රාජ්ය ව්යවසාය කොමිසම විසින් රුපියල් කෝටි 180 කට අධික ජීවිත රක්ෂෂණ අරමුදල් සහිත තවත් රුපියල් කෝටි සිය ගණනක් වටිනා දේපළ සහිත ජාතික රක්ෂෂණ සංස්ථාව එහි කොටස් හිමිකමෙන් 51%ක් රුපියල් කෝටි 49ක් වැනි මුදලකට ජනශක්ති සමාගමට විකිණීමේ සිද්ධිය එම සංස්ථාවේ සේවකයන්ගේ දැඩි විරෝධයට හේතු වී තිබෙන බව වාර්තා විය.
පුද්ගලිකකරණය ආරම්භ වීමත් සමග එය බලවත් දේශපාලකයන් අයථා ලෙස විශාල වශයෙන් මුදල් උපයන මාර්ගයක් බවට පත් වී තිබේ. ඒ ගැන එජාප සමයේ විශාල චෝදනා එල්ල වූවා සේ ම දැන් පොදු පෙරමුණු යුගයේ දි ද ඒ හා සමාන චෝදනා එල්ල වෙමින් පවතී. විශේෂයෙන් ම වතු පුද්ගලිකකරණයට හා එයාර් ලංකා පුද්ගලිකකරණයට එල්ල වී තිබෙන චෝදනා ඉතාමත් බරපතල ය.
මේ සියලු ගනුදෙනු විනිවිද දැකිය හැකි ආකාරයට සිදු කිරිමේ හැකියාවක් ඇතත් ඒ කිසිම ගනුදෙනුවක් තුළ විවෘත භාවයක් නොපවතී. රාජ්ය ව්යවසාය කොමිසමේ බලපෑමෙන් එයාර් ලංකා ගනුදෙනුවේ දි පාර්ලිමේන්තුවේ පොදු ව්යාපාර කාරක සභාව ද නොමග යවන්නට එය අවස්ථාවක් වීම මීට පෙර වාර්තා විය.
රාජ්ය හා අර්ධ රාජ්ය ආයතනවල කටයුතු සිදුවන ආකාරය පාර්ලිමේන්තුවට වාර්තා කිරිමේ වගකීම පැවරි ඇති ප්රධාන පුද්ගලයා වන්නේ විගණකාධිපතිවරයා ය. ඔහු ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් බලය ලැබූ ස්වාධීන පුද්ගලයකු වන අතර රාජ්ය සම්පත් පුද්ගලික අංශයට විකුණනු ලබන අවස්ථාවල දි ඒ ගනුදෙනු පිරිසිදුව හා විධිමත්ව සිදුවේදැයි සොයා බැලීමේ ප්රධාන වගකීමක් ඔහුට ද ඇත්තේ ය. එවැනි අවස්ථාවක දි පුද්ගලිකකරණ ක්රියාවලිය පිළිබඳව කරුණු සොයා බලන තත්ත්වයකින් විගණකාධිපතිවරයා ක්රියාකරන බවක් පෙනෙන්නට නැත.
දැනට විවාදයට හේතු වී ඇති ජාතික රක්ෂෂණ සංස්ථාවේ පුද්ගලිකකරණය ගැන පමණක් නොව වතු පුද්ගලිකකරණය එයාර් ලංකා පුද්ගලිකකරණය ඇතුළු පුද්ගලිකකරණයට අදාළ සියලු ගනුදෙනු පරික්ෂෂා කොට මහජනතාවගේ දැනගැනීම සඳහා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම විගණකාධිපති වෙත පැවරෙන වගකීමකි. විගණකාධිපතිවරයා එම වගකීම නොපමාව ඉටු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.