෂයෙන්ම ආර්ථිකයේ ඇතිවී තිබෙන බිඳ වැටීම ඉදිරියේ භාණ්ඩවල මිල අවශ්‍යයෙන්ම වැඩි කිරීමට හේතුවන කොතෙකුත් සාධක පවතී. එවැනි අවස්ථාවක භාණ්ඩ මිල දැඩිව පාලනය කිරීමට දරන උත්සාහයක් නිෂ්පාදන අංශයේ බිඳ වැටීම වේගවත් කරයි.

සියලු ගොවි ණය කපාහැරීම් කොන්දේසිය ද ප්‍රායෝගික බවෙන් තොරය. බැංකුවලට ණය වී සිටින්නේ ගොවීන් පමණක් නොවේ. දුප්පත් මට්ටමෙන් ගත් විට ධීවරයන් හා හස්ත කාර්මිකයන් ද බැංකුවලට ණය වී සිටිති. අනෙක් අතට ආර්ථිකයේ ඇතිවී තිබෙන කඩා වැටීම ඉදිරියේ ධනවත් ව්‍යාපාරිකයන් පවා බැංකුවලින් ලබාගත් ණය ආපසු ගෙවිය නොහැකි දුෂ්කර තත්ත්වයකට පත්වී සිටිති.

යහපත් සංචාරක සමයක් අපේක්ෂාවෙන් සංචාරක කර්මාන්තය සඳහා බැංකුවලින් ණය ලබාගනිමින් ආයෝජනය කළ සියලු දෙනා අද ඉන්නේ සුසුම්ලන තත්ත්වයකය. ආර්ථිකය මුළු එකක් වශයෙන් ගෙන එහි ප්‍රවර්ධනයක් සඳහා අවශ්‍ය කරන සහන ලබාදෙන පිළිවෙතක් මිස දේශපාලන අරමුණු මත පිහිටා ලාභ ජනප්‍රියතාව සඳහා තෝරා ගත් පිරිස්වලට පමණක් සහන දෙන පිළිවෙතක් වර්තමාන අර්බුදයට නොගැලපෙන්නේය.

ප්‍රධාන විරුද්ධ පක්ෂ ලෙස ක්‍රියාකරන එජාපයට ඔවුන්ගේ අපේක්ෂාවන්ට පටහැනිව බලය ලබාගැනීමට ඉඩ නොදෙන ප්‍රතිපත්තියක් මගින් එක්සත් ජාතික පක්ෂය අර්බුදයකට යැවීම ජනතා විමුක්ති පෙරමුණේ පරිවාස ආණ්ඩු වැඩපිළිවෙලේ උපාය මාර්ගික අරමුණ වී තිබේ. පොදු පෙරමුණ කොහොමටත් තිබෙන්නේ කැබලි වී යන තැනකය. මේ මොහොතේදී එජාපය ද අර්බුදයට යැවිය හැකි නම් ජයග්‍රාහී ආකාරයකින් මැතිවරණයට මුහුණ දී වඩා හොඳ ප්‍රතිඵලයක් තමන්ට ලබාගත හැකිවනු ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ කල්පනා කරන බව පෙනේ. පොදු පෙරමුණ තුළ දෙකඩවීමක් නොතිබුණේ නම්, එජාප අර්බුදයකට යැවීමේ ජනතා විමුක්ති පෙරමුණේ අරමුණ යථාර්තයක් කරගන්නට ඉඩ තිබුණත්, පොදු පෙරමුණ කැබලි වී තිබෙන තත්ත්වයක් තුළ ජනතා විමුක්ති පෙරමුණේ උපාය මාර්ගික අරමුණු සඵල කරගැනීමට තිබෙන හැකියාව සීමිතය.