ජනාධිපතිනිය 22 වැනි දා තුරග තරග පිටියේ දි පොදුජන එක්සත් පෙරමුණේ මහජන නියෝජිතයන් අමතා කරන ලද දිර්ඝ දේශනයේ දි පවත්නා ආණ්ඩුක්රම ව්යවස්ථාව ගැනත් එය වෙනස් කර ගැනීමට අවශ්ය වී තිබෙන හේතු ගැනත් දිර්ඝ විවරණයක යෙදුණා ය.
ඇයගේ මතය අනුව 78 ව්යවස්ථාව මර උගුලකි. මේ ව්යවස්ථාව යටතේ ශක්තිමත් රජයක් පිහිටුවාගැනීමේ හැකියාවක් කිසිවෙකුටත් කිසිම කාලයක ලැබෙන්නේ නැත. මෙම ව්යවස්ථාව වෙනුවට නව ව්යවස්ථාවක් ඇතිකර ගැනීමට තමන් අවංක උත්සාහයක යෙදුනත් එජාපයේ සහාය නොලැබීම නිසා එය සම්මත කර ගත නොහැකි විය.
ජනාධිපතිනිය කියන අන්දමට ව්යවස්ථාව වෙනස් කිරීමට අවශ්ය තුනෙන් දෙකේ බලයක් නැති තත්ත්වයක් ඉදිරියේ එය වෙනස් කර ගැනීම සඳහා වෙනත් ක්රියාමාර්ග වෙත යොමුවීමට ඇයට සිදු වී තිබේ. ඇමරිකාවේ ඒබ්රහම් ලින්කන් වහල් ක්රමය අවසන් කළේ ද සිය කැබිනට්ටුවෙන් එල්ල වූ විරෝධතා නොසලකා ව්යවස්ථාවට පිටින් කටයුතු කිරීම මගිනි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ අනුමැතියකින් තොරව ව්යවස්ථාව වෙනස් කිරිමේ ක්රමයක් ජනාධිපතිනිය දන්නේ ය. එහෙත් එය මේ අවස්ථාවේ දි හෙළි කිරීමට ඇය සූදානම් නැත.
මෙම විවරණයට ඇතුළත් කරුණුවල ඇත්ත නැත්ත සලකා බැලීම වැදගත් ය.
1. ජනාධිපතිනියට ජනමත විචාරණයකට යාමට අවශ්ය වී ඇත්තේ ආණ්ඩුක්රම ව්යවස්ථාව වෙනස් කර ගැනීමට ඇත්තට ම අවශ්ය වී තිබෙන නිසාද?
ජනාධිපතිනිය ජනමත විචාරණයක් ඉදිරියට ගන්නේ නව ආණ්ඩුක්රම ව්යවස්ථාවක් අවශ්ය නිසා නොව විරුද්ධ පක්ෂෂය ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කරන ලද විශ්වාස භංග යෝජනාව පරාජය වන බව දැන විශ්වාස භංග යෝජනාව විවාදයට ගැනීම වළකා ජනමත විචාරණයක් මගින් තමන්ට මහජන මතයක් ඇති බව කූට ලෙස සනාථ කරන උපාය මාර්ගයක් වශයෙනි.
ජනාධිපතිනිය මෙම ජනමත විචාරණයට තමන්ගේ නව ආණ්ඩුක්රම ව්යවස්ථාවක කෙටුම්පතක් ඉදිරිපත් නොකරයි. ඒ වෙනුවට නව ආණ්ඩුක්රම ව්යවස්ථාවක් අවශ්යද යන ප්රශ්නය මහජනයාගෙන් විමසයි. ඒ ගැන මහජනතාව අතර විවාදයක් නැති නිසා බහුතරයක් එයට ඔව් යන පිළිතුර දෙනු ඇතැයි කල්පනා කරන ජනාධිපතිනිය ඒ මගින් ජනමත විචාරණය ජයගැනීමටත් ඉන් පසු එය තමන්ට ලැබුණු ජනවරමක් ලෙස පෙන්නුම් කොට විශ්වාස භංගයට ඉඩ නොදි වෙනත් ක්රියාමාර්ගයක් වෙත යොමුවීමත් ඇගේ උපායමාර්ගය වී තිබේ. ජනමත විචාරණයෙන් පහසු ජයක් ලබාගත හැකි වෙතොත් එය තමන්ට ලැබුණු ජනවරමක් ලෙස පෙන්වා ඇය මහජනයාගේ විශ්වාසය ඇත්තේ තමන්ට යැයි කියමින් තමන්ට එරෙහිව කැරලි ගසමින් සිටින අභ්යන්තර බලවේග මර්දනය කිරීමට ඇයට ශක්තිය ලැබෙන්නේ ය. එසේ ම පාර්ලිමේන්තුව තුළ තිබෙන තත්ත්වය කුමක් වුවත් තමන්ට විශාල ජනවරමක් ලැබී ඇතැයි කියමින් විරුද්ධ පක්ෂෂ මැඩලීම පිණිස තමන් වෙත වැඩි බලයක් ආරෝපණය කිරිමේ හැකියාව ලැබෙන්නේ ය.
