අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා මුල් කොටගෙන අධිකරණයේ මතුවී තිබෙන අර්බුදය කෙළවර වන්නට යන්නේ කෙසේද යන ප්රශ්නය රටේ දේශපාලන චිත්රය කෙරෙහි තීරණාත්මක ලෙස බලපානු නොවැළැක්විය හැකිය.
ස්වාධීන අධිකරණයක් ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්රමයක් සඳහා අත්යවශ්යය. විධායක බලය, ව්යවස්ථාදායක බලය හා අධිකරණ බලය එකම පුද්ගලයෙකුට හෝ එකම සංස්ථාවක් තුළ ගොනු වී තිබූ යුගයක් අතීතයේ දි තිබුණි. එහෙත් දැන් අපි ජීවත් වන ජනතාවගේ පරමාධිපත්යය බලයට බර තබන දේශපාලන ක්රමයක් පවතින නූතන යුගයේ එම ත්රිවිධ බලය වෙන් වෙන්ව තිබීම අත්යවශ්ය කොන්දේසියක් ලෙස සැලකේ.
ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්රමයක් තුළ ව්යවස්ථාදායකය සමාජයට අවශ්ය නීති හා ප්රතිපත්ති සම්පාදනය කරන විට, විධායකය ඒවා ක්රියාවට නගන ආයතනය ලෙස ක්රියා කරයි. ව්යවස්ථාදායකයේ හා විධායකයේ ක්රියාකාරිත්වය කෙරෙහි සුපරීක්ෂාකාරිත්වයෙන් සිටිමින් එම ආයතන නිසි මග හැසිරවීමේ වගකීම පැවරෙන්නේ අධිකරණයටය.
පුරවැසියන් පුරවැසියන් අතර ඇතිවන දේශපාලන නොවන ආරාවුල් සේ ම රජය හා පුරවැසියන් අතර ඇතිවන දේශපාලන ආරාවුල් විසඳීමේ වගකීම පැවරෙන්නේ අධිකරණයටය. පුරවැසියන් පුරවැසියන් අතර ඇතිවන සාමාන්ය ආරාවුල්වලදි අධිකරණයට ස්වාධීනව හා සාධාරණව ක්රියාකිරීම පහසුය. එහෙත් අධිකරණයේ ස්වාධීනත්වය හා සාධාරණත්වය තීරණාත්මක ලෙස උරගා බැලෙන අවස්ථාව වනුයේ රජය හා පුරවැසියන් අතර ඇතිවන දේශපාලන ආරාවුල්වලදිය. මහජනතාව තෝරාපත් කර ගන්නා ආණ්ඩුවක් කිසියම් සුළු පිරිසක් විසින් නීති විරෝධී ආකාරයකින් පෙරළා දැමීමට උත්සාහ කරන අවස්ථාවකදි අධිකරණය ආණ්ඩුව ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කළ යුතුය. එහෙත් ජනතාවගේ පරමාධිපත්යය බලය සීමා කිරීමට ආණ්ඩුවක් ක්රියාකරන අවස්ථාවකදි අධිකරණය සිටිය යුත්තේ ආණ්ඩුව ආරක්ෂා කරන තැනක නොව, මහජන අයිතිවාසිකම් ආරක්ෂා කරන තැනකය. ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි ආණ්ඩුව හදිසි නීතිය උපයෝගී කරගනිමින් ඉතාමත් අත්තනෝමතික ආකාරයකින් මහජන අයිතිවාසිකම් පීඩාවට ලක් කරමින් තිබුණු අවස්ථාවේ අගවිනිසුරු කුල්දිප් සිං ප්රමුඛ ඉන්දියානු ශ්රේෂ්ඨාධිකරණය ඉන්දිරා ගාන්ධි ආණ්ඩුව ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කරනවා වෙනුවට ජනතාව ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කළේය. ඒ නිසා කුල්දිප් සිං මහතාට තමන් හෙබවූ අගවිනිසුරු ධුරය අහිමි වුවද ඔහු අනුගමනය කළ ස්ථිර පිළිවෙල නිසා ඉන්දියාවේ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා විය.
