ශ්රී ලංකාව හොරුන්, තක්කඩින් හා වනචරයන් රජ කරන රටක් බවට පත්වී හමාර ය. රාජ්ය අනුග්රහය, මාධ්ය අනුග්රහය හා ආගමික අනුග්රහය ලැබෙන්නේ එවැනි හොරුන්, තක්කඩින් හා වනචරයන්ටය.
දැහැමි විනිසුරුවරයෙකුගේ වෙස් ගත් තක්කඩි මහේස්ත්රාත්වරයෙකු තමන් විසින් රිමාන්ඩ් භාරයට පත් කරන ලැබූ සැකකරුවකුගේ බිරිඳක් කටඋත්තරයක් ලබාගැනීමේ මුවාවෙන් තමන් වෙත ගෙන්වා ගනිමින් ඇය දූෂණය කළේය. එම නින්දා සහගත ක්රියාව “රාවය” හෙළිදරව් කරන ලද අවස්ථාවේදි ලැබුණු ප්රතිචාරය පුදුම සහගතය. ප්රදේශයේ භික්ෂූන් වහන්සේලා පිරිසක් මෙම ස්ත්රී දූෂිත මහේස්ත්රාත්වරයාට පක්ෂපාතව හා “රාවය”ට එරෙහිව විරෝධතා ව්යාපාරයක නිරතවීමෙන් නොනැවතී මෙම ස්ත්රී දූෂක මහේස්ත්රාත්වරයා පින්බර යුග පුරුෂයෙකු ලෙස හඳුන්වමින් ප්රසිද්ධ පුවත්පත් නිවේදනයක් ද නිකුත් කළහ. රටේ ජනමාධ්යය ද මේ ස්ත්රී දූෂකයා සෘජු ලෙස හෝ අනියම් ලෙස ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කළා විනා එම කාන්තාව කියන කතාවේ ඇත්ත නැත්ත සොයා බලන පිළිවෙතක් අනුගමනය නොකළේය.
මෙම තක්කඩි මිනිසා අධිකරණ සේවයට එකතුවන්නට පෙර රක්ෂණ සංස්ථාවේ ලිපිකරුවකු ලෙස සේවය කර තිබුණි. එහිදී පවත්වාගෙන ගිය තෙවැනි පාර්ශ්වයේ හිමිකම් වංචා කිරිමේ වැඩපිළිවෙළක් නිසා සංස්ථා සේවයෙන් පලවා හැර තිබුණි. ඔහු නීතිඥයෙකු බවට පත්ව සිටියේ ද පසුව අධිකරණ සේවයට ඇතුළත්ව සිටියේ ද සිය අපරාධකාරි ඉතිහාසය වසන් කරමිනි. මේ පුද්ගලයා අධිකරණ සේවයට රෙකමදාරු කර තිබුණේ එවකට නීතිපතිව සිටි ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතාය. චරිත සහතිකය ලියා දි තිබුණේ ජනාධිපති නීතිඥ ඩී.ඇස්. විජේසිංහ මහතාය. එම තත්ත්වයන් යටතේ ඔහුට අධිකරණ සේවා කොමිසම තුළ සුපිරි පිළිගැනීමක් ලැබී තිබුණු අතර ඒ නිසා ඔහුට පත්වීම ලැබී මාස හයකින් දිසා විනිසුරුවරයෙකුගේද වැඩ ආවරණය කෙරෙන ආකාරයට ජේයෂ්ඨ විනිසුරුවරුන් පනස් අටදෙනෙකු අභිබවා මහවට උසස්වීමක් ද ලබා දි තිබුණි.
මේ තක්කඩියා අධිකරණ සේවයට එකතු වී තිබුණේ සිය අපරාධකාරි ඉතිහාසය සගවා ගෙන වීම නිසාම තවදුරටත් ඒ සියල්ල සගවාගෙන සිටීමේ අරමුණ ජයගැනීම සඳහා උපාසක විනිසුරුවරයෙකුගේ චරිතය රගපෑමට ඔහුට සිදුවී තිබුණේය. ඔහු ප්රදේශයේ සීල ව්යාපාර මෙහෙයවන ප්රධානම පුද්ගලයකු බවට පත්ව සිටියේය. ප්රදේශයේ භික්ෂූන් වහන්සේලාගේ පක්ෂපාතීත්වය ලබාගැනීම සඳහා නඩු විභාගවලදි වරදකරුවන්ට දඩ ගසන අවස්ථාවලදි නීතියට පටහැනිව ප්රදේශයේ පන්සල්වලට ද්රව්යයෙන් ගෙවිය යුතු ක්රමයක් (සිමෙන්ති වැනි ද්රව්යවලින්) පවත්වාගෙන ගියේය.
සිය අපරාධකාරි ඉතිහාසය සගවාගෙන අධිකරණ සේවයට එකතු වී සිටි මේ පුද්ගලයා සිය ආරක්ෂාව සඳහා අධිකරණ සේවයේ නියුතු බලවත් පුද්ගලයන් ඇසුරු කළේය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැදෑහැවත් බෞද්ධයෙක් වූ අගවිනිසුරුවරයා ද (ජී.පී.එස්. ද සිල්වා මහතා) සිය සීල ව්යාපාරවලට සම්බන්ධ කරගැනීමට ඔහු සමත් වී තිබුණේය. ඔහු එවකට නීතිපතිව සිටි සරත් සිල්වා මහතා ද ඇසුරු කළේය. මහව සංවිධානය කරන සමහර උත්සවවලට නීතිපතිවරයා ද සහභාගි කරවා ගත්තේය.
දැහැමි හා ගාම්භීර රැස් වළල්ලක් කෘත්රීම ලෙස පවත්වාගෙන යන අතර, ඊට මුවාවී තමන්ට හුරු පුරුදු තක්කඩිකම් හා වනචරකම්වල ද යෙදුණේය. ඒ කටයුතු සඳහා තමන්ට ආධාර කරන නීතිඥයන් කිහිපදෙනෙකු ඔහු ගොඩනගා ගෙන තිබුණේය. ඔවුහු නඩුකාර හාමුදුරුවන්ට අවශ්ය ගෑනු සපයා දුන්හ. අමාරු නඩු බේරුමක් කරදිම සඳහා අල්ලස් ලබාගනිමන්, ඒවා තක්කඩි මහේස්ත්රාත්වරයා සමග බෙදා හදා ගත්හ.
මෙම දූෂිත මහේස්ත්රාත්වරයාට එරෙහිව පුවත්පතක් වශයෙන් රාවය කොතරම් හඬ නැගුව ද අධිකරණ සේවා කොමිසම ඔහුට එරෙහිව එල්ල වී තිබෙන චෝදනාවල ඇත්ත නැත්ත සොයා බලන තත්ත්වයකට නොගියේය. ඒ වෙනුවට කළේ චෝදනාව එල්ල කර මාස හතරකට පසුව ඔහු බද්දේගම අධිකරණයට මාරු කර යැවීමය.
ස්ත්රී දූෂණ චෝදනා හා වංචා චෝදනා එල්ල වූ මහේස්ත්රාත්වරයෙකු සිය ප්රදේශයට මාරු කර එවීම ගැන මාරුවීම සිදුවූ මුල් අවස්ථාවේදි ප්රදේශයේ දැනුවත් ජනතාව අතර කම්පනයක් ඇතිවී තිබුණි. බද්දේගම ප්රාදේශීය සභාවේ සභාපති ඒ ගැන වැඩියෙන්ම ප්රශ්න ඇති කරගෙන සිටි පුද්ගලයා වූයේය. තමන්ට එරෙහිව දිගින් දිගටම ප්රසිද්ධ චෝදනා එල්ල වී තිබුණු තත්ත්වයන් යටතේ බද්දේගමට පැමිණ පසු මහේස්ත්රාත්වරයා සිය ආරක්ෂාව පිණිස වඩාත් සියුම් ආකාරයකින් ක්රියාකරන තත්ත්වයකට පත්ව සිටියේය.
ඔහු ප්රාදේශීය දේශපාලනඥයන්ට එරෙහිව පවරා තිබූ නඩු හබ ඔවුන්ට වාසිදායක ලෙස විසඳ දෙන ක්රමයක් ඔස්සේ ඔවුන්ගේ විශ්වාසය දිනාගනිමින් ඔවුන් සමීප මිතුරන් පිරිසක් බවට පත්කර ගත්තේය. බද්දේගම ප්රාදේශීය සභාවේ සභාපතිට එරෙහිව තිබූ නඩු ද ඔහුට වාසිදායක ලෙස විසඳ දෙමින් ඔහු ද තමන්ට සමීප පුද්ගලයෙකු බවට පත්කර ගත්තේය. ප්රාදේශීය පන්සල්වලට අනුග්රහය දක්වන පිළිවෙත් මගින් ප්රදේශයේ භික්ෂූන් වහන්සේලා අතර ද ජනප්රිය පුද්ගලයෙකු බවට පත්විය. ඒ සමග ඔහු ප්රාදේශීය මට්ටමේ ජනමාධ්යවේදින් ද ළගින් ඇසුරු කරමින් ජනමාධ්ය මගින් තමන්ට වාසිදායක ප්රතිරූපයක් ඇති කරගැනීම සඳහා අවශ්ය වටපිටාවක් ද ඇතිකර ගත්තේය.
බද්දේගමට පැමිණ පසුත් මෙම තක්කඩි මහේස්ත්රාත්වරයාට එරෙහිව “රාවය” නොකඩවා හඬනගමින් සිටි තත්ත්වයක් ඉදිරියේ ඔහු නීතිඥ සංගමයේ බද්දේගම ශාඛාව ලවා තමන් කෙරෙහි ප්රසාදය පළකරවන යෝජනාවක් සම්මත කරගනිමින් ඊට ජනමාධ්ය මගින් ප්රසිද්ධියක් ද ලබා දුන්නේය. ඉන් නොනැවතී බද්දේගම ප්රාදේශීය සභාව ඇතුළු අවට ප්රාදේශීය සභා තුනක් මගින් එකවර තමන් කෙරෙහි ප්රසාදය පළ කරවන යෝජනා සම්මත කරවා ගනිමින් එම යෝජනවලට ද ජනමාධ්ය මගින් අතිවිශාල ප්රසිද්ධියක් ලබාදෙන තත්ත්වයක් ඇතිකර ගත්තේය.
මෙම මහේස්ත්රාත්වරයා ගාලු දිස්ත්රික්කයේ සියලු කැබිනට් ඇමතිවරුන්, ප්රදේශයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන්, පළාත් සභිකයන් හා ප්රාදේශීය සභිකයන්ගේ සහභාගිත්වයෙන් මානව හිමිකම් වෙනුවෙන් බද්දේගම සංවිධානය කරන ලද උත්සවය සිය ප්රතිරූපය තහවුරු කරගැනීම සඳහා කරන ලද ලොකුම ක්රියාව ලෙස සැලකිය හැකි අතර, මෙම උත්සවයේ ප්රධාන අමුත්තා වූයේ නීතිපති සරත් සිල්වා මහතාය. මුදල් වංචා චෝදනා හා ස්ත්රී දූෂණ චෝදනා එල්ල වී තිබෙන මහේස්ත්රාත්වරයෙකු සංවිධානය කරන ලද උත්සවයකට නීතිපති සහභාගිවීම මගින් මෙම මහේස්ත්රාත්වරයාට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා කිසිවක් පිළිනොගන්නේය යන්න නීතිපති අනියම් ලෙස රටට දෙන ලද ඇගවීම ලෙස සැලකිය හැකිය.
එහෙත් මේ තක්කඩි මහේස්ත්රාත්වරයා බලවතුන් හා ජනමාධ්යවල සහාය ඇතිව ගෙන යන ලද මේ කිසිම ක්රියාවකට “රාවය” කරගෙන ගිය කෑගැසීම නතර කළ හැකිවූයේ නැත.
මෙම ස්ත්රී දූෂක මහේස්ත්රාත්වරයාට එරෙහිව “රාවය” නොකඩවා මොර දෙන පිළිවෙතක් අනුගමනය කිරීම හේතු කොටගෙන ඒ මොරගෑම ශ්රී ලංකා නීතිඥ සංගමයට ප්රශ්නයක් වී සංගමයේ එවකට සභාපති වශයෙන් ක්රියා කළ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරුන්ගේ සම්මේලනයක් කැඳවා මේ ප්රශ්නයට විසඳුමක් ලබාදෙන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය. “රාවය” මහේස්ත්රාත්වරයාට එල්ල කරන චෝදනා පරික්ෂා කරන ලෙස සභාපතිවරුන්ගේ සම්මේලනය එවකට හිටපු අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා සිටියේය. එහි ප්රතිඵලයක් වශයෙන් එතෙක් මෙම මහේස්ත්රාත්වරයා ආරක්ෂා කරන පිළිවෙතක පිහිටා ක්රියා කළ අධිකරණ සේවා සංගමය ද, “රාවය” නගන චෝදනා පරික්ෂා කිරීම පිණිස හෙක්ටර් යාපා, අශෝකා ද සිල්වා හා ටී.බී. වීරසුරීය යන අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්රිපුද්ගල පරික්ෂණ කමිටුවක් පත් කළේය. එම පරික්ෂණ කමිටුව සිය පරීක්ෂෂණය අවසානයේ දි “රාවය” නගන ලද සියලු චෝදනාවලට මහේස්ත්රාත්වරයා වරදකරු කිරීමත් සමග එතෙක් එම තක්කඩි මහේස්ත්රාත්වරයා විවිධ බලවතුන්ගේ හා ජනමාධ්යවල අනුග්රහය ඇතිව පවත්වාගෙන යමින් සිටි රංගනය නීච ලෙස අවසන් විය.
දැන් අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා රගපාමින් සිටින්නේ ද ලෙනින් රත්නායක රගපෑ රංගනයට සමාන රංගනයකි. රාජ්ය ජනමාධ්ය ඇතුළු තමන්ට සම්බන්ධකම් ඇති ජනමාධ්යවල ආධාර ඇතිව තමන්ට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා පදනමක් නැති චෝදනා ලෙස මවාපෑමේ සංවිධානාත්මක ව්යාපාරයක් ක්රියාත්මක කරමින් සිටී. අගවිනිසුරුවරයාට සෙත් පතා බෝධි පූජා පැවැත්වීම, ප්රාදේශීය මට්ටමේ නීතිඥ සංගම් ලවා විශ්වාසය පළකිරිමේ යෝජනා සම්මත කරගැනීම හා භික්ෂූන් වහන්සේලා ලවා නිවේදන නිකුත් කරවා ගැනීම එම සංවිධානාත්මක වැඩපිළිවෙලේම විවිධ අංග ලෙස ක්රියාත්මක වේ.
මල්වත්තේ ගරු නායක හිමියන් අගවිනිසුරුවරයා වෙනුවෙන් විශේෂ ප්රකාශයක් කරන ලද අතර, රාජ්ය ජනමාධ්ය ඊට අතිවිශාල ප්රසිද්ධියක් ද ලබා දුන්නේය. ගරු මල්වතු නාහිමියන් ප්රකාශ කර ඇත්තේ පුද්ගලික ජීවිතයේ සුළු වරදක් අල්ලාගෙන අගවිනිසුරුවරයාට පහරදිම සාධාරණ නොවන බවය. සුළු වරදක් ලෙස මල්වතු නාහිමියන් අදහස් කරන්නට ඇත්තේ අගවිනිසුරුවරයා පවත්වාගෙන යන අනාචාර ජීවිතය විය යුතුය.
විනිශ්චයකාරවරුන්ගේ පවුල් ජීවිතවල අවුල් ඇතිවිය හැකි බව අපි ප්රතික්ෂේප නොකරමු. එවැනි මානුෂික ගැටලු දෙස ගොරහැඩි ලෙස බැලීම වැරදි සහගත බව ද අපි පිළිගනිමු. එහෙත් පවුල් ජීවිතයේ ඇතිවන ගැටලු වලදි සාමාන්ය ඕනෑම මිනිසකුට ක්රියාකළ හැකි ආකාරයට විනිශ්චයකාරවරයකුට ක්රියාකළ නොහැකිය. කොතරම් ගැටලු තිබුණත්, විනිශ්චයකාරවරයෙකුට අනාචාර ජීවිතයක් ගතකළ නොහැකිය.
සරත් සිල්වා මහතාට කවර හේතුවක් නිසා හෝ සිය විවාහක බිරිඳ සමග විවාහ ජීවිතයක් පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් තිබුණේ නම්, හා ඇගෙන් ඉවත් වී වෙනත් කාන්තාවක් සිය බිරීඳ බවට පත්කර ගැනීමට අවශ්ය වී නම්, හා ඇය වෙනත් අයෙකු සමග විවාහ වී සිටින කාන්තාවක් නම්, විනිශ්චයකාරවරයෙකු වශයෙන් කළයුතුව තිබුණේ සිය බිරිඳගෙන් දික්කසාද වන අතර, බිරීඳ කරගැනීමට අදහස් කරන කාන්තාවට ද ඇගේ ස්වාමි පුරුෂයාගෙන් දික්කසාදවීමට සලස්වා ඉන්පසු ඇය සමග නීත්යනුකූල යුග දිවියකට එළඹීමය.
එහෙත් සරත් සිල්වා මහතා සිය විවාහ බිරීඳ වන මනෝරානි ද සිල්වා මහත්මියගෙන් දික්කසාද නොවීය. දමයන්ති ශ්රියානි ගුණරත්න මහත්මිය ද ඇය විවාහ වී සිටි ස්වාමි පුරුෂයාගෙන් දික්කසාද නොකොට සරත් සිල්වා මහතා ඇය සිය අඹුව කොට ගත්තේය.
සරත් සිල්වා මහතා සමග අනාචාර ජීවිතයක් ගත කළ කාන්තාවගේ ස්වාමිපුරුෂයා සිය පවුල් ජීවිතය කඩා ඉහිරවීමෙන් ඇති වී තිබෙන අලාභය ඉල්ලා සරත් සිල්වා මහතාට එරෙහිවද, සරත් සිල්වා මහතා සමග ගතකරන අනාචාර ජීවිතය සලකා සිය කසාදය අවලංගු කරන ලෙස ඉල්ලා එම කාන්තාවට එරෙහිව ද නඩු පවරන ලද අවස්ථාවේ දි එම නඩුව විභාග කළ දිසා විනිසුරුවරයා කෙරෙහි අභියාචනා අධිකරණයේ සභාපති ලෙස බලපාමින් නීතියට පටහැනිව පැමිණිලිකරු පීඩාවට පත්කරන හා තමන්ට වාසිදායක තීන්දුවක් ලබාගැනීම සඳහා සරත් සිල්වා මහතා සිය බලය වැරදි ලෙස පාවිච්චි කළේ ය. එය විනිසුරුවරයකු නොකළ යුතු අධම ක්රියාවකි.
මේ සිද්ධිය සරත් සිල්වා මහතාගේ ජීවිතයෙන් අසන්නට ලැබෙන එවැනි එකම සිද්ධිය වී නම් එය විනිශ්චයකාරවරයෙකු ආරක්ෂා කරගත යුතු සදාචාරයට පටහැනි වුවත්, එය පවුල් ජීවිතයේ ඇතිවූ අවුලක් වැරදි ලෙස ලිහාගන්නට ගොස් ඇතිවූ වැරදි ප්රතිඵලයක් ලෙස සැලකිය හැකිව තිබුණි. එහෙත් එය සරත් සිල්වා මහතාගේ ජීවිතයෙන් අසන්නට ලැබෙන එවැනි එකම සිද්ධිය නොවන බව ද කිව යුතුය.
දමයන්ති ගුණරත්න සමග සම්බන්ධයක් ඇති කරගන්නට පෙර සරත් සිල්වා මහතා විවාහකයකුව සිටියදි තවත් විවාහක නීතිඥවරියක් සමග සම්බන්ධකම් පවත්වන තත්ත්වයක් තුළ එම නීතිඥවරියගේ පවුල් ජීවිතය ද අවුලක් බවට හැරි ඇයත් ඇගේ ස්වාමි පුරුෂයාත් එකිනෙකාගෙන් වෙන්වී ජීවත් විය යුතු තත්ත්වයක් උදාවූ බව ද ප්රකට රහසකි.
ඒ අතරම එතරම්ම ප්රකට නැති සුළු පිරිසකට පමණක් සීමාවූ තවත් එවැනි සම්බන්ධයක් හා ඒ සම්බන්ධය ආශ්රයෙන් කෙරුණු අයථා ගනුදෙනුවක් පිළිබඳව ද අපි විස්තර දන්නෙමු. මෙම සිද්ධියට සම්බන්ධ කාන්තාව දැන් විවාහ වී සිටින නිසා ඇය අන්වර්ථ තත්ත්වයක තැබීමට අපි කැමැත්තෙමු.
ඇය ඉතාමත්ම පොහොසත් පවුලක කාන්තාවකි. ඇගේ සහෝදරයා අතින් සිදුවූ වෙඩි තැබීමකින් පියා මිය ගියේය. මරණයට පත් පියා වෙනුවෙන් ජීවතුන් අතර සිටින එකම සහෝදරයාත් හිරගෙට යනවා දකින්නට අකමැති වූ ඔහුගේ ධනවත් සුන්දර නැගණිය එම ප්රශ්නය දුරදිග යන්නට ඉඩ නොදි බේරාගැනීම සඳහා නීතිඥ අර්ඩ්ලි පෙරේරා මහතා කැටුව නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කළ සරත් සිල්වා මහතා හමුවිය. තරුණියගේ සහෝදරයාගේ ප්රශ්නය බේරා දෙන අතර, සරත් සිල්වා මහතා එම කාන්තාව සමග ද සම්බන්ධයක් ඇති කරගත්තේය. ඇය සමග විවිධ තැන්වල සවාරි යන අතර, සරත් සිල්වා මහතා ඇයගෙන් අතමාරුවකට කිසියම් විශාල මුදල් ප්රමාණයක් ඉල්ලා ගත්තේ ය. මේ මුදල් ප්රමාණය තරුණය ලබාගෙන ඇත්තේ සිය පවුලට අයත් සමාගම් අරමුදලෙනි. තරමක් කල් ගතවන විට මේ මුදල ගැන පවුලේ අය ප්රශ්න කරන්නට වී තිබෙන අතර, ඒ සමග සිය ස්වාමි පුරුෂයා මෙම කාන්තාව සමග ද එහෙ මෙහෙ යන බව දැනගන්නට ලැබී මනෝරානි මහත්මිය ද මේ තරුණිය හමුවී ඇයට අවවාද කර තිබේ. දෙන ලද මුදල ආපසු නොලැබීම ආශ්රයෙන් පවුලේ මතුවී තිබුණු ගැටලු හා සරත් සිල්වා මහතාගේ බිරිඳගෙන් අසන්නට ලැබුණු දෝෂාරෝපණය යන හේතු නිසා දැඩි මානසික පීඩාවකට හසුවී කකුලේ බල නහරයක් කපාගෙන දිවි නසා ගැනීම සඳහා ඇය දරන ලද උත්සාහයක් ව්යර්ථ වී ඇත්තේ අනූනවයෙනි. ඒ නිසා ඇතිවූ කැපුම් තුවාල සුවකර ගැනීම සඳහා ඇයට කිසියම් දිර්ඝ කලක් නවලෝක රෝහලෙන් නේවාසිකව ප්රතිකාර ලබාගැනීමට සිදුවී තිබේ. දැන් ඇය විවාහකය. එහෙත් මෙකී සිදුවිම නිසා විටින් විට මතුවන මානසික කම්පනයට ඇය අදත් ප්රතිකාර ගනී.
සරත් සිල්වා මහතා විවාහක එක් දරු පියෙකුව සිටියදි තමන්ගෙන් උපකාරයක් ලබාගැනීම සඳහා එන කාන්තාවක් සමග ප්රේම සම්බන්ධයක් ඇතිකර ගනිමින් ඇගෙන් අයුතු ප්රයෝජන ගැනීම වනචරකමක් ලෙස සැලකිය හැකි වුවත්, උපකාරයක් කරන අතර උපකාරය ලැබූ ඇයගෙන් ණය මුදලක් ලබාගෙන එය ආපසු නොගෙවීම සැලකිය හැක්කේ වනචරකමක් වශයෙන් නොව අල්ලස් ගැනීමක් වශයෙනි.
අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතාට එරෙහිව එල්ල වී තිබෙන සියලු චෝදනා චරිත දූෂණ වැරදිවලට පමණක් සීමාවී නැති බව ද කිවයුතුය. ඊට අතිරේක වශයෙන් අධිකරණයේ ස්වාධීනත්වය හා ගෞරවය කෙලෙසීම, චේතනාන්විතව ආණ්ඩුක්රම ව්යවස්ථාව උල්ලංඝණය කිරීම යන බරපතල වැරදි ද ඊට ඇතුළත් ය.
මහේස්ත්රාත් ලෙනින් රත්නායක ද සිය පැවැත්ම රැක ගැනීම සඳහා දැවැන්ත රංගනයක යෙදුණේය. ඒ සඳහා ඔහුට ආධාර කිරීමට බලවත් පිරිසක් ද සිටියේය. එහෙත් ඔහු කර තිබුණු බරපතල වැරදි ඉදිරියේ ඔහුගේ ඇද වැටීම නොවැළැක්විය හැකි වූ අතර, ඔහුගේ රංගනය අවසන් වූයේ ද ඔහු නීච තත්ත්වයකට ඇද වැටිමෙනි. අගවිනිසුරු සරත් සිල්වා මහතාගේ රංගනය ද බොහෝදුරට ඊට සමානය. ඒ රංගනය අවසන් වනු ඇත්තේ ද ඊට සමාන ආකාරයකටය.