විධායක ජනාධිපති ක්රමය එම තනතුර දරන්නාට සුවපහසු පාලන ක්රමයක් විය හැක්කේ පාර්ලිමේන්තුව තුළ තමන්ට පක්ෂපාත විශාල බහුතර බලයක් ඇති අවස්ථාවක පමණය. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවෙන් එල්ල වන අභියෝගයකින් තොරව පහසු පාලනයක් පවත්වා ගැනීමට හැකිවූයේ පාර්ලිමේන්තුවේ හයෙන් පහක තරම් බලයක් ලැබී තිබුණු තත්ත්වයක් යටතේය.
ප්රේමදාස ජනාධිපතිවරයාට හයෙන් පහක බලයක් නොතිබුණත්, පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද 61ක බලයක් තිබියදිත් දෝෂාභියෝගයකට මුහුණ දිමට සිදුවිය. ප්රේමදාස ජනාධිපතිවරයාට එම දෝෂාභියෝගය ජයගත හැකි වූයේ ද ඉතාමත් කාර්යක්ෂම හා බලවත් පාලකයකු වීම නිසා නොව, ඉදිරිපත් වූ එම දෝෂාභියෝග යෝජනාවට සත්ය පදනමක් නොවූ නිසාය. කථානායකවරයා ද ප්රේමදාස පාලනය පරාජය කරන වැඩපිළිවෙළක අවශ්යතාව වෙනුවෙන් පෙනී සිටි උද්යෝගිමත් ක්රියාකරුවකු වීම නිසා දෝෂාභියෝග යෝජනාවක් සම්පූර්ණ කිරීමට අවශ්ය අවම අත්සන් ප්රමාණය නොමැතිව ඔහු යෝජනාව භාර ගනිමින් ප්රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කරන ලද දෝෂාභියෝගයක් තමන් භාරගත් බව ප්රකාශයට පත් කළේය. සත්ය පදනමක් නොතිබියදිත් එම දෝෂාභියෝගය ඉතා බලවත් පාලකයකු ලෙස සැලකිය හැකි ප්රේමදාස ජනාධිපතිවරයා අතිවිශාල අර්බුදයකට තල්ලු කළේය. සත්ය පදනමක් නොවීම හේතු කොට ගෙන ප්රේමදාස ජනාධිපතිවරයාට ඉන් පරාජයට පත්වීමෙන් වැළකීමට හැකි වුවත්, එය ඒ මහතාටත් විධායක ජනාධිපති ක්රමයටත් බරපතල හානි ඇති කිරීමට හේතුවිය.
ඉන්පසු බලයට පැමිණි විජේතුංග ජනාධිපතිවරයා ජනාධිපති ක්රමයෙන් තමන්ට අතිවිශාල බලයක් ලැබී තිබියදිත්, දරදඬු පාලකයකු ලෙස නොව, ලිහිල් පාලකයකු ලෙස ක්රියා කළේය. 94 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පොදු පෙරමුණට ලැබුණේ ඉතාමත් ආන්තික ජයග්රහණයක් වුවත්, විජේතුංග ජනාධිපතිවරයා පොදු පෙරමුණ සමග ගැටුමකට නොයමින් විධායක ජනාධිපති ක්රමයෙන් තමන්ට ලැබී තිබුණු අසීමිත බලය නොසලකා පොදු පෙරමුණට තමන් කැමති දෙයක් කරගන්නට ඉඩ හැර නාමික ජනාධිපතිවරයෙකුගේ තත්ත්වයට මාරු වූයේය. විජේතුංග ජනාධිපතිවරයා එවැනි ලිහිල් පිළිවෙතක් අනුගමනය නොකොට ව්යවස්ථාව අනුව කැබිනට්ටුව පත්කිරිමේ බලය ඇත්තේ තමන්ට යැයි සලකා තමන් කැමති ඇමති ධුර කිහිපයක් තමන් අතට ගන්නට හෝ පොදු පෙරමුණෙන් පිටස්තර කිහිපදෙනෙකු කැබිනට් මණ්ඩලයට නම් කරන්නට හෝ ගියේ නම්, පොදු පෙරමුණට බලය ලැබුණු පාර්ලිමේන්තුව හා විධායක ජනාධිපති ක්රමය අතර අතිවිශාල ගැටුමක් ඇතිවීම නොවැළැක්විය හැකිවන්නට ඉඩ තිබුණි.