2. මැතිවරණයකින් මහජනයා බලයට පත්කළ ආණ්ඩුවක කොටස්කරුවන් විරුද්ධ පක්ෂෂයකට එකතුවීම ද්රෝහී කියාවක් සේ ම ජනමතය විකෘති කිරීමක් ලෙස කෙරෙන විග්රහයන්ගේ ඇත්ත කුමක්ද?
ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්රමයක් තුළ ආණ්ඩු බලයේ සිටින පක්ෂෂයක් මැතිවරණයක දි ද මැතිවරණ දෙකක් අතරතුර කාලයක දි ඒ සඳහා පාර්ලිමේන්තුව ලබා දි තිබෙන ප්රතිපාදනවලින් ද පරාජය කළ හැකි ය.
විශ්වාසභංග යෝජනාවකින් ආණ්ඩුව පරාජය කිරීම හා රාජාසන කථාවක දි ආණ්ඩුව පරාජය කිරීම බලයේ සිටින ආණ්ඩුවක් මැතිවරණ දෙකක් අතර කාලය තුළ පරාජය කිරීම සඳහා ලබා දි තිබෙන ප්රධාන ප්රතිපාදන ලෙස සැලකිය හැකි ය.
ආණ්ඩු පක්ෂෂයක් බවට පත්විය හැක්කේ පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ඇති පක්ෂෂයකට හෝ සන්ධානයකට ය. එවැනි ආණ්ඩුවක් විශ්වාස භංගයකින් හෝ රාජාසන කථාවක දි පරාජය කිරීමට නම් අවශ්යයෙන් ම ආණ්ඩු පක්ෂෂ පාර්ලිමේන්තු කණ්ඩායමට අයත් පිරිසක් විපක්ෂෂයට එකතුවිය යුතු ය.
එම එකතුවීම කුමන හේතුවක් නිසා සිදුවුවත් එය නීත්යනුකූල ය. එය පුළුල් අර්ථයෙන් ගත්විට ද්රෝහීකමක් ලෙස ද සැලකිය නොහැකි ය.
එය ද්රෝහීකමක් වේ නම් ජනාධිපතිනියගේ පියා වන එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ද මහින්ද රාජපක්ෂෂ මහතාගේ පියා වන ඩී.ඒ. රාජපක්ෂෂ ද, මංගල සමරවීරගේ පියා වන මහානාම සමරවීරද, බැටී වීරකෝන් මහතාගේ දේශපාලන ගුරුවරුන් ලෙස සැලකිය හැකි ආචාර්ය එන්.එම්. පෙරේරා, ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා, ලෙස්ලි ගුණවර්ධන යන අය ද අවස්ථාවාදින් හා ද්රෝහියන් ලෙස සැලකිය යුතු ය.
1947 මැතිවරණයේ දි එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා සේ ම ඩී.ඒ. රාජපක්ෂෂ මහතා ද තරග කොට තේරි පත්වූයේ එජාපයෙනි. එජාප ආණ්ඩුවේ ප්රධාන කොටස්කරුවකු වී සිටිය දි බණ්ඩාරනායක මහතා 1951 ජූලි මස 12 වැනි දින ආණ්ඩු පක්ෂෂයෙන් ඉවත්ව ඩී.ඒ. රජපක්ෂෂ, ඒ.පී. ජයසූරිය, ජයවීර කුරුප්පු ඩී.එස්. ගුණසේකර හා ජෝර්ජ් ආර්. ද සිල්වා යන මන්ත්රීවරුන් සමග විරුද්ධ පෂයට එකතු විය.
