කතාව දෝලාවෙන් ගමන පයින්

June 10, 2001
Publication:
Any settlement with Prabhakaran requires renewing the social contract with real power-sharing, but the government's fine words on devolution are contradicted by its conduct. Moving from Hobbes to Rousseau and modern pluralism, the editorial lists how the President denies power to ministers, the judiciary, the Elections Commissioner and the Auditor General, meddles in the Kataragama Basnayake Nilame election and the cricket board, and strips Colombo's UNP council, so Tamils cannot trust her promises.

ප්‍රභාකරන් සමග එකගතාවක් ඇතිකර ගැනීම සරල හෝ පහසු විය නොහැකිය. ඔහු සමග කවදා හෝ එකගත්වයක් ඇතිකර ගැනීමට හැකිවනවා නම් හැකිවනවා ඇත්තේ ද ඔවුන්ගේ විශ්වාසයට හා පිළිගැනීමට හේතුවන ආකාරයේ බලය බෙදාහැරිමේ වැඩපිළිවෙළක් ඇතුළත් වන ලෙස තිබෙන සමාජ ගිවිසුම ප්‍රතිසංස්කරණය කරන්නේ නම් පමණය.

පොදු පෙරමුණේ ආණ්ඩුවේ පැත්තෙන් ආණ්ඩුවේ නායකයන් කල්පනා කරන්නේ යෝජිතනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් බලය බෙදාහැරිමේ වැඩපිළිවෙළ තුළ ඔවුන්ට දිය හැකි උපරිම දේ ඇතුළත් වන බැවින් ඊට එකගවීමේ යුතුකමක් ප්‍රභාකරන්ට ඇති බවය. බලය බෙදා හැරිම සඳහා වන ආණ්ඩුවේ කතා ඉතා ලස්සන විය හැකි වුවත්, ඒ සඳහා අවංක භාවිතයක් තමන්ට ඇති බව සනාථ කිරීමට ආණ්ඩුව තවමත් සමත් වී නැත. ආණ්ඩුව ඉතාමත් දුෂ්කර තත්ත්වයකට යන්නේ කතාව හා කෙරුවාව අතර ඇති මේ වෙනසේදිය. දිළින්දෙකුට එක තඹ සතයක්වත් නොදෙන මසුරු ඉතිහාසයක් ඇති ධනවතෙකු දිළින්දන් බහුතරයක් සහිත මැතිවරණ කොට්ඨාශයකට තරග කරමින් තමා එම කොට්ඨාශයේ මන්ත්‍රීවරයා වශයෙන් තෝරා පත් කරගතහොත් තමන් සතු සියලු ධනය දිළින්දන්ගේ අභිවෘද්ධිය පිණිස වියදම් කරන බවට කරන ප්‍රකාශයක් දිළින්දන්ගේ හාස්‍යයට මිස විශ්වාසයට හේතුවිය නොහැකිය. චන්ද්‍රිකාගේ බලය බෙදාහැරිමේ වැඩපිළිවෙළ ප්‍රභාකරන්ට හා දෙමළ ජනතාවට පෙනෙනු ඇත්තේ ද ඊට සමාන ආකාරයකටය.

තෝමස් හොබ්ස්ගේ ලෝකය තුළ පිළිගැනීමක් තිබුණේ රාජ්‍යයට හා රාජ්‍ය පාලකයාට පමණ. පවුල හා පුද්ගලික මිනිසා (individual Man) කවර මට්ටමකින්වත් බල ඒකකයක් ලෙස නොසැලකීය. එහෙත් අද අපි ජීවත්වන්නේ ජනතාවගේ පරමාධිපත්‍යය බලය පිළිගන්නා රූසෝගේ ලෝකයත් ඉක්මවා ගිය නවීන ලෝකයකය. එහි රාජ්‍ය පාලකයා බල ඒකකයක් වනවිට සමාජය පමණක් නොව, තනි පුද්ගලයා ද බල ඒකකයක් ලෙස සැලකේ. රාජ්‍ය තුළ ද විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යනාදි වශයෙන් වන ප්‍රධාන බලබෙදිමක් පවතී. රටක ප්‍රධාන විධායක මණ්ඩලය ලෙස සැලකිය හැකි කැබිනට් මණ්ඩලය තුළ ද කැබිනට් ඇමතිවරුන් යටතට වැටෙන අමාත්‍යංශ ද අනුව බල බෙදිමක් පවතී. පාර්ලිමේන්තුව උත්තරිතරම මහජන නියෝජිත ආයතනය වන විට පළාත් සභා, නගර සභා, සුළු නගර සභා හා ප්‍රාදේශීය සභා වශයෙන් ද මහජන නියෝජිත ආයතන ගණනාවක් ක්‍රියාත්මක වන අතර ඒ හැම ආයතනයකටම විශේෂ බල ප්‍රමාණයක් හිමිය. මේ සියල්ලට අතිරේකව දේශපාලන පක්ෂ, ආගමික සංවිධාන, වෘත්තීය සමිති සංවිධාන, පාරිභෝගික සංවිධාන හා විවිධ ආකාරවලින් ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන ජාලයකින් ද සමාජය සමන්විතය. මේ හැම සංවිධානයක්ම විවිධ සීමාවන්ට යටත් බලතලවලට හා අයිතිවාසිකම්වලට හිමිකම් කියයි. සමහර අයිතිවාසිකම් විශේෂ තත්ත්වයක් යටතේ සීමා කළහැකි වුවත් තවත් සමහර බලයන් හා අයිතිවාසිකම් කවර තත්ත්වයක් යටතේ හෝ අහිමි කිරීම හෝ සීමා කිරීම කළ නොහැකිය.

පවතින සමාජ ගිවිසුම අනුව ඉහළින්ම සිටින රාජ්‍ය නායකයාගේ සිට පහළින්ම සිටින පුද්ගලික මිනිසා දක්වා වන සියලු දෙනා හා සියලු ආයතන එකිනෙක පුද්ගලයන්ට හා ආයතනවලට ලැබී තිබෙන බලයන්ට හා අයිතිවාසිකම්වලට ගරු කළ යුතුය. තමා රාජ්‍ය නායකයා හා පළමු පුරවැසියා වන නිසා සියලු පුද්ගලයන් හා ආයතනවලට හිමි බලය හා අයිතිවාසිකම් නොසලකා ඒ සියල්ල තමන්ට යටහත්පත් තත්ත්වයකින් ක්‍රියාකළ යුතු යැයි කියා කල්පනා කරමින් ඊට එකග නොවන සියලු දෙනා හා සියලු සංවිධාන සතු බලයන් හා අයිතිවාසිකම් පොඩි පට්ටම් කරන ප්‍රතිපත්තියක් රාජ්‍ය පාලකයා අනුගමනය කරයි නම්, ඇති කරගෙන තිබෙන සමාජ ගිවිසුමේ කඩා බිඳ වැටීමක් ඇතිවීම නොවැළැක්විය හැකිය. දෙමළ ජනතාව තිබෙන සමාජ ගිවිසුම ප්‍රතික්ෂේප කරන තැනකට තල්ලුවී සිටින්නේ ද එහි ප්‍රතිඵලයක් වශයෙනි. ඔවුන් නැවත ඔවුන්ට ද එකගවිය හැකි නව සමාජ ගිවිසුමට කැඳවා ගැන්මට උත්සාහ දරන රාජ්‍ය නායකයෝ ඔවුන්ට කොතරම් හොඳ පොරොන්දු දුන්න ද අන්‍යයන්ගේ බලයන්ට අයිතිවාසිකම්වලට ගරු නොකරන ප්‍රතිපත්තියක් අනුගමනය කරයි නම් දෙන්න පොරොන්දු වන දේවල ප්‍රමාණය කොතරම් විශාල වුවත් ඒ පොරොන්දු කෙරෙහි විශ්වාසයක් ඇති කරගනු ඇතැයි සිතිය නොහැකිය.

ජනාධිපතිනිය වාර්ගික ප්‍රශ්නයට විසඳුමක් සඳහා උපරිම මට්ටමෙන් බලය බෙදා හැරිමකට යන්නට සූදානම්ය. එහෙත් තමන්ගේ ඇමතිවරයෙකුට තමන් කැමති අමාත්‍යංශ ලේකම්වරයෙකු පත්කිරිමේ අයිතියක් ලබාදිමට සූදානම් නැත. අධිකරණය දකින්නේ ස්වාධීනව තිබිය යුතු ආයතනයක් ලෙස නොව, සිය ග්‍රහණයට යටත්ව ක්‍රියාකළ යුතු ආයතනයක් ලෙසය. මැතිවරණ කොමසාරිස්වරයාට මැතිවරණ කටයුතු නිදහස් හා සාධාරණව පැවැත්වීමට අවශ්‍ය බලය දිමට සූදානම් නැත. විගණකාධිපතිවරයාට තමන් යටතේ ඇති ආයතන නිදහසේ විගණනය කිරීමට ඉඩ දිමට සූදානම් නැත.

ජනාධිපතිනිය කතරගම දේවාලය සඳහා බස්නායක නිලමේ කෙනෙකු තෝරාගැනීමේ තරගය පවා සැලකුවේ අවශ්‍යයෙන්ම තමා කැමති පුද්ගලයෙකු තෝරා පත්විය යුතු තරගයක් ලෙසය. ක්‍රිකට් පාලක මණ්ඩලයට තමන් කැමති නැති පිරිසක් තේරි පත් වූ විට එය විසුරුවා හැර තාවකාලික පාලක මණ්ඩලයක් පත් කෙරෙව්වේය. කොළඹ නගර සභාවේ බලය එජාපය අත තිබෙනවා දකින්නට අකමැති වූ ඇය සිය ඇමතිවරයා ලවා පළමු අදියරේදි විහාරමහාදේවි උද්‍යානය ද දෙවැනි අදියරේදි ජල සැපයුම ද නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගත්තාය. විරුද්ධ පක්ෂයක් අත බලයේ තිබූ පළාත් සභා දෙකක් විසුරුවා හැරිමට දරන ලද හිතුවක්කාරි ප්‍රයත්නයක් වැළකී ගියේ අධිකරණයේ මැදිහත්වීම නිසාය.

සමාජ ගිවිසුමෙන් පිටස්තරව සිටින තමා වැනි අයෙකුට බලය පවරන වැඩපිළිවෙළකට යන්නට පෙර සමාජ ගිවිසුම තුළ සිටින පුරවැසියන්ට හා ආයතනවලට හිමි බලයත් ඔවුන්ට ලබාදිම මගින් බලය බෙදාහැරෙන වැඩපිළිවෙළකට ඇති කැපවීම පළමු කොට ඔප්පු කරන ලෙස ප්‍රභාකරන් ජනාධිපතිනියගෙන් ඉල්ලා සිටියහොත් ජනාධිපතිනිය ඉතා දුෂ්කර තත්ත්වයකට පත්වනු නොඅනුමානය.