ජනාධිපතිනි චන්ද්රිකාට ලැබුණු පාර්ලිමේන්තු බලය මෙතෙක් බලයට පැමිණි අන් සියලු ජනාධිපතිවරුන්ට ලැබුණු පාර්ලිමේන්තු බලයට වඩා දුර්වල හා ආන්තික තත්ත්වයක පැවතියේය. එම යථාර්ථය ඉදිරියේ සිය පැවැත්ම ආරක්ෂා කරගැනීම සඳහා විජේතුංග ජනාධිපතිවරයාටත් වඩා ලිහිල් හා මටසිලුටු පාලනයක් පවත්වාගෙන යාම අත්යවශ්ය වූයේය. එහෙත් ඇය කෙරෙන් ප්රකාශ වූ පාලනය හයෙන් පහක බලයක් මත ක්රියාත්මක වූ ජේ.ආර්. ජයවර්ධන පාලනයටත් වඩා හිතුවක්කාරි, දරදඬු හා පීඩාකාරි විය.
බලතුලනයේ වෙනසක් සඳහා අවශ්ය වූයේ ඉතාමත් පුංචි වෙනසක් පමණය. ඇය නියෝජනය කළේ ද තනි පක්ෂ පාර්ලිමේන්තු ආණ්ඩුවක් නොව, පක්ෂ විශාල ගණනාවකින් සමන්විත පෙරමුණු ආණ්ඩුවකි. ඒ නිසාම බලතුලනයේ වෙනසක් ඇති කිරීමට හේතුවන සිද්ධියක් ඇතිවීමට තිබුණු ඉඩකඩ තනි පක්ෂයක පාර්ලිමේන්තු ආණ්ඩුවක් යටතේ තිබුණු ඉඩකඩට වඩා විශාල විය. මේ තත්ත්වය යටතේ පෙරමුණේ සියලුදෙනා ශක්තිමත් ලෙස එකට තබාගත හැකි ඔවුන්ගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන පිළිවෙතක් අවශ්ය වී තිබුණා සේම බාහිර වශයෙන් බලවත් පීඩනයක් ඇතිවීම වළකා ගැනීම පිණිස විරුද්ධ පක්ෂවල විශ්වාසය හෝ ගෞරවයට හේතුවන පාලනයක් පවත්වාගෙන යාමද අත්යවශ්ය විය. එහෙත් එම යථාර්ථයට ගැලපෙන හික්මුණු දේශපාලන පැවැත්මක් පවත්වාගෙන යාමට ජනාධිපතිනිය අසමත් වූවාය.
ඇය විරුද්ධ පක්ෂ සම්බන්ධයෙන් අනුගමනය කළ ප්රතිපත්තිය ඉතාමත් සාහසික වූවා සේම, සිය කැබිනට් ඇමතිවරුන් හා මන්ත්රීවරුන් සම්බන්ධයෙන් පවත්වා ගෙන ගියේ ද ඔවුන්ගේ විශ්වාසය හා ගෞරවයට හේතු නොවන පීඩාකාරි පාලනයකි. ඇය බලයට ගෙනා දේශපාලන න්යාය පත්රයට ඇතුළත් ප්රධානතම කාරණා වූයේ විධායක ජනාධිපති ක්රමය අහෝසි කිරීම ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීම හා සාමය ඇති කිරීමය. එහෙත් ඇය ඒ එකදු කොන්දේසියක්වත් සම්පූර්ණ කරනවා තබා සම්පූර්ණ කිරීමට අවංක උත්සාහයකවත් නොයෙදුණාය. බලයට එන්නට පෙර විධායක ජනාධිපති ක්රමය ගැන මහත් පිළිකුලෙන් යුතුව කතා කළත් බලයට පැමිණ පසු විධායක ජනාධිපති බලය විසින් ජනිත කරන රසය ගිජු ලෙස භුක්ති විඳිමින් ඇය උපරිම ශක්තිය යොදා ඒ ක්රමය ආරක්ෂා කළාය. ප්රජාතන්ත්රවාදී අවකාශ පුළුල් කරනවා වෙනුවට විවර වී තිබූ අවකාශ ද සීමා කරන පිළිවෙතක් අනුගමනය කළාය. මහජන නියෝජිතයන් තෝරාපත් කරගැනීම සඳහා පැවැත්වෙන මැතිවරණ වංචාවෙන් හා බලහත්කාරයෙන් පමණක් ජයගත යුතු දෙයක් බවට හැරවීම ප්රජාතන්ත්රවාදී විෂය ක්ෂේත්රයෙහි ඇය අතින් සිදුවූ බලවත්ම දේශපාලන අපරාධය විය. ජනවාර්ගික ප්රශ්නය විසඳ ගැනීමට විවර වී තිබුණු ඉඩකඩ දක්ෂ ලෙස ප්රයෝජනයට ගන්නවා වෙනුවට අනියම් ලෙස රටේ වර්ගවාදි පෙළගැසීම් වර්ධනය කරන පිළිවෙතක් අනුගමනය කළාය.
විධායක ජනාධිපති ක්රමයේ බල පරාක්රමය තමන් අත තිබෙන තාක් තමන්ට එරෙහිව බලවත් කිසිවක් සිදුවීමට ඉඩක් නැතැයි ඇය කල්පනා කළා විය යුතුය. එහෙත් ඇගේ තක්සේරුව නිවැරදි නොවීය. අගවිනිසුරුවරයාට එරෙහිව ඉදිරිපත්වූ දෝෂාභියෝගය හා ඊට එරෙහිව අධිකරණය විසින් ද දෙන ලද වාරණ නියෝගය ආශ්රයෙන් අර්බුදයක් මතුවී තිබෙන අවස්ථාවක රවුෆ් හකීම් සම්බන්ධයෙන් අනුගමනය කළ මෝඩ ප්රතිපත්තිය පාර්ලිමේන්තු බලතුලනයේ මහා වෙනසක් ඇති කිරීමට හේතුවී ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුවේ සුළුතරය බවටත් විපක්ෂය බහුතරය බවටත් පත් කළේය. එය විධායකය හා පාර්ලිමේන්තුව අතර මහා ගැටුමක් ඇති කිරීමට අවශ්ය පදනම ලබා දුන්නේය.
ජනාධිපතිනිය ප්රජාතන්ත්රවාදී ගුණධර්ම පිළිගන්නා ප්රඥාවන්ත නායිකාවක් වී නම් එවැනි අවස්ථාවකදි ඇය කළ යුතුව තිබුණේ තිබෙන යථාර්ථය පිළිගනිමින් බහුතරය බවට පත්ව සිටි විරුද්ධ පක්ෂයට තමන් කැමති ආණ්ඩුවක් ගොඩනගා ගන්නට ඉඩදෙමින් ජනාධිපති විජේතුංග කළා සේ ඒ ගොඩ නැගෙන ආණ්ඩුව සමග සහයෝගයෙන් ක්රියා කරන පිළිවෙතක් අනුගමනය කිරීමය. එය එසේ වී නම්, ඇතිවී තිබුණු අර්බුදය පාර්ලිමේන්තුව හා ජනාධිපති අතර ඇතිවන මහා ගැටුමක් දක්වා වර්ධනය නොවන්නට ඉඩ තිබුණි.
එහෙත් ඊට පටහැනිව සිය පෙරමුණ පවා ඒකමතික තත්ත්වයක නොතිබෙන අවස්ථාවක හා විරුද්ධ පක්ෂය විශ්වාසභංගයකට කල් දි තිබෙන අවස්ථාවක කැබිනට් මණ්ඩලයට පවා දැනුම් දිමකින් තොරව පාර්ලිමේන්තුවේ සැසිය අවසන් කළාය. ඊට හේතුවූ ඇත්ත යථාර්ථය වසන් කිරීම පිණිස ජනමත විචාරණයක් පිළිබඳ කථිකාවක් ද පෙරට ගෙන ඇත්තේය.
මෙය ජනාධිපතිනිය තමන්ට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ගෙන්වා ගැනීමකට සමානය. විරුද්ධ පක්ෂ පමණක් නොව, ආණ්ඩු පක්ෂයේ ද අතිවිශාල බහුතරයක් පාර්ලිමේන්තුව විසුරුවා හැරිමක් කරනවා දකින්නට කැමති නැත. කැබිනට් මණ්ඩලයේ කිහිපදෙනෙකු හැර වැඩි පිරිසක් ද එවැනි ක්රියාමාර්ගයකට කැමති නැත. මේ තත්ත්වය ඉදිරියේ පාර්ලිමේන්තුව සිය ආරක්ෂාව සඳහා ජනාධිපතිනියට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කරන තත්ත්වයකට තල්ලුවීම නොවැළැක්විය හැකිය. ඇතිවී තිබෙන තත්ත්වය යටතේ තුනෙන් දෙකේ අත්සන් ප්රමාණය සඳහා විරුද්ධ පක්ෂයට අඩු ගණන ආණ්ඩු පක්ෂයෙන් ලබාගැනීමට ද අපහසු නැත.
අවශ්ය කරන අවම අත්සන් සංඛ්යාව නොතිබියදිත්, ප්රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් වූ දෝෂාභියෝගය ජනාධිපති ක්රමය බරපතල ලෙස දෙදරුම් කැවීමට හේතුවී නම්, තුනෙන් දෙකක අත්සන් ඇතිව ඉදිරිපත් වන දෝෂාභියෝගයක් මගින් ඇති කරන ප්රතිඵල වඩා විනාශකාරි වීම නොවැළැක්විය හැකිය.