නිරන්තරයෙන්ම රජයේ කටයුතු පරික්ෂාවට ලක් කළ යුතු පරික්ෂකයකුගේ තත්ත්වයෙන් ක්රියාකළ යුතු අධිකරණයත් මොනයම් හේතුවක් නිසා හෝ රජයේ අතකොලුවක් ලෙස ක්රියා කරන තත්ත්වයකට පත්වේ නම් ඒ සමග ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්රමයක් තුළ අවශ්යයෙන්ම තිබිය යුතු විධායකය හා අධිකරණය අතර තිබිය යුතු බලබෙදිම අවසන් වී රටේ ප්රජාතන්ත්රවාදය මරණයට පත්වීම ද ආරම්භ වන්නේය. සරත් සිල්වා මහතා අගවිනිසුරු ධුරයට පත්වීමෙන් පසු සිදුවී ඇත්තේ ද එයයි. දැන් රටට රජයේ කටයුතු පරික්ෂාවට ලක් කරන වර්ගයේ ශ්රේෂ්ඨාධිකරණයක් නැත. ඒ වෙනුවට ඇත්තේ විධායකයේ අතකොලුවක් ලෙස ක්රියා කරන ශ්රේෂ්ඨාධිකරණයකි. එම තත්ත්වය රටේ ප්රජාතන්ත්රවාදී නිදහස විශාල ප්රමාණයකින් පටු කිරීමට හේතුවී තිබේ.
ජනතාවගේ පරමාධිපත්ය බලය අහිමි කිරීමට හෝ සීමා කිරීමට හේතුවන නීති සම්පාදනයකට ඉඩ නොතැබීම හා මහජනයාගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ශ්රේෂ්ඨාධිකරණය වෙත පැවරෙන මූලික වගකීමකි. වඩා විස්තරාත්මකව කියන්නේ නම්, ව්යවස්ථාදායකයක් බලයේ රැඳී සිටින කාලය දික් කරගැනීමට හේතුවන නීති සම්පාදනයකට, ඉඩ නොතැබීම ජනතාවගේ පරමාධිපත්ය බලය සීමා කරමින් හෝ විකෘති කරමින් අයථා ආකාරයකින් බලය තහවුරු කරගැනීමට හේතුවන නීති සම්පාදනයකට ඉඩ නොහැරිම, එක් වසරකට අවශ්ය ප්රමාණයට වඩා වැඩි මුදලක් විධායකයට ලබාගැනීමට ඉඩ ලැබෙන මුදල් පනතකට ඉඩ නොතැබීම, වාර්ගික හෝ ආගමික කණ්ඩායමකට විශේෂ වාසි ලබාදිමට හේතුවන හෝ වාර්ගික හෝ ආගමික කණ්ඩායමක් කෙරෙහි විශේෂ පීඩාවක් ඇති කිරීමට හේතුවන නීති සම්පාදනයකට ඉඩ නොතැබීම හා ජනතාවගේ පිළිගත් මූලික අයිතිවාසිකම් සීමා කිරීමට හේතුවන නීති සම්පාදනයකට ඉඩ නොතැබීම ශ්රේෂ්ඨාධිකරණයේ වගකීමකි. ශ්රේෂ්ඨාධිකරණයක් කවර අවස්ථාවකදිවත් විධායකයක් විසින් ඒ අරමුණවලට පටහැනිව යන ආකාරයකට ඉදිරිපත් කරන වැඩපිළිවෙළක දෑනුවත් කොටස්කරුවකු නොවිය යුතුය.
අධිකරණයක් එවැනි වැඩපිළිවෙළක දැනුවත් කොටස්කරුවෙකු ලෙස ක්රියාකරයි නම්, අධිකරණයකට ඇද වැටීමට හැකි නීච තත්ත්වයද එය විය හැකිය.