1964 දෙසැම්බර් 3 වැනි දා රාජාසන කථා විවාදයේ දි ආණ්ඩු පක්ෂෂයේ කොටස්කරුවකු ලෙස ක්රියාකළ මහානාම සමරවීර මහතා සීපී. ද සිල්වා මහතාගේ නායකත්වයෙන් ආණ්ඩු පක්ෂෂයේ තවත් පිිරීසක් සමග විපක්ෂෂයට එකතුවීම නිසා එතෙක් බලයේ සිටි ශ්රී ලංකා සමසමාජ හවුල් ආණ්ඩුව බිඳ වැටුණ.
පොදු පෙරමුණු ආණ්ඩුවේ ප්රධාන ඇමතිවරුන් තිදෙනෙකු ලෙස ක්රියාකළ ඇන්.ඇම්., කොල්වින් හා ලෙස්ලි යන අය 1975 අගෝස්තුවල විපක්ෂෂයට එකතු විය.
එක් පක්ෂෂයකින් හෝ පෙරමුණකින් පාර්ලිමේන්තුවට තේරි පත් වූ පිරිසක් ආණ්ඩු පක්ෂෂයට හෝ විපක්ෂෂයට එකතු වීමේ ක්රියාවන් තුළ විවිධ හොඳ නරක තිබිය හැකි වුවත් එය පිළිගත් පාර්ලිමේන්තු සම්ප්රදායන්ට අනුකූල ය.
1964 දි ශ්රී ලංකා සමසමාජ සභාග ආණ්ඩුවක් බලයේ සිටින අවස්ථාවක රාජාසන කථාවේ දි සී.පී. ද සිල්වා ප්රමුඛ පිරිසක් විපක්ෂෂයට එකතුවීම නිසා බලයේ සිටි සභාග ආණ්ඩුව බිඳ වැටුණ. ඔවුන් විපක්ෂෂයට එකතුවීමේ ක්රියාව ගැන විවිධ මත පවතී. ඉන් සමහරෙක් මුදලට විපක්ෂෂයට එකතු වූ බවට ද චෝදනාවක් පවතී. ඒ ක්රියාවල හරි වරද කුමක් වුවත් ඒ සමග පැවති මැතිවරණයෙන් පාලක පක්ෂෂය පරාජයට පත්වීමෙන් පෙනී යන්නේ 1960 මැතිවරණයෙන් ශ්රීලනිපයට ජනවරමක් ලැබී තිබුණත් 1964 දෙසැම්බර් වන විට රටේ මහජනතාවට තමන් පත්කළ ආණ්ඩුව එපා වී තිබුණු බව නොවේද?
78 ව්යවස්ථාව නිසා කිසිම පක්ෂෂයකට ස්ථාවර ආණ්ඩුවක් ඇතිකර ගැනීමේ හැකියාවක් නැතැයි කියන කථාවේ ඇත්තක් තිබේද?
විධායක ජනාධිපති ක්රමයෙන් ලැබී තිබෙන රැකවරණය නිසා සුළු බහුතරයක් සහිත ආණ්ඩුවකට පවා ආණ්ඩුවක් පවත්වාගෙන යාමේ හැකියාවක් පවතී. ඊට දිය හැකි හොඳම නිදර්ශනය 1994 පාර්ලිමේන්තු මැතිරවණයෙන් බලයට පත් වූ සමගි පෙරමුණු ආණ්ඩුවයි. 94 මැතිවරණයෙන් පොදු පෙරමුණට ලැබුණේ පාර්ලිමේන්තුවේ එක් වැඩි ඡන්දයක් සහිත ආණ්ඩුවකි. එහෙත් පාර්ලිමේන්තුවේ වෙනත් පක්ෂෂවල ආධාරයෙන් එය කිසිම අර්බුදයකින් තොරව සිය පාලන කාලය පවත්වාගැනීමට සමත් විය.