පොදු පෙරමුණු ආණ්ඩුව පාර්ලිමේන්තු මැතිවරණයක් ඉදිරියේ තබාගෙන ජනතාවගේ පරමාධිපත්යය බලය පිළිබඳ ව්යවස්ථාවේ එන මූලධර්මවලට පටහැනි ලෙස පවතින අනුපාතික ඡන්ද ක්රමය තමන්ට වාසිදායක ලෙස වෙනස් කරගැනීමට ඉතා කූට හා සටකපට ආකාරයකින් සකස් කළ පනත් කෙටුම්පත විමර්ශනය පිණිස ශ්රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලද අවස්ථාවේදි අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා කෙරෙන් පළවූ හැසිරිම ඉතාමත් නින්දාසහගතය. ව්යවස්ථා සංශෝධනයකට ඉදිරිපත් කෙරෙන අභියෝග විභාග කිරීමට එතෙක් යොදාගත් පිළිගත් සම්ප්රදාය අත්හරිමින් එම විෂය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති විනිසුරුවරුන් තිදෙනාම ඉන් පිටමං කෙරෙන ලෙස හා තමා ඇතුළත් වන සේ සකස් කරගත් විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ විභාගයට ගනිමින් විධායකය විසින් දියත් කරන ලද කූට වැඩපිළිවෙළක දෑනුවත් කොටස්කාරයෙකු වීම මගින් ශ්රේෂ්ඨාධිකරණය කෙරෙහි ඇති කරන ලද කැලල සදා නොමැකෙන සුළුය.
ඉන්පසු පාර්ලිමේන්තු මැතිවරණයේදි පොදු පෙරමුණු ආණ්ඩුව මැතිවරණ නීතිවලට පටහැනිව තම මැතිවරණ වුවමනාවන් සඳහා රාජ්ය ජනමාධ්ය යොදාගනිමින් තිබූ අවස්ථාවක ස්වාධීන රූපවාහිනියටත්, ලේක්හවුසියටත් එරෙහිව එජාපයේ සභාපති කරු ජයසූරිය මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක සම්බන්ධයෙන් අගවිනිසුරුවරයා අනුගමනය කළ ක්රියා කලාපය ද ඉතාමත් නින්දාසහගතය. එදින අගවිනිසුරුවරයා විනිශ්චය මණ්ඩලයක අසුන් ගන්නා දිනයක් නොවී තිබියදි වෙනත් විනිශ්චය මණ්ඩලයක් ඉදිරියට යාම වැළකීම සඳහා තමන් ඇතුළත් විනිශ්චය මණ්ඩලයක් ඇති කරගනිමින් පෙත්සම් දෙක තමා ඉදිරියේ විභාගයට ගත්තා පමණක් නොව, සිදුවෙමින් තිබෙන වැරැද්ද නිවැරදි කරනවා වෙනුවට එම පෙත්සම් දෙක වැඩිදුර විභාගයට ගැනීම ප්රතික්ෂේප කරමින් පොදු පෙරමුණේ පනින රිලවුන්ට ඉනිමං බඳින ප්රතිපත්තියක් අනුගමනය කළේය. මා අධිකරණයේ ප්රධානියා බැවින් මැතිවරණ ජයග්රහණය සඳහා වැරදි කිරීමට බිය නොවන්න යන්න එමගින් සරත් සිල්වා මහතා පොදු පෙරමුණට දෙන ලද සංඥාව විය.
සරත් සිල්වා මහතා අගවිනිසුරු ධුරයට පත්වීමෙන් පසුව විශාලතම විනාශය සිදුකර ඇත්තේ මානව හිමිකම් අංශයේය. ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්රමය තුළ විශාල විකෘතියක් ඇති කිරීමට හේතුවන විධායක ජනාධිපති ක්රමයක් ඇති කිරීම 1978 ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් රටට ලැබුණු නරකම දායාදය ලෙස සලකතොත් මූලික අයිතිවාසිකම් සඳහා ප්රතිපාදන ඇති කිරීම එම ව්යවස්ථාව මගින් රටට ලබාදි ඇති හොඳම දායාදය ලෙස සැලකිය හැකිය. මූලික අයිතිවාසිකම් සඳහා නඩු ක්රමයක් ඇතිවීමෙන් පසු එජාපයට හයෙන් පහේ බලයක් තිබුණු යුගයේදි පවා විධායකයේ දැඩි උදහසට හේතුවන මූලික අයිතිවාසිකම් නඩු තීන්දු කිහිපයක් ශ්රේෂ්ඨාධිකරණය වෙතින් ප්රකාශයට පත්විය. ඒ නිසා ශ්රේෂ්ඨාධිකරණයට විධායකයේ අතවරයන්ට මුහුණ දෙන්නට සිදුවුවත් එම අංශයේ ඉදිරියට යාමක් මිස පසුබැසීමක් සිදු නොවීය. ඉතාමත් බලවත් පාලකයකු ලෙස සැලකෙන ප්රේමදාස යුගයේදි පවා ආණ්ඩුව දුෂ්කර තත්ත්වයකට පත්කිරීමට හේතුවන නඩු තීන්දු ගණනාවක් ප්රකාශයට පත්විය. විධායකයෙන් එල්ල වෙන බලපෑම් නොසලකා මූලික අයිතිවාසිකම් රාමුව ක්රමයෙන් පුළුල් කරන තත්ත්වයක පිහිටා ශ්රේෂ්ඨාධිකරණය ක්රියාකරමින් සිටියත්, සරත් සිල්වා මහතා අගවිනිසුරු ධුරයට පත්වීමෙන් පසුව එතෙක් ඉදිරිය කරා යමින් තිබුණු ඒ ගමන ආපස්සට හරවනු ලැබීය. ඔහු මූලික අයිතිවාසිකම් නඩු දෑක්කේ විධායකයට අනවශ්ය ප්රශ්න ඇති කරන විධායකයේ බල සීමාව පටු කරන නඩු විශේෂයක් වශයෙනි. විධායකයට හිතුවක්කාරි ලෙස ක්රියා කිරීමට තිබෙන අයිතිය ආරක්ෂා කිරීම සිය වගකීමක් ලෙස සලකා ඔහු ශ්රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සඳහා විනිශ්චය මණ්ඩල නම් කරන නව ක්රමයක් ඇති කළේය. ඒ අනුව හැම පෙත්සමක්ම තමන් ඉදිරියට ගනිමින් පිටතට දිය යුත්තේ මොනවාද? ආණ්ඩුවේ ආරක්ෂාව සඳහා තමන් ඉදිරියට ගත යුත්තේ මොනවාද, යන්න තමනට තීරණය කළ හැකි විශේෂ ක්රමයක් ඇති කර ගත්තේය. ඒ මගින් විධායකයට ප්රශ්න ඇති කිරීමට හේතුවන සියලු පෙත්සම් තමා ඇතුළත් විනිශ්චය මණ්ඩලයක් ඉදිරියට ගැනෙන ක්රමයක් ඇති කරමින් ඒවා විභාගයට සලකා බැලීම අවම මට්ටමකට පත් කළේය. ඒ මගින් අගවිනිසුරු සරත් සිල්වා මහතා විසින් ශ්රේෂ්ඨාධිකරණය මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන ආයතනයක තත්ත්වයෙන් ඉවත් කොට, ශ්රේෂ්ඨාධිකරණය මූලික අයිතිවාසිකම් පාගා දමන යාන්ත්රණයක් බවට පත් කළේය.
මේ සියල්ලට අතිරේක වශයෙන් සරත් එන්. සිල්වා මහතා සමස්ත අධිකරණයම පොදු පෙරමුණේ පක්ෂ ශාඛාවක තත්ත්වයකට පත් කිරීම සඳහා ක්රියාකරමින් සිටින ආකාරයක් දැකිය හැකිය. ඔහු අගවිනිසුරු ධුරයටත්, ඒ මගින් අධිකරණ සේවා කොමිසමේ සභාපති ධුරයටත් පත්වීමෙන් පසුව මේ දක්වා අධිකරණ සේවයෙන් පළවා හැර තිබෙන අධිකරණ නිලධාරින්ගේ සංඛ්යාව 20කටත් අධිකය. ඔවුන් වැඩි දෙනෙක් පොදු පෙරමුණේ ප්රාදේශීය බලවතුන්ට එරෙහිව ඇති නඩුවලදි නීතිය ක්රියාත්මක කළ අය බව පෙනෙන අතර, ඒ අයගෙන් වැඩි පිරිසක් අධිකරණ සේවයෙන් පලවා හැර ඇත්තේ ද විනය පරික්ෂණවලින් පවා තොරවය. මීට අතිරේකව උසස්වීම් ලබාදිමේ ක්රියාවලියේදි සේම මාරුවීම් ලබාදිමේ දි ද පටු දේශපාලන අරමුණු මත පිහිටා ක්රියාකර ඇති බවක් පෙනී යයි. අධිකරණ සේවය සඳහා පුරප්පාඩු පිරවීමේදි ද දේශපාලන කෝණයෙන් බලා පුද්ගලයන් තෝරාපත් කරන ක්රමයක් පවත්වාගෙන යන බවක් පෙනී යයි.
සරත් සිල්වා මහතා අගවිනිසුරු ධුරය දැරිම ආශ්රයෙන් අධිකරණය ඇද වැටී තිබෙන නින්දා සහගත තත්ත්වයට ඉක්මන් පිළියමක් සොයාගැනීමෙන් තොරව ප්රජාතන්ත්රවාදී බලවේගයන් අපේක්ෂා කරන කිසිම ප්රතිසංස්කරණයක් (ප්රජාතන්ත්රවාදී ආයතන ක්රම ගොඩනැගීම හා ජනවාර්ගික ප්රශ්නයට සාමකාමී විසඳුමක් ඇතිකර ගැනීම) දිනාගැනීමේ හැකියාවක් නොපවතී. ඒ වුවමනාවන් සඳහා ඇති නීති සම්පාදනයේදි ද ආරාවුල් ඇතිවිය හැකිය. ඒ ආරාවුල් නිරාකරණය කරගැනීම සඳහා යන්නට වන්නේ ද අධිකරණයටය. එහෙත් ශ්රේෂ්ඨාධිකරණය වැනි ආයතනයක් ස්වාධීනව තීන්දු ගන්නා ආයතනයක් ලෙස ක්රියා කරනු වෙනුවට විධායකයේ අතකොලුවක් ලෙස ක්රියාකරන තත්ත්වයක සිටී නම් විධායකයේ අභිලාෂයන්ට නොගැලපෙන කිසිවක් සම්පූර්ණ කරගැනීමේ හැකියාවද නොලැබෙනු ඇත්තේය. වත්මනයේ විධායකය අධිකරණය කෙරෙහි ඇති කරගන්නා බියකින් තොරව වැරදි කරන තත්ත්වයක සිටින්නේද කොතරම් වැරදි කළත් සරත් සිල්වා මහතා අගවිනිසුරු ධුරයේ සිටින තෙක් කවර වරදකටවත් තමන්ට අධිකරණයෙන් අභියෝගයක් එල්ල නොවන බව විධායකය දන්නා නිසාය. එහෙත් සරත් සිල්වා මහතා එම ධුරයෙන් ඉවත් කිරීමත් සමග විධායකයට ලැබී තිබෙන එම ආරක්ෂාව අහිමි වන අතර, ඒ සමග නැවත අධිකරණය ස්වාධීන තත්ත්වයකට එමින් රටේ ප්රජාතන්ත්රවාදී අවකාශ සඳහා තිබෙන ඉඩකඩ ද පුළුල් වනු ඇත.