අනෙක් අතට මෙම ආණ්ඩුක්රම ව්යවස්ථාව යටතේ ශක්තිමත් ආණ්ඩු පාලනයක් සඳහා අවශ්ය තරම් බහුතර බලයක් ලබාගත් අවස්ථා ද පවතී. 89 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ශ්රීලනිප ආසන 67ක් ලබාගන්නා විට එජාප ආසන 125ක් ලබාගත්තේ ය.
ඒබ්රහම් ලින්කන් වහල් ක්රමය මුල් කරගත් ප්රශ්නයේ දි කැබිනට්ටුවෙන් එල්ල වූ විරෝධය නොසලකා ව්යවස්ථාවට පිටින් කටයුතු කළේ යයි කියන කථාවේ ඇත්තක් තිබේද?
මෙහි කිසිම ඇත්තක් නැත. ඒබ්රහම් ලින්කන් බලයට ආවේ ඒ රටේ පැවති වහල්භාවය පිළිබඳ බලවත් දේශපාලන කථිකාවක් රටේ ඇතිව තිබියදි ය. ඇමරීකාවට වහලුන් ආනයනය කිරීම තහනම් කරන ලද්දේ 1808 දි ය. එහෙත් වහල් ක්රමය රටේ ව්යාප්තව පැවතියේ ය. විශේෂයෙන් ම එක්සත් ජනපද රාජ්යයට ඇතුළත් ජනපද 10ක වහල් ක්රමය ශක්තිමත්ව පැවතියේ ය. ඒබ්රහම් ලින්කන් පෙනී සිටියේ වහල් ක්රමයට එරෙහිව ය. වහල් ක්රමය වහාම අවසන් කළ නොහැකි වුවත් එය ව්යාප්ත වීමට ඉඩ නොදිය යුතු යයි කියන දැඩි ප්රතිපත්තියක ය. විශේෂයෙන් ම කපු වගාව හා උක් වගාව පැවති දකුණු දික ජනපද වහල් ක්රමය මත පදනම්ව තිබුණි. වහල් ක්රමය ව්යාප්තව නොතිබුණු හෝ වහල් ක්රමය තහනම් කර තිබුණු ජනපද වහල් ක්රමය අවසන් කිරිමේ අවශ්යතාවය වෙනුවෙන් පෙනී සිටින විට වහල් ක්රමය ව්යාප්තව පැවති දකුණුදිග ජනපද වහල් ක්රමයට පක්ෂෂපාතව පෙනී සිටියේ ය.
ලින්කන් වහල් ක්රමයට එරෙහිව පෙනී සිටි පුද්ගලයකු වීම හේතුකොටගෙන 1860 ජනාධිපතිවරණයෙන් ලින්කන් ජය ගනිමින් සිටින බව පෙනුණු වහාම දකුණු කැරෝලිනා ජනපදය ඇමරිකා එක්සත් ජනපදයෙන් වෙන් වීමට තීන්දු කොට ඒ බව 1860 දෙසැම්බර් 20 වැනි දා ප්රකාශයට පත් කළේ ය. ඉන්පසු ජනාධිපති ලෙස ලින්කන්ගේ දිවුරුම් දිමෙන් පසු දකුණේ තවත් ජනපද රාජ්ය 10ක් ඇමරිකා එක්සත් ජනපද රාජ්යයෙන් වෙන්වී තමන් ඒකාබද්ධ රාජ්ය සංගමයක් ලෙස ක්රියාකරන බව ප්රකාශයට පත් කළේ ය.
ඇමරීකානු ව්යවස්ථාව අනුව ජනපද රාජ්යයන් ඉතා බලවත් වුවත් සන්ධීය රාජ්යයෙන් වෙන්වීමේ අයිතියක් ජනපද රාජ්යයට නැත. මේ පදනම මත පිහිටා ඇමරිකානු ජනාධිපතිවරයා ජනපද රාජ්ය එකොළහේ වෙන්වීම බාරගැනීම ප්රතික්ෂෙෂ්ප කළේ ය. එම තත්ත්වය එක්සත් ජනපද රාජ්ය හා අලුත් ඇතිකරත්තත් ඒකාබද්ධ රාජ්ය සංගමය අතර කෙරෙන විවෘත යුද්ධයක් බවට පත්විය.
ඇමරිකානු ව්යවස්ථාවට අනුව ආණ්ඩුක්රම ව්යවස්ථාව, නීතිය හා දේපළ ආරක්ෂෂා කිරිමේ ප්රධාන වගකීම පැවරෙන්නේ ජනාධිපතිවරයාට ය. මේ අරමුණ වෙනුවෙන් නියෝග නිකුත් කිරිමේ බලයක් ජනාධිපතිවරයාට තිබෙන අතර ආරම්භ වී තිබුණු සිවිල් යුද්ධයේ දි ප්රතිපාර්ශවයට බ්රිතාන්යයේ හා ප්රංශයේ සහාය ලබාගත නොහැකි තත්ත්වයක් ඇති කරමින් ප්රතිපාර්ශවය යුදමය වශයෙන් පරාජ්ය කිරිමේ උපායමාර්ගික අරමුණ ජය ගැනීම සඳහා ඇමරිකා එක්සත් ජනපද රාජ්යයෙන් වෙන් වී ගිය රාජ්යයන්ට පමණක් බලපාන ආකාරයට වහල් ක්රමය අහෝසි කරන නියෝගයක් 1863 ජනවාරි වල දි නිකුත් කළේ ය. මේ නියෝගය පැනවූයේ වෙන් වී සිටින රාජ්යයන් කෙරෙහි බලපාන ආකාරයට වීම හේතුකොටගෙන එම නියෝගයේ නෛතික වටිනාකමක් නොවී ය. අනෙක් අතට එක්සත් ජනපද මධ්යම ආණ්ඩුවෙන් වෙන් නොවූ සමහර ජනපද රාජ්යවල ද වහල් ක්රමයක් පැවතියත් එම නියෝගය එම රාජ්යයන් කෙරෙහි ද බලනොපෑවේ ය. විරුද්ධ පිලට ආධාර වශයෙන් විදේශ රටකට මැදිහත් වීමට ඉඩ නොලැබෙන පදනමක් ඇති කිරීම එහි අරමුණ විය. වෙන්වූ දකුණුදිග ජනපද රාජ්යයන් නිපදවන කපු මිල දි ගත් එංගලන්තය හා ප්රංශයට එම රාජ්යයන් කෙරෙහි අනුකම්පාවක් තිබුණත් මේ නියෝගය නිසා ලින්කන් ආරම්භ කර තිබූ යුද්ධයට වහල් විරෝධී යුද්ධයක පෙනුමක් ලබාදිම නිසා ඒ රටවලට එම යුද්ධයට සම්බන්ධ වීමට තිබුණු ඉඩ ඇහිරුවේ ය. අනෙක් අතට තම හමුදාවන්ට එකතුවීම මගින් වහල් ක්රමයෙන් නිදහස් වන ලෙස කරන ලද ඉල්ලීම නිසා වහල් ක්රමය අත්හැරිමට කැමති වහලූන් විශාල පිරිසක් ඇමරිකන් හමුදාවට එකතු විය. එම තත්ත්වය කැරලිකාර ජනපද රාජ්යවල යුද්ධ ශක්තිය දුර්වල කිරීමට හේතු විය.
සිවිල් යුද්ධය ජයගෙන වෙන් වී ගිය දකුණුදිග ජනපද රාජ්යයන් නැවත එකතුකර ගැනීමෙන් පසුව වහල් ක්රමය අහෝසි කළේ ව්යවස්ථාවට අනුකූලව ය. එය 13 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයක් ලෙස කොන්ග්රස් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද්දේ 1865 ජනවාරි 31 වැනි දා ය. එයට කොන්ග්රසයේ අනුමැතිය ලබාදෙන ලද්දේ 1865 දෙසැම්බර් 6 වැනි දා ය.
ඒ නිසා ඇමරීකාවේ වහල් ක්රමය අහෝසි කිරීම සඳහා පනවන ලද නීති, පිළිගත් ව්යවස්ථා රාමුවෙන් පිට පැන ඇති කරන ලද්දක් ලෙස අර්ථකථනය කිරීම වැරදි